අභිමානය වෙනුවෙන් නැඟී සිටි කොරියානු ගැහැනිය

 ඡායාරූපය:

අභිමානය වෙනුවෙන් නැඟී සිටි කොරියානු ගැහැනිය

වොෂිංටන් නුවර එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සමුළුවක මේ වසර මුලදී ජපාන අගමැති ෂින්සෝ අබේ දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය විසින් අවට ආසියාතික රටවල් මත ඇති කළ දැඩි පීඩනය පිළිබඳ සිය අතිශය ගැඹුරු කනස්සල්ල පළ කළේය. එහෙත් ඒ ආසියාතික රටවල අවිහිංසක දැරියන් සහ යුවතියන් ලක්ෂ හතරකට වඩා සිය ජපාන රාජකීය හමුදාවෙහි සොල්දාදුවන් පිනවීමට ජපාන හමුදාව විසින් ලිංගික වහලුන් ලෙස යොදාගත් බව කීවේ නැත. ඒ වෙනුවෙන් සමාව අයැද සිටියේද නැත.

කිම් බොක් ‍ඩොංග් - Kim Bok Dong

 

2019 අප්‍රේල් 29 වැනි දින කිම් බොක් ඩොංග්ගේ නිසල දේහය රැගත් මෝටර් රථය දකුණු කොරියාවේ සියොල් නුවර ජපාන තනාපති කාර්යාලය අසලට ළඟාවෙමින් තිබිණි. දහස් සංඛ්‍යාත ජනතාවක් දෙන පසුපසින් කහ වර්ණැති සමනලුන් මුද්‍රිත ධජයන්ද බැනර්ද පතාකද ඔසවාගෙන පැමිණියහ.

හිටිවනම ජපාන තානාපති කාර්යාලය අසලදී කිම් බොක් ඩොංගේ දේහය සහිත මෝටර් රථය මොහොතකට නැවතිණි. මරණීය දේහය පසුපස ආ මහා සෙනඟ කන්දරාව තානාපති කාර්යාලය ඉදිරිපිටදී මහ හඬින් කෑ ගැසූහ. ''ජපානය සමාව ඉල්ලපල්ලා.''

ඒ මියගොස් සිටියේ දෙවැනි මහා ලෝක යුද්ධය සමයේ දාහතර හැවිරිදිව සිටි කිම් බොක් ඩොංග් නමැති දකුණු කොරියානු ගැහැනියයි. කොරියාව යටත් කරගෙන සිටි ජපානය විසින් 14 හැවිරිදි මේ දැරියව ජපාන රාජකීය හමුදාවේ සෙබළුන්ගේ ලිංගික සන්තර්පනය සඳහා වහලියක් ලෙස ගෙන ගොස් තිබිණි.

ජපනුන් මෙය හැඳින්වූයේ සනසන ගැහැනිය (Comfort Women) යන අර්ථයෙනි. 1930දී ජපාන රාජකීය හමුදාවේ සෙබළු සන්තර්පණය සඳහා ''සනසන ගැහැනු'' නමැති ඒකකය ජපාන හමුදාව විසින් හඳුන්වා දුන් අතර එයට පළමුව යොදාගත්තේ ජපානයේ, චීනයේ හා කොරියාවේ ගණිකාවන්ය. එහෙත් ජපන් සෙබළුන්ගේ මනා ශරීර සෞඛ්‍යය යුද්ධයේදී තීරණාත්මක සාධකයක් බැවින් ඔවුහු ඒ සඳහා යටත් රටවල යුවතියන් පැහැර ගැනීම හෝ බලහත්කාරයෙන් බඳවා ගැනීම සිදුකළහ.

කොරියාවේ දකුණු සියෙන්යෑන්ග් ගමේ ඇගේ නිවසට පැමිණි ජපන් සෙබළු ඇගේ මවට කීවේ ඔබේ දුව හෙට කර්මාන්තශාලාවෙහි වැඩට එවිය යුතු බවය. කිම් එහි ගිය විට එතැන කර්මාන්ත ශාලාවක් තිබුණේ නැත. එතැන සිටියේ ජපන් හමුදාවට ලිංගික සේවය සැපයීම සදහා බලෙන් ගාල් කළ කොරියානු ස්ත්‍රීන් සමූහයකි.

මේ වන විට ජපානය ආසියා මහාද්වීපයේ චීනය, කොරියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, පිලිපීනය සහ තායිවාන් වෙතින් සිය හමුදාවෙහි ලිංගික කටයුතු සඳහා පැහැර ගත් හෝ බලෙන් බඳවාගත් යුවතියන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ දසදහසද ඉක්මවයි.

ඉන් 52%ක්ම කොරියානු යුවතියෝය. කිම් බොක් ඩොංග් යනු ඉන් එක් යුවතියක් පමණි. ඇය සමහර දිනකට ජපනුන් 50කට පමණ සිය ගත පිදුවාය. ඔවුහු ඇයව හමුදා කඳවුරෙන් කඳවුරටද 1945දී සිංගප්පූරුවටද රැගෙන ගියහ. දෙවැනි මහා ලෝක යුද්ධය අවසන් වූයේ ජපානයේ අන්ත පරාජයෙන් පසුවය. 1947දී කිම් බොක් ‍ඩොංග්ට සිංගප්පූරුවේ සිට නැවත සිය මවුබිමට ඒමට හැකියාව ලැබිණි. ඒ වන විටත් ඇය ගොස් තිබූ දුර ඇය දැන සිටියේ නැත.

ඇය නිවසට පැමිණ ටික කලකට පසුව ඇගේ මව ඇයට විවාහ විය යුතුයැයි පවසා සිටියාය. ලැජ්ජාව නිසා අඛණ්ඩව රැකගත් රහසක් ඇය පාපෝච්ඡාරණය කළේ ඉන්පසුවය. තමා රැකියාව සඳහා ගියේ කර්මාන්තශාලාවකට නොවන බවත් සිය ගණනක් සෙබළු අතින් අතවරයට පත්වූ බවත් ඇය මෑණියන්ට පැවසුවාය. කිම්ට අනුව ඇගේ ඒ ප්‍රකාශයෙන් පසුව මව බොහෝ සිත් වේදනා විඳ මිය ගොස් තිබේ.

සිය රටට පැමිණ වසර 45ක් ගිය තැන, කිම් බොක් ඩොංග් 1992 මාර්තු මස තමාටත් තවත් ලක්ෂ සංඛ්‍යාත යුවතියන්ටත් අත්විඳින්නට සිදුවූ මේ ඛේදවාචකය පිළිබඳව කොරියානු පුවත්පතකට ප්‍රකාශ කළාය. නිහඬ ‍දකුණු කොරියානුවෝ මේ සිද්ධියෙන් බොහෝ කම්පාවට පත්වූහ.

එහි ප්‍රතිඵලයක් ‍ලෙසට දකුණු කොරියාවෙහි මිනිසුන්ගෙන් ජපානය සමාව ඉල්ලා සිටිය යුතු බවට මහා හඬක් නැඟෙන්නට වූ අතර 1940 සිට එසේ ජපනුන්ගෙන් විනාශ වූ සිය දකුණු කොරියානු යුවතියන් වෙනුවෙන් පිළිරූ හා ස්මාරක දකුණු කොරියානු නගරවල ඉදිවීමට පටන් ගැනුණි. මීට පිළිතුරක් ලෙස ජපානය 2015දී මෙම දකුණු කොරියානු ලිංගික වින්දිතයන් උදෙසා ගිණුමක් අරඹා එහි බිලියනයක් තැන්පත් කළේය.

එහෙත් කිම් බොක් ඩොංග් පවසා සිටියේ යෙන් බිලියනයක් නොව බිලියන 10ක් දුන්නද තමා එය ප්‍රතික්ෂේප කරන බවත් මෙය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොව, ලක්ෂ සංඛ්‍යාත යුවතියන්ගේ විනාශ කරන ලද ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවත්ය. එහෙයින් දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ Moon Jae එකී ගිණුම නිෂ්ක්‍රිය කොට තවමත් එසේ අතවරයට ලක් වී පැමිණි දකුණු කොරියානු ගැහැනුන්ගෙන් 21 දෙනෙක් ජීවත්ව සිටින බවත් ජපානය ඔවුන්ගෙන් සමාව ගෙන නෛතික වන්දියක් ගෙවිය යුතු යැයිද කියා සිටියේය. ජපානය ප්‍රකාශ කර සිටියේ තමන් වන්දි මුදල් දීමෙන් සමාව ප්‍රකාශ කර ඇති බවත් මෙම අඛණ්ඩ අර්බුදය දෙරටෙහි ඇති සබඳතාවට තර්ජනයක් විය හැකි බවත්ය.

කෙසේ වුව 2015 දකුණු කොරියාව වන්දි මුදල් ප්‍රතික්ෂේප කළ දින සිට 2018 වනතුරු සෑම සිකුරාදාවකම සියොල් නුවර ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට ඇය සිය සගයන් සමඟ එකතුව කෑ ගෑවාය. ''ජපානය සමාව ඉල්ලන්න'' 2019 අප්‍රේල් මස 28 වැනි දින වයස 92ක් වූ, ස්ත්‍රී දූෂණයට එරෙහිව මුළු මහත් දකුණු කොරියාව පුරාත් ලෝකය පුරාත් හඬ නැඟූ ඒ අභීත ගැහැනිය මිය ගියාය. ඇගේ මිය ගිය දේහයට දකුණු කොරියානු ජනාධිපති අවසන් ගෞරව දැක්වූයේ බිම වැටී දණ නමස්කාර කරමිනි.

''ඔබ ඉදිරියට පැමිණ වැළලුණු හා මකාදමා තිබූ ඉතිහාසයක් ගොඩ දැමීය. එහෙත් අපගේ සාතිශය සංවේගය ඔබ මියයෑමට පෙර ඔබට සාධාරණය ඉෂ්ට කළ නොහැකි වූ නිසාය; විසඳුමකින් තොරවම ඔබ අප හැර ගිය බැවිනි.'' උතුරු කොරියාව මේ විශිෂ්ට ගැහැනියට සමුදී තිබුණේ එලෙසින්ය.

 

[උපාලි ජයසිංහ]

මාතෘකා