හුදෙකලාව සටන් වැද ISIS ත්‍රස්තයන් පන්නා දැමූ නිර්භීත කෙල්ල : ඉරාකයේ නාදියා මුරාද් - Nadia Murad

 ඡායාරූපය:

හුදෙකලාව සටන් වැද ISIS ත්‍රස්තයන් පන්නා දැමූ නිර්භීත කෙල්ල : ඉරාකයේ නාදියා මුරාද් - Nadia Murad

“මම දූෂණයේත් අතිශය පිළිකුල්සහගත ලිංගික ප්‍රචණ්ඩත්වයේත් ගොදුරක්ව සිටියෙමි. එහි කම්පනය මම අදටත් විඳිමි. එහෙත් ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ සහ කම්පනයට පත්වූ බොහෝ ගැහැනුන් වෛද්‍ය මුක්වීගී නිසා සුවපත් වූ වග මම දනිමි. ඔහු එය වසර ගණනාවක සිට තම උතුම්ම කර්තව්‍ය සේ සලකා ඉටු කළේය. එවන් ආදරණීය මිනිසකු සමඟ 2018 නොබෙල් සාම ත්‍යාගය සමසේ බෙදාගැනීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි. ඔව් මුක්වීගී අපි එක්ව සටන් වදිමු.”

නාදියා මුරාද් 2018 සාමය උදෙසා නොබෙල් ත්‍යාගය ඇයටත් කොංගෝවේ වෛද්‍ය ඩෙනිස් මුක්වීගී අතරත් සමසේ බෙදීගිය පසු සිය ට්විටර් ගිණුමේ එසේ සටහන් තැබුවාය.

 

' කවුද මේ නාදියා මුරාද්? ඇය මොනවද කළේ ? සාම නොබෙල් ත්‍යාගයකට උරුමකම් කියන්න? හොඳයි අපි මෙහෙම පටන් ගමු. නාදියා මුරාද් කියන්නෙ උතුරු ඉරාකයේ කෝචෝ කියන ගමේ ඉතිහාස ගුරුවරියක් වෙන්න; ඒත් නැත්නම් නගරයේ බියුටි සැලුන් එකක් දාගන්න සිහින දැක්ක ලස්සන කෙල්ලක්. එයාල යෂීඩි කියන ගෝත්‍රයේ. ඒ ගමේ අය මුස්ලිම් වුණාට ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරපු මිනිස්සු. 2014 නාදියා මේ සිහින දකිනකොට ඇගේ වයස අවුරැදු 21යි. ඒත් යථාර්ථය කියන්නෙ සිහින නෙවෙයිනෙ. 2014 අගෝස්තු 15 වැනිදා මේ ගමට කඩාවැදුණු ISISත්‍රස්තයන් ගමේ හැම පිරිමියටම වෙඩි තියලා කාන්තාවන් ටික පැහැරගත්තා ලිංගික වහල්ලු කරගන්න. එවෙලේ නාදියාගේ සහෝදරයන් 6 දෙනත් උන් මරල දානවා. ඊටපස්සෙ තමන් අල්ලගත්තු යෂීඩි ගැහැනුන්ට විලංගු දාගත්තු උන් ඒ සියලුම දෙනා මෝසුල්වලට ගිහින් සල්ලිකාර ඉස්ලාම් ආගමිකයන්ට විකුණනවා.

ඔවුන් මිලට ගත්තු අය නාදියලව සිරකරමින් වධ දෙමින් දිගින් දිගටම අතවරයට ලක්කරනවා. මින් අඩපණ වුණු ගැහැනුන්ව මරා දානවා. ඒ වෙනකොටත් උන් යෂීඩි ගැහැනු හා කෙල්ලන් 3000කට අතවර කරලා ඉවරයි.

ඒත් එක් දවසක මේ නාදියා මුරාද් තමන්ව සිරගතකරපු ලිංගික වහල් ස්වාමියාගේ ගෙදර බිත්තියක් දිගේ නැඟලා තිත්ත කරුවලේම ඒ නිවසෙන් එළියට පැනලා දුවනවා. ඇය මුළු රාත්‍රියම සැඟවෙමින්, දුවමින් සරණාගත කඳවුරකට ළඟාවෙනවා. පස්සෙ ඒ කඳවුරෙන් සරණාගතයෙක් විදිහට ඇයව ජර්මනියට එක්ක යනවා. මෙන්න මෙතනදි තමයි නාදියා මුරාද් කියන අපි දැන් කතාකරන ගැහැනිය උපත ලබන්නේ. නාදියාට ඕන වුණේ ජර්මනියට වෙලා අර එයාගෙ නොදියුණු ගම අමතක කරලා සුව පහසු ජීවිතයක් ගත කරන්න.

මොකද එයාගෙ පවුලෙ කිසිම කෙනෙක් දැන් ඒ ගමේ නෑ. ඔවුන්ව ISISත්‍රස්තයන් මරා දැම්මා. ඒත් එයා ගම අමතක කළේ නැහැ. කිරිගරුඬ වගේ බැටළුවන් හා කුඹුරු යායවල් මැදින් වැටුණු පාරවල් තිබුණු එයාගෙ සුන්දර ගම මතක් කරලා හැමදාම එයා ඇඬුවා. එයාට මැවිලා පෙනුණා එයාගෙ අයියලා මල්ලිලා මරනකොට ඒ දිහා අනන්ත ශෝකයෙන් බලන් හිටිය නාදියාගේ අම්මගෙ ඇස්වල තිබුණු අසරණ බව. එයාට ඇහුණා 3000ක් ගැහැනු ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් මිරිකිලා නඟන අඳෝනාව. නමුත් නාදියාට ඒ වෙනුවෙන් සටන් කරන්න ආයුධවත් පිරිසක්වත් හිටියේ නෑ. එයා හිටියේ හුදෙකලා වෙලා. ඒත් ඇය හොයාගත්තා ඒකට ආයුධයක්. ඒ තමයි ‘‘වචන” ඉතිං නාදියා දිගින් දිගටම ලියන්න ගත්තා තමන්ටත් තමන්ගේ ගමේ මිනිස්සුන්ටත් වෙලා තියෙන අසාධාරණය, අපරාධය සහ ලෝකය විසින් අසරණ අහිංසක එයාලව හුදෙකලා කිරීම ගැන. අවසානයේ ඇගේ කඳුළු පොතක් විදිහට ලියලා එළිදැක්වුවා.

ඒ මෙන්න මේ විදියට. ‘‘අවසාන ගැහැනු ළමයා - LAST GIRL”

නාදියා‍ මුරාද්ගේ අවසාන ගැහැනු ළමයා දේශ සීමා හරහා පියාඹා පිටපත් දහස් ගණනින් විකිණෙද්දී ලෝකයට විශේෂයෙන් යුරෝපයට බොරුවට නිදි වගේ ඉන්න බැරිවුණා. ඇගේ කතාව ලෝකයේ ඇස් ඇරවන්න සමත්වුණා. ඊට පස්සෙ නාදියා මුරාද්ට ආරාධනා ලැබුණා විවිධ ජනමාධ්‍යවලින් මේ පිළිබඳ කතාකරන්න. අසාධාරණය වෙනුවෙන් හඬ නඟන විවිධ සංවිධානවල ප්‍රධාන ආරාධිතයා වුණේ නාදියා මුරාද්. එයා එතැනින් නැවතුණේ නෑ.

ඇයට අවශ්‍ය වුණා ISISත්‍රස්තයන් විසින් ගෙනගිය මේ කෲර ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමස්ත යුරෝපා ප්‍රජාවම පෙළගස්වන්න. ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලය හා අනෙකුත් ගෝලීය ආයතන ඉදිරියේ කතා කරමින් ලෝක ව්‍යාප්ත උද්ඝෝෂණයක් දියත් කළේ ඊට පස්සෙයි.

නාදියා මුරාද් තමන්ගේ වචනවලිනුත් සිය හඬෙනුත් උපරිම ප්‍රයෝජනය ගත්තා මේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව යුරෝපය නැඟිටුවන්න. ඒක අතිශය සාර්ථකයි. ඉරාකය සහ යුරෝපය අතර මොනතරම් දේශපාලන එදිරිවාදිකම් තිබුණත් එය මොහොතකට අතඇරලා ‍ඉරාකයට සම්පූර්ණ සහාය දුන්නා ISISත්‍රස්තයන්ගෙ මූලස්ථානය හා ප්‍රධානම නගරය වුණු මෝසුල්වලට ගහන්න.

අනිත් පැත්තෙන් සිරියාවට එකතුවනු රුසියානු ප්‍රහාරක යානා එතෙක් ISISත්‍රස්තයන් යටත්කොට සිටි සිරියාවේ සහ ඉරාකයේ වර්ග කිලෝමීටර් 800ක බලප්‍රදේශයට ගැහුව විතරක් නොවයි, ඒවා ගොඩනැඟිලි පිටින්ම බිමට සමතලා කරලම දැම්මා. ඒ තමයි මේ විශිෂ්ට නාදියාගේ පෞරුෂයෙන් හෙබි වචනවල සහ කටහඬෙහි ප්‍රතිඵල. ඊට පස්සෙ නිරුපද්‍රිතව එයා ඉරාකයේ ඇගේ ගම්මානයට ආවා. ආවෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරියක් විදිහට. ඇයත් එක්ක ඇය පිටුපසින් හිටිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නීතිඥවරිය වන නොසැලෙන හා නිර්භීත අමල් ක්ලුනි. ඔවුන් නාදියාගෙ ගමේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු කාන්තාවන් හොය හොයා ගියා. පස්සෙ මේ අපරාධ කරපු ISISත්‍රස්තයන්ට එරෙහිව නඩු පැවරුවා ජාත්‍යන්තර අධිකරණයේ.

දැන් නාදියා මුරාද් කරන්නේ සියලුම සරණාගත කඳවුරුවල ඉන්න ලිංගික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් හානිවුණු කාන්තාවන්ගෙ දූෂකයන් හොය හොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න එක. අපි අද දන්නව කෲරතර ISISත්‍රස්තයන්ට මේ ලෝකයේ එක බිම් අඟලක්වත් නැති බව හා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඔවුන්ට සහාය නොදෙන බව. ස්තුතියි ධෛර්යයෙන් අනූන යෂීඩි කෙල්ලේ! ලෝකය ලස්සන කරන්න ඔබ ගත් අනභිභවනීය උත්සාහයට.

මාතෘකා