මොකද නිකං මල පරවුණා වගේ හේබාලා ගිහිං..?

 ඡායාරූපය:

මොකද නිකං මල පරවුණා වගේ හේබාලා ගිහිං..?

"කෙල්ලො කොල්ලො කියල නෑ.. කරබාගෙන ඉඳලා බෑ. දන්න නොදන්න හැමදේම අහන්ඩ ඕනෑ. අහල දැනගන්ඩ කොච්චරක් නං දේවල් තියෙනවද මේ ලෝකෙ...අන්ධයෙක් වගේ ඇහැ පියාගෙන ගොළුවෙක් වගේ කරබාගෙන බීරෙක් වගේ කන් අගුල් දාගෙන ඉඳලා හැරියන්නෙ නෑ.. අහන්ඩ, දකින්ඩ, බලන්ඩ කප්පරක් දේවල් නැතෑ..."

කෙල්ලගේ සිත් තැවුල අකාමකා දාන්නට ඒ උත්තරය සමත් විය. හරියට පිළිස්සුම් තුවාලයක් මත ගල්වන ලද කෝමාරිකා මදයක් වගේය. එපමණ සිහිලසකින් හා සුවයකින් ඇය සැනහී ගියාය.

“කිරියම්මා මට ටොකුත් ඇන්නා කරබාගෙන ඉන්න කියලා.” ඇය දෙතොල උල් කරමින් නෝක්කාඩු කීවාය.

“ටොකු නෙවෙයි තාරා වෙඩි කෑවත් මොකද ඇත්ත යුක්තිය වෙනුවෙන්”ටොකු විනා වෙඩි නොදත් කෙල්ල කට ඇරගෙන බලා සිටියාය. “ඇත්ත යුක්තිය ජීවිතේට වටිනවා තාරා... ඒ වෙනුවෙන් ජීවිතේ දුන්නට කමක් නෑ...”

“එහෙනං මාත් දවසක වෙඩි කෑවට කමක් නැද්ද තාත්තේ?”

දියණියගේ බොළඳ හඬින් ඔහු තුළ කැරලි ගැසූ විප්ලවවාදියා අතුරුදන් විය. ඇළ පඩිය මත හිඳගෙන ඉන්නා කෙල්ල තුරුළු කරගත්තේද “මයේ පුතා ඉගෙන ගන්ඩෝනෑ...කවදා හරි මනුස්සකම ඉස්සර කරගත්තු මනුස්සයෙක් වුණොත් මට ඒ ඇති” යි මිමිණුවේද ආදරබර තාත්තා කෙනෙකි.

“තාරා..තාරා..” මේ මනුස්ස ලෝකයේ අනන්ත අප්‍රමාණ මනුස්සයන් අතරින් මාරයාට තමාගේ නම මතක තිබීම පිළිබඳ ඇය පුදුමයට පත් වූවාය.

“එක්කාන යන්ඩ ආවා නෙමේ බං. ඩිංගිත්තක් කතා බහ කරන්ඩ හිතුණා. මරලතෝනි ඇහිලම මට අප්පිරියා වෙලා. උඹේ හුරතල් කටහඬ ඇහෙද්දි පවන් ගහනවා වගේ සනීපයි බං..”

වෙනදා මෙන් බය බීත නොවූ කෙල්ල උඩුකය කෙළින් කළාය.

නල්ලමුදාවේ කිරි අම්මාට පත ඇඳක් නැතුවා නොවේ. එහෙත් ජයසුන්දර කෙල්ල බාරදී ගිය හැටියේ උන්දෑගේ බඩපිස්සිය තහනම් නියෝගයක් හැරෙව්වාය.

“ඇඳේ බුදියන්ඩ දෙන්ඩෙපා අම්මේ. ඕකි රෑට ඇඳේ දොට්ට කරනවා...ඕං ඔය පැදුරක් එළලා දෙන්ඩ.. ”

“අනේ ඉතිං එහෙම කොහොමද? මං රෑට ඇහැරවන්නංකෝ වංගියක් දෙවංගියක්”

තාරාට වැඩිපුරම ටොකු අනින්නේ සුබරත් මැණිකේ වුවද මේ උදෑසන කෙදිනකවත් නොවූ තරමට සෞම්‍ය වූවාය.

“මයෙ අක්කාගේ මිණිබිරී.. කළු පුතාට කියයි මේකී. ඌ තරහ කරගෙන බෑ පද්මෝ..”

පද්මයක් තරම් සුන්දර නැති පද්මා මෙල්ල කරන්නට ඒ අනතුරු ඇඟවීම නොසෑහිණ.

“කියපුදෙං...මයේ අස්සයට වෙඩි තියන්ඩද කළු අයියා...රෑ තිස්සෙ දොට්ට කරපුවහම රෙදි මෙට්ට සේරම තෙතබරියං වෙනවා. ගඳ ගහනවා. ඔව්වා හෝදන්නේ කළු අයියද අම්මේ? අපට වෙන වැඩක් නෑනේ හුජ්ජ හෝද හොදා ඉන්නවා ඇරෙන්ඩ..”

ඇස්ගෙඩි දෙකේ කඳුළු පුරෝගෙන පයඟිල්ලෙන් මැටි ගෙබිම හාරන කෙල්ල දැක දැක පහන් සංවේගය උපදවා ගත් සුබරත් මැණිකේ “ඇති ඇති ඔය බෙලිකටු මල්ල නොහොල්ලා හිටු. මං මේකට පැදුරක් එලලා දෙන්නං” යි පැවසුවාය.

නින්දෙන් ජංගි පොඩිය තෙමාගන්නා කෙල්ලට ලැබුණු දඬුවම පන් පැදුරය. එහෙත් ඒ පැදුරේම මාරයා හිඳගත් බව දන්නේ නම් කිරිඅම්මාත් පුංචි අම්මාත් සංත්‍රාසයෙන් උමතු වෙනවා සහතිකය.

“මොකද නිකං මල පරවුණා වගේ හේබාලා ගිහිං..?”

මාරයා අහන්නේ අන්ධකාරය ගැන වගේ වගක් නැතුවය. අන්තිමට නිවා දැමුමේ චිමිනි ලාම්පුවයි. ඉන් ඉස්සෙල්ලාම ඒ ඉරණමට මුහුණ දුන්නේ කුප්පි ලාම්පුවයි.

“කල් ඇතුව කාලා බීලා බුදියගන්නවා මිසක භූමිතෙල් නැති නාස්ති කොරලා බෑ...පිරිමි පුළුටක් නැති ගෙදර සකසුරුවංකම අහස උසට තියෙන්ඩෝනෑ” යි වැන්දඹුවක වන සුබරත් මැණිකේ කොතෙකුත් කියන්නීය. වැන්ඳඹුවන් දෙදනකුම ඉන්නා ගෙයක වැඩිමලී නවතා යන්නට ජයසුන්දර තුළ කැමැත්තක් නැත්තේය. එහෙත් හිටි හැටියේ අකමැත්තෙන් වුව ඔහුට තාරකා කැටිව එන්නට සිදුවෙයි. නොච්චිකුලමේ උන්දෑ වටවන්දනාවේ ගොසිනි. දඹේවටන උන්දෑට මැලේරියා උණය. කාගම උන්දෑ සිය මිණිබිරියගේ කළඹ දකින්නටවත් මනාප නැත.

“ආණ්ඩුමාට්ටු කොරන්ඩ ඇහැක් එකියක් නං බැරියැයි. අනේ මට බැරුවා ඕකි එක්ක ඔට්ටු වෙන්ඩ. කියන කිසි දෙයක් අහන්නෑ. ගහලා බැනලා වැඩකුත් නෑ. අපේ තිලකා ගහලා බැනලාම කෙල්ල ඇට්ටර වෙලා. ඕනෑවට වඩා ගහන්ඩ බහින්ඩ ගියහම ඇට්ටර වෙනවා මිසක්කා කීකරු වෙන්නෑ ළමා ළපටි.”

අම්මාගේ ඒ හැවිල්ල කරබාගෙන අහන් හුන් ජයසුන්දර ආපසු හැරුණේය.

“මයේ කොල්ලා ඔංචිල්ලා පදිද්දී තල්ලු කරලා දැම්ම පාර තොලත් පුපුරලා. නළලත් ගෙඩි ගැහිලා. අක්කෙක් කරන වැඩද ඔව්වා? මගේ කෙල්ලගේ අතට බිංකුණ්ඩෙක් දීලා. ඒ කිරි සප්පයා දන්නවද බිංකුණ්ඩො නටවන්ඩ..ඔයා ඔය ළමය එක්කගෙන නොගියොත් මං යනවා යන්ඩ මේ ළමයි දෙන්නා ඇරං අපේ ගෙදර”

බිරින්ඳෑගෙන් වෙන්ව එක රැයක් හෝ ගෙවන්නට කිසිසේත්ම අකමැති ජයසුන්දරට වැඩිමලී නල්ලමුදාවේ නවත්වන්නට තීරණය කළේය. එහිලා තරුණ වැන්දඹුව පද්මාද හේතු භූත වූවා නිසැකය. කෙස්ස තරමට ඇගේ ඇඟපතත් කට්ට කළු බව හැබෑය. එහෙත් ඒ සරුසාර ළමැදත් බරසාර තට්ටම් යුවළත් ඔහුට රසඳුනකි.

“වැඩි දවසකට නෙමේනේ. වැඩිම වුණොත් එක සුමානයයි.” යි හිත හදාගන්නට ඔහු වෑයම් කළේය.

කිරි අම්මාත් පුංචි අම්මාත් ඇඳේ වැටී ගොරොද්දේ අඳින කළ තට්ට තනියම පන් පඳුරේ වකුටු වූ කෙල්ල මාරයාටද තනි නොතනියක් දැනෙන බව දැනගන්නට ලැබීම ගැන තුටු පහටු වූවාය.

“එක්කො යංද යන්ඩ මාත්තෙක්ක?” කෙල්ලගේ නිහැඬියාව නොරිස්සූ මාරයා ගොරබීරම් හඬක් නැඟුවේය.

“බෑ..තාත්තා මට කිව්වා හොඳට ඉගෙනගෙන හොඳ මනුස්සයෙක් වෙන්ඩ කියලා.”

මාරයාගේ මාර හිනාවෙන් මැහැල්ලත් තරුණියත් අවදි නොවීම ගැන තාරකා පුදුමයට පත් වූවාය.

“හොඳට ඉගෙන ගත්තු හොඳ මිනිස්සුත් ඉන්නවද බං කෙල්ලෙ මේ ලෝකේ?”

“තාත්තා කිව්වා ඇත්තට යුත්තියට වෙඩි කෑවත් කමක් නෑ කියලා.”

ඒ තරම් බරපතල කතාවක් බොළඳ හඬකින් ඇසෙන කළ මාරයාට දැනුණේ නුහුරු හැඟුමයකි.

“උඹ වාගේ ඇටකිච්චං කෙල්ලෙක් කියන කතා බලාපල්ලකෝ..”

“මායියා කිව්වාද මාව එක්කගෙන එන්ඩ කියලා?”

“ගෑනු කියන නොකියන කතා බතා මත්තේ හැපිලා බෑ බං...ඉතිං මේ ලෝක ධාතුව වටකර යන්ඩෙපැයි. පරාණ උදුරා ගන්න එකත් ලේසි පාසු වැඩක්ද?”

ඇගේ විසල් දෑස අබියස සුදුම සුදු සිනාවක් පෑවේ ඒ කළුම කළු කොලුවාය.

“සුරං..? සුරං..?” යි ඇය අපමණ උද්යෝගයෙන් මුර ගෑවාය.

“මන්තර මතුරලා මාව පන්නගන්ඩ හම්බුවෙන්නෑ කෙල්ලේ..”

“මන්තරේ...අනේ මන්තරේ කියා දෙන්ඩත් බැරි වුණා සුරංට මට” යි ළතැවෙමින් ඇය මාරාය වෙත නැඹුරු වූවාය.

“සුරං මගේ යාළුවා. එයාව එක්කගෙන ගියේ නෑ නේද ඔයා?”

“නං වනං කටපාඩම් කරගෙන ඉන්නව බං මාරයා? ගියා..ගත්තා පණකෙන්ද..එච්චරයි.”

ඇගේ හෘදය දැවෙන්නට පටන් ගත්තේය.

“සුරංගේ පණකෙන්දත් ඇරං ගියාද?”

කෙල්ලගේ උනන්දුව හා උද්වේගය කොතෙක්ද කිවහොත් මාරයා පවා මොහොතකට ගොළුව ගියේය.

“ඒ..එයා කළුයි..කළුම කළුයි. කෙට්ටුයි. හරි ඊ ඊ හොඳයි..උපාසක ආතා මගෙ ජංගිය ගලවන්ඩ හදනකොට එයා තඩි පොල්ලකින් ඔලුගෙඩිය පුපුරන්ඩ ගැහුවා...ඊට පස්සේ තමා එයා පැනලා ගියේ..එයාට මොකද වුණේ? මට මන්තර ඕන නෑ..මං සුරං හිටියොත් ඇති. අනේ මට සුරං දෙන්ඩ..අනේ දෙන්ඩකෝ.”

මාරයාගේ ගෙල බදා හඬ වැළපෙන්නට රිසි කෙල්ලට සිරුර කිළිපොළා යන සීතලක් හිසක උණුසුමක් නොදැනිණ.

“අනේ මාර මාමේ.. මට මගේ සුරං ගෙනත් දෙන්ඩ”

“ජීවිත උදුරා ගන්නාගෙන් ජීවිතය යදින මාරයා මනුස්ස දුව අබියස අසරණ විය.”

“ඔය කියන සැම්පලේ එකෙක් ගැන මට නිච්චි නිනව් නෑ කෙල්ලේ..මිං මනත මේකා වටකර හක්කලං ගහනකොට මං ඩිංගක් හෝදිසි කරලා බලන්නංකෝ.”

හැබෑම දයා අනුකම්පාවෙන් පොරොන්දු වූ මාරයා කිසි කලෙකත් නොඇසූ ඒ ආදරණීය ආමන්ත්‍රය යළිත් අසන්නට ප්‍රිය කළේය.

“ආයේ සැරයක් කියාපංකො බලන්ඩ ඒක. ආසයි අහන්ඩ.. මං ඇහුවාමයි ඔය..කල්ප කීයකට පස්සෙද මං ඔහොම කතාවක් ඇහුවේ...”

කඳුළුත් හොටුත් උලන්නට ඔහුට දෑතින් අල්ලා බදාගත හැකි ශරීරයක් හෝ එය වසාලූ සරමක් කමිසයක් හැඳ නොවූයෙන් ඇයට පිසීමට ඇගේම ගවොම් සායත් සමීපයෙහි නොවිණ.

“ගවුම ගලවලා බුදියගනිං. උඹ හුජ්ජ කෙරුවොත් ගවුමත් තෙමිලා යනවා. කොච්චර උලලා සේදුවත් හුජ්ජ ගඳ යන්නේ නෑ..”යි සුබරත්මැණිකා අවවාද කළාය.

“ජංගිය විතරනේ ඇඟේ..හොඳට පොරව ගනිං.” යි කියමින් ඇය දිගු කළ චීත්තයේ මල් වියැකී කොතෙක් දුර්වර්ණ වී තිබුණේද කිවහොත් බිම වැටුණොත් බිඳෙන මැටි බඳුනක් මෙන් වැරෙන් ඇද්දොත් ඉරී යනවා සිකුරුය. තෙල් බෙහෙත් ගඳ වෑහෙන එවන් චීත්තයකට ඇබිත්තන් කෙල්ලකගේ හොටුත් කඳුළත් මහ කජ්ජක්ද? එහෙත් ඒ හාම කෙල්ල කිඹුහුම් අරින්නට පටන් ගත්තාය.

“තව එකම එක සැරයක් කියාපං කෙල්ලේ මට මාමා කියලා..ඇත්තමයි. ආසයි අහන්ඩ..මට සන්තෝසේ බැරුවා..”

රුදුරු මාරයාගේ ඒ අහිංසක හා ආදරණීය ඉල්ලීම ඉටු කරන්නට තාරකා අපොහොසත් වූවාය. මන්දයත් කිඹුහුම් ඇරීමේ තරග ඉසව්වකට සහභාගී වූ කලෙක මෙන් නොනවත්වා කිවිසන්නට වූ බැවිනි.

News Order: 
6
මාතෘකා