ජනපති ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය

 ඡායාරූපය:

ජනපති ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය

මෙතෙක් සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කළ ජනාධිපති, අගමැති හා අමාත්‍ය යන ඡායාරූප වෙනුවට මින් ඉදිරියට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීම සඳහා මේ වන විට ජනාධිපති නියෝගයක් ලැබී ඇත. ඒ වැඩපිළිවෙළ මේ වන විට රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් එම පියවර සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හා විද්වතුන් දරන්නේ මෙවැනි අදහසකි.

ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට ගත් පියවර පැසසිය යුතු එකක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම

රාජ්‍ය ආයතන ඇතුළු පොදු ස්ථානවල රාජ්‍ය නායකයාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණය ඉතාම රැඩිකල් පියවරක්. ප්‍රතිරූපයයි පිංතූරයයි මට අනුව දෙකක්. කාර්යාලවල පාලම් බෝක්කුවල පිංතූරය එල්ලුවට කෙනකුගේ ප්‍රතිරූපය ගොඩනැඟෙන්නේ නැහැ. ප්‍රතිරූපය හැදෙන්නේ කෙනෙක් කරන කියන දේ අනුව මිනිස්සුන්ගේ හිතේ. රාජ්‍ය නායකයකු නම් ඉතිහාසයට ඉතිරි කරන තමන් කළ කී දේ. පාලන කාලයේදී පාලකයකු තමන්ගේ පින්තූරය තැන තැන අටවලා තියෙනවා දකින එකෙන් සතුටක් ලබනවා නම්, ඒ ලබන සතුට නාසිස්ටික් සතුටක්. ස්වරූප රාගය කියන්නේ ලෙඩක්.

රාජ්‍ය ආයතනයක් කියන්නේ නිර්දේශපාලනික තැනක්. රාජ්‍ය අයිති මහජනතාවට. ආණ්ඩුවේ ඉන්නේ එක්තරා කාලයකට රාජ්‍යය මෙහෙයවන්න ජනතාව විසින් පත්කරගත් නියෝජිතයෙක්. ඒ වූ පමණින් රාජ්‍ය ආයතනය ආණ්ඩුවට අයිති දෙයක් නෙවෙයි. මේ වෙනස පොදුවේ ජනතාවත්, දේශපාලකයනුත් අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මෙතෙක් කලක් සම්ප්‍රදායක් ලෙස හැම තැනකම ජනාධිපතිගෙයි අගමැතිගෙයි පින්තුර එල්ලීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට ගත් පියවර පැසසිය යුතු එකක්. එය අලුත් දේශපාලන සංස්කෘතියක ඇරඹුමක් ලෙස දැක්කට වරදක් නැහැ.

අපි බලා සිටිමු මේ වගේ යහපත් වෙනස්කම් කොයිතරම් දුරට අලුත් රාජ්‍ය නායකයාට කරන්න පුළුවන් වෙයිද කියලා.

ඉතාම කාලෝචිත දෙයක්

හිටපු ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ උදේනි සරච්චන්ද්‍ර

ඉතාම හොඳ වැඩපිළිවෙළක්. මොකද ගොඩක් රටවල රාජ්‍ය හෝ වෙනත් ආයතනවල රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මෙහේ තමයි ඉතින් පාරකට තාර ටිකක් දැම්මත් ඇමතිවරුන්ගෙ පින්තූර දාන්නෙ. පාරෙ නමට වැඩිය ලොකුවට ඡායාරූපය සවි කරනවා. ඒ වගේම උප තැපැල් කාර්යාලයකට ගියත් අපි දකින්නෙ මැති ඇමැතිවරුන්ගෙ පින්තූර. මාස හයකට පස්සෙ ඒගොල්ලො අයින් වෙලා ගියාම ආයෙ අලුත් කට්ටියක් එතනට එනවා. ඒක හරි අප්‍රසන්න තත්ත්වයක්. ඇත්තටම රජයේ මුදලින් කරන වැඩපිළිවෙළක් නම් යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් නම් රාජ්‍ය ලාංඡනය තියෙන එක තමයි වටින්නෙ. නැත්නම් ඒක ඔවුන්ගේ පෞද්ගලික වියදමින් කළ දෙයක් වෙනවනේ. මේක ඉතාම කාලෝචිත දෙයක්. ඕක කාලෙක පටන්ම ජනතාව බලාපොරොත්තු වුණු දෙයක්. ඒ වගේම එය දියුණු සංස්කෘතියක් කරා යන ගමනක එළැඹුමක්.

නායකයට වඩා රට එසවිය යුතුයි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ

ඒක ඉතාම හොඳයි. ඒ වගේම දේශපාලන කටවුට් යනාදියෙත් ඒ විදියටම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕන. රාජ්‍ය ආයතන විතරක් නෙවෙයි; අපි සමාජයක් හැටියට පුරුදු වෙන්න ඕනෑ රාජ්‍ය නායකයන්ට ගරුත්වයක් දීලා හැසිරෙන්න. ඒක අපි පුරුදු විය යුතු දෙයක්. බිල්ඩිමක් ඇතුළේ තියෙන පින්තූර අයින් කරලා පාර දිගේ කටවුට් ගහන එකේ තේරුමකුත් නැහැනේ. ඒ දේ රාජ්‍ය ආයතනවල වගේම ප්‍රසිද්ධ ස්ථානවලත් වෙනවා නම් හොඳයි. රට ඔසවන්න ඕනෙ නායකයන්ට වඩා.

පුද්ගල ප්‍රතිරූප වන්දනයට වඩා ප්‍රතිපත්තිවල වටිනාකම පෙනෙන අවස්ථාවක්

නීතිඥ ලලිත් පියුම් පෙරේරා

ඒක ඉතාම හොඳ වැඩක්. මොකද පුද්ගල ප්‍රතිරූප වන්දනයට එහා ගිහිල්ලා ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා යුතු රටක් ලෙස ගෝඨාභය ජනාධිපතිතුමා ගත්තු ඉදිරිගාමී පියවරක් බව පේනවා. මටත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධයෙන්. මම තරුණ සේවා සභාවේ සභාපති ලෙස කටයුතු කරන කාලෙ අපි පත්වෙලා ගත්තු පළමුවැනි රැස්වීමෙදිම එවකට තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා දුන්නු පළමුවැනි උපදෙස තමයි තමන්ගේ පින්තූර ආයතනයේ කිසි තැනක තියන්න බෑ කියන එක. අපි ඒකට ගරු කළා. විශේෂයෙන්ම මමත් උත්සාහ කළා ආයතන ප්‍රධානියා ලෙස මගේ ප්‍රතිරූපයට එහා ගිහිල්ලා තරුණයන්ගේ ප්‍රතිරූපය සමාජගත කිරීමට. මේ හරහා ජනාධිපතිතුමා සංකේතාත්මකව පෙන්වා දෙන්නේ තමන් රටට වැඩ කිරීමට පැමිණි බවයි. මේ අසංස්කෘතික රාජ්‍යය; සංස්කෘතික කිරීමට, අවිචාරශීලී රාජ්‍යය; විචාරශීලී කිරීමට එතුමාගෙ අවශ්‍යතාව බවයි. එතුමා කෙරෙහි විශාල් බලාපොරොත්තු සමුදායක් ජනතාවට තියෙනවා. ඒ නිසා තමයි වැල නොකැඩී ජනතාව පිටරටවල පවා ඉඳලා ඇවිත් ඡන්දය ප්‍රකාශ කළේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ මියගිය රාජ්‍යයට ප්‍රාණය දෙන්න පුළුවන් කියන විශ්වාසය ඔවුන්ට තියෙනවා. ඒ විශ්වාසය තහවුරු කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය පෙන්නුම් කෙරෙනවා.

පින්තූර එල්ලනවට වඩා මේක හොඳයි

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර

ඒක බොහොම හොඳ වැඩක්. එක එක්කෙනාගෙ පින්තූර එල්ලනවට වඩා රාජ්‍ය ලාංඡනය එල්ලන එක හොඳ දෙයක්නෙ. අපේ රටේ හැම තැනකම ෆොටෝ එල්ලනවනෙ. ඉන්දියාවෙ උනත් ඕනෑම ආයතනයක තියෙන්නෙ රාජ්‍ය ලාංඡනය සහ ගාන්ධිගෙ ෆොටෝ විතරයි. ඒකත් ඉන්දියානුවන්ගේ අසහාය නායකයා කියන අර්ථයෙන්. මගෙත් එක්ක කතා කරපු අයගෙන් සියයට 100කගෙම අදහස වුණේ මේ වැඩපිළිවෙළ ඉතාම සාධනීය දෙයක් කියන එකයි.

ජාතීන්ට සම මට්ටමින් සැලකීම පිළිබිඹු වෙනවා

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෝමරත්න බාලසූරිය

රාජ්‍ය නායකයා සියලුම ජාතීන්ට එකම ආකාරයෙන් සැලකීම එතැනින් පිළිබිඹු වෙනවා කියන එකයි මගේ හැඟීම. පාටවලට ජාතීන් බෙදන්නැතුව සම මට්ටමෙන් සැලකීම එතැනින් පේන්න තියෙනවා.

අවංක නායකයන්ගේ පින්තූර ජනතාවගෙ හිතේ ඇඳෙනවා

විශ්‍රාමික රාජ්‍ය නිලධාරී

විජය වික්‍රමරත්න

රාජ්‍ය සේවාවේ අවුරුදු 45ක සේවය කරපු විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් හැටියට එම ක්‍රියාමාර්ගය ඉතා විශිෂ්ට අග්‍රගණ්‍ය අදහසක් බව ප්‍රකාශ කරනවා. සෑම මැතිවරණයකින් පසුවම රාජ්‍ය ආයතන තුළ එදා වෙච්ච දේවල් අපි අත්දැක්කා. මං කාලයක් සේවය කලා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට. ඒවගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙත්. ඔය ආයතන දෙකේදිම අමිහිරි දේවල් සිද්ධ වුණා. මැතිවරණයක් ඉවර වුණු ගමන්ම ජයග්‍රාහී පක්ෂයේ අය ඇවිල්ලා පරාජිත පක්ෂයේ අයගේ ඡායාරූප බිම දාලා කුඩු කරනවා. අවසානයේ වෘත්තීය සමිති ඇවිල්ලා එයාලගෙ බලය පාවිච්චි කරනවා. එතැනදි වෙන්නෙ රටට සේවය කරපු නායකයකුගෙ ඡායාරූපය ඉතාම නින්දිත විදියට විනාශ වීම. ඒකට හේතු වුණේ එවැනි ඡායාරූප එල්ලා තිබීම. එහෙම තිබුණේ නැත්නම් එවැනි නිග්‍රහයක් ලැබෙන්නෙ නෑ. ඒවගේම තමයි මේ සියල්ල හදන්නෙ, ගෙවීම් කරන්නෙ රජයේ වියදමින්. එක පැත්තකින් ඒක අනවශ්‍ය වියදමක් රජයට. රටක සේවාවක් කවුරු කළත් ඒ පුද්ගලයන්ගේ නමින් නෙවේ ඒ සේවාව යන්න ඕන. කවුරු යමක් කළත් තමන්ගේ පෞද්ගලික වියදමින් කරන දෙයක් නෙවේ. රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදලින් තමා කරන්නෙ. ඒ නිසා තාවකාලික ජනප්‍රියත්වයක් තකාගෙන ඡායාරූප එල්ලීම, නාම පුවරුවල නම් දැමීම, විවෘත කිරීම්වලදී නම් තැබීම මේවා සියල්ල තුළ අපි දකින්නේ තාවකාලික පරමාර්ථයන්. ඒ නිසා ජනාධිපතිතුමා ගත්තු ඒ තීරණය මම අතිශයින් අගය කරනවා. එතුමාගේ ඡායාරූප දාන්න එපා කියන්නේ අනිවාර්යයෙන් අනිත් ඡායාරූපත් දාන්න බෑ කියන එක. ඒවත් අනිවාර්යයෙන් අයින් කරන්න වෙනවා.

මං හිතන්නෙ අනාගතයේදී හරි පාලකයන්ට තේරෙයි මිනිස්සුන්ගේ හදවතේ ඡායාරූප එල්ලීම මිසක් බිත්තිවල ඡායාරූප එල්ලීම නෙවේ කළ යුත්තේ කියන එක. අවංකව වැඩ කරන නායකයකුගෙ ඡායාරූපය මිනිස්සුන්ගේ හදවතේ ඇඳෙනවා. ඒ නිසා මං හිතන්නෙ මෙය ඉතා අගනා වටිනා අදහසක්. මේ අදහස තවත් ව්‍යාප්ත කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා.

රටේ පොදු බවක් ඇති වෙනවා

මහාචාර්ය කුසුමා කරුණාරත්න

මට හිතෙන්නෙ ඒ ක්‍රියාව හොඳයි කියලයි. ඒකට හේතුව තමා එමඟින් 'රටට පොදු බවක්' කියන එක පේන්න තියෙනවා. ඒ වගේම සමාජයට පොදු බවක් එක්කරලා තියෙනවා. කවුරු හරි ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වනවා නම් මගේ අදහස තමයි කෙනකුගේ පින්තූරය නොපෙනුණාට ඒ ඒ ආයතනයට අදාළ වගකිවයුතු පුද්ගලයා කවුද යන වග සමාජය දන්නවා සහ දැනගැනීමට හැකියාවක් තියෙනවා කියන එක. ඒ නිසා අකටයුතුකම් කිරීමේ හැකියාවක් තියෙන බවක් මට පේන්නෙ නැහැ සහ මම ඒතරම් දුර ඒ පිළිබඳ හිතන්නෙ නෑ. පොදු බවක් ලැබීම තමයි වැදගත් වෙලා තියෙන්නෙ.

[සසංකා විතානගේ]

News Order: 
-1
මාතෘකා