ලොව ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ රාජකීය සමාජයට එක් වූ ලංකාවේ මහාචාර්යවරයා

 ඡායාරූපය:

ලොව ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ රාජකීය සමාජයට එක් වූ ලංකාවේ මහාචාර්යවරයා

ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්‍රී ලාංකික මහාචාර්යවරයකුට හිමි වී තිබේ.

මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ එම සමාජයට එක් වන දෙවන ශ්‍රී ලාංකිකයා වේ. සාර්ස් වෛරසය හඳුනා ගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මීට පෙර 2006 වසරේදී එහි සාමාජිකත්වය ලැබීය.

රාජකීය සමාජය යනු මෙතෙක් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැලකේ. ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්, චාර්ල්ස් ඩාර්වින්, ස්ටීවන් හෝකින්ස් ආදී විශිෂ්ට විද්වතුන් එම සංගමයේ සාමාජිකත්වය දරා තිබේ.

මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ නම් කළේ ඇයි?

මේ වන විට ඇමරිකාවේ සේවය කරන මහාචාර්ය කුමාර් වික්‍රමසිංහට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනමා ඇත්තේ භෞතික සහ විදුලි ඉන්ජිනේරු තාක්ෂණය වෙනුවෙන් ඔහු කළ මෙහෙය සැලකිල්ලට ගනිමිනි.

"කුමාර් වික්‍රමසිංහ විදුලි, ජාලමය, චුම්බක සහ තාපන අංශවල ස්කෑන් පරීක්ෂණ සදහා විශේෂ අණුක අන්වීක්ෂ (SPM) කිහිපයක් හඳුන්වා දී තිබේ," යනුවෙන් රාජකීය සමාජයේ වෙබ් අඩවියෙහි ඔහු පිළිබඳ හැඳින්වීමක් කර තිබේ.

නැනෝ තාක්ෂණික විද්‍යාගාරවල අද භාවිත කරන අණුක අන්වීක්ෂ නිෂ්පාදනය කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නියමයන් ඉවහල් වී ඇත. මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ විදුලි ඉංජිනේරු, විද්‍යුත් ඉන්ජිනේරු, ජෛව රසායනය සහ අණුක විද්‍යාව යන ක්ෂේත්‍ර කිහිපයක් සඳහා විශේෂඥයෙකි. ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනැමීම නිල වශයෙන් සිදු කෙරෙන්නේ ජූලි 12 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදීය.

රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මහාචාර්යවරයා පවසා ඇත්තේ, "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් සාමාජිකත්වය දැරූ ලොව පැරණිතම විද්වත් සංගමයේ සාමාජිකත්වය හිමි වීම පිළිබඳව තමන් නිහතමානීව සතුටු වනවා" යැයි කියාය.

"මම කළ දේ අගය කිරීමට ගෝලීය සංගමයක් ඉදිරිපත් වීම ගැන මම ගොඩාක් සතුටට පත් වනවා." යැයි ඔහු කියා තිබිණ.

මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ යනු කවුද?

කුමාර් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1970 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තේය. තවත් වසර 4කින් එනම් 1974 වසරේදී ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගැනීමට සමත් විය.

ඔහු විශ්වවිද්‍යාල අචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කර ඇත්තේ 1978 වසරේදීය. ඒ, ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ කථිකාචාර්යවරයකු වශයෙනි.

ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණික මධ්‍යස්ථානය වන බියගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පිහිටුවීමටද මුල් වී ක්‍රියා කළ ඔහු එහි උපදේශකවරයකු ලෙසද කටයුතු කරයි.

මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මේ වන විට ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කරයි.

"රාජකීය සමාජයේ සාමාජිකයකු ලෙස තෝරා ගැනීමෙන් මහාචාර්ය වික්‍රමසිංහ නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රයට කර ඇති දායකත්වය ගෝලීය පරිමාණයෙන් පිළි ගැනීමට ලක්ව තිබෙනවා. මෙය විශිෂ්ට ජයග්‍රහණයක්." යැයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විධායක උප කුලපති එන්රිකේ ලැවර්නියා පවසා තිබේ.

රාජකීය සමාජය යනු කුමක් ද?

තවමත් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විද්වත් සංගමය ලෙස සැලකෙන රාජකීය සමාජය ආරම්භ වී ඇත්තේ 1660 වසරේදීය.

නැනෝ තාක්ෂණය යනු,

මේ වන විට රාජකීය සමාජය සාමාජිකයින් 1,600 දෙනකුගෙන් පමණ සමන්විතය. ලෝකයේ කීර්තිමත්ම විද්‍යාඥයන් සඳහා පමණක් එහි සාමාජිකත්වය පිරිනැමේ.

 

BBC සිංහල

මාතෘකා