දරුණු රිය අනතුරක මතක

 ඡායාරූපය:

දරුණු රිය අනතුරක මතක

1982 ජුනි මාසයේ මිරැන්ඩා හේමලතා දරුණු රිය අනතුරකට ලක් වූවා. එවකට අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටා තිබුණේ මැලේ වීදියේය. එහි අධ්‍යක්ෂිකා කමලා පීරිස් නිසි වයසට කලින් (අවුරුදු 53දී) විශ්‍රාම යෑමට තීරණය කර තිබුණේ අවංකව වැඩකරන අයට සිදුවූ කෙනහිලිකම් හා කැපිලි කෙටිලි හේතුවෙනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාථමික අංශය යනු ඉතා සියුම්ව තීක්ෂණ බුද්ධියෙන් ගොඩනැඟිය යුතු අංශයකි. පාසලට ඇතුළු වන දරුවා අධ්‍යාපනයට ලොල් වඩන තත්ත්වයට පත්කළ යුත්තේ එහිදීය. එහෙයින් මාපිය ඇසුර ලෙස පාසල් ගුරුවරයා හෝ ගුරුවරිය පත්කරන ආකාරයෙන් ගෙදර හා පාසල තැන් දෙකක් කර ඈත් කරලීම තුරන් කරමින් අධ්‍යාපන ක්‍රමයට ළමයා යොමු කළ යුතුය. කමලා පීරිස් ප්‍රාථමික අංශය බාරව සිටි අධ්‍යක්ෂිකාව ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට කර ඇති සේවාවන් බොහොමයකි. ඒ වෙනුවෙන් ඇය විශ්‍රාම යන දිනයේ ඇගයීමක් කිරීමට මිරැන්ඩා හේමලතා කටයුතු සංවිධානය කළාය. එය කමලා පීරිස් වෙනුවෙන් කරනු ලබන උත්තම උපහාරයක් ලෙස මිරැන්ඩා සිතුවාය. කලක් මිරැන්ඩා ශිෂ්‍යත්වයකට ඉන්දියාවේ ගොස් ලබාගත් උසස් අධ්‍යාපනයේ දැනුම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් යෙදවීමට හැකිවූයේද කමලා පීරිස් හා වැඩ කරන අවදියේය.

මිරැන්ඩා අතින් ළමා ගී ලියවුණු යුගය වූයේද එම කාලයයි. එහෙයින් මිරැන්ඩා තුළ කමලා පීරිස් පිළිබඳව තිබුණේ තදබල භක්තියකි. මිරැන්ඩා සංවිධානය කළ උපහාර උත්සවය වෙනුවෙන් ගුරු උපදේශකවරුන් මුණ ගැසීමට පාසලක් ගානේ යන්නට සිදු වූයේ ඇයට තනිවමය. බත්තරමුල්ල ප්‍රාථමික පාසලක ගුරුවරියන් මුණගැසී බසයක් එනතුරු ගේට්ටුව අසල සිටීමට ඇයට සිදුවිය. එහිදී එක් පසෙකින් බසයක්ද ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ටිපර් රථයක්ද පැමිණෙන්නට විය. ටිපර් රථය බසය පැත්තට පැමිණෙමින් තිබිණි. එය එකවරම ඇයගේ දෙසට කැපුණේය. ඇය දන්නේ එපමණකි. ඊළඟ මොහොතේ ඇය සිහිසුන්ව ඇත. පසුව ඇයට සිහිය එන විට ඇය සිටියේ රෝහලකය. මිරැන්ඩාගේ පළමු රිය අනතුර එය විය. ඇගේ මුහුණේ පිටතට පෙනෙන තුවාල නොතිබුණද දත් බාගෙට ගැළවී විශාල අනතුරක් ඇයට සිදුව තිබිණි. මිරැන්ඩා අධ්‍යාපන ක්ෂේත්‍රයට පැමිණ ගුරුවරියක ලෙස සේවය කළ කෙටි කාලයේදී නෙළාගත් ඵල අතර ඇගේ ගෝල වෛද්‍යවරුන්ගේ සිට රෝහලේ සුළු සේවකයන් දක්වා බිහිව තිබුණේ බොරැල්ල වනාතමුල්ල සීවලී පාසල වෙතිනි. ඔවුන්ගේ සහාය හා ඇප උපස්ථාන හේතුවෙන් මිරැන්ඩාට ඉක්මනින් සුව වී රෝහලෙන් පිටවීමට හැකිවිය.

මිරැන්ඩා හේමලතා විසින් යෝජනා කළ නර්තන තරග හේතුවෙන් ඇයට ලැබුණේ මල්වලට වැඩියෙන් ගල්ය. ඒ වඩාත් සද්භාවයෙන් සුදුස්සාට සුදුසු තැන දීමට ගත් වෑයම හේතුවෙනි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සේවයේ නිලධාරීන් සඳහා නියමිත කාර්යක්ෂමතා කඩඉමට අයත් විෂයන් සමත් වී ඇති බව මිරැන්ඩාට 1983 ඔක්තෝබර් 25 වැනි දින දන්වා එවා තිබිණි.

අධ්‍යාපන නීතිය, පරිපාලනය හා අධීක්ෂණය 1982 අප්‍රේල් 25 වැනි දින සමත් වී ඇති බවත් ශ්‍රී ලංකා ජන රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධාන හා ආණ්ඩුවේ රෙගුලාසිය යන කොටස 1982 අප්‍රේල් 24 වැනි දින සමත් වී ඇති බවත් ගිණුම් පිළිබඳ විභාගය ඇතුළු සියලු අංශයන් 1983 පෙබරවාරි 24 දින සමත් වී ඇති බවත් එහි සඳහන්ව තිබිණි. එය ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ නිලධාරීන් සඳහා නියමිත කාර්යක්ෂමතා සමත්වීමකි. මිරැන්ඩාට මේ සියලු කටයුතු වෙනුවෙන් තම සැමියාගෙන් ලැබුණේ ඉමහත් නිදහසක් සහ දිරිගැන්වීමකි.

මේ සියලු රාජකාරි අතරට 1966 වසරේ සිට 1986 වසර තෙක් ජාතික නිදහස් දින උත්සව සඳහා පාසල් ළමුන් සංවිධානය කළ ප්‍රධාන සංවිධායකත්වයද පැවරී තිබුණේ මිරැන්ඩාටය. 1984දී වූ අපූරු සිදුවීමක් මිරැන්ඩා මෙනෙහි කරන්නේ මෙසේය,

පූර්ණ සේවා පුහුණුව ගත් ගුරුවරුන් 300ක් නැටවීමට ඇමතිවරයා මිරැන්ඩාට නියෝග කර තිබිණි. එම ගුරුවරු නර්තන ගුරුවරු නොවෙති. ඔවුන් කිසිදා නිර්මාණ සඳහා සහභාගි වී නොතිබිණි. එම ගුරුවරු කිසිසේත් ප්‍රසිද්ධ නර්තනයේ යෙදීමටද අකමැතිය. මිරැන්ඩා ඔවුන් නැටවීමට අකමැතිය.

“මාත් ඒකට විරුද්ධ වුණා. දැන් ඇමතිතුමා මට යෝජනා කරනවා ගුරුවරු නිදහස් දින උත්සවයේ නටවන්න කියලා. මං එකපාරට විරුද්ධ වෙලා කිව්වා; ‘නෑ, ඇමතිතුමා ගුරුවරු පාරේ ඔය වාගේ ප්‍රොජෙක්ට් එකක නැටුවම ඒක දකින ළමයි ඊට පස්සේ ළමයි ගුරුවරයාට යාළුවකුට වගේ සලකන්න පෙලඹෙනවා’ කියලා. මාව අස්කළෙත් නෑ, කට වැඩියි කියලා එලෙව්වෙත් නෑ. ආ එහෙමනම් මට විකල්පයක් කියන්න කියලා කිව්වා. අභ්‍යාසලාභීන් ගුරු පත්වීම් ලබලා නෑනෙ. ඒගොල්ලො ගමු කිව්වා. මං පාන්දර 4ට පටන් ගත්තම රෑ 12ට තමයි ආයෙමත් කොළඹට එන්නේ එයාලව පුහුණු කරලා. මගේ වැඩේ ලංකාව පුරාම අභ්‍යසලාභී පාඨමාලා මධ්‍යස්ථානවලට ගිහිල්ලා කොටස් වශයෙන් අරන් අපිට ඕන නැටුම් පුහුණු කළා.” මිරැන්ඩා තම මතකය අවදි කළේ එලෙසය.

මෙම උත්සව හා ඕනෑම සංවිධාන කටයුත්තකදී සිදුවන යටිපෙළ ක්‍රියාවලියක් පවතී. එනම් ගසා කෑමට හුරුපුරුදු නිලධාරීන් පිරිසකගේ ගසා කෑමය. මේ එවැනි නිදසුනකි. මිරැන්ඩාට වුවමනා වූයේ ඉදිරිපත් කිරීම ඉතා ලස්සනට කිරීමටය. එහෙත් ඉහළම නිලධාරියකුට වුවමනා වී තිබුණේ වෙනත් ඇඳුම් වගයක් කුලියට ගෙන විශාල ලාභයක් ලැබීමටය. ඇය ඊට තදින් විරුද්ධ වී කටයුතු කළාය. ඇය සියල්ල නීත්‍යනුකූලව ඇමතිවරයා ලවා අත්සන් කරගෙන තිබිණි.

“මම කොයි එකටත් ඇමතිතුමා ලවා සියලු නිර්දේශ අත්සන් කරගත්තා. මං කිව්වා, ‘ඇයි ඔබතුමා ඒක ඊයේ අනුමත කළානෙ’ කියලා. දැන් අර කට්ටියගේ මුහුණ දෙක වුණා. හොයලා බැලුවම කාරණාව අර හදපු ඇඳුම් තියෙනවා. අර සල්ලි ටික මහනුවරට යවලා මේ සල්ලි ටික ගරාගැනීමේ ව්‍යාපාරයක් තිබිලා තියෙන්නේ. ඒකෙදි තමයි මම දැනගත්තේ පළමුවතාවට උසස් ලොකු නිලධාරීන් ඉන්නවා මහා පරිමාණ වංචාවන් කරන්න සූදානමින්. මං හිතුවේ පොඩි අය විතරයි මේ රජයේ සල්ලි ගරාගන්නේ කියලා. මට එදා හිතාගන්න බැරිවුණා. දැන් මේකට හරහට මේ නිලධාරියා මොකද දන්නවද කළේ? සති 3-4ක් විතර රෑ දවල් දෙකම වැඩ කරලා මට සතයක්වත් ගෙවන්න බැහැ කිව්වා. ගෙවන්න බෑ කීවාම එතකොට උපදේශකට හිටි ඩී. ඒ. පෙරේරාටත් ප්‍රශ්නයක් තිබුණා. එයාටත් උගන්වපු ගුරුවරයෙක් තමයි මේ. එයා තමයි මේකෙ ප්‍රධානියා. එයා යටතේ තමයි මේ නිලධාරියා හිටියෙ. ඒත් මෙයා එයාට උගන්නලා ගුරුවරයකු ලෙස සම්බන්ධයක් තිබුණා. කොහොම හරි ඩී. ඒ. පෙරේරාට පොඩි අපහසුතාවක් තිබුණා මේකට කථා කරන්න. එයා කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රසිද්ධ පාලක මණ්ඩලයට ලියලා මට සාමාන්‍ය ගාණක් දුන්නු එක.” මිරැන්ඩාට සිදුවූ කෙනහිලිකම් පිළිබඳ ඇය එකදිගට කියයි.

එවැනි සිදුවීම් කිසිවක් මිරැන්ඩා හේමලතා තම සැමියා වන මුදියන්සේට හැඟෙව්වේ නැත. එහෙත් ඔහු ඇගේ එවැනි සිදුවීම් ඉවෙන් මෙන් දැනගත් විට ඇයව සැනසීය. මුහුණේ සුළු වෙනස්කම්ද සියුම්ව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඔහුට තිබිණි. ඒ ඔහු නීතිඥයකු බැවිනි. එහෙයින් නීතිඥයන්, වාමාංශික දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු ධනවත් සමාජය සමඟ ඉතා කුලුපග ඇසුරක් මිරැන්ඩාගේ සැමියාට තිබිණි. මුදියන්සේ ගම්මුන් හා ගනුදෙනු කිරීමේදී මිරැන්ඩා සමඟ පෙනී සිටියද නීතිඥයන් හා ධනවත් සමාජය සමඟ ගනුදෙනුවේදී මිරැන්ඩා ඔවුන් අතර නොසිටියාය. ඔවුහු කලාව, නර්තනය, සෞන්දර්යාත්මක අධ්‍යාපනය ගැන පමණක් නොව මිරැන්ඩා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විධායක නිලධාරියකු ලෙසවත් නොදැන සිටියහ. ඇය රත්නපුරයට ගිය විට ඔහුගේ කීකරු බිරියගේ චරිතයට පණ පෙවූ අතර පවුලේ අයට පක්‍ෂපාතී ඥාතිවරියකද වූවාය.

මිරැන්ඩා කොළඹ සිට රත්නපුරයට බසයෙන් එන ගමනේ වෙහෙස මුදියන්සේට දැනීම ඇය ලැබූ භාග්‍යයකි. ඇයට නැවත රාත්‍රී කෑම පිළියෙල කිරීමට මහන්සි වීමට ඔහු ඉඩ නොදුන්නේය.

එවිට රාත්‍රී කෑමට පිටට යෑමට හෝ ඔහුගේ නැඟණියගේ නිවසට යෑමට ඇයට ආරාධනා ලැබේ. මිරැන්ඩාගේ රාජකාරි කටයුතුවලදී ඇගෙන් පළිගැනීම අරබයා නිර්ණාමික අවලාද, අපහාසාත්මක ලිපි තැපෑල හරහා එවීම එකල සුලබ දෙයක් බවට පත්ව තිබිණි. මුදියන්සේ එම කිසිවක් මායිම් කිරීමටවත් ඇය සමඟ කතාකිරීමටවත් නොගොස් ඉවත දැමීය. එමෙන්ම දෙදෙනා අවිවාහකව හමු වූ අවසන් දිනයේද දෙදෙනාටම ලිපි දෙකක් දෙහිවල තැපැල් මුද්‍රාව සහිතව ලැබී තිබිණි. දෙදෙනාට එවන ලද ලිපි දෙකේ දෙදෙනාට විරුද්ධව එක් අයකු ලියූ ස්වභාවයක් තිබී ඇත. දෙදෙනාම එකම මතයක සිටි හෙයින් දෙදෙනාටම මෙම ලිපි දෙක ගැන කතා කිරීමට පවා මාතෘකාවක් නොවී ඉවත දැමිණ. වසර තුනකට පමණ පසු එවැනි මාතෘකාවක් කතා කිරීමේදී දෙදෙනාටම මේ ගැන මතක් වී කතා කෙරිණි.

“මට ලියල එවලා තිබුණේ ලතා ඔයා බඳින්න එපා කියලා”

“මටත් එහෙමනේ, දෙහිවලින් සීල් එක ගහලා තිබුණේ‘’

“හරි, හරි මටත් ලැබිච්ච එකෙත් සීල් එක තිබුණේ දෙහිවල”

ඔහු ඇය ඇමතුවේ ලතා ලෙසය. ඇය ඔහු ගැන කතා කරන්නේ ඉමහත් භක්තියෙනි.

මතු සම්බන්ධයි

[අනුර දහනායක]

News Order: 
3
මාතෘකා