වැලිමිදුල

 ඡායාරූපය:

වැලිමිදුල

සිරිලක උග්‍ර විෂ සහිත සර්පයන් හඳුනා ගනිමු - 02

තිත් පොළඟා (දාර පොළඟා)

ඩබෝයා රසෙලි යන විද්‍යාත්මක නාමයෙන් සහ රසලස් වයිෆර් යන ඉංග්‍රීසි නාමයෙනුත් කණ්ණාඩි විරියන් යන දෙමළ නාමයෙන් හඳුන්වන තිත් පොළඟා නැත්නම් දාර පොළඟා ලංකාවේ ජීවත් වෙන උග්‍ර විෂ සහිත පොළොං කුලයේ සර්ප යාළුවෙක්. සෙ.මී. 130ක් පමණ දිගින් වැඩෙන තිත් පොළඟාගේ හිස ත්‍රිකෝණාකාර හැඩයෙන් යුතු වෙනවා. සිරුරේ පිහිටි රළු කොරළ නොදිළිසෙන සුළු ඒවා. හොම්බ ඉහළට එසවී ඇති අතර සිරස් කර්ණිකාවක් සහිත විශාල ඇස් තිත් පොළඟාට හිමියි.

තිත් පොළඟාගේ සිරුර ළා දුඹුරු හෝ අළු පාටින් යුතුයි. සිරුර පුරා විහිදෙන එකිනෙකට සම්බන්ධ වෙන ඕවලාකාර හැඩයෙන් යුතු තද දුඹුරු පාට පැල්ලම් දකින්නටත් ලැබෙනවා. තිත් පොළඟාගේ හිස මතුපිට රතු දුඹුරු මිශ්‍ර සලකුණු 03ක්ද පිහිටනවා. හොම්බේ සිට ඇසට උඩින් ගමන් කරන සුදු පාට ඪ හැඩැති රේඛාවක්ද පිහිටිම තිත් පොලඟාගේ විශේෂ ලක්ෂණයක්.

නිශාචර සර්ප යාළුවෙක් වෙන තිත් පොළඟා කලාතුරකින් සවස් කාලයේ හැසිරෙනුද දකින්න පුළුවන්. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට වඩා ඉහළ වියළි කලාපයේ ජීවත් වෙන තිත් පොළඟා අප රටේ වගේම පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල්වලත් ජීවත් වෙනවා. තණබිම් පඳුරු සහිත කැලෑවලත් තේ, කෝපි, රබර් වගා ආශ්‍රිතවත් කුඹුරු සහ හේන්වලත් තිත් පොළඟුන් ජීවත් වෙන්න ප්‍රිය කරනවා. ගෙම්බන්, කුරුල්ලන්, කුඩා උරගයන් සහ තම වර්ගයේ සර්පයන්ද ආහාරයට ගන්න තිත් පොළඟා ගොඩක් කැමතියි. තිත් පොළඟාගේ ගැහැනු සතාගේ කුස තුළ හැදෙන බිත්තර 5ත් 50ත් අතර ප්‍රමාණයක් බිත්තර මෝරලා බිහි කරන පැටවුන්ගෙන් තමයි තිත් පොළඟාගේ බෝවීම සිදු වෙන්නේ.

උග්‍ර විෂ සහිත තිත් පොළඟාගේ විෂකෝෂයේ තියෙන විෂ ප්‍රමාණය වන මිලි ග්‍රෑම් 150ක් තියෙනවා. මිනිසකු මරණයට පත් කරන්න එයින් මිලි ග්‍රෑම් 15ක් ප්‍රමාණවත් කියලා සර්ප විද්‍යාඥ මාමලා කියන්නේ. ඉතා ඉක්මනින් කිපෙන සුළු තිත් පොළඟා හීස් යනුවෙන් ශබ්ද කරමින් ඉදිරියටත්, ඉහළටත් පනිමින් පහර දීමට පෙළඹෙනවා. තිත් පොළඟාගේ තියෙන උග්‍ර විෂ සහිත බව නිසා මේ යාළුවන් මරා දැමීම හේතුවෙන් ලෝකයෙන් වඳ වෙන්නට පටන් අරන්.

(ස්තූතිය - ගවේෂණයට මඟ පෙන්වන මහාචාර්ය ඇන්ස්ලම් ද සිල්වා ගුරුතුමන්ට සහ පරිසර ජීවවේදී සමීර චානක අයියාට )

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

 

---------

තටු සිඳුණු කුරුල්ලා

නිදහස තරම් අපේ ජීවිතවලට ඕන කරන තව දෙයක් නැති තරම්. හිරවෙලා යටත්වෙලා ඉන්නවට වඩා නිදහසේ මැරුණ නම් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් නැතුවා නොවෙයි. නිදහස ගැන තිබෙන හැඟීම අපට වගේම සතුන්ටත් අදාළයි. තාත්තා ගිරවෙක් ගෙනාපු එක ගැන මගෙ වැඩි මනාපයක් තිබුණෙ නෑ. ඒත් මම මොනව කරන්නද? අපේ පවුලෙ හැමෝම ගිරවා ළඟ දැවටි දැවටී හුරතල් කරද්දි මට කරන්න දෙයක් තිබුණෙ නෑ. ඌට නිදහස දුන්නා නම් හොඳයි කියලා මට හිතුණා.

පාසල ඇරී ගෙදර ආ ගමන් පුටුව මතට කඩා වැටුණා. ගෙදර අය ගිරව නාවලා. ඌ අඳුනගන්නත් බෑ. අව්වට අල්ලගෙන ඉන්නවා. වේළෙන්න. ගිරව අමතක කරලා මං ගෙට ගියේ වතුර බොන්න. අනපේක්ෂිත හඬක් ආවා.

"අයියෝ ගිරවා ඉගිලුණා."

මං වතුර ජෝගුව අතහැරලා ඉතෝප්පුවට දිව්වා. හැමෝගෙම මූණු බෙරි වෙලා. ඌට දැන් මොනවා හිතෙනවා ඇද්ද? තටු සිඳුණු කුරුල්ලට නිදහස ලැබිලා.

 

[අබ්දුල් උමාර් සහන් නෙත්මිණ]

10 ජී ශ්‍රේණිය

කොළඹ සහිරා විදුහල

----------

සිංහ ලේ

ලියා ඇත තුන් රෝද රියක
සිංහ ලේ
එහෙත් එය ධාවනය කරන්නේ
මිනිසෙකි
ඔහු බීමත්ය
කැසට් ගීත මරහඬ දෙයි
ඇවිදින රෙකෝඩ් බාර් එකක් මෙනි

හදිසියේ බ්‍රේක් පාරකි
මහමඟ මැද බසයකි
මුහුණට මුහුණ ලා
"කනමදයා වගේ බීගෙන
මැරෙන්ඩ හදනවද?"
රියදුරු ගොරවයි

බසය පියඹා යයි
සිංහයා මරු විකල්ලෙන්
පාර පුරා යයි
තුන් රෝද රියටත්
හොඳටම වෙරි වෙයි
සිංහ ලේ දිලිසෙයි අව්වට

 

[මලිත් පියදසුන්]

10 ශ්‍රේණිය

පින්නවල මහ විදුහල

රඹුක්කන

 

---------

වන දහන

උස්මහ වනපෙත අහස සිඹින්නට
හිරු රැස් දහරේ එළිය ගන්නවා
වලාකුළු අතර තරුකැට සැඟවී
අහස් ගැබේ කෝලම් එළි කරනා

කුරුලු පන්තිවල කීචි බීචි හඬ
වනදහනේ ගී රටා මවනවා
පැනිපුරවන බිඟු හැමදෙන එක්වී
පොළොව සිඹින්නට වද පුරවනවා

 

අපා දෙපා සිවුපා සැම දෙනගේ
මුවින් සිනාරැලි පිඬු උපදිනවා
කොවුලන් සැමගේ රැඟුම් බලන්නට
වන දහනට ජලපිඬු දුව එනවා

 

[පූර්ණ සම්පත්]

කුලි/ ධර්මරාජ ආ. ම. විද්‍යාලය

----------

වේයන්ගොඩ ශාන්ත මරියා සිසුන්ගේ 'කුරුලු ගීසර' සංයුක්ත ගී තැටිය එළිදැක්ම අනිද්දා.

වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් ගායනා කරන ලද ගීත 12ක් අඩංගු ‘කුරුලු ගීසර’ සංයුක්ත ගී තැටිය ජනගත කිරීම නොවැම්බර් මස 09 වැනිදා සවස 5.00ට වේයන්ගොඩ, නයිවල ‘ඩ්‍රීම් පැරඩයිස්’ රංග ශාලාවේදී සිදුකෙරේ. පාසල් සංදර්ශනය එදින උදේ 09ට පැවැත්වීමට නියමිත අතර මෙහි සංකල්පය ශාන්ත මරියා විදුහලේ වත්මන් විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතාගෙනි. මෙහි සියලුම ගීත පාසලේ දරු දැරියන්ගේ වාද්‍ය වෘන්දයෙන් සංගීතවත් කර ඇති අතර සංගීතය මෙහෙයවීම පාසලේ සංගීතාචාර්ය විශාරද චාමර රුවන් තිළිණ සහ සංගීතාචාරිනී කුසුම් රණසිංහගෙනි.

ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී, ගායනවේදී දයාන් විතාරණ, සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සහ සංගීතවේදී නාලක අංජන කුමාර එදින ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වන අතර කථනය වසන්ත රෝහණගෙනි. විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතියෙහි පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ සම්බන්ධීකරණ සහාය ක්‍රිෂාන් නානායක්කාරගෙනි.

[ශ්‍යාමලී නිශාන්ති]

--------

---------

අහසයි වැස්සයි

දිගු කාලයක් තිස්සේ සඟවා තබාගත් වැස්ස, පහුගිය දින කිහිපය පුරා කොන්දේසි විරහිතව මහ පොළොවට ලබා දෙන්න අහස වුණත් කල්යල් බලා තීරණය කරගෙන තිබිණි. නිරන්තරව තුරුපත් අගිස්සෙහි එල්ලෙන පිනි පොද බිඳුවලින් හා හීගඩු පිපෙන සීතල සුළඟ සමඟ ගෙවී ගිය වර්ෂා සමයේ අඳුරු කෙටි දින ගණනාවකට පසුව ටිකෙන් ටික අහස ආයෙමත් නිල් පාටින් පැහැබර වෙන්න පටන් ගත්තේය.

අපේ ගම් දනව්වේ හදවත; රාජාංගණ ජලාශය පිරී ඉතිරී වාන් දමනා බව ආරංචිය. වැවත් සමඟ වාන් දමන්නේ වතුර විතරක් නොවෙයි. වියළි කලාපයේ මිනිසුන්ගේ සියලු කටයුත්තක්ම බොහෝ විට ඵල දරන්නේ වැස්සත් සමඟයි. ඉදින් ‘වැව‘ උතුරා හිත පිරෙන්නේ වැස්සත් සමඟයි.

ටියුෂන් පන්තියට නම් අව්වේ උණුසුම, වැස්සේ තෙත කියා වෙනසක් නැත. හුස්ම වැටෙන ස්වාභාවික අවකාශයෙන් දුර කෘත්‍රිම උණු වාතය කැකෑරෙන විදුලි පංකා යට, පන්තියේ බිත්ති හතර මැද අපි සාහිත්‍ය ඉගෙන ගනිමු! ඒත් වැස්සත් එක්ක ඇහැරෙන හිත් කෙසේ නම් එක තැනක රඳන්නද? ගුරුතුමාට නොපෙනෙයි. සිත ඇවිදයයි දුරක.

නමුත් වැව් ගැන හිතන්නට එතරම්ම දුර යායුතු නැත. අපේ ටියුෂන් පන්තියට නුදුරින් වුවද ලොකු කුඩා වැව් බොහෝ තිබේ. ඒ අතර මහ වැව් හැරෙන්නට ගම් වැව් නම් සෑම එකක්ම පාහේ දැන් ‘ජපන් ජබර’වලින් විනාශ වෙමින් ඇත. වැවෙන් වැවට පිහිනා යන මසිත දැන් මට පේන දුරකින් නතර වී තිබේ. ඒ කුඩා වැව අපි පාසල් හැරී එන අතර ඔරු පැදපු වැවයි. පිහිනුම් තටාක නැති අපි කාලයක් පිහිනීම උගත් වැවයි. මම ඒ මතක සමඟ යළිත් පිහිනා යමි.

“ පවනා අද යමුද රාජාංගණ වැව බලන්න”

මතක වැව් දියේ පීන පීන උන්නු මාව දියෙන් ගොඩට ගත්ත ඒ ආරාධනාව මගේ මිතුරා සඳුන්ගෙනි. මට පිළිතුරක් දෙන්නට සඳුනා ඉඩක් ඉතුරු කර ඇත්තේම නැත.

ඉදින් ඊට පැයකට පමණ පසුව අපි ඒ මහා වෑකන්ද ඔස්සේ හැබැහින්ම ඇවිද යමින් සිටියෙමු. නිල්ම නිල් පාට ආකහ පුරා තැනින් තැන වලාකැටිති එක්කාසු වෙමින් තිබිණි. බොහෝ දිනකට පෙරාතුව වියළී තිබූ පොළොව මත වැව්පිටියේ ඈත කුඩා දියකඩිත්තක්ව පෙනුණු වැව දැන් මහා බිම් තලය පුරාම තම නිල් පැහැ අඩි තබාගෙන අණසක විහිදුවා සිටියි. රළපනාව ලෙස අතුරා ඇති කළු ගල් මත දියරැළි දිගින් දිගටම හිස ගසා ගනියි. සරැළි දිය අත් වැළඳගන්නට කෙතරම් ඕනෑකමක් තිබුණත් කාලය සියල්ලට හරස් වෙයි. කෙසේ නමුත් අපි යළිත් වරක් බොහෝ කාලයකට පසුව වෑකන්ද ඔස්සේ හැබැහින්ම ඇවිද යමින් සිටිමු. හැබැහින්ම!

අපේ අවාසනාවට ජලාශයේ වාන් දොරටු යළිත් වසා දමා ඇති නමුත් ධීවරයන්ගේ වාසනාව නම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ නැත. පහළ ඔයේ දිය වළවල්වලත් ඒ මහා ජලකඳ මත්තෙත් ඔවුන් තම තමන්ගේ ජීවිත දැල් එලමින් සිටියි. මම වරක් හිස ඔසවා ඈත ධීවර ගම්මානය දෙස බැලුවෙමි. මීට බොහෝ දිනකට පෙර වැව ගම්මානයෙන් බොහෝ දුරට වී හිටි හැටි මට මතකය. නමුත් දැන් වැව ධීවර ගම්මානයේ දෙපා වෙලාගෙන හිදියි. ධීවරයන්ගේ කළු කිලිටි මුහුණුවල දැන් නම් නිතරම සිනාවක් රැදී තිබෙනවා විය යුතුමය.

ධීවර ගම්මානයටත් එපිටින් වැව් පිටිය අත්පත් කරගෙන තිබූ වගාවන් වෙනුවටද දැන් පෙනෙන්නේ තනිකරම ඉමක් නැති නිල් දිය දහර පමණයි. සිදී ගිය වැව් පිටියේ බවබෝග වගා කිරීම නොකළ යුතු දෙයක් වුවත් තවමත් එය සිදුවෙයි. මා බොහෝ දිනකට පෙරාතුව බාලදක්ෂයෙකු ලෙස මේ වැව් පිටියේ කඳවුරු බැඳි දිනෙක එවන් අකාරුණික කොමඩු යායකටම මිතුරන් සමඟ වගකිවුවා මතකය.

කෙසේ වෙතත් වැව අසල ඇතැම් තැන්වල රැඳී ඇති පොලිතීන් ප්ලාස්ටික් මෙන්ම වැවේ වගා කර ඇති අයුරු දකින විටද අපේ හිත් නම් පෑරෙයි. නමුත් වැව්දියේ සෙනෙහස ළඟ ජීවිත අස්වද්දන අපේ එක් ගොවියෙක්වත් එක් වරක් හෝ ඒ දේවල් ගැන සිතා ඇතිදැයි අපි නොදනිමු.

සීතල සිතුවිලිත් සමඟ ඇවිද ගිය අපි ඒ මහා වැවේ තවත් එක් කොටස්කරුවකු වූ ඒ නමක් නැති ශේෂ කන්දට ගොඩවැදෙන්නද අමතක නොකළෙමු. හිත යන්නෙම නිල් දිය මත ජබු ගහන්නමයි. ඈත කඳුවැටි තුනී තිමිර අතරින් පෙනී නොපෙනී හිඳියි. අනෙක් පසින් මහා මිනිස් ජනපදය. හිත අහේතුක සතුටකින් පිරී ඉතිරී මුළු මහත් ආත්මයම තෙමාගෙන ගලා යන හැඩකි. මුදු සුළඟ සමඟ දෑත් විහිදා, නිල් දියෙන් ඉහළ ඈත අහස පුරා නින්නාද වන දෝංකාරයක් අනන්ත වූ අවකාශයට මුසු කරන්න මට අවැසියි! ඔව්, මට මෙන්ම මිතුරන්ටද එය එසේමයි.

වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘, ‘සූරිය‘,‘ ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.

වැලිමිදුල සංස්කාරක,

රැස කතුමඬුල්ල,

ලේක් හවුස්,

ඩී.ආර් විජේවර්ධන මාවත,

කොළඹ 10.

News Order: 
3
මාතෘකා