සිරිලක ආවේණික සර්ප ලොවෙන් සමුගන්නා ශ්‍රී ලංකා පඳුරු හාල් දණ්ඩා

 ඡායාරූපය:

සිරිලක ආවේණික සර්ප ලොවෙන් සමුගන්නා ශ්‍රී ලංකා පඳුරු හාල් දණ්ඩා

 බවුලෙන්ගර්ස් බ්‍රොන්ස්බැක් යන ඉංග්‍රීසි නාමයෙන් සහ ඩෙන්ඩ්‍රීලැෆිස් බයිප්‍රෙනාලිස් යන විද්‍යාත්මක නාමයෙන්ද කොම්බෙරි මූනෙක් යන දෙමළ නාමයෙන්ද හඳුන්වන පඳුරු හාල් දණ්ඩා ලංකාවට ආවේණික සර්ප කුලයේ යාළුවෙක්. සෙමී 60ක් පමණ දිග සිහින් සිලින්ඩරාකාර සිරුරක් මේ යාළුවාට හිමියි. වලිගය සිලින්ඩරාකාර දිගු වගේම අගට ක්‍රමයෙන් සිහින් වෙනවා. ඒ වගේම මේ යාළුවාගේ හිස පෙයාර්ස් ගෙඩියක අවපාත හැඩයක් ගන්නවා. රවුම් ගෝල සහිත විශාල ඇස් ඔහුට පෙනීම පහසු කරනවා. පඳුරු හාල් දණ්ඩාගේ සිරුරේ කොරල අඳුරු පැහැ වන අතර දිලිසීමෙන් අඩුයි. පිට ප්‍රදේශය ඔලිව් මිශ්‍ර ලෝකඩ පැහැයෙන් යුතු වෙනවා. ඒ වගේම කළු පැහැති වයිරමක් හොමිබේ සිට ගෙල දක්වා විහිදෙනවා. ඒ, ගෙලේ තියෙන නිල් පැහැති වයිරමත් වර්ණවත් කරමින්. පඳුරු හාල් දණ්ඩාගේ සිරුර දෙපස කළු පාට සලකුණක් සමඟ ක්‍රීම් පැහැති ඉරි දෙකක්ද දකින්න පුළුවන්. ඒ වගේම වී ඇටයක හැඩැති තිත්ද සිරුර මතුපිට විහිදෙනවා. උදර ප්‍රදේශය අඳුරු ළා කොළ පැහැයෙන් යුතුයි.

තෙත් සහ වියළි අතරමැදි දේශගුණ කලාපවලත්, මධ්‍යම කඳුකරයේ තෙත් ප්‍රදේශවල කැලෑ සහ වන ලැහැබ්වලත්, ගෙවතුවලත් දවස පුරාම ආහාර සොයමින් පඳුරු හාල් දණ්ඩා ජීවත්වෙනවා. බඩ ගා යන විට විලෝපිකයෙකු හෝ ගොදුරක් දුටු විට සිරුර කෙළින් කර සිටීම ඔවුන්ට ආවේණික ලක්ෂණයක්.

ගෙම්බන්, හූනන්, කටුස්සන් සහ සිකනළුන් ආහාරයට ගන්න පඳුරු හාල් දණ්ඩා හරිම කැමතිය.

ගැහැනු සතා පස ඇතුළේ දමන බිත්තර 4ත් 12ත් අතර ප්‍රමාණයෙන් තමයි මේ යාළුවන්ගේ බෝවීම සිදුවෙන්නේ. විෂ නොමැති (නිර්විෂ) උරගයකු වන පඳුරු හාල් දණ්ඩා මිනිසුන් ගේ නොදැනුවත්කම නිසා මරා දැමීමත්, පරිසර විනාශයත් නිසා අද අපට අහිමිව යන සර්ප යාළුවෙක් බවට පත් වෙලා.

(ස්තූතිය - ගවේෂණයට මග පෙන්වන පාරිසරක ජීවවේදී සමීර චානක අයියාට)

 

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

මාතෘකා