සිරිපා කරුණාකළ කන්කානම් මහත්තයා

 ඡායාරූපය:

සිරිපා කරුණාකළ කන්කානම් මහත්තයා

විස්මිත හෘද සැත්කම් දොළොස්දහසකට අධික සංඛ්‍යාවක් සිදු කරමින් රෝගී ජීවිත රැක ගැනීමට කැප වූ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයකි. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරින් සෑම සිකුරාදා දිනකම “රැස”පුවත්පත මතක සිත ඔස්සේ ගෙන එන “හදවත්වලට පණ දෙන හදවත හොඳ වෙදැදුරු” විශේෂාංග මාලාවේ විසිඑක්වැනි දිග හැරුමයි.

නාමල්ගේ ජීවන චරිතය පිළිබඳ ඔහුගේ අක්කා වන ශාන්තා ගමගේ කළ රසබර අතීත මතකයන් ගැන අපි පසුගිය සතියේ ඔබට කීවෙමු. මෙම ලිපි පෙළ අවසන් කරන්නට මත්තෙන් නාමල් ගමගේ නම් විශේෂඥ වෛද්‍යවරයාගේ රුව ගුණ පිළිබඳ මෙන්ම නාමල්ගේ සොඳුරු කැදැල්ලේ තොරතුරුත් දැන ගැනීමට තවත් සුවිශේෂ චරිතයක් සම්බන්ධ කර ගත්තෙමු. ඇය නාමල්ගේ ප්‍රිය බිරිඳ සමලි ගමගේය. නාමල් ගමගේ නම් හිත හොඳ වෙදැදුරු පසුපස සිටි සාර්ථකත්වයේ සෙවණැල්ල ඇය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

අප නාමල්ගේ කැදැල්ලේ තොරතුරු සොයා කරාපිටිය ගොඩකන්ද පාරේ ගොස් බෝගහවේල්ලෙන් එගොඩ වී නාමල්ගේ නිවස කරා ගියෙමු. දෙපසකින් වෙල් යායකට මැදිව නිස්කලංක වටපිටාවක කුඩා කඳුගැටය මත එම නිවස පිහිටා තිබිණි. කලබලකාරී පරිසරයෙන් ඈත්වුණු නාමල්ගේ නිවස විටෙක කුඩා කලාගාරයක් යැයි මට සිතිණි. බෝගහ වෙල් යාය පිස හමා එන සිහිල් සුළං රැලි එහි වෙසෙන සැමගේ සිත් නිවන්නට සමත්වන බව නම් නොරහසකි. තුරු ගොමු මල් ගොමුවලින් ගැවසුණු එම ගෙවත්තෙහි පවතින නිහැඬියාව මොහොතකට හෝ බිඳෙන්නේ කුරුලු කූජනය නිසාවෙනි.

මේ නිසංසල පරිසරය බවුන් වඩනා තවුසකුට වුවද උචිත යැයි එහි යන්නකුට සිතිණි නම් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මිනිස් හදවත් දොළොස්දහසක් සුවපත් කරන්නට කැප වීම එක් අතකින් බවුන් වැඩීමකි. මනා සංයමයකින් යුතුව එම සැත්කම්වල නිරතවන්නට නාමල්ට අවැසි මානසික සුවය හා ශක්තිය ලබාදෙන්නට මේ අපූරු පරිසරයද හේතුවක් වී ඇත. සන්සුන් පරිසරයක් තුළ තම ස්වාමි දියණිය ලෙස ඔහුගේ ආදර බිරිය සමලිද ඒ සඳහා කැප වී සිටීම නාමල් සේම මේ රටේ හෘද රෝගීන්ද ලද භාග්‍යයකි.

රාජකාරිය වෙනුවෙන් තම ස්වාමියා දිවා රෑ කැපවෙද්දී දරුවන් තිදෙනකු සමඟ ඇය තම පවුල් ඒකකයේ සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරන්නට කැප වී සිටී. ඇය මේ රටේ බිරින්දෑවරුන්ට ආදර්ශයකි. දිවුලපිටිය ප්‍රදේශයේ උපන් සමලි නාමල්ගේ සහකාරිය වී ඇත්තේ නාමල්ගේ විසල් මෙහෙවරට නිබඳ දිරියක් වෙමිණි.

නාමල් ගමගේ නම් මේ විසල් චරිතය හඳුනාගත් අයුරු පවසමින්ම ඇය කතාබහ ඇරඹුවා.

“ මහත්තයා බොහොම නිහඬ කෙනෙක්. එයා කලාවට බොහොම කැමතියි. සංගීත භාණ්ඩ කිහිපයක්ම එයාට වාදනය කරන්න පුළුවන්. ගායනය වගේම නර්තනයටත් එයාගෙ ලොකු උනන්දුවක් වගේම හැකියාවක් තියෙනවා. කොළඹ ඉන්නකොට නර්තනය ඉගෙනගන්න මාවත් පත්මිණි දහනායක ළඟට යැව්වා.

“හැබැයි මොනව කළත් එයා රාජකාරියට නම් අසීමිතව කැපවෙනවා. ඒ නිසාම ගෙදර ඉන්න කාලය නම් බොහොම අඩුයි. ගෙදර රැඳුණේ නැතිවුණාට දරුවන්ටත් මටත් බොහොම ළෙන්ගතුයි. කිසිම වෙලාවක වැරැද්දකටවත් දරුවන්ට පහරක් ගහන්නේ නෑ. එයා හැම වෙලාවෙම කියන්නේ මගේ තාත්තා කවදාවත් මට ගැහුවෙත් නෑ. මම කවදාවත් මගේ දරුවන්ට ගහන්නෙත් නෑ කියලයි.”

සමලි සැම විටම නාමල්ගේ ජීවිතයේ අවිවේකී බව හොඳින් තේරුම්ගෙන උපේක්ෂාවෙන් යුතුව කටයුතු කරන බව ඇය කළ මේ ප්‍රකාශයෙන් අපට හොඳින් වැටහිණි.

“ දෙවැනි පුතාට මාස තුනක් විතර ඇති. අපි හිටියේ කහඳ මහගෙදර. මහත්තයා කරාපිටියේ වැඩ. දවසක් රෑ වෙනකොට දරුවාට එකසියතුනට උණ. අද වගේ ජංගම දුරකතන එදා තිබුණේ නැහැ. ගෙදර දුරකථනයෙන් රෝහලේ වාට්ටුවට කතා කරලා මහත්තයාට පණිවුඩය දුන්නා. එයාටත් එන්න විදිහක් ඇත්තෙම නැහැ. අපිට රෝහලට යන්න විදිහකුත් නෑ. එයා කිව්වේ "පැනඩෝල් සිරප් ටිකක් හරි කොත්තමල්ලි ටිකක් හරි වක්කරලා දෙන්න" කියලා.”

එවැනි අවස්ථාවක බිලිඳෙකුගේ මවක් ලෙස සමලිට කර කියාගත හැකි දෙයක් නොමැති විය. නාමල්ගේ මවගේ හා පියාගේ රැකවරණය ලැබීම යම් තරමකට හෝ ඇයගේ සිතට සැනසීමක් විය.

නාමල්ගේ ඇවැතුම් පැවැතුම් මෙන්ම සරල නිරහංකාර බව සමලි මැනවින් තේරුම් ගෙන සිටියාය. වෙනත් වෛද්‍යවරුන්ට තිබුණු නිදහස නාමල්ට නොතිබීම ගැන ඇය කිසිවිටකත් උරණ නොවූවාය. තම දරුවන් තිදෙනා සමඟ නිවසේ කටයුතුවල තනිවම නිරතව සිටීම පිළිබඳ ඇය කිසිවිටකත් කලකිරීමක් ඇති කර නොගත්තාය. වෛද්‍යවරයකුගේ බිරිඳක් වීම යන සමාජ සංකල්පයට එහා ගොස් මානුෂීය ගුණදම්වලින් පිරුණු අවංකවම සේවයට කැපවුණු වෛද්‍යවරයකුගේ බිරිඳක් වීම ගැන ඇය බෙහෙවින් සතුටට පත් වූවාය. තම දරුවන් තිදෙනාට නිතර පියාගේ ඇසුර නොලැබීම ගැන යම් පසුතැවීමක් පැවතියද රටේ දරුවන් රැසකගේ, මවුපියන්ගේ ජීවිත ගලවා ගන්නට තාත්තා ඉටු කරන කැපවීම ගැන දරුවන්ට අවබෝධය ලබාදීමට ඇය නිරන්තරව කටයුතු කළාය.

තම ජීවිතයේ අතීත සිදුවීම් රැසක් ගැන මතකය ආවර්ජනය කළ ඇයට තමන් හා නාමල් විවාහ වූ අලුත සිරිපා කරුණා කරන්නට ගිය ගමන ගැන රසබර තොරතුරු රැසක් මතකයේ පැවතිණි.

"අපි බැඳපු අවුරුද්දෙ රත්නපුරා පාරෙන් සිරිපා කරුණා කළා. සුදු සරමකින් හා කමිසයකින් සැරසිලා ඔළුවේ ජටාවකුත් බැඳගෙනයි මහත්තයා මේ ගමනට එක් වුණේ. ටිකක් දුර යද්දී අපට සිරිපා කරුණාවේදී යෙදුණු හාමුදුරුවෝ නමකුත් හමුවුණා. දැන් අපේ නඩේට තුන්දෙනයි. මහත්තයා උස් හඬින් තාලයට තුන් සරණේ කවි කියනවා. ටීකා සීපද කියනවා. ටිකක් ඉහළට යද්දී හාමුදුරුවෝ අපෙන් අහනවා "මහත්තයා කොහෙද වැඩ කරන්නේ" කියලා. කොළඹ රෝහලේ කියලා කිව්වාම හාමුදුරුවෝ එකවරම කියනවා "ආ... මේ අපේ කන්කානම් මහත්තයෙක්නේ" මම හිතුවා හරි කියලා. පස්සේ වෛද්‍යවරයෙක් කියලා කිව්වත් හාමුදුරුවෝ පිළිගත්තේ නෑ”

සමලිගේ එම ප්‍රකාශය තුළ කියාපාන්නේ නාමල්ගේ ජීවන චරිතය හා බැඳී පවතින අව්‍යාජ ගැමිකමයි.

කොළඹ රාජකාරි කරන සමයේදී නාමල් සතු වූ C -90 යතුරුපැදිය නාමල්ගේත් සමලිගේත් පවුලේ වාහනය විය. දිනක් ලොකු පුතු සෙනෙත් ලැබෙන්නට සිටියදී කොළඹ සිට දිවුලපිටියේ මහගෙදර යන්නට සමලි යතුරුපැදියේ පසුපස නංවා ගත් නාමල් පිටත් විය. අතරමඟදී සිදුවූ සිදුවීමක් අදත් සමලිට හොඳින් මතක තිබිණි. ඇය ඒ මතකයන් ගැන මෙසේ පැවසීය,

“අතරමඟදී පොලිසියෙන් අපව නතර කළා. රියැදුරු බලපත්‍ර පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරීන් කොහෙද යන්නේ ඇහුවා. මෙයාට අම්මලාගේ ගෙදර යන්න ඕනා කිව්වා, එහෙ යනවා කියලා මහත්තයා කිව්වම පොලිසියේ අය බොහොම අනුකම්පාවෙන් අපේ දිහා බැලුවා.”

සෑම දිනකම නාමල්ට ආහාර සැකසීම සමලි අතින් සිදුවෙයි. ඔවුන්ගේ නිවසේ එදිනෙදා වැඩ කිරීමට මෙහෙකරුවන් නොමැති අතර ඒ සියලු දේ සමලි විසින්ම සිදු කරනු ලබති. නාමල් වෙනුවෙන් සකස් කරන ආහාර අතර ඔහු වඩාත් ප්‍රිය කරන ආහාර තිබේදැයි අප ඇසූ විට ඇය මෙසේ පැවසුවාය,

“එහෙම කියලම විශේෂයක් නෑ. මම හදන කොයි දේත් කන්න කැමතියි. හැබැයි කට්ට සම්බෝලයටයි කිරිහොද්දටයි ළපටි පොල් දාලා හදන රොටිවලටයි නම් වැඩි කැමැත්තක් දක්වනවා.”

කුඩා කාලයේ පටන් නාමල්ගේ විනෝදාංශයක් වූයේ සුරතල් සතුන් ඇති කිරීමයි.අදත් ඔහුගේ ගෙවත්තේ නිදහසේ සැරිසරනා පෝනියකුද දැකිය හැකිය. ගෙයි ඉදිරිපස ඇති පොකුණේ අවුරුදු හතළිහක් වයස මොදා වර්ගයට අයත් මාළුවකු සිටී. දැනට වසර කිහිපයකට පෙර ඔහුගේ ගෙවත්තේ මී ගවයින් දහදෙනකුගෙන් සමන්විත ගව පට්ටියක් සිට ඇත. පසු කාලීනව ඔවුන් බලා කියා ගැනීමට කෙනකු නොමැති බැවින් හදා ගැනීම සඳහා ගොවීන් කිහිප දෙනකුට ලබාදී ඇති බවද සමලි අප සමඟ පැවසුවා.

හදවත හොඳ වෙදැදුරු විශේෂාංග මාලාවේ අවසන් දිගහැරුම ලබන සතියෙන් බලාපොරොත්තු වන්න.

[පබුදු සපුතන්ත්‍රී]

ඡායා [චේනක වික්‍රමාරච්චි]

News Order: 
1
මාතෘකා