පාස්කුවේ කඳුළු කතාවට සිතුවමින් පණ පොවන තහීරා

 ඡායාරූපය:

පාස්කුවේ කඳුළු කතාවට සිතුවමින් පණ පොවන තහීරා

යම් සිදුවීමකට එක් එක් පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරයද එකිනෙකට වෙනස් වේ. ඊට ආසන්නතම උදාහරණය පසුගිය පාස්කු ඉරිදා රටම ත්‍රාසයට සහ වේදනාවට පත්කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයයි. එම සිදුවීම සිදුවී මාසයකට ආසන්න වී ඇතත් තවමත් බොහෝ දෙනකුගේ සිත් තුළ තිබෙන්නේ ඒ පිළිබඳ දැඩි කම්පනයකි. ඒ කම්පනය ඇතැම් අය වේදනාත්මක සිතිවිලිවලින් මුදාහරිද්දී ඇතැම් පුද්ගලයන් දැඩි ආවේගයෙන් කටයුතු කරනුද දක්නට ලැබේ. එහෙත් ආවේගය හැමවිටම සුබවාදී ප්‍රතිඵල ගෙන නොදෙන බව මේ දිනවල දක්නට ලැබෙන සිදුවීම්වලින් සනාථ වෙමින් තිබේ. එහෙත් එවැනි ආවේගාත්මක සිතිවිලිවලින් සිදුවන්නේ තවත් අලුත් ඛේදවාචකයන් නිර්මාණය කිරීමේ පසුබිම විය හැකිය. එම නිසා මේ අවස්ථාවේ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීම අතිශයින් වැදගත් වේ.

එවැනි සාමකාමී ප්‍රයත්නයක් දරන අපූරු යුවතියක් ගැනයි මේ සටහන.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ජනතාව වෙනුවෙන් සුවිශේෂී උපහාරයක් පිදීමට ඇය නවමු මඟක් තෝරාගෙන තිබේ. මුස්ලිම් යුවතියක වන ඇය නමින් තහීරා රිෆාත්ය.

27 හැවිරිදි වියේ පසුවන තහීරා මේ වන විට නිදහස් රූ රටා නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කරන්නීය. කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා ඇති තහීරා 2010 සිට 2014 දක්වා ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. මුස්ලිම් පියකුට දාව සිංහල මවකගෙන් උපත ලබා ඇති තහීරාට එක් සහෝදරයෙක්ද සිටින අතර ඔවුන් පදිංචිව සිටින්නේ නාවල ප්‍රදේශයේය.

"ඒ සිදුවීම වුණ දවසේ අපිට ගොඩක් බය හිතුණා. ගොඩක් හිත රිදුණා. ඒ සිදුවීමෙන් කොයිතරම් කම්පනයට පත්වුණාද කිව්වොත් මට සතියක් විතර යනකම් හරියට නිදාගන්න බැරි වුණා. ඒ වෙලාවේ මට හිතුණා ඒ සිදුවීම එතන හිටපු අයට කොච්චර හිතට වදින්න ඇතිද කියලා. එදා ජීවිත අහිමි වුණු අයගේ පවුල්වල අයට කොයිතරම් බලපාන්න ඇත්ද කියලා."

තහීරා ඒ දුක්මුසු සිදුවීම සිහිපත් කළේ ඒ ආකාරයටයි. ඒ මොහොතේ දැනුණු කම්පනය තවමත් ඇගේ හදවත දවාලනවා සේය.

"ඒ සිදුවීම නිසා මමත් හිටියේ ලොකු කම්පනයකින්. ඒ වගේම මට ඕන වුණා ඒ මිය ගිය අයට උපහාරයක් විදිහට යමක් කරන්න. ඒ නිසා තමයි මම තීරණය කළේ ඒ අයගේ ඩිජිටල් රූ රටා අඳින්න. අපි සමීපව ඇසුරු කළ කෙනෙක් නැති වුණොත් අපි හැම තිස්සෙම හිතන්නේ ඒ නැතිවුණු කෙනාව සිහි කරන විදියක්. නමුත් ඒ මුහුණ දකින කොට හොඳ දෙයක් හිතෙන්න ඕනේ. ඔවුන්ගේ මරණය සිදුවෙලා තිබුණු විදිය සහ ඒ පින්තූර දකින්න අපි කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ලස්සන පින්තූරයක් දකින්න කැමතියි. ඒ දේවලුත් හිතේ තියාගෙන තමයි මම එදා පාස්කු ඉරිදා ජීවිත අහිමි වූ අයගේ පින්තූර අඳින්න තීරණය කළේ "

තහීරා තමාගේ වෑයමේ අරමුණ පැහැදිලි කරමින් පැවසුවාය. ඇය මේ රූ රටා ගොන්න ඇඳීම අරඹා ඇත්තේ මඩකලපුව සියොන් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකරු වැළැක්වූ දෙදරු පියකු වූ රමේෂ් රාජුගේ රුව සිත්තමට නැඟීමෙනි.

"ඒ රමේෂ් රාජු දිහා වීරයෙක් විදියට තමයි මිනිස්සු බැලුවේ. එයාට කරන ගෞරවයක් විදියට මම ඉස්සෙල්ලාම එයාගෙන් මේ චිත්‍ර ඇඳීම පටන් ගත්තා. මම රමේෂ් රාජු ඇඳගෙන යනකොට මට හිතුණු දෙයක් තමයි ඔහුට දරුවෝ ඉන්නවා. දැන් ඒ දරුවො. එයාගේ පවුල ජීවත් කරවන්නේ කවුද කියලා. ඔහු ඒ විදියට මැරෙන්න හිටිය කෙනෙක් නොවෙයි නේද වගේ අදහස් මගේ හිතට ආවා. එතකොට මට පුදුම දුකක් දැනුණා. ඒ විදිහට එදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ චිත්‍ර පහක් විතර කළාට පස්සේ ඒක මානසිකවත් ශාරීරිකවත් මට බලපෑවා. ඒ නිසාම මට උණ ගන්නත් ආවා."

එහෙත් තහීරා සිය වෑයම අතරමඟ නතර කරන්නේ නැත. දිගින් දිගටම චිත්‍ර ඇඳීමේ නිරත වන ඇය පසුගිය 8 වැනිදා වන විට ඇය එවැනි රූ රටා හයක් පමණ සිත්තම් කර තිබේ. එවැනි එක් රූ රටා නිර්මාණයක් සඳහා ඇයට පැය තුනත් හතරත් අතර කාලයක් ගතවන බවද ඇය පැවසුවාය.

එසේ නිමවන රූ රටා ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි විස්තරයක්ද සහිතව පළ කිරීමටද ඇය අතපසු නොකරයි. තම ප්‍රයත්නය සඳහා මිතුරු මිතුරියන්ගෙන් මෙන්ම වෙනත් බොහෝ දෙනකුගේ සහාය ලැබෙන බවද තහීරා පැවසුවේ කෘතඥතාපූර්වකවය.

පාස්කු දින බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය අය පිළිබඳව බොහෝ විට සංඛ්‍යාත්මකව පමණක් කතා කළ බව පැවසූ තහීරා මියගිය අයගේ තොරතුරු සමාජගත වූයේ මඳ වශයෙන් බවත් ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ප්‍රමුඛත්වයක් ගත් බවත් පවසන්නීය.

"ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක්. දෙසිය පනස් ගාණක් ඒ ප්‍රහාරය නිසා මැරුණු බව පැවසෙනවා. නමුත් ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ ඒ කවුද කියලා. මට අවශ්‍ය වුණා එහෙම මියගිය අය දෙසට සමාජයේ අවධානය යොමු කරන්න. ඇත්තටම ඒ අය ඒ ආකාරයට මැරෙන්න හිටිය අය නොවෙයි. ඔවුන් අතර ඉතාම වටිනා රටට වැඩදායක පුද්ගලයන් හිටියා. අහිංසක පුංචි දරුවන් හිටියා. ඒ මියගිය හැම කෙනකුගෙම මියයෑමට වටිනාකමක් දෙන්නයි මට ඕන කළේ"

තහීරා වැඩිදුරටත් එසේ පැවසුවාය. මෙම නිර්මාණ කටයුත්ත අරඹන විට ඇය සතුව කිසිදු තොරතුරක් නොවූ බවත් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සහ පුවත්පත්වල පළවූ තොරතුරු එකතු කරගනිමින් සිය කටයුත්ත ඇරඹූ බවත් ඇය සඳහන් කළාය.

බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් ලෙස දැනට හඳුනාගෙන ඇති 257 දෙනාගේම රූ රටා නිර්මාණය කිරීම තම අරමුණ බව පැවසූ තහීරා රිෆාත් ඒ සඳහා තමාට ඔවුන්ගේ තොරතුරු එවන ලෙසද ඉල්ලා සිටීමටද අමතක නොකළාය.

"මගේ අම්මා සිංහල. තාත්තා මුස්ලිම්. නමුත් ජාතීන් විදිහට ගත්තොත් මේ දෙවර්ගයේම සමහර අය කරන වැඩ සමහර වෙලාවට මට ගැටලුවක්. සමහරු කරන දේවල් දැක්කම මට නිතරම හිතෙන දෙයක් තමයි මේක නොවෙයි නේද නියම බෞද්ධ ඉගැන්වීම? මේක නොවෙයි නේද නියම මුස්ලිම් ඉගැන්වීම? ඇයි එහෙම වෙන්නේ කියලා මම හිතනවා. දැන් මේ සිදුවීමේදිත් මට ඒ ප්‍රශ්නෙම ආවා. මට හිතෙනවා ඒ හැමදෙනාම වැරදියි කියලා."

ජාති, ආගම් භේදයකින් තොරව මිනිසත්කමේ ගුණ සුවඳ හඳුනාගත හැකි ලෝකයක් දකින්නට තහීරා වැනි යුවතියක දරන මේ කුඩා ප්‍රයත්නය වුවද මේ මොහොතේ මහමෙරක් තරම් වටිනවා නොවේද?

ඡායාරූප- බීබීසී සිංහල සේවය ඇසුරිනි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා