ප්ලාස්ටික්වලින් තොර ලෝකයක් සිහිනයක් පමණක්මද?

 ඡායාරූපය:

ප්ලාස්ටික්වලින් තොර ලෝකයක් සිහිනයක් පමණක්මද?

තවමත් ලෝකය පුරා ප්ලාස්ටික් අවභාවිතය ඉතා ඉහලව සිදු වනවා. අපේ රටේ පමණක් නොවෙයි දියුණු රටවල පවා තවමත් ප්ලාස්ටික් පරිසරයට අත්තනෝමතිකව මුදාහැරෙනවා. නමුත් බොහොමයක් බටහිර රටවල දැන් දැන් ප්ලාස්ටික් කළමනාකරණය සිදු කිරීමට පටන්ගෙන තිබෙන නිසා, ප්‍රතිචක්‍රීකරණයට නැඹුරුතාවයක් දක්වනවා. නමුත්, තෙල් පිරිපහදුවෙන් ලැබෙන අතුරු පළවලින් සැකසෙන අලුත්ම අලුත් ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සැකසෙන ප්ලාස්ටික්වලට වඩා මිලෙන් අඩු වීම, විවිධ ප්ලාස්ටික් වර්ග - විවිධ වර්ණක සහ වෙනත් සංයෝග අඩංගුව ඇති නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති අපහසුතා, අලුත්ම ප්ලාස්ටික්වල තත්ත්වය ඉහල මට්ටමක පැවතීම වැනි හේතු නිසා තවමත් ප්‍රතිචක්‍රීිකරණය කරන ලද ප්ලාස්ටික්වලට වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් නැහැ.

මේ ලිපිය කියවීමට පෙර ඔබ අවට නිරීක්ෂ්ණය කර බලන්න...ඔබ අත පොවන මානයේ මිනිසා විසින් නිර්මාණය කළ විවිධ ප්ලාස්ටික් වර්ගවලින් තැනූ කොටස් අඩංගු උපකරණ හෝ සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්වලින් තැනූ උපකරණ කීයක් සොයාගත හැකිද? සමහරවිට එය කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීම හා තරමටම අමාරු වනු ඇති. ඔබ කෙතරම් උත්සාහ කළත්, අපට දැන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට නොහැකියි.

එසේම මේ ප්ලාස්ටික් විවිධාකාර අන්දමින් භාවිත වුවත් කවදා හෝ භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා. සමහර උපකරණ කාලයක් පාවිච්චි කළත් ඒවායේ ආයු කාලය සහ භාවිතය අනුව පාවිච්චි කරන කාලය වෙනස් වනවා. මේ උපකරණ කීයක් එක වරක් භාවිත කර ඉවතලනවාද? තවත් කීයක් මේ කාර්යයෙන් පසු කොහේ හෝ කුණු ගොඩක වසර සිය ගණනක් පවතිනවාද? පරිසරයේ ඒ එකතු වන ප්ලාස්ටික් සියල්ලම දිනෙන් දින පරිසරයේම ගොඩගැසී, අපට ජීවත් වන බිම් ප්‍රමාණය, අසරණ සතුන් ජීවත් වන වනබිම්, සමුද්‍රයන් තුළ, පත්ලේ සහ මතුපිට පාවෙමින් ඒ ජීවීන්ට වාසස්ථාන අහිමි කිරීම පමණක් නොව, උන්ගේ සිරුරු මතුපිට හෝ තුළට ගොස් ඔවුන්ගේ ජීවිත පවා නැති කරන බව දන්නේ කීයෙන් කී දෙනාද?

දැන් ලෝකයෙන් ප්ලාස්ටික් දූෂණයට හසු නොවූ භූමියක්, වනාන්තරයක්, ජල ප්‍රවාහයක්, සමුද්‍රයක් හෝ ගිරි ශිඛරයක් සොයා ගැනීම අසීරු කරුණක් වී තිබෙනවා. ඒ මක් නිසාද යත් ඒ සෑම තැනක්ම මිනිසා විසින් අපවිත්‍ර කර හමාර නිසා. මේ ස්ථාන නැරඹීමට යන බොහෝ දෙනා පරිසරය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව ඒ තැන් අපවිත්‍ර කර තිබෙනු දකින්නට පුළුවනි. බොහෝ දෙනා ප්ලාස්ටික් කොපමණ භාවිත කළත් එයින් පරිසරයට වන හානිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ නිසාමයි බොහෝ දෙනකු ප්ලාස්ටික් ගිනි තබා විනාශ කිරීමට පුරුදු වී සිටින්නේ. මේ නිසා පරිසරයට හානි පැමිණෙනවා පමණක් නොවෙයි, අපට අහිතකර විවිධ රසායනික සංයෝග ද පරිසරයට මුදා හැරෙනවා.

තවමත් ලෝකය පුරා ප්ලාස්ටික් අවභාවිතය ඉතා ඉහලව සිදු වනවා. අපේ රටේ පමණක් නොවෙයි දියුණු රටවල පවා තවමත් ප්ලාස්ටික් පරිසරයට අත්තනෝමතිකව මුදාහැරෙනවා. නමුත් බොහොමයක් බටහිර රටවල දැන් දැන් ප්ලාස්ටික් කළමනාකරණය සිදු කිරීමට පටන්ගෙන තිබෙන නිසා, ප්‍රතිචක්‍රීකරණයට නැඹුරුතාවයක් දක්වනවා. නමුත්, තෙල් පිරිපහදුවෙන් ලැබෙන අතුරු පළවලින් සැකසෙන අලුත්ම අලුත් ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සැකසෙන ප්ලාස්ටික්වලට වඩා මිලෙන් අඩු වීම, විවිධ ප්ලාස්ටික් වර්ග - විවිධ වර්ණක සහ වෙනත් සංයෝග අඩංගුව ඇති නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති අපහසුතා, අලුත්ම ප්ලාස්ටික්වල තත්ත්වය ඉහල මට්ටමක පැවතීම වැනි හේතු නිසා තවමත් ප්‍රතිචක්‍රීිකරණය කරන ලද ප්ලාස්ටික්වලට වෙළඳපොලේ ඉහල ඉල්ලුමක් නැහැ. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ප්ලාස්ටික්වලට වෙ‍ෙළඳපොල ඉල්ලුම ඇති එකම හේතුව වන්නේ පාරිභෝගිකයා දැන් දැන් පරිසර සංරක්ෂණය සහ තිරසර පරිසරයක් (Sustainable Environment) වෙනුවෙන් කිසියම් හඬක් නගන නිසා සහ විවිධ සමාගම් විසින් සිදු කරන වෙළඳ ප්‍රචාරණයන් නිසා.

නමුත් බොහොමයක් පාරිභෝගිකයින් වෙනත් අගය එකතු කළ නිෂ්පාදනවලට මෙන් නොව පරිසරය සුරැකීමට වැනි දෑ වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට මැළි වනවා. ඒ ඔවුනට ඍජු වාසියක් එයින් ලැබෙන්නේ නැති නිසා. නමුත් දැන් දැන් දැඩිව සිදුවන වෙළෙඳ ප්‍රචාරණයන් නිසා තරුණ පරපුර පරිසර හිතකාමී නිෂ්පාදන මිල දී ගැනීමේ නැඹුරුවක් දක්වනවා.

දැනට ලොව පුරා ප්ලාස්ටික් නිෂ්පාදනය කරන සමාගම් 50ක වෙ‍ෙළඳපල නිෂ්පාදනය ඇ‍ෙමරිකානු ඩොලර් ට්‍රිලියනයකට වැඩි මිසක් අඩුවක් නොවේ. ඇස්තමේන්තුවලට අනුව 1950 වසරේ සිට දැනට ලොව පුරා ප්ලාස්ටික් මෙට්රිවක් ටොන් බිලියනයකට වඩා නිෂ්පාදනය වී තිබෙනවා. මේ සියල්ලම ලොව පුරා දැනට කිසියම් හෝ ආකාරයකට සංසරණය වෙමින් හෝ තැන්පත් වී තිබෙනවා. මේ ප්ලාස්ටික් කිසියම් ප්‍රමාණයක් දිරා ගොස් හා ක්ෂු්ද්‍ර ප්ලාස්ටික් බවට පරිවර්තනය වී පරිසරයේ ජෛව පද්ධති තුළ තැන්පත් වී තිබෙනවා. කෙතරම් ප්‍රතිචක්‍රීයකරණය කළත්, අලුතින් නිෂ්පාදනය වන ප්ලාස්ටික් ප්‍ර‍මාණය හා මේ ප්ලාස්ටික් එකතු වෙමින් ලෝකයම ප්ලාස්ටික් කුණු ගොඩක් බවට පත් වෙමින් පවතිනවා.

මේ ව්‍යසනයෙන් ලොව මුදා ගැනීමට, ලොව පුරා විද්යාඥයන් ජෛවීයව දිරා යන ප්ලාස්ටික් (Biodegradable Plastics) වර්ග නිපදවීමේ තරගයක නිරත වී සිටිනවා. මූලික වශයෙන් ජෛවීයව දිරා යන ප්ලාස්ටික් වර්ග දෙකක් ලොව හඳුනාගත හැකියි. එක් වර්ගයක් වන්නේ ස්වභාවිකව දිරා යා හැකි ජෛව අණු බහු අවයවීකරණය භාවිතයෙන් සකසන ජෛව ප්ලාස්ටික් (Bioplastics) වන අතර අනෙක් වර්ගය වන්නේ සාමාන්‍ය පෙට්‍රෝලියම් රසායනික ද්‍රවය භාවිතයෙන් සකසන ප්ලාස්ටික්වල පූරකයන් ලෙස ජෛව අණු එකතු කිරීමෙන් ජෛවීයව දිරා යාමට හැකි ප්ලාස්ටික් තැනීමයි.

මේ ක්‍රම දෙකෙහිම වාසි සහ අවාසි ඇති අතර ජෛව ප්ලාස්ටික් තත්ත්විය අතින් තරමක් පහල මට්ටමක පැවතීම සහ ගතිගුණ අතින් එතරම් සුපිරි තත්ත්වයකින් නොමැති වීමත්, මිල සාමාන්‍යයට ප්ලාස්ටික්වලට වඩා වැඩිවීමත් නිසා එතරම් ප්‍ර්චලිත ව නැහැ. නමුත් දැන් දැන් ලොව පුරා අවධානය යොමු වී ඇත්තේ පවතින සාමාන්‍ය ප්ලාස්ටික් අමුද්‍රව්‍යයක් ලෙසින් ගෙන ජෛව අණු පූරකයක් ලෙස භාවිත කරමින් කුණු කඳු, කොම්පෝස්ට් නිෂ්පාදනාගාර ආදියෙන් පිටවන මීතේන් වායුව අනුසාරයෙන් විදුලිය නිපදවීමට භාවිත කිරීම වැනි තිරසර නිෂ්පාදනයන් වෙතයි.

කෙසේ වුවත්, පවතින ප්ලාස්ටික් දිරා යන සේ නැවත සැකසීමට හෝ ඍජුවම දිරා යන ප්ලාස්ටික් ලෙස නිෂ්පාදනය කිරීමේ දී පවතින එකම බාධකය ප්ලාස්ටික් බහු අවයවීකරණයේ දී සිදුවන බැඳීම් නිසා තදින් ඒකක අණු සැකසීමේ දී ඒවා දිරාපත් කරන ක්ෂුතද්‍රකජීවීන්ට පැවතීමේ හැකියාව අඩු වීමයි. එසේම තදින් ඇසිරීම නිසා සිදුවන දැඩි බැඳීම් පහසුවෙන් විඛණ්ඩනය කිරීමට ඇති නොහැකියාවත් ප්ලාස්ටික් දිරායෑම වැලැක්වීමට බලපානවා.

එසේ නමුත් මේ අපහසු දෑ ද කිරීමේ හැකියාවක් පවතිනවා. දැන් දැන් ලෝකයේ ප්‍රබල රසායනික නිෂ්පාදන සමාගම් විසින් දිරා යන ප්ලාස්ටික් නිපදවීමේ අභියෝගය ජය ලබමින් පවතිනවා. තවත් සමහර පර්යේෂකයන් ප්ලාස්ටික් ඛාදනය කරන එන්සයිම, බැක්ටීරියා ආදිය සකසමින් මේ ප්ලාස්ටික් ව්‍යසනය අවම කිරීමට හෝ නතර කිරීමට මහත් වෑයමක් දරමින් සිටිනවා.

බොහෝ පර්යේෂකයින් මේ සඳහා යොදාගන්නේ අර්තාපල්, තිරිඟු පිටි, දිරා යන අපද්‍රව්‍යවැනි ස්වභාවික අමුද්‍රව්‍ය‍යන්. මේවා භාවිතය සහ අවශ්‍ය ප්‍රමාණයක අමුද්‍රව්‍ය‍ය සොයා ගැනීමට ඇති අපහසුතාවය, මේ අමුද්‍රව්‍ය‍ය‍ සැකසීමට ගතවන වෙහෙස, මහන්සිය ආදිය සළකා බලනවිට සත්තකින්ම මේ ස්වභාවික ද්‍රව්‍ය‍වලින් සැකසූ දිරා යන ප්ලාස්ටික් මහා පරිමාණයෙන් සැකසීමට අති විශාල පිරිවැයක් වැයවේ. මේ නිසා ස්වභාවිකව දිරා යන, ස්වභාවික අමුද්‍රව්‍යවලින් සැකසූ ප්ලාස්ටික් වර්ග තවමත් ප්‍රවධාන ප්‍රවාහයට එකතු වීම සිදු වන්නේ ඉතාම සෙමින්.

ප්ලාස්ටික් දිරා යාම දෙආකාරයකින් සිදු කළ හැකියි. එනම් ඔක්සිජන් වායුව සහ පාරජම්බුල කිරණ නිසා සිදුවන Oxo- Biodegradability නම ක්‍රියාවලිය සහ ඔක්සිජන් වායුව නොමැති අවස්ථාවල දී සහ ස්ථානවල දී බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය මගින් සිදුවන දිරා යාම යන ක්‍රියාවලි දෙකයි. මෙයින් Oxo Biodegradability මගින් සිදුවන ක්‍රියාවලිය පරිසරයට හානිදායක වන අතර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයය මගින් සිදුවන දිරා යාම එතරම් හානිදායක නැහැ. Oxo Biodegradability මගින් සිදුවන ක්‍රියාවලිය පරිසරයට හානිදායක වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි පරිසරයේ එකතු වී ආහාර ජාලවලට එකතු වී අවසානයේ අපගේ ශරීර තුළම තැන්පත් වීමේ හැකියාවක් ඇති නිසායි. එපමණයක් නොවෙයි, ඒ ප්ලාස්ටික් නිසා අපට වැළඳෙන රෝග මොනවාද යන්න තවමත් නිර්ණය කර නැහැ.

නමුත් සමහර සමාගම් සිය ප්‍රතිපත්ති වෙනස් කරමින් පරිසර සංරක්ෂණයට, තිරසර පරිසරයකට මග පාදන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් පවතී. උදාහරණයක් ලෙස Adidas සමාගමේ 2020 ප්‍රතිපත්තියට අනුව සියළුම ඇඟළුම් සහ පාවහන් සමුද්‍රයෙන් එකතු කරගන්නා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කර සකසන නූල් සහ රෙදි භාවිත කර නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී‍ ලංකාවේ පවා MAS Holdings සමාගම විසින් සැකසූ ක්‍රිකට් කණ්ඩායමේ ඇඟලුම් සියල්ල සමුද්‍රයෙන් එකතු කරගන්නා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රී‍යකරණය කර සකසන නූල් සහ රෙදි භාවිත කර නිෂ්පාදනය කර ඇත. මෙයට අමතරව එම සමාගම විසින්ම ස්වභාවිකව දිරා යන පොලිස්ටර් භාවිතයෙන් සකසන ඇඟලුම් ලොවට හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙය ඇඟලුම් ලෝකයේ විශාල පෙරලියක් කරනු ඇතැයි සැලකෙන්නේ සාමාන්‍යයෙන් පොලිඑස්ටර් ඇඟළුම් දිරා යාමට වසර දෙසීයක් පමණ දිගු කාළයක් ගත වීම නිසාවෙනි. මේ නිර්මාණය නිසා පොලිඑස්ටර් ඇඟළුම් වසර පහක් වැනි කෙටි කාළයක දී සම්පූර්ණයෙන්ම ස්වභාවිකව දිරා යාමට ලක්වීම නිසා ලොව පුරා එකතු වන රෙදිපිළි කුණුකඳු සෑහෙන ප්‍රෙමාණයකට අඩු කරගත හැක.

සමාජයක් ලෙසින්, මේ ලොව දැනට ජීවත්වන පිරිස ලෙස සහ අපේ දරුවන්ට තිරසර අනාගතයක් ඉතිරි කර යෑමට උත්සුක වන පිරිසක් ලෙස අපට බොහෝ දෑ කළ හැකිය. අපේ ප්ලාස්ටික් භාවිතය වගකීමක් සහිතව සිදු කිරීම, අත්‍යවශ්‍ය අවස්ථාවක හැරෙන්නට ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, භාවිත කරන ප්ලාස්ටික් හැකි තරම් නැවත නැවත භාවිතය හා අවාසන ප්‍රතිචක්‍රීයකරණයට භාවිතය, එක් වරක් භාවිත කර ඉවත් කරන ප්ලාස්ටික් හැකි තරම් දිරා යන ප්ලාස්ටික්වලින් යොදා ගැනීම සහ වෙනත් බොහෝ කාරණා ප්ලාස්ටික් භාවිතය වෙනුවෙන් සිදු කර ලෝකය ප්ලාස්ටික්වලින් වැසී යෑම සහ 2050 වන විට ලෝකයේ සමුද්‍රවල ජීවත් වන මසුන් ප්‍රමාණයට වඩා ප්ලාස්ටික් එකතු වීම වැලැක්වීමට අප ගන්නා මහන්සියට කිසියම් දායකත්වියක් වනු ඇත.

මාතෘකා