කාබන්ඩයොක්සයිඩ් සමඟ වසර 800,000ක් පසු පසට යමු

 ඡායාරූපය:

කාබන්ඩයොක්සයිඩ් සමඟ වසර 800,000ක් පසු පසට යමු

කාර්මික විප්ලවයට පෙර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වූයේ 280ppm පමණ. නමුත් 1860ට පසු සිදු වූ පළමු කාර්මික විප්ලවය නිසා ෆොසිල ඉන්ධන, ගල්අඟුරු, සහ ස්වභාවික වායු ආදී කාබන්වලින් සංතෘප්ත ඉන්ධන ද්‍රව්‍ය දහනය කිරීම නිසා 19 වැනි සියවසේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණා. එය දැන් ආපසු හැරවිය නොහැකි අගයක් වන 400ppm පසුකරගොස් හමාරයි. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 400ppm පසු කළ දිනය ලොව පුරා පරිසරවේදීන්ගේ ශෝකදිනයක් වුණා. එය මේ තරම් ඉක්මනින් ළඟාවේ යැයි කිසිවකු අනුමාන කළේ නැහැ.

ජීවත්වන අප සැවොම දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන එක් දෙයක් ඇත. එය නැවැත්වුව හොත් අප ජීවත් වන්නේද නැත. ඒ අප සියලුම දෙනා සිදු කරන ශ්වසනයයි. ජීවීන් වශයෙන් අප සැවොම ඔක්සිජන් සහිත වාතය ආශ්වාස කර, වැඩිපුර කාබන්ඩයොක්සයිඩ් සහිත වාතය ප්‍රශ්වාස කරයි. සාමාන්‍ය මිනිසකු දිනකට කාබන්ඩයොක්සයිඩ් කිලෝ එකක් පමණ ප්‍රශ්වාස කරයි. ඒ අනුව මෙලොව වසන බිලියන 7.7ක ජන සංඛ්‍යාව ගත් කල දිනකට මානව ප්‍රශ්වාසයෙන් පමණක් වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ බිලියන අටකට වඩා වැඩිවනවා. ෆොසිල ඉන්ධන දහනය සහ මේ සියලු මානව ක්‍රියාකාරකම් ගත් කල වසරකට අපි වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලිනයන හතළිහකට ආසන්න වෙනවා. කෙසේ වුවත් අප ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය, අනෙකුත් කාබන් ප්‍රමාණය හා සසඳන කළ සහ ශාක විසින් උරා ගන්නා ප්‍රමාණය හා සසඳන කළ නොගිනිය හැකි තරම්. එසේ වුවත් වායුගෝලයට අප විසින් සෑම විටම වැඩි වැඩියෙන් කාබන්ඩයොක්සයිඩ් එකතු කරනවා. මේ නිසාම දැන් ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල කොටස් මිලියනයකට කාබන්ඩයොක්සයිඩ් කොටස් 415ක් (415 ppm) බවට පත් වී තිබෙනවා. මේ ප්‍රමාණය අවසාන වතාවට වායුගෝලයෙන් තිබී ඇත්තේ වසර ලක්‍ෂ අටකට පෙරයි..

1958 සිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දිනපතා ගණනය කරනු ලබන්නේ හවායිහි මවුනා ලෝවා ගිනිකන්ද පිහිටි කඳුයායේ පිහිටුවා ඇති ජාතික සමුද්‍ර සහ වායුගෝලීය පාලක මණ්ඩලය (National Oceanic and Atmospheric Administration-NOAA) මඟින් පවත්වාගෙන යන පර්යේෂණාගාරයක් මගින්. එසේ නමුත් අයිස් කඳු මධ්‍යයේ, විවිධාකාර කුහර හෝ ඈත අතීතයේ සංවෘත වූ බඳුන් වැනි දෑ තුළ තිබූ වායු සාම්පල පරීක්‍ෂා කිරීම මඟින් වසර 800,000කටත් වඩා පැරණි කාලයක වූ වායුගෝලීය තත්ත්වයන් පවා පරීක්‍ෂා කිරීමේ හැකියාව මේ පර්යේෂණාගාරයට ඇති නිසා සුවිසල් දත්ත ගබඩාවක් ඔවුන් සතුය. මේ නිසා සෑම විටම පැරණි තත්ත්වයන් හා නව දත්ත සැසඳීමේ හැකියාව ඔවුන් සතුව පවතී.

ලොව පුරා තෝරා ගත් ස්ථාන ජාලයක දී එකතු කරගත් වාතය සාම්පල දහස් ගණනක් කොලරාඩෝ හී වූ රසායනාගාරයේදී ඉතාමත්ම දියුණු සහ සූක්ෂ්ම උපකරණ භාවිතයෙන් විශ්ලේෂණය කරන විද්‍යාඥයන්, ඒවායේ අඩංගු ඔක්සිජන් (21%ක් පමණ), නයිට්‍රජන් (78%ක් පමණ) සහ ආගන් (1%ක් පමණ) සහ අවශේෂ වායු වර්ග - විශේෂයෙන්ම කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායූන් - පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා. මෙයට අමතරව විවිධ ස්ථානවල තනා ඇති දුරකථන සහ රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුනු, උස් ගොඩනැඟිලි වැනි ස්ථානවල තබා ඇති වායු විශ්ලේෂක මාර්ගයෙන්ද ඒ ඒ ස්ථානවලවූ වායු සංයුතිය ගණනය කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම සතියකම ලෝකයේ වායු සංයුතිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාව ඉදිරිපත් කෙරෙනවා. එහි දැකිය හැකි එක් කරුණක් වන්නේ සෑම විටම පසුගිය අවුරුද්දේ ඊට අදාළ දිනයට වඩා මේ අවුරුද්දේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවයි. එය සමහර කාලවලදී 3ppm තරම් වැඩි වෙනවා. උත්තරාර්ධගෝලයේ ශීත ඍතුවේදීමේ වැඩිවීම ඉහළ යන්නේ ඒ කාලවලදී ශාක පත්‍ර ප්‍රමාණය ඉතාමත්ව අවම ප්‍රමාණයක් වීම නිසා.

ලෝකය සෑම දෙයකින්ම සමතුලිතතාවයේ පවතින්නේ විවිධාකාර චක්‍රයන් නිසා. ජලචක්‍රය, නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය මේවාට උදාහරණ වනවා. කාබන් චක්‍රය විවිධාකාර කාබන් තැන්පතු කිහිපයකින් සමන්විතයි. වායුගෝලය, ජලගෝලය, සත්ත්ව ලෝකය, භූමිය ආදිය මේවාට උදාහරණ කිහිපයක්. බොහෝවිට සත්ත්ව ලෝකයෙන් කාබන් චක්‍රයට දායකත්වය ලැබෙන්නේ කාබන්ඩයොක්සයිඩ් නිකුත් කිරීම නිසා. මෙය වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 55ක් පමණ වනවා. සමුද්‍රයෙන් කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 90ක් පමණ නිකුත් වනවා.

එසේම මේ නිකුත් වන සියල්ලම ශාක සහ සමුද්‍රය විසින් නැවත පරිභෝජනයට ගනු ලබන නිසා සමතුලිතතාව පවතිනවා. මේ නිසා ස්වභාවික චක්‍රයේ වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පසුගිය වසර දසදහස තුළදීම සැලකියයුතු වෙනසකට භාජන වී නැහැ. නමුත් මිනිසා විසින් පරිසරයට එකතු කරන අමතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ සමතුලිතතාව බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

කාර්මික විප්ලවයට පෙර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වූයේ 280ppm පමණ. නමුත් 1860ට පසු සිදු වූ පළමු කාර්මික විප්ලවය නිසා ෆොසිල ඉන්ධන, ගල්අඟුරු, සහ ස්වභාවික වායු ආදී කාබන්වලින් සංතෘප්ත ඉන්ධන ද්‍රව්‍ය දහනය කිරීම නිසා 19 වැනි සියවසේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණා. එය දැන් ආපසු හැරවිය නොහැකි අගයක් වන 400ppm පසුකරගොස් හමාරයි. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 400ppm පසු කළ දිනය ලොව පුරා පරිසරවේදීන්ගේ ශෝකදිනයක් වුණා. එය මේ තරම් ඉක්මනින් ළඟාවේ යැයි කිසිවකු අනුමාන කළේ නැහැ. නමුත් සිතුවාට වඩා ඉක්මනින් එය උදා වූයේ අපේම නොසැලකිල්ල සහ වගකීම් විරහිත භාවය නිසා. එය ප්‍රධාන වශයෙන්ම ඛනිජ තෙල් භාවිතය සහ ගල්අඟුරු භාවිතයෙන් සිදු කරන බලශක්ති නිෂ්පාදනය, ඛනිජතෙල් දහනය මඟින් සිදු කරන ප්‍රවාහනය, ඛනිජතෙල් ආශ්‍රයෙන් සිදු කෙරෙන රසායන ද්‍රව්‍ය සංශ්ලේෂණය, වනාන්තර විනාශය, සහ විවිධාකාර කර්මාන්ත නිසා සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නිසා සිදු වනවා. මේ විමෝචනයන්ට සාපේක්‍ෂව වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත්වීම ඒ හා සමාන ශීඝ්‍රතාවකින් සිදු නොවීම නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා.

ලෝකය පුරා සිදුවන වන විනාශය ගණන් ගතහොත් එය වසරකට හෙක්ටයාර මිලියන 13.7ක් ලෙස ගණන් බලා තිබෙනවා. එය භූමි ප්‍රමාණය වශයෙන් ගතහොත් ග්‍රීසියේ භූමි ප්‍රමාණයට සමානයි. ලොව වැඩිම වන විනාශයක් සිදු වන්නේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව බොලීවියාව සහ පේරු රාජ්‍යයන් තුළයි. නමුත් රටක් වශයෙන් ඉන්දුනීසියාව ඉදිරියෙන්ම සිටිනවා.

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යෑම නිසා පාරිසරික වෙනස්කම් රාශියක් සිදු වනවා. ඇමෙරිකාවේ බටහිර ප්‍රාන්තවලට බලපා ඇති දීර්ඝකාලීන නියඟය, ඇමෙරිකාවේ කුණාටු කාලය දික්වීම සහ සුළි සුළංවල ප්‍රබලතාව එන්න එන්නම වැඩි වීම, අනිසි කලට සිදු වන හිම කුණාටු සහ ඒවායේ බලපෑම වැඩි වීම, මෝසම් සුළං සහ මෝසම් වැසිවල ප්‍රබලතාව වැඩි වීම, වැසි රටා වෙනස් වීම, සංවහන වැසි කාල පසුපසට යෑම, මෙවැනි පාරිසරික බලපෑම්වලින් ප්‍රබලව දැනෙන කිහිපයක්. මෙයට අමතරව ප්‍රධාන බලපෑම සිදු වන්නේ ධ්‍රැවීය අයිස් දියවීමයි. මෑතකදී නිව්යෝර්ක් නගරය හා සමාන අයිස් තට්ටුවක් ඇන්ටාක්ටිකාවෙන් ගැලවීම, ආක්ටික් ධ්‍රැවයෙන් තවත් සුවිසල් අයිස් කුට්ටියක් ගැලවී යෑම සහ ධ්‍රැවීය අයිස් තට්ටුවේ පිපිරීම් ඇති වීම ලොවට ප්‍රබලව දැනෙන ආචරණ වනු ඇති. ධ්‍රැවීය අයිස් දියවීම නිසා ලොව උෂ්ණත්වය සමතුලිතතාව බිඳී යනවා පමණක් නොව, මුහුදු ජල මට්ටමේ ද සැලකිය යුතු වෙනසක් සිදු වීමට නියමිතයි. ලොව ජනගහනය වැඩිම නගර සියල්ලම පාහේ පිහිටා ඇත්තේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත නිසා සමුද්‍ර ජලමට්ටම ඉහළ යෑමෙන් සුවිසල් ජනගහන සහ වාසස්ථාන අර්බුදයකටද මුහුණ පෑමට සිදු වේවි. දැනටමත් මාලදිවයින වැනි මුහුදු මට්ටමේ වූ දූපත්වලට මේ ආචරණ දැනෙන්නට පටන් ගෙන අවසන්. එසේ වුවහොත් අප රටේද උතුරු නැඟෙනහිර සහ මුහුදුබඩ ප්‍රදේශ බොහොමයක් ඉදිරි සියවස තුළ ජලයෙන් යටවී යෑමට හැකියි. අප දශක ගණනාවක් සටන් කළ භූමිය අත්පත් කර ගැනීමේ යුද්ධයේ සඵලතාව කුමක්දැයි කියා ඒ වන විට ජීවත්ව සිටින අයට තේරුම් යාවි.

මෙය බලපාන්නේ මිනිසාට පමණක්ම නොවේ, උෂ්ණත්වය වෙනස් වීමේදී සතුන්ගේ ජීවිත ද ඒ හා පරිණාමය වනවා. උෂ්ණත්වය ඉහළ යෑමේදී පෙන්ගුවින් වැනි කුරුල්ලන්ගේ බිත්තර දැමීමේ රටාවන් වෙනස් වීම, පලතුරු මැස්සාගේ ජාන වෙනස් වී ඔවුන් ඉහළ උෂ්ණත්වලට ඔරොත්තු දෙන සහ දැනට වසන සමකාසන්නයෙන් උත්තරාර්ධගෝලයේ පහළ කොටසට සංක්‍රමණය වන තත්ත්වයක් ඇති වීම. හිම වලසා, පිණිමුවා වැනි සතුන්ගේ වඳවී යෑම්, උත්තරාර්ධගෝලයේ ශාක ගහණයන්ගේ අසමතුලිතතාවන් ආදී දෑ දැන් දැන් ඇස් පනාපිට දැකිය හැකියි. මේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම නිසා එය මුහුදු ජලයේ දියවීම ද වැඩි වනවා. මේ නිසා සමුද්‍රයේ වූ අපෘෂ්ඨවංශී කවච දරන සතුන්ගේ කවචවල වෙනස්කම් සිදු ඇතිවීම සිදු වී හමාරයි. කාබන්ඩයොක්සයිඩ් මුහුදු ජලයේ දියවීම නිසා එහි වූ ආම්ලික ගතිය ස්වල්පයක් වැඩි වනවා. එවිට ඔවුන්ගේ කවච මෘදු වී ඔවුන් ප්‍රමාණයෙන් විශාල වෙනවා. එසේම කවච මෘදු වීම නිසා පහසුවෙන් ගොදුරු බවට පත් වීම හෝ අකාලයේ මිය යෑම ද සිදු වනවා. එසේම ඉහළම හානිය සිදු වී ඇත්තේ කොරල්පරවලටයි. මුහුදේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඔස්ට්‍රේලියාවේ මහ බාධක පරයේ වූ කොරල් මිය යෑමට ලක් වී තිබෙනවා. එසේම අප රට අවට ද ඒ ප්‍රවණතාව දැකිය හැකියි. කොරල්පර මිය ගිය විට මුහුදේ වූ ස්වභාවික බාධකය ඉවත් වී යන නිසා සමුද්‍ර ඛාදනය ද ඉහළ යනවා. මෙය විෂම චක්‍රයක්.

මෙය මෙසේ වැඩි වුවත් කාබන්ඩයොක්සයිඩ් මිනිසාට අහිතකර වීමට නම් එය 1000ppm – 2000ppm පමණ ප්‍රමාණයකට වැඩි විය යුතුයි. නමුත් එය එසේ වැඩිවන විට පරිසරයට සිදු වී ඇති හානිය නැවත ආපස්සට හැරවිය නොහැකියි. ලොව පුරා මිලියන 4.6ක් වායු දූෂණය නිසා මිය යනවා. පරිසරය විනාශ වෙනවා යැයි සිතා සංවර්ධනය සමඟ වැඩිවන මිනිස් අවශ්‍යතා නිසා මිනිසාට හුස්මක් නොගෙන සිටීමට හෝ ඉදිකිරීම් නොකර සිටීමට හෝ කාර්මීකරණය නොවී සිටීමට නොහැකියි. එය කිසිවකුත් නොකරන දෙයක්. නමුත් පරිසරය ආරක්‍ෂා කරගෙන සංවර්ධනය කිරීමට හැකි නම්, වැඩිවන මිනිස් අවශ්‍යතා තිරසර සංවර්ධනයකට සමගාමීව කළ හැකි නම් එය ඉතා අගෙයි. වැඩි වැඩියෙන් සූර්ය බලශක්තිය, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්තීන් භාවිතය, ගල්අඟුරු, ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඈත් වීම, නව ද්‍රව්‍ය නිපදවීම වෙනුවට ප්‍රතිචක්‍රීයකරණය පුළුල් කිරීම, වන වගාව, වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් භාවිතයෙන් නව ඉන්ධන වර්ග සැකසීම - මෙමඟින් කාබන්ඩයොක්සයිඩ් අලුතෙන් වායුගෝලයට නිදහස් වීම නවතී. පරිභෝජනය අඩු කිරීම වැනි බොහෝ පියවරයන් ගත හැකිය.

අවාසනාවකට ලෝකයට පරිසරය යනු ආභරණයක් මිස වැදගත් දෙයක් නොවේ. ඔබට උණුසුම වැඩි නම්, ඔබ කරන්නේ විදුලිපංකාවක් හෝ වායුසමන යන්ත්‍රයක පිහිට පැතීම විනා, ගසක් සිටුවීම වැනි දීර්ඝකාලීන ප්‍රතිඵල දෙන යමක් නොවනු ඇත. කෙසේ වුවත් ලෝකය විනාශ වන දිනක අප-ඔබ මේ මිහිමත ජීවත් නොවනු ඇත, නමුත් ..... අපේ මී මුණුපුරන් - මළගිය අපට කවදා හෝ සාප කරනු ඇත.

ආචාර්ය  [පියල් ආරියනන්ද]

මාතෘකා