Online වෛද්‍ය උපදෙස් නොමිලේම

 ඡායාරූපය:

Online වෛද්‍ය උපදෙස් නොමිලේම

නිරෝගී සුව තරම් සැපතක් තවත් නැතැයි සිතෙන්නේ ලෙඩක් දුකක් වී ගිලන් යහනකට වැටුණු විටදීය. ඇතැම් විට වෛද්‍යවරයකුට පවා කිව නොහැකි සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින්නෝද අප අතර විරල නොවෙති. එවැනි අවස්ථාවක "හිතවත් වෛද්‍යවරයකුවත් සිටියා නම්" කියා නොසිතෙනවාද නොවේ. මන්ද වෛද්‍යවරයකු සහ රෝගියකු අතර විශ්වසනීය සබඳතාවක් තිබීම අත්‍යවශ්‍ය වන නිසාය. ඉතින් ඔබත් මෙවැනි ගැටලුවලට මුහුණ දුන් අයකු නම් ඒ සඳහා කදිම විසඳුමක් ඔබ බොහෝ දෙනකු නිතර පරිහරණය කරන මුහුණුපොත තුළින් ලබාගත හැකිවේ නම් එය සතුටට කරුණක් වනු ඇත.

මුහුණුපොතේ Dr.Lahiru Praboda by MAFO යනු ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාදෙන පිටුවකි. ඒ තුළින් වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ 'රැස' පුවත්පතේ සෞඛ්‍ය පිටුව තුළින් සෞඛ්‍ය ලිපි ඔස්සේ ඔබට සමීප වී සිටින වෛද්‍ය කේ. කේ. ජී. ලහිරු ප්‍රබෝධය. යොවුන් වෛද්‍යවරයකු වන ඔහු කලක් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ගී තරු තරගයකින්ද ඔබ හමුවට පැමිණි දක්ෂ ගායකයෙකි. නව සොයාගැනීම්, පර්යේෂණවලට දැඩි ඇල්මක් දක්වන ඔහු සංගීත චිකිත්සාවෙන් රෝග සුව කිරීම පිළිබඳ වැඩිදුර හදාරමින් සිටී. මේ වන විට දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන වෛද්‍ය ලහිරු ප්‍රබෝධ 'රැස' ඇතුළු පුවත්පත් කිහිපයකටම වෛද්‍ය ලිපි සපයයි. සිය දැනුම සහ කුසලතා තුළින් සුවැති ලොවක් තනන්නට සිය දායකත්වය නොමසුරුව ලබාදෙන යොවුන් ඉසිවරයා සමඟ 'රැස' කළ පිළිසඳරකි මෙය.

මේ වැඩසටහන ගැන හැඳින්වීමක් කරනවා නම්?

ඇත්තෙන්ම මෙය අලුත් සංකල්පයක්. ඕනෑම කෙනකුට තිබෙන ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් මගේ මුහුණුපොතට, ඒ කියන්නේ Dr.Lahiru Praboda by MAFO පිටුවට යොමු කිරීමෙන් ඒ සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්. මා විසින් එම පිළිතුරු ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම එහිදී වෛද්‍ය උපදෙස්, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය යොමුකිරීම්, රෝග පිළිබඳ දැනුවත් කිරීම්, සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය උපදෙස් වගේම රෝග කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආදිය පිළිබඳ උපදෙස්ද ලබාදෙනවා.

එවැනි අලුත් කාර්යයක් ආරම්භ කිරීමේ අදහසක් ඔබේ සිතේ ඉපදුණේ කොහොමද?

වර්තමාන සමාජයේ බොහෝ දෙනකු නිරන්තරයෙන්ම මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය පරිහරණය කරනවා. ඉතින් මට හිතුණා මුහුණුපොත තුළින් මිනිසුන්ට තිබෙන සෞඛ්‍ය ගැටලුවලට නිවැරදි පිළිතුරු ලබාදිය හැකි ක්‍රමයක් හැදුවොත් හොඳයි කියලා. පසුව මම තීරණය කළා ගායන තරු වැඩසටහනට සහභාගි වන කාලයේ මම ආරම්භ කළ fan page එක Medical Advices Forum Online(MAFO) ලෙස නම් කරලා මේ සේවාව පටන්ගත යුතුයි කියා.

මගේ ඒ fan page එකේ ඒ වන විට මිතුරු මිතුරියන් 4200ක් පමණ හිටියා. පෝස්ට් එකක් තුළින් මේ අලුත් කාර්ය ගැන ඔවුන් දැනුවත් කරලා පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මම එය ආරම්භ කරන්න කටයුතු කළා. ඒ අනුව 28 වැනිදා උදෑසන වන විට දසදහසකට ආසන්න සංඛ්‍යාවක් මගේ පේජ් එක සමඟ එකතු වුණා. 29 වැනිදා වන විට එය හතළිස්දහසක් වුණා. එදා පළමු දවසේ හවස් වන විට මගේ inbox එකට වෛද්‍ය ගැටලු 2000ක් පමණ ලැබී තිබුණා. ඒ සියලුම අයට මම පිළිතුරු ලබාදුන්නා.

මේ වන විට මෙම සේවාව සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒ පිළිබඳ විශාල සතුටක් තිබෙනවා. දිනපතාම මගේ පේජ් එකට ඉතා විශාල සංඛ්‍යාවක් එකතු වෙනවා. ඔවුන්ගේ වෛද්‍ය ගැටලු මා වෙත යොමු කරනවා. ඒ වගේම මේ සේවාව පිළිබඳ සුබ පතනවා. ඒවායින් මේ කාර්ය ඉදිරියට කරගෙන යෑමට මට විශාල ධෛර්යයක්, ශක්තියක් ලැබෙනවා.

ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් මොනවාද?

ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළිතුරු ලබාදෙනවා වගේම පොදුවේ ජනතාවගේ සෞඛ්‍ය දැනුම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මේ සේවාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළා. ඒ කියන්නේ ඔවුන් මට යොමුකරන ගැටලු අතර තිබෙන පොදු ගැටලු තෝරාගෙන Youtube වීඩියෝ චැනල් එකක් ඔස්සේ ඒවා පිළිබඳ ඉතාම සරලව සහ කෙටියෙන් නිවැරදි දැනුම ලබාදීම සිදුකරනවා. එය නම් කර තිබෙන්නේ The Clinic by MAFO යනුවෙන්. එයටත් මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම මුහුණුපොත තුළින් වෛද්‍ය උපදෙස් ලබාදීමේ මෙම සේවාව ආරම්භ කර පසුගිය ඔක්තෝබර් මස 28 වැනි දිනට මාසයක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් තවත් අලුත් කාර්යයක් ආරම්භ කළා. එය සිදුවන්නේ POD by MAFO නැතහොත් Platform of Organ Donation නම් facebook පේජ් එක ඔස්සේයි. ඒ තුළින් මම බලාපොරොත්තු වන්නේ ජීවත්ව සිටියදී සහ මියගිය පසු තම ශරීර අවයම පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් සහ දැනට අවයව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් එකම ස්ථානයකදී මුණගැස්වීමයි. Platform of Organ Donation by MAFO නම් facebook පේජ් එක සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.

MAFO පිටුවට වෛද්‍ය ගැටලු යොමු කරන ආකාරය පිළිබඳ දැනුවත් කරනවා නම්?

මුලින්ම මම මේ සේවාව ක්‍රියාත්මක කරන්න තීරණය කොට තිබුණේ සෙනසුරාදා රාත්‍රී 9.30 -11.30ත් අතර පැය දෙකක කාලයක් සඳහායි. නමුත් පළමු දවසේම මා වෙත යොමුකළ අති විශාල වෛද්‍ය ගැටලු සංඛ්‍යාව නිසාම මට පිළිතුරු ලබාදෙන කාලය තවත් දීර්ඝ කිරීමට සිදුවුණා. ඒ අනුව දැන් සෙනසුරාදා දවස පුරාම මම වෛද්‍ය ගැටලුවලට පිළිතුරු ලබාදෙනවා. නමුත් ඇතැම් අයට තවම මේ සේවාව නුහුරු නිසා දිනපතාම ගැටලු යොමු කරනවා. නමුත් මට ඒ සියලුම ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට හැකියාවක් නැහැ. මොකද මම රජයේ රෝහලක වෛද්‍යවරයකු වශයෙන් සේවය කරනවා. ඒ වගේම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු, පෞද්ගලික ජීවිතයේ කටයුතු ආදී සියල්ලම අතරතුරයි මේ කාර්යයේත් නියැළෙන්නේ. එම නිසා මම ජනතාවගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරනවා සෙනසුරාදා දින පමණක් ඔබේ වෛද්‍ය ගැටලු මගේ පිටුවට යොමු කරන්න කියා. ඉතා විශාල ගැටලු සංඛ්‍යාවක් ලැබෙන නමුත් අනිවාර්යයෙන්ම සතියක් තුළ හැම කෙනකුගේම ගැටලුවලට පිළිතුරු ලබාදෙන බවත් කිව යුතුයි.

මෙවැනි සේවාවන් සඳහා ලොව සෙසු රටවල තිබෙන පිළිගැනීම කෙබඳුද?

ලෝකයේ කොහේවත් සම්පූර්ණයෙන්ම නොමිලේ මෙවැනි සේවාවක් ලබාදෙනවා යැයි මම හිතන්නෙ නැහැ. සමහර රටවල ගෙවීම් කරලා ඔන්ලයින් වීඩියෝ චැට් මාර්ගයෙන් වෛද්‍යවරයා චැනල් කර රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුකරනවා. ඇත්තටම මේ වගේ කටයුත්තකදී රෝගියා සහ වෛද්‍යවරයා අතර තිබෙන විශ්වාසය ඉතාම වැදගත්. ඒ විශ්වාසය සුරැකීම මෙවැනි සේවාවක් ජනතාව අතර ප්‍රචලිත වීමටත් එය පවත්වාගෙන යෑමටත් විශේෂයෙන් ඉවහල් වෙනවා. මගේ MAFO පේජ් එක තුළ ඒ විශ්වාසය සියයට සියයක් සුරැකෙන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකියි.

යොවුන් වෛද්‍යවරයකු ලෙස මෙම සේවාව ඔස්සේ ඔබට සමාජයට දීමට පණිවුඩයක් තිබෙනවාද?

මම මුලින් කිව්වා වගේ වර්තමාන සමාජයේ ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය තමන්ට මෙන්ම කිසිවකුට කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාර්යයන් සඳහා භාවිත කරනවා. එවැනි අරුත්සුන් ක්‍රියාවලින් වැළකී ඒ කාලය, ශ්‍රමය සහ අවස්ථාව තමන්ට වගේම රටටත් සමාජයටත් සේවයක් සැලසෙන කාර්යයක් සඳහා භාවිත කරනවා නම් එය මිල කළ නොහැකි වටිනා සේවාවක්. ඒ වගේම ඔබට මේ සමාජයටත් ජනතාවටත් ඵලදායී සේවයක් ඉටුකරන්නට දැනුම, කුසලතා සහ අවස්ථාව තිබෙනවා නම් කිසිවිටකත් ඒ සඳහා පැකිළෙන්න එපා. එය දිනෙක ඔබටම ආශීර්වාදයක් වනු නිසැකයි. ඒ නිසා මම තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි, තමාගේ දැනුමින් කුසලතාවන්ගෙන් මේ රටට හැකි පමණින් කුමන හෝ සේවාවක් ඉටු කරන්න. අපි හැමදෙනාම ඒ ආකාරයට තමන්ට හැකි පමණින් ඒ සේවය ඉටුකළොත් අපේ රට මීට වඩා දියුණු ලස්සන රටක් බවට පත්වේවි.

ඒ වගේම මෙම සේවාව ඇතුළු මගේ සියලු කාර්යයන් සඳහා නිරන්තරයෙන්ම ශක්තියක් ආශීර්වාදයක් වන මගේ මවුපියන්, සහෝදරයන් දෙදෙනා ඇතුළු පවුලේ සැමත් හිතමිතුරු සැමත් ෆේස්බුක් පේජ් ඔස්සේ මා සමඟ සම්බන්ධ වී සිටින සියලුම දෙනාටත් ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
2
මාතෘකා