බිය සැක නැති කළ ගුරු සිත

 ඡායාරූපය:

බිය සැක නැති කළ ගුරු සිත

"ඒක හරිම අපූරු අත්දැකීමක් වුණා. ඔන්න එදා උදේ 6 වෙනකොට ළමුන් පිළිගන්න ඇවිල්ලා හිටියේ වලස් මාමා කෙනෙක් එයා හැම ළමයෙකුටම කතා කරනවා, විහිළු කරනවා, ඒ අතර ආරක්ෂාවට ඇවිත් ඉන්න අය බෑගයත් පරීක්ෂා කරලා ළමයාට දෙනවා. හැබැයි ළමයින්ගේ මනස වලහා ළඟ. කට්ටිය එකතු වෙලා එයාට විහිළු කරනවා. ඉතින් වලහා කියනවා දැන් පන්තිවලට ගිහින් පිරිසුදු කරලා ලෑස්ති වෙන්න අද තව ගොඩක් යාළුවෝ එක්ක එයත් එනවා හැම පන්තියකටම කියලා. හරියට ළමුන්ට සතුට ඉන්ජෙක්ට් කරලා වගේ ළමුන් වැඩ."

ළමා මානසික උපදේශකවරයකු වන වසන්ත හේරත් මහතා අපූරු ඡායාරූප පෙළක් සමඟ මුහුණුපොතේ සඳහනක් කර ඇත්තේ එසේය. ව්‍යාකූලත්වයක් සහිත වකවානුව එකී ව්‍යාකූලත්වය දරුවන්ට සම්ප්‍රේෂණය කිරීම වෙනුවට එක්තරා පාසලක් සහ මනෝ උපදේෂකවරයකු එක් වී දරුවන්ගේ මානසික සහ චිත්තවේගී යහපැවැත්ම වෙනුවෙන් කළ නිර්මාණශීලී ක්‍රියාවක් ගැනයි මේ සටහන.

පාස්කු ඉරු දින සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් මාලාවත් සමඟම මුළු රටම මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත් විය. එම සිදුවීම් මාලාව ඊට හේතුවූවා මෙන්ම එවැනි විශේෂ මොහොතක රටේ සමහර විද්‍යුත් මාධ්‍යයන්ගේ හැසිරීම ඒ සඳහා ප්‍රබල ලෙස හේතු විය. කෙසේ වෙතත් එම මානසික ව්‍යාකූලත්වයට වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද ගොදුරු බවට පත් විය. වැඩිහිටියන්ගේ භීතිය ත්‍රාසය මුසු කතාබස් කුඩා දරුවන්ට සම්ප්‍රේෂණය වීම සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවල වගකීම් විරහිත හැසිරීම් ඔස්සේ එකී ව්‍යාකූලත්වය දරුවන්ට සම්ප්‍රේෂණය වීම නොවැළැක්විය හැකිය.

"රටක අනාගතය බාරගත යුත්තේ කුඩා දරුවන්" යැයි කීවාට අනාගත පරපුර බාරගන්නා ඔවුන්ගේ මනස නිරවුල් නැති නම්, ව්‍යකූල නම්, භීතියට පත් වේ නම් රටේ අනාගතය ගැන සුබසිහින උපන්ගෙයිම මරා දමන්නට වැඩිහිටියන් සූදානම් විය යුතුය. මන්දයත් එවන් පීඩාකාරී මානසිකත්වයක් සහිතව හැදෙන වැඩෙන දරුවන් වැඩිහිටියන් වූ පසු කටයුතු කරන්නේද ව්‍යාකූලත්වයකින්ය. ලෝකයේ යුදමය මානසිකත්වවල සිටි රටවල දරුවන් පසුකාලීනව බරපතළ මානසික ව්‍යාකූලතාවලට මුහුණදී ඇති අවස්ථා ඕනෑ තරම්ය. ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය වැනි දිර්ඝ කාලීන යුද ක්‍රියාදාම පැවති රටවල දරුවන් මානසිකව ව්‍යාකූලත්වයට පත්වී ඇති ආකාරය දැකගත හැකිය. එවැනි රටවල සංවර්ධනය මන්දගාමී වීමටද රටේ අනාගතය බාරගන්නා පරපුරේ පවතින මානසික ව්‍යාකූලත්වය හේතුවක් ලෙස දැක්විය හැකිය.

තිස් වසරක යුදමය මානසිකත්වයකින් හෙබි ලාංකේය සමාජය පසුගිය දස වසර තුළ එකී ව්‍යාකූලත්වයෙන් මිදී සංවර්ධනය කරා පිය නැඟුවේය. තිස් වසරක යුද මානසිකත්වයෙන් යුතු තරුණයන් වැඩිහිටියන් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සහිත සමාජයක් ඉන්පසුව ඉපදුණු දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කළහ. 2009 වසරෙන් පසු උපත ලද දරුවන් යුද්ධයක් දැක නැත. "බෝම්බ" යන වචනයේ තේරුමවත් දන්නේ නැති තරම්ය. එහෙත් පසුගිය ඉරුදින පාස්කු ප්‍රහාරයත් සමඟම ඔවුන්ට එකී භීතිය දැනෙන්නට පටන් අරගෙනය. ඔවුන්ට එම වකවානුවේ ඇති ලොකුම ප්‍රශ්නය අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් පටන් ගන්නේ නැත්තේ ඇයිද යන්නයි. පාසල් ආරම්භ කළ පසු එහි වටපිටාව ඔවුන් වෙනදා දුටු පාසලට වඩා වෙනස්ය. හමුදා නිල ඇඳුමෙන් යුත් මාමලා ඔවුන්ගේ ආරක්ෂාවට පාසල් ගේට්ටුව ඉදිරිපිට තුවක්කු දෝත දරාගෙනය. වෙනදාට ලේසියෙන් ඇතුළු වෙන්නට පුළුවන් පාසල් ගේට්ටුව අසල දැන් එක කලබලයකි. ශිෂ්‍ය නායක අයියලා අක්කලා, අම්මලා තාත්තලා හරි හරියට පාසල් බෑග් සෝදිසි කරන්නේ තමන්ද සැකකාරයකු වැනි විලාසයකිනි. මේ සියල්ලම කුඩා දරුවන්ට වෙනස් අත්දැකීමකි. ඔවුන් මේ සියල්ල දකින්නේ කුතුහලයෙන් යුතු මනසකින්ය.

එවන් මොහොතක විනිවිද පෙනෙන පාසල් බෑග් රැගෙන නොපැමිණි දරුවන් පාසලට නොගත් විදුහල්පතිවරුන් පිළිබඳවද අපට පසුගිය වකවානුවේ අසන්නට ලැබිණි. පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මවුපියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳව පසුගියදා මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීය. එමෙන්ම ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඇතැම් කණ්ඩායම් පාසල් දරුවන් හා මවුපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු කරන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව සිසුන් හා මවුපියන් අපහසුවට පත්වන අයුරින් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාව දැනුම්වත් කළේ පසුගිය දිනවලය.

පාසලක් යනු දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව ඔවුන්ගේ මානසිකත්වයද නිසියාකාරයෙන් සකසා පෞරුෂය වර්ධනය කළ යුතු ස්ථානයකි. ගුරුවරයාට දරුවන් වැඩි පිරිසකට ආමන්ත්‍රණය කළ හැකි බැවින් මේ මොහොතේ ඔවුන්ට පැවරෙන්නේ භාරදූර කාර්යයකි. ඔවුන් මේ මොහොත පිළිබඳව දරුවන්ට වැටහෙන අන්දමින් පැහැදිලි කළ යුතුය. ආරක්ෂාව පිළිබඳව විමසිලිමත්භාවය පිළිබඳව කුඩා මනසට සරිලන ආකාරයට පහදා දිය යුතුය. එහෙත් ඒ සියල්ල පසෙකලා ළමා මනෝවිද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳවවත් නොදන්නා මුග්ධ ගුරුවරුන් දරුවන්ට පැහැදිලි කරනුයේ අයිඑස්එයිඑස් සංවිධානය ගැනය; ත්‍රස්තවාදය ගැනය. පාසලෙන් නික්මෙන දරුවන් නිවසට විත් මවුපියන්ගෙන් අසන්නේ අයිඑස්අයිඑස් යනු කුමක්ද කියාය. මිත්‍රවරුනි, මේ ලංකාවය. ලංකාවේ හැටි එහෙමය. දරුවන්ට කිවයුතු වන්නේ කුමක්ද නැත්තේ කුමක්දැයි නොදන්නා කටමැත දොඩවන ගිරාපෝතක ගුරු සමාජයක් අද පාසල්වලින් බිහි වී හමාරය.

මෙවැනි අවධියක දරුවන් වෙනුවෙන් නිර්මාණශීලීව කටයුතු කළ හැකි වැඩිහිටියන් නැතුවාම නොවෙයි. දරුවන්ගේ ආරක්ෂාව, සමාජ හා චිත්තවේගී යහපැවැත්ම, විෂය ඉගෙනීම හා සාර්ථකත්වය යන ක්‍රියාපටිපාටිය වඩා සාර්ථක කරගැනීම උදෙසා මැයි මස 27 වැනිදා කළුතර ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය සහ ළමා මානසික උපදේෂකවරයකු වන වසන්ත හේරත් මහතා එක්ව අපූරු ආදර්ශ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

එදින කළුතර ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූපුතුන්ට සුවිශේෂී දිනයකි. උදෑසන 6 වන විට ඔවුන් පිළිගැනීමට පාසලේ බිහිදොර අබියස සිටින්නේ අපූරු වලස් මාමා කෙනෙකි. එයා හැම ළමයකුටම කතා කරයි; විහිළු කරයි. මේ අතරවාරයේ දරුවන්ට නොදැනුවත්වම ඔවුන්ගේ පාසල් බෑගයන් පරීක්ෂාවට ලක්වෙයි. නමුත් දරුවන්ගේ මනස ඇත්තේ වලස් මාමා ළඟය. වෙනදාට වඩා උද්‍යෝගයෙන් පිරිසුදු කිරීම් කටයුතු අහවර කළ ඔවුන් සඳහා එදින විශේෂ වැඩසටහනක් පැවැත්වීය. පළමු, දෙවන හා තෙවන ප්‍රධාන අවධි සදහා වෙන වෙනම පැය 1.15 විශේෂ වැඩසටහනක් පැවැතුණු අතර ඉන්පසුව දරුවන්ගේ ආරක්ෂාව, සමාජ හා චිත්තවේගී යහපැවත්ම, විෂය ඉගෙනීම හා සාර්ථකත්වය යන තෙවැදෑරුම් සංකල්ප ඔස්සේ මපට් වේදිකාවක පවත්වන මපට් සංදර්ශන, වීඩියෝ හා කාටූන්, වීදි ගායනා, භූමිකා රංගන, සහභාගීත්ව සාකච්ඡා, බිල්බෝර්ඩ් හා දැන්වීම්, ක්‍රීඩා ක්‍රියාකාරකම් ආදී වැඩසටහන් රාශියක් ඔවුන් වෙනුවෙන් එදින සංවිධානය කර තිබිණි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සියලු ක්‍රියාකාරකම් අතරවාරයේ තමන් ආරක්ෂා විය යුතු ආකාරය, විමසිලිමත් විය යුතු ආකාරය, හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ළමා මනසට වටහා ගැනීමට උචිත ආකාරයෙන් දරුවන්ට සම්ප්‍රේෂණය කිරීමය.

දරුවන් වෙනුවෙන් මිනිසුන්ට කළ හැකි දෑ අපමණය. දරුවන් යනු රටේ අනාගතය නම් ඔවුන්ගේ මනස නිරවුල් විය යුතුය. කෙතරම් බිහිසුණු වාතාවරණයකදී වුවත් ඔවුන්ගේ මනස ව්‍යාකූල නොවීමට වැඩිහිටියන් වගබලාගත යුතුය. මන්දයත් ඔවුන් මනසින් ව්‍යාකූල වුවහොත් එය මතු යම් දිනෙක ඔවුන්ගේ පෞරුෂ වර්ධනය කෙරෙහි ප්‍රබල හානියක් සිදුකරයි. එම නිසා පීඩාකාරී වාතාවරණයක වුවද එම පීඩාවන් මතින් දරුවන් සඳහා වැඩිහිටියන්ගේ විශේෂ අවධානයක් යොමු විය යුතුය. එය එසේ නොවන්නේ නම් එයින් සිදුවන සමාජ හානිය සඳහා වැඩිහිටියන් සියල්ලන්ම වගකිව යුතුය.

පවතින සමාජ වාතාවරණය අනුව කටයුතු කරමින් දරුවන්ගේ චිත්තවේග සහ මානසික ක්‍රියාවලිය වර්ධනය කිරීම උදෙසා කළ මෙම නිර්මාණශීලී වැඩසටහන අගය කළ යුතුය. අනවශ්‍ය භීතිය පැතිරවීම වෙනුවට, අනවශ්‍ය කලබලකාරී වටපිටාවන් සකස් කිරීම වෙනුවට වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කළ යුත්තේ මෙලෙසය. ඒ වෙනුවෙන් කටයුතු කළ ළමා මනෝ උපදේශක වසන්ත හේරත් මහතාට සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ප්‍රණාමය හිමි විය යුතුය.

කෙසේ වුවත් මෙවැනි නිර්මාණශීලී ක්‍රම හරහා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තර කරන අතරතුර එවැන්නක් හරහා පැන නැඟිය හැකි ගැටලු ගැනද අවධානය යොමු කළ යුතුය. මෙවැනි වේෂයන්ගෙන් පැමිණ ත්‍රස්තයන්ට හෝ වෙනත් අපරාධකරුවන්ට විනාශයක් සිදු කිරීමට ඇති ඉඩ ඇහිරීම ගැනද මෙවැනි අධ්‍යාපනික ආයතනවල වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය.

දරුවන් මල් වගේ යැයි පවසන්නේ නම් ඒ මල් පෙතිවල කිලිටි තවරනු වෙනුවට, ඒ මල් තළා වනසනු වෙනුවට, ඒ මල්වලට විෂඝෝර කෘමි සතුන් කැන්දනු වෙනුවට ඒ මල් පරිස්සමට රැක බලාගැනීම ඔබේ වගකීමකි. මන්දයත් මතු යම් දිනෙක මුළු මහත් ලොවම සුවඳවත් කරන්නේ එවන් මල් කැකුළු බැවිනි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා