මහත්වරුනි, මේ කතාවත් අහන්න

 ඡායාරූපය:

මහත්වරුනි, මේ කතාවත් අහන්න

“මට ලැබුණේ අතුගාන වැඩේ. හැබැයි එතැන අනෙක් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක් තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිති වුණා. මම ඉතින් එතැනට පුරුදු වුණා. බිම නිදා ගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේ රෑ කෑම එකයි තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා. එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන කියලා. මේක සමහර විට අවුරුද්දක්ද දෙකක්ද දහයක්ද දන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා ඒක හින්දා. පළවෙනි දවසේ රෑ නම් මම නිදා ගත්තෙත් නෑ. දූවිලි පිරිලා, සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා. ලයිට් ගලවලා. ඒවයේ බදාම වැටිලා.

“අනෙක් සිරකරුවන් ඔක්කොටම ෆෑන් තියෙනවා. ටෙලිවිෂන් තියෙනවා. මගේ ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදී ඉල්ලීමක් කරලා තමයි ඒවා ලබා ගත්තේ. පැදුරක් විතරයි තිබුණේ. මගේ ඇඟේ බෝම්බවලට අහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා පැදුරේ දවස් දෙකක් විතර නිදියනකොට. නිකන් සිමෙන්තියේ හිරවෙලා නිදියනකොට අමාරුයි. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමට වාඩිවෙනකොට, නැඟිටිනකොට මගේ කොන්දෙත් යකඩ කෑල්ලක් තියෙන නිසා ඒ කොන්දෙ අමාරුවත් ආවා. ඊට පස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක් හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත් වෙන්න සිද්ධ වුණේ.”

මේ කතාව කියන්නේ ලෝකයේ හොඳම හමුදාපතිය. එහෙමත් නැත්නම් වසර 30ක යුද්ධය නිමා කරන්න නායකත්වය දුන් හමුදාපතිය. යුද්ධය නිමා කරන්න මුල් වූ නියමුවා කියා ජයග්‍රහණයේදී කේක් ගෙඩිය කපන්න අවස්ථාව ලද නියමුවාය.

හමුදාවෙන් ඉවත්ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරමින් ජනාධිපතිවරණයට ඉල්ලීමේ ‘මහා පාප කර්මය’ හේතුවෙන් ඔහුට හිර ගෙදර උරුම විය. ලෝක ඉතිහාසයේ ජනාධිපතිවරණ සටනට ආ ප්‍රතිවාදියා සිරගතකොට නැත. එහෙත් මේ රටේ එය සිදු විය.

එම සමයේ තීන්දු එහෙමය.

“යහපාලන ආණ්ඩුව රණවිරුවන් විනාශ කළා. ජාතික ආරක්ෂාව නැති කළා. හමුදාවෙන් පළි ගත්තා.”

කියා අද කෑ ගසන ඊනියා දේශප්‍රේමීන්ට ඉක්මනින්ම ඉතිහාසය අමතකය.

එළවා දැමූ විරුවෝ

යුද්ධය දිනවූ හමුදාපතිට බෙදූ හැන්දෙන්ම එකල තවත් බොහෝ දෙනකුට බෙදූ හැටි සමහරුන්ට මතක නැත. ඉතිහාසයේ වැඩිම හමුදා නිලධාරීන් පිරිසක් එකවර සේවයෙන් නෙරපා හැරීමේ වාර්තාව හිමි වන්නේ රාජපක්ෂ ආණ්ඩුවටය. මේජර් ජෙනරාල්වරුන් 5ක්, බ්‍රිගේඩියර්වරුන් 5ක්, කර්නල්වරුන් 1ක්, ලුතිනන් කර්නල්වරුන් 1ක්, කපිතාන්වරුන් 2ක් රට හැර යන තැනට පත් කළේ ඔවුන්ය. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර්වරුන් වන බිමල් ඩයස්, දුමින්ද කැප්පෙටිවලාන, ජානක මොහොට්ටි, අතුල හෙන්නපිටිය, වසන්ත කුමාරප්පෙරුම, කර්නල් උබය සිරිවර්ධන, ලුතිනන් කර්නල් පී. ජයසුන්දර, කපිතාන්වරුන් වන ආර්. රණවීර හා ක්‍රිෂාන්ත යනාදී නිලධාරීහුද ඒ අතර වූහ. අද මහින්දවාදී සමහරුන් වත්මන් යුද හමුදාපති ගැන උජාරුවෙන් කතා කරයි. හැබැයි ඔහු එළවා දැම්මේත් රාජපක්ෂලාය.

ජානක පෙරේරාට දුන් පීඩනය

2000 වසරේදී යුද හමුදාව සතු අලිමංකඩ ඇතුළු ප්‍රධාන හමුදා සංකීර්ණ එකින් එක ඇද වැටීමෙන් පසු යාපන කොටුවේ සිර වී සිටින හමුදා භටයන්ගේ දිවි බේරා ගැනීමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා, රාජපක්ෂ සමයේදී දරුණු කායික හා මානසික පීඩාවන්ට ලක් වෙද්දී රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් අද මාධ්‍ය සංදර්ශන පවත්වන මේ මහත්වරුන් අඩුම තරමින් කටක් හෝ ඇරියේ නැත.

ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙන් පසු මෙරටේ බිහි වූ දක්ෂතම සංග්‍රාමික යුද සෙන්පතියකු ලෙස ප්‍රකට වූයේ ජානක පෙරේරාය. ඔහු ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු තම ආරක්ෂාවට පිස්තෝලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ලබා දීම එවක ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. රණවිරුවන් ගැන කතා කිරීමේ පේටන්ට් අයිතිය තමන් සතු කර ගත් රාජපක්ෂලාගේ දේශප්‍රේමී රජය ජානක පෙරේරා තමනට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලූ මොහොතේ එය තුට්ටුවකට මායිම් නොකළේය.

ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වන තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙරේරා මහතා අධිකරණයට පවා ගියේය. අනතුරුව ඔහුට සත් දෙනකුගෙන් සමන්විත පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තීන්දුවක් හිමි වූ නමුත් 2008 වසරේ පැවති උතුරු මැද පළාත් සභා ඡන්දය අවසන් වී දින හතක් ගතවීමටත් පෙර එය ඉවත් කිරීමට කටයුතු කළේය. ප්‍රමාණවත් ආරක්ෂාවක් කීර්තිමත් රණවිරුවාට හිමි නොවීම ඝාතකයාගේ රාජකාරිය පහසු කළේය. මියගිය පසුද ජානක පෙරේරාගෙන් පළි ගැනීමට එවකට සිටි දේශප්‍රේමී රජය කටයුතු කළේය. ජානක පෙරේරා මහතාගේ මෘත දේහය අනුරාධපුරය බලා රැගෙන යෑමට රත්මලාන ගුවන්තොටුපොළට රැගෙන ගිය අවස්ථාවේ ගුවන් යානයක් ලබා නොදෙමින් පැය පහක රස්තියාදුවක් සිදු කිරීමට වගකිවයුත්තෝ හිතාමතා කටයුතු කළහ.

තමන්ට එරෙහි දේශපාලනය තෝරා ගැනීමෙන් පසු ජානක පෙරේරා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සෙනෙවියන්ට හමුදා කඳවුරුවලට ඇතුළු වීම පවා වැළකූ පසුගිය රජය, කලාකරුවන් යැයි කියා ගත් නලාකරුවන් පිරිසකට යුද හමුදාව හරහා මාසික වේතන, වාහන, දීමනා ආදිය ගෙවීමට කටයුතු කර තිබීම නින්දා සහගතය.

රාජපක්ෂ යුගයේ කෲර පළිගැනීමකට ලක්වූ තවත් හමුදා නිලධාරියකු වූයේ කොමාන්ඩෝ බළකායේ මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාරය.

කවුද මේ සමන්ත සූරියබණ්ඩාර?

අවසන් යුද්ධය ආරම්භයේදී 53 වැනි සේනාංකයේ සේනාංකාධිපති ලෙස මුහමලේ සටන් පෙරමුණ මෙහෙයවූයේ මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාරය.

ඔහු ඇමරිකාවේද පාකිස්තානයේද චීනයේද කොමාන්ඩෝ පුහුණුව ලැබූවෙකි. වරක් ඔහු වොෂින්ටනයේ මිලිටරි ඇටෑචී ලෙසද සේවය කෙළේය. එමෙන්ම ඔහු අති දක්ෂ පැරිෂුට් භටයෙකි. පළමුවරට පැරිෂුට් පිමි පුහුණු වූ කණ්ඩායමට ඔහුද අයත් විය. ඔහු පෑ දස්කම් ඇමෙරිකානු හමුදාව පවා විස්මයට පත්කරන සුලු විය .

බිහිසුණු ජයසිකුරු මෙහෙයුමේදී එල්ටීටීඊ සටන්කරුවන් විසින් සූරියබණ්ඩාර ගමන් කළ හෙලිකොප්ටරයට වෙඩි තබනු ලැබීය. හෙලිකොප්ටරය සම්පූර්ණයෙන් විනාශ වී එහි ගමන් කළ සියලු දෙනාම මිය ගිය නමුත් සූරියබණ්ඩාර පමණක් දිවි බේරාගත්තේය. ඊටද උදවු කර තිබුණේ දෙමළ ජාතික ධීවරයන්ය. ඔහු පැලැඳ සිටි රන් මාලය ධීවරයන්ට එවෙලේම පරිත්‍යාග කළ සූරියබණ්ඩාර මහතා දිවි තිබෙන තුරු එම ධීවරයන් අමතක කෙළේද නැත.

සමන්ත සූරියබණ්ඩාරගේ පියාණන්ද හමුදා නිලධාරියකු වූවා පමණක් නොව, සුදු හමුදාවෙන් පසු ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු පළමු ශ්‍රී ලංකාවේ ආධුනික සෙබළාද ඔහු විය. ඔහුගේ ශ්‍රී ලංකා හමුදාවේ අංකය 0001 විය. සමන්ත කුඩා කාලයේම පියා මිය ගිය අතර ඔහුද සී.එල්.අයි ඒකකයේ කපිතාන්වරයකු විය. වසර 10කටත් වැඩි සේවා කාලයක් තිබියදී බලෙන් විශ්‍රාම ගැන්වූ නිලධාරියකු ලෙස ඔහු රටින් පිට විය. ඔස්ට්‍රේලියාවේදී හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 50කි. මෙම ජ්‍යේෂ්ඨ රණවිරුවාට අයත් විශ්‍රාම වැටුප හෝ ඔහු මියයන තුරු ගෙවා නොතිබිණ.

බුද්ධි අංශ සාමාජිකයන් හිරේ කියා කිඹුල් කඳුළු හෙළන කල්ලිය ඉතිහාසය අමතක කරන්නේ කෲර සහ හිරිකිතයකින් තොරවය. වැරදි චෝදනා හේතුවෙන් හමුදා නිලධාරීන් අත්ඩංගුවට පත්වූයේ අද ඊයේ පමණක්ද?

ඉතිහාසයේ උදාහරණ

හමුදා හෝ පොලිස් සාමාජිකයන් මිනීමැරුම්, පැහැර ගැනීම් ඇතුළු අපරාධයන් සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් මීට පෙර සිදුව ඇත්තේ වරකදී දෙකකදී නොවේ. ඕනෑ තරම් එබඳු සිදුවීම් සිදුව තිබේ. 1996 අගෝස්තු 6 වැනි දින ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියව දූෂණය කර මරා දැමීම හා ඇගේ මව වූ රාසම්මාගේ දහසය හැවිරිදි සහෝදරයා වූ ප්‍රාණවන්ගේ හා පවුලේ හිතවතකු වූ කිරුබාකරන්ගේ ගෙල සිර කර සිරුර කොටස්වලට කපා හමුදා කඳවුරක වළලා තිබියදී පසුව සොයා ගත්තේය. එම ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවට හා පොලිසියට සම්බන්ධ පස් දෙනකු වරදකරුෙවා් වූය. 1989 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් දක්වා කාල පරාසය තුළ ඇඹිලිපිටියේ පාසල් සිසුන් තිස් දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉහළ හමුදා නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් කිහිප දෙනකු වරදකරුවන් විය. 2000 ඔක්තෝබරයේදී බිඳුණුවැවදී මෙන්ම 71 අප්‍රේල් 16 වැනි දින සිදු වූ සුප්‍රකට ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමේදී ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව විශේෂ සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වී තිබේ. එම ඉතිහාසය සමඟ බලන විට මේ සිදුවීම් මහා අමුතු දෙයක් නොවේ.

හමුදාවේ සෙබළුන් අනේකවිධ පෞද්ගලික වැඩවලට යොදා ගත්තේ කවුදැයි රටම දනී. කාර් රේස්වලට මාර්ග සැකසීමට වැලි කොට්ට ඇදීමත් කුණු කානු සුද්ද කිරීමත් යනාදී අනේකවිධ වැඩ ඔවුන්ට පැවරූ ඉතිහාසය සෙබළුන්ට අමතක නැත. ඒ සියල්ලටම වඩා යුද්ධය දිනූ හමුදාපති කුදලාගෙන ගොස් හිරේ දාන විට අද රණවිරුවන් ගැන කතා කරන මේ කාගෙවත් ඇස් තෙත් වුණේ නැත.

මාතෘකා