උරග කුලේ ලස්සනම සාමාජිකයෝ

 ඡායාරූපය:

උරග කුලේ ලස්සනම සාමාජිකයෝ

රතු කොළේ උඩදි රතු පාටයි,

කොළ කොළේ උඩදි කොළ පාටයි

ඔහු ශ්‍රී ලංකාවේ සිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

කටුස්සන් ගැන මා හට ඇත්තේ බිය මුසු අත්දැකීම්ය. ගෙවත්තේ ඇවිදමින් ගඩාගෙඩි අහුලමින් ගෙවූ ළමා කාලයෙහි කටුස්සා යනු සතුරෙකි. පාට වෙනස් කරන ඒ සතා ගැන අහද්දී අම්මා කිව් දේ තේරෙන්නේ දැන්ය. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ සතුන් මුදාගැනීමේ මෙහෙයුමට මා ගියේ මාස කිහිපයකට පෙරය. එය මට පැය පහක පමණ බෝට්ටු සවාරියකි. මුදාගත් කටුස්සන් කිහිපවිටක් ඇඟට පැන්නා මතකය. ඒ සමානවම බෝට්ටුවද පෙරළෙන්නට ගියේ මා ඉන් මිදීමට තැත් කළ නිසාය. ඔව්, ඔබ සිතන දේ නිවැරදිය. අද කතාබහ කටුස්සන් ගැනය.

“සර්පයා, හූනා, සිකනලා, කිඹුලා, ඉදිබුවා, කබරගොයා, තලගොයා වගේම කටුස්සත් උරගයෙක්. ලස්සනම උරග ජාතිය තමයි මෙයාලා.”

මේ ලෝකයේ කිසි කෙනෙකු කැමති නැති හූනෝත් ලස්සනට පේන ඇන්ස්ලම් මහතාට කටුස්සන් ලස්සනට පෙනීම අරුමයක් නොවේ. මට එසේ සිතුණේ මා කටුස්සන්ගේ ලස්සනක් මින් පෙර දැක නොතිබුණු නිසාය. එය දැකීමට නම් උනන්දුවෙන් බැලිය යුතුය. එහෙත් එවැනි මතකයක්ද මට නොවේ. ඔහු මට සිය ඡායාරූප එකතුව පෙන්වූ විට කටුස්සන් ගැන මගේ අදහස වෙනස් විය. සැබැවින්ම කටුස්සා බොහෝ සුන්දර සත්ත්වයෙකි. කවුරුන් හෝ ඒ කටුසු විශේෂ අතරින් සුන්දරම කවුදැයි ඇසුවහොත් මා කියන්නේ ඒ කඳුකර බෝදිලියා (Chamaeleo Zeylanicus) බවයි.

“මෙයා හරි ලස්සන සතෙක්. කඳුකර බෝදිලියගේ ඇස් රෝදයක් වගේ. ඒවා කරකවන්න පුළුවන් ඕනම පැත්තකට. ඒ වගේමයි එයාලට තියෙනවා දිග වල්ගයක්. ඒ වල්ගෙන් එල්ලෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ වගේ අත් කකුල්වලින් අල්ල අල්ල තමයි තැනින් තැනට යන්නේ. සමහර පැතිවල මිනිස්සු මෙයාට කියන්නේ ‘සොඳුර’ කියලා. බෝදිලියා ගැන ජනප්‍රවාද තියනවනේ කොහොමත්. මිනිස්සු බයයි මේ සතාට. බෝදිලියට උගේ ළඟ ඉඳලා අඟල් 06ක් විතර ඈතින් ඉන්න ගොදුරක් පවා දිවෙන් අරගන්න පුළුවන්. ඒ දිව ඇලෙනසුලුයි. මෙයා ලංකාවට ආවේණික සතෙක්. ඌට පුළුවන් ඉතාම ලස්සනට වර්ණය වෙනස් කරන්න. රතුපාට කොළයක් උඩ මෙයා හිටියොත් ඌ රතු වෙනවා. කොළපාට කොළයක් උඩට ගියොත් ඌ කොළපාට වෙනවා. ඒ වගේම එයාලා නිශ්චලයි. හොයාගන්න හරි අමාරුයි. ඉන්නවා පේන්නේ නැහැ. රෑට මෙයාලා නිදාගෙන ඉද්දි තමයි හොයාගන්න ලේසිම. ටෝච් එකක් ගහලා බැලුවොත් කහපාට කුට්ටියක් වගේ පේන්න තියෙනවා. මේ තරම් ලස්සනට පාට වෙනස් කරන්න පුළුවන් තව කටුසු විශේෂයක් ගැන මම දන්නේ නැහැ. ගස් උඩ වැඩිපුර ඉන්නේ මෙයාලා. ඒත් බිත්තර දාද්දි ගෑනු සතා පහළට ඇවිත් වළක් හාරලා බිත්තර දානවා.”

බාබුටද බෝදිලියන් පිළිබඳ ඇත්තේ ළඟ සම්බන්ධයකි. ඔහු නොකා නොබී නැති වූ බෝදිලියකු සෙවූ බව ඇන්ස්ලම් මහතා මා සමඟ පැවසුවේ සිනාසෙමිනි. ඔහුගේ ගෙවත්තෙහි සිටින්නේ ගැටහොඹු හෙවත් කරමල් බෝදිලියාය (Lyriocephalus scutatus / Lyrehead Lizard).

“මෙයාලා ලංකාවට ආවේණික වටින සත්තු. මෙයාලට කියන්නේ ජීවත්වෙන ෆොසිල කියලා. ඒත් ඒක බාබු දැනගෙන නෙවෙයි මේ කිසි දෙයක් කරන්නේ. එයා පුදුම විදියට මේ සත්තු රකිනවා. සාමාන්‍යයෙන් මෙයාලා හැංගිලා ඉන්නේ. ඒත් බාබු යද්දි එළියට එනවා. මොකද බාබු පණුවෝ ඉන්න තැන් හොයලා දෙනවා මෙයාලට කන්න. ඒ විතරක් නෙවෙයි එහෙම යදිදි බාබු රතුපාට ෂර්ට් එකක් ඇඳගෙන යන්නේ. කටුස්සන්ට පාටවල් ගැන හොඳ ඉවක් තියෙනවා. ඒ ෂර්ට් එක ඇඳගෙන යද්දි කොහේ හැංගිලා හිටියත් එළියට එනවලු. රික් ෂයින් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රමුඛතම සත්ත්ව විශේෂඥයා. ඔහු අපේ ගෙදර ඇවිත් දවස් ගාණක් නතරවෙලා හිටියා. ඔහුටත් පුදුමයි බාබුගෙයි බෝදිලියගෙයි සම්බන්ධය දැකලා. හැබැයි දවසක් මේ බෝදිලියා එළියට ඇවිත් නැහැ. බාබු නොකා නොබී ඌව හෙව්වා. පුදුම දුකකින් හිටියේ. මොකද මෙයාලට සතුරෝ ඉන්නවා. ඒත් ගිය සතියේ කරමල් බෝදිලියෝ පස්දෙනෙක් අපේ වත්තේ ඉඳලා බාබුට අහුවෙලා. එතනින් එක්කෙනෙක්ට පැටව් ලැබෙන්න ඉන්නවා.

“මිනිස්සු වැඩිපුරම ෆොටෝ අරන් ඇත්තේ මේ කරමල් බෝදිලියගේ වෙන්න ඇති. එයාට තරහා ගියාම බෙල්ල පුම්බනවා. තාලියක් වගේ වෙනවා බෙල්ල. හරි ඉක්මනට වර්ණය වෙනස් කරන්න ගැටහොඹු කටුස්සා හෙවත් බෝදිලියට පුළුවන්. එයාලගේ පිටුපස්සේ අං දෙකක් තියෙනවා. බඩ අමුතු නිල් පාටයි. මෙයාලා හොරාට විකුණනවා. ලක්ෂයක් වගේ වෙනවා ජෝඩුවක්. පිරිමි සතා ගෑනු සතාට වඩා ලස්සනයි.”

ඇන්ස්ලම් මහතාගේ වයස අවුරුදු අසූවකට ළඟය. එහෙත් ඔහු කරන්නේ තවමත් තරුණ වැඩය. එක කටුස්සකුගේ රූපයක් පෙන්වමින් ඔහු විසිල් කළේ මා පුදුමයටත් සිනහවටත් පත් කරමින්ය.

“ඇයි ඩොක්ටර්?”

“එයා සද්ද කරන හැටි මම පෙන්නුවේ.”

“කවුද මේ කටුස්සා?”

“මෙයාට කියන්නේ සිවුරුහඬලන කටුස්සා (Whistling Lizard / Calotes liolepis) කියලා. අපි එයාව අල්ලද්දි එයා විසිල් කරනවා. බයවුණාම තමයි ඒ ශබ්දය එන්නේ. ලංකාවට ආවේණිකයි. එයාලා වැඩිපුර හමුවෙන්නේ තෙත් කලාපයේ. මෙයාලා අනිත් කටුස්සෝ වගේ නෙවෙයි; උස ගස්වලට යනවා කඳ දිගේ. මෙච්චර උසකට යන කටුස්සෙක් මට හමුවුණාමයි. මෙයාලා සාමාන්‍යයෙන් කූඹි, මල්පෙති වගේ දේවල් කන්නේ.”

තවත් බොහෝ කටුස්සෝ වෙති. කගමුව අං කටුස්සා (Rhino Horn Lizard / Ceratophora stoddartii) ජීවත්වන්නේ මධ්‍යම කඳුකරයේය. මීටර් 1,500 සිට මීටර් 2,300 වනතුරු මොවුහු ජීවත්වෙති. දිවාචර මේ කටුස්සන් බහුලව දැකගත හැක්කේ හෝර්ටන් තැන්නේය. බොහොම තැන්පත් මේ කටුස්සන් අපි උන් ළඟට සමීප වුවද අනෙත් පස බලාගන්නවා විනා පැන දුවන්නේ නැත. කුඩා කෘමීන් ආහාරයට ගනියි. බිත්තර පහක් පමණ එක් වරකට දමයි. පළා කටුස්සා (Green Garden Lizard / Calotes calotes) තනිකර කොළ පැහැති ශරීරයක් හිමි වුවත් පිරිමි සතා අව්ව තපිද්දී උගේ ශරීරය රතු පැහැ ගැන්වේ. ගස්වලින් සකස්කරන ලද වැටවල් සහ දියපහරවල් අයිනෙහි ඇති ගස්වල පළා කටුස්සා වැඩි වශයෙන් දැකගත හැකිය. පෙති අං කටුස්සා (Leaf – nose Lizard / Ceratophora tennentii) දුම්බර කඳුකරයේ නකල්ස්වල ජීවත්වන ලංකාවට ආවේණික සත්ත්වයෙකි. රළු අං කටුස්සා (Rough – horn Lizard / Ceratophora aspera) ඉතා කුඩා කටුසු විශේෂයකි. රාත්‍රියේදී නිදාගැනීම සඳහා ගස් උඩට යන මොවුහු වනාන්තරවල දිරාපත්වන කොළ රොඩුවල ජීවත්වෙති. කුඩා කෘමීන් ආහාරයට ගනියි. බිත්තර දමන්නේ එක් වරකට දෙකක් වැනි ප්‍රමාණයකි.

“ඔයා දන්නවද දරුවෝ හැම කටුස්සෙක්ම බිත්තර දාද්දි කඳුකර කුරු කටුස්සා (Pigmy Lizard / Cophotis ceylanica) විතරක් පැටව් බිහිකරනවා. බිත්තර බඩ ඇතුළෙම මෝරලා පැටියා තමයි ලැබෙන්නේ. ලංකාවේ පැටව් බිහිකරන එකම කටුස්සා මෙයා. හොර්ටන් තැන්නේ මම ගවේෂණයක් කරද්දි මට මැරුණු කඳුකර කුරු කටුස්සෙක් හමුවුණා. එයා මැරිලා තියෙන්නේ හැකරැල්ලෙක් ඇටෑක් කරලා. එයාගේ බඩේ පැටව් පහක් හිටියා. කඳුකර වැසි වනාන්තරවල මීටර් 1,500ත් 2,200ත් අතර තමයි මේ සතුන් ජීවත් වෙන්නේ.”

හැකරැල්ලන් කටුස්සන්ට ඇටෑක් කරන බව මා අසා තිබුණේ නැත. ඇටිකුකුලන්, රිලවුන් හා කුරුලුගොයා වැනි සතුන් මෙන්ම හැකරැල්ලන්ද කටුස්සන්ගේ හතුරන්ය. දුවද්දී කැන්ගරුවන්ගේ මෙන් දෙපා පිහිටන කටුසු විශේෂයක් පිළිබඳවද ඇන්ස්ලම් මහතා පැවසුවේය. ඌ රතු ලප තාලි කටුස්සා හෙවත් යක් කටුස්සාය (Sri Lanka Kangaroo Lizard / Otocryptis weigmani). බොහෝ විට මේ කටුස්සා ජීවත්වෙන්නේ බිමය. ගෙවල් ආශ්‍රිත ලඳු කැලෑවල බොහෝවිට මේ කටුස්සෝ ජීවත්වෙති.

මේ සතුන් බොහෝ දෙනා ලංකාවට ආවේණිකය. එහෙත් සත්ත්ව ජාවාරම සහ ස්වාභාවික කාරණා හේතුවෙන් මේ සතුන් වඳවීමේ තර්ජනයට ලක්ව තිබේ. CITES සමුළුව හරහා එවන් උරගයන් සංරක්ෂණයට මාර්ගය පෑදේ. ඔවුන් ඇපෙන්ඩික්ස් 1 නම් කාණ්ඩයට උසස් කළ විට කිසිම සත්ත්වයෙක් පිටරටදී විකිණීමට නොහැකි බව ඇන්ස්ලම් මහතා පැවසුවේය. ඔහු ලංකාවෙහි උරගයන් කිහිපදෙනෙක්ම එම කාණ්ඩයට ඇතුළු කිරීමට සමත් වී තිබේ. ඒ අනුව අං කටුස්සන් වර්ග දෙකක්, කුරු බෝදිලියන් වර්ග දෙකක් සහ පෙති අං කටුස්සා විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

“උරගයෝ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැහැ... ඊළඟ සතියට තව කතා කරමු. අපි හොඳින් හිටියොත්....”

ඔහුගේ සමහර කතා මට තේරෙන්නේ සති කිහිපයක් ගත වූ පසුය. ලබන සතියේ හමුවෙමු.

ඡායා [පණ්ඩුක ද සිල්වා /ඇන්සලම් ද සිල්වා]

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා