යුද්ධයෙන් ලැබුණු අත්දැකීම් සමඟ රට ගොඩනඟමු

 ඡායාරූපය:

යුද්ධයෙන් ලැබුණු අත්දැකීම් සමඟ රට ගොඩනඟමු

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

‘රණවිරු උත්තම ප්‍රණාම’ දස වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ කතාව.

ජනාධිපතිවරයා වශයෙන් වසර 30ක යුද්ධයේදී රට වෙනුවෙන් සටන් කළ මිය ගිය ශ්‍රේෂ්ඨ රණවිරුවන් වෙනුවෙන් රජයේත් මුළු ජාතියේත් ගෞරවය ප්‍රණාමය භක්තිය පිරිනමනවා. ඒ වගේම ඔවුන්ව සිහිපත් කරනවා. ඔවුන් ජීවිත පූජා කළේ අප මාතෘභූමිය වෙනුවෙන්. ඔවුන් සියලු දෙනාම ජීවිත පූජා කළේ ජීවත් වන ජනතාවට ස්ථිර සාමය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දීමටයි. ජාතියේ අනාගතය වෙනුවෙන් ඔවුන් දැඩිව කැපවුණා. පරිත්‍යාගශීලී වුණා.

ඒ නිසා වසර 30 ම්ලේච්ඡ යුද්ධයේදී ජීවිත පූජා කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් රණවිරුවන් වෙනුවෙන් මා නැවත නැවතත් මගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඉතාමත් වේදනා සහගතව ඉතාමත් ශෝකයෙන් ඔවුන්ව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ මියගිය රණවිරුවන් වගේම යුද්ධයේදී ආබාධිත වූ සියලුම ආබාධිත රණවිරුවන්ටත් රජය සහ ජනතාව වෙනුවෙන් ගෞරවය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා.

මේ රණවිරුවන්ගේ පවුල්වල දෙමව්පියන්, බිරින්දෑවරුන්, සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන් හිතමිතුරන් වසර 10ක් නොවෙයි කඳුළු හලා ඇත්තේ. ඔවුන් හතළිස් වසරක් පුරා කඳුළු හලා තිබෙනවා. රජයක් විදියටත් ජාතියක් විදියටත් මේ රටේ පුරවැසියන් විදියටත් ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන්ගේ දුක් කඳුළුවලට වේදනාවන්ට අපේ හෘදය සාක්ෂියේ එකඟතාව තුළ සැමවිටම එක්වෙමින් නැවත නැවතත් අපේ ශෝකය පළ කරනවා.

අපි ඉතා අසීරුවෙන් අමාරුවෙන් දිනූ යුද්ධයක්. ඔබටත් මටත් අපි කාටත් මතක තිබෙනවා 80 දශකයේ සිට බලයට පත් වූ සෑම රජයක්ම රාජ්‍ය නායකයෙක්ම එවකට සිටි හමුදාපතිවරුන් සියලු නිලයන් ඒ වගේම පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඒ සෑම කෙනෙක්ම හතළිස් වසරකට ආසන්න කාලයක් මේ කටයුතු සිහිපත් කරනවා වගේම වසර 30ක කුරිරු ම්ලේච්ඡ අමානුෂික යුද්ධයේ අත්දැකීම් තිබෙනවා. ඒ වගේම එදා අපේ රජයන්ට සිදු වුණා විදේශීය හමුදාවන් මේ රටට ගෙන්වන්නට. අපේ මිත්‍ර රාජ්‍යයක් වූ ඉන්දීය රජයෙන් ලක්ෂයක හමුදාවක් අපේ රටට පැමිණියා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා. අපි වසර දහස් ගණනක සිට සටන්කාමී ජාතියක්. විදේශීය ආක්‍රමණවලින් අපේ මුළු ඉතිහාසය පිරී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව අපි කුඩා දූපත් රාජ්‍යයක් වීමයි. වෙළෙඳ කටයුතු සඳහා ආක්‍රමණශීලීත්වයෙන් විවිධ අවස්ථාවල අපේ රට විදේශිකයන් ආක්‍රමණය කිරීම වසර දහස් ගණනක ඉතිහාසයේ සටහන් වී තිබෙන දෙයක්. ඒ සැමවිටම සියලු සටන්වල දී මුළු ඉතිහාසය පුරා අවසානයේ ජයග්‍රහණය කර ඇත්තේ අපේ රණවිරුවන්. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වීරත්වය සහ කැපවීමත් ජීවිත පරිත්‍යාගයත් මඟින් මව්බිම සැමවිටම ඔවුන් බේරාගනු ලැබුවා. ඒ නිසා එදා 2009 මැයි මාසේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරය අවසන් කිරීමෙන් පසුව මේ රටේ සෑම කෙනෙක්ම ජාතියේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත සංවර්ධනය සඳහා අප සියල්ලන්ම කැප විය යුතුයි කියන ඒ ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානශීලීභාවයට පත් වුණා.

අපි ඒ නිදහස භුක්ති විඳිමින් වසර 10 ක් ගත කළා. එහෙත් අපි බලාපොරොත්තු නොවූ ආකාරයකට පසුගිය මාසේ අප්‍රේල් 21 වැනිදා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් නිසා තුන්සියයකට ආසන්න ලංකා පුත්‍රයන් වගේම විදේශිකයන් පිරිසක් මිය ගියා. මා මේ අවස්ථාවේ ඔවුන්ගේ ඒ වියෝව පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත් වෙනවා. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවට, අපේ බුද්ධි අංශවලට ඒ වගේම පොලිස් සේවාවට සහ සියලුම ආකාරයෙන් ආරක්ෂක කටයුතුවල යෙදී සිටින සියලු නිලධාරීන්ට මේ ක්ෂේත්‍රවල විශේෂඥයන්ට වසර 30ක යුද්ධයේදී ලැබූ අත්දැකීම් වගේම ඒ යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා නැවත වගකීමක් පැවරී තිබෙනවා. මේ අෙප්‍ර්ල් 21 වැනිදා සිදුවීම, ලෝකය වගේම අප සැමවිටම හඳුන්වන්නේ ලංකාවේ ප්‍රශ්නයක් නොව ලෝකයේ ප්‍රශ්නයක් විදියටයි.

මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ බුද්ධි අංශවලටයි. බුද්ධි විශේෂඥයන්ටයි. ඒ බුද්ධි අංශවල බුද්ධි විශේෂඥයන්ගේ ප්‍රධාන වශයෙන්ම ප්‍රවීණයන්ගේ අවබෝධය දැනුම, අත්දැකීම්, පරිණතභාවය සහ විශේෂයෙන්ම ඒ පිළිබඳව තිබෙන බහුශ්‍රැතභාවය තුළ මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධි අංශවලටත් සම්පූර්ණ වශයෙන්ම ශක්තිය තිබෙන බව මා තරයේම විශ්වාස කරනවා.

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ මේ රට තුළ එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම එයට සම්බන්ධ වූවන් ගැටුම්වලදී මිය යෑමත් තුළ අපට මේ රටේ ස්ථිර සාමයක් පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහෙත් අපට වඩා ලෝකයේ ප්‍රබල බලවත් රාජ්‍යයන්හි ප්‍රබල නායකයන් වගේම යුද විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයට ආගමික අන්තවාදය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙන්ම රටවල ඇතිවන්නා වූ ත්‍රස්තවාදී ව්‍යාපාර තුළ ඇති වන සිදුවීම් කොයි වේලේ, කොයි මොහොතක, කොතනක කුමන ආකාරයෙන් සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයකුට බලවතෙකුට හෝ යුද විශේෂඥයකුට හෝ යුද බුද්ධි විශේෂඥයකුට කියන්න හැකියාවක් නැහැ. අපි දැක්කා පසුගිය මාර්තු මාසයේ ප්‍රංශයේ පැරිස් නගරයේ තිබූ වසර 800ක ඉතාමත් ශ්‍රේෂ්ඨ කතෝලික පූජනීය ස්ථානයක් ගිනි ගත්තා. අප්‍රේල් 21 වැනිදා අපේ රටේ සිදුවීමෙන් පසුව තවත් ලෝකයේ රටවල් කිහිපයක මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විසින් පිපිරීම් සහ ඝාතන සිදුකරනු ලැබුවා. ඒ නිසා ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීමට අප රටක් විදියට ලෝකය සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා. ඒ තුළ මා විශ්වාස කරනවා වසර 30ක යුද අත්දැකීම් සමඟ ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රශ්නයට මුහුණදී ජයග්‍රහණය කර රටට ස්ථිර සාමයක් ළඟාකර දීමේ හැකියාව අපිට රජයක් විදියටත් ආරක්ෂක අංශවලටත් පැවරී තිබෙනවා.

ලැබූ යුද ජයග්‍රහණය තුළ ප්‍රධාන වශයෙන් ලැබූ අත්දැකීම් සමඟ මේ රටට ස්ථිර සාමයක් මෙන්ම ආර්ථික සමෘද්ධිය, ස්වාධීනත්වය සමඟ ගුණවත් යහපත් පාලනයක් සහිත සමාජයක් මේ රටේ මුළු මහත් ජනතාවට උරුම කරදීම සඳහාත් නිදහසේ සතුටින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟීම සඳහාත් අප සියලු දෙනාම කැපවෙමු.