සම්මානනීය ජීවිතයක අතීතාවර්ජනය

 ඡායාරූපය:

සම්මානනීය ජීවිතයක අතීතාවර්ජනය

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී සහ විරිදු ගායන ශිල්පිනියක ලෙස දශක දෙකකට අධික කාලයක්ද රජයේ ගුරු පත්වීම ලද පළමු නර්තන ආචාර්යවරිය ලෙස දශක පහකට ආසන්න කාලයක්ද කලාවට කීර්තිමත් සේවයක් කළ දයා නෙල්ලම්පිටියගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවෙන ලිපි පෙෙළ් දහඅටවැන්න මෙය වේ.

ඇගයීම යනු කෙනකුගේ ජීවිතයට අත්‍යන්ත වශයෙන්ම අවැසි දෙයකි. මන්දයත් ඒ ඇගයීම ඔස්සේ ජීවිතය තව තවත් අර්ථාන්විත කරගන්නට හෙතෙම පන්නරය ලබා ගන්නා බැවිනි. කෙනකු තම ජීවිතය අර්ථාන්විතව ගත කළා නම් ඔහු හෝ ඇය ඇගයීමට නිසැකවම පාත්‍ර වන්නේය. දශක පහකට ආසන්න කාලයක් නර්තන ගුරුවරියක් ලෙසද දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු ශ්‍රේණියේ ජන ගී හා විරිදු ගායන ශිල්පිනියක් ලෙස සේවය කළ ඇයට මොන තරම් නම් සම්මාන ගරු බුහුමන් ලැබෙන්නට ඇත්ද? ඔව්... මේ ඉඩකඩ වෙන් වන්නේ දයා නෙල්ලම්පිටියන්ට ලැබුණු අගය කිරීම් වෙනුවෙනි.

දයා නෙල්ලම්පිටිය යනු කලාකාරිනියක් ලෙස තම ජීවිත කාලය තුළ ලැබිය හැකි ඉහළම අගය කිරීම් ලද කලා ශිල්පිනියකි. ඈ සතු සම්මාන, සමරු ඵලක ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම් විශාලය. ඈ සමඟ පිළිසඳරේ යෙදෙන විට තමන්ට ලැබුණු සම්මාන පිළිබඳව විමසූ විට ඒ පිළිබඳ තතු පවසන්නට ඈ පැකිළුණාය. එහෙත් මෙම ලිපි පෙළට ඈ ලද ගෞරව සම්මාන පිළිබඳව සඳහන් කිරීම අත්‍යවශ්‍ය බැවින් ඒ තතු ඇගෙන් හාරවුස්සා ඔබ හමුවේ තැබීමට වගබලා ගත්තෙමි. තමා ලද සම්මාන පිළිබඳව යමක් පවසන ලෙස අප දයාගෙන් කළ ඉල්ලීමට ඈ පිළිතුරු දුන්නේ මෙසේය.

"සම්මාන නම් ඕනතරම් ලැබිලා තියෙනවා. ඒත් මිනිස්සුන්ට මතක තියෙන්නේ මට ලැබුණු සම්මාන නෙමෙයි. මම මිනිස්සු වෙනුවෙන් කරපු දේවල්. ඒවා තමයි එයාලා මතක තියාගෙන ඉන්නේ. මිනිස්සු වෙනුවෙන් යමක් නොකළ කෙනෙක්ට කොච්චර සම්මාන ලැබුණත් වැඩක් නැහැ."

ඒ ඇගේ නිහතමානීකමයි. තමන්ට ලැබුණු දෑ පිළිබඳ අප සමඟ උදම් අනන්නට ඇයට අවැසි නැත. ඇයට වටින්නේ මිනිසුන් ඇයට දක්වන ආදරයයි. පිළිගැනීමයි. දයා යනු ජනාධිපති සම්මාන ලද ජ්‍යේෂ්ඨ කලා ශිල්පිනියකි. දයාට තම ජීවිතයේ ලැබුණු වටිනාම ඇගයීම් පිළිබඳව විමසූවිට ඈ පැවසුවේ මෙබන්දකි.

"චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ මට ලැබුණා කලාභූෂණ සම්මානය. 1998දී එතකොට හිටපු සංස්කෘතික ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහත්මයා තමයි මට කලාභූෂණ සම්මානය දුන්නේ. ඊටපස්සේ මට මහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නා රාජ්‍ය සම්මාන. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2018දී මට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දුන්නා කලාකීර්ති සම්මානය. මේ ටික තමයි පාලනාධිකාරියෙන් මට ලැබුණු වටිනම සම්මාන. මීට අමතරව ඇමතිවරු, මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු ගොඩක් සම්මාන ලබාදීලා තියෙනවා."

දයා නෙල්ලම්පිටියගේ ගුරුහරුකම් ලද ශිෂ්‍යයාවන් සංඛ්‍යාව ගණනය කළ නොහැකිය. අනුලා විද්‍යාලයේද මියුසියස් විද්‍යාලයේද පමණක් නොව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදීද දයා - සේනගේ ඇසුරෙන් මෙරටට දායාද වුණු කලාශිල්පීන් රැසකි. ඔවුන්ගෙන්ද දයා නෙල්ලම්පිටියන් හට ගෞරව සම්මාන රාශියක් හිමි වී ඇත. ඒ පිළිබඳව දයා අපට පැවසුවේ මෙසේය.

"මගේ ගෝලයන්ගෙන් මට සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. නම් වශයෙන් කියන්න ගියොත් විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝම අද රටේ ඉහළ පෙළේ කලාශිල්පීන්. ඒ විතරක් නෙමෙයි මගේ ගෝලයෝ මං ගැන නිතරම හොයලා බලනවා. මගේ ජීවිත කාලේ මම හම්බු කරපු දෙයක් තියෙනවා නම් ඒ තමයි මගේ ගෝලයෝ. ඒ අය දැන් ඉන්න තැන තමයි මට ලැබුණු ලොකුම සම්මානය."

ගුරුවරියකට ඉන් එහා කුමන සම්මානයක්ද? ගුරුවරුන් ප්‍රදීපාගාරයක් බඳුය. එහි එළිය දසත පැතිරුණද ඒ එළියෙන් බොහෝදෙනා කුණාටු සාගරයේ පාර හොයා ගත්තද එහි පාමුල ඇත්තේ ඝණ අන්ධකාරයකි. ගුරුවරුන්ගේ ලෝකය කෙතරම් අන්ධකාර වුවද ඔවුන්ගේ ගෝලයන් වැජඹෙනවා දැක ඉන් සතුටු වෙයි. දයා නෙල්ලම්පිටිය එවන් ගුරුවරියකි. ඇය ජීවිතයේ ලද ඉහළම සම්මානය ඇගේ ගෝලයන් ය. ඔවුන් අද සිටින තැනය.

මෙසේ දයා සමඟ ඈ ලද සම්මාන පිළිබඳ කතාබහ කරන අතරේ ඇගේ ආලින්දයේ එක් කෙළවරක සම්මාන ඇති රාක්කය දෙස නෙත් යොමු විණි. කෙනිනෙකට වෙනස් සම්මාන සහ ස්මරු ඵලක හතළිහක් පමණ අසුරා ඇති රාක්කය දුටු මට පැනයක් මතුවිය.

"මේ තියෙන්නේ ඔබතුමියට ලැබුණු සම්මාන ඔක්කොමද?"

මා ඇසූ පැනයට සිනාසුණු ඈ පෙරළා පිළිතුරු දුන්නේ මෙසේය.

"නැහැ. මට සම්මාන සමරු ඵලක සීයකට වැඩිය හම්බෙලා තියෙනවා. ඒවා මට තියාගන්න තැනක් නැහැ. දැන් ඒවා මෙතන නෙමෙයි වෙනම තැනක තියලා තියෙන්නේ. මං නැති කාලෙක ගෙදර අයට මේවට ඕන දෙයක් කරන්න කියලා මම කියලා තියෙන්නේ."

දයා නෙල්ලම්පිටිය ලද සම්මාන සහ ගරු බුහුමන් ගැන කතා කරන විට කෙතරම් සම්මාන ලැබුණද ඇයට ලැබුණු ඉහළම සම්මානයක් ඇත. ඒ ගැන ඈ අප සමඟ පැවසුවේ මෙසේය.

"මට ලැබුණු ඉහළම සම්මානය තමයි මගේ පවුල. මං දරුවන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. හොඳ ස්වාමිපුරුෂයෙක්ගේ බිරිඳක්. මුණුබුරු මිණිබිරියෝ පස්දෙනෙක්ගේ අත්තම්මා කෙනෙක්. ඉතින් මේ පවුල තමයි මට තියෙන ඉහළම සම්මානය. පවුලක් නැති කෙනෙක්ට කොච්චර ගරුබුහුමන් ලැබුණත් වැඩක් නැහැ."

ඈ ලද ඉහළම සම්මානය ඇගේ පවුලයි. එය කෙතරම් වටිනවාද යන්න ඈ එය පවසන විටත් අප දෑස් ඉදිරියේම විද්‍යමාන වෙයි. ඈ අප සමඟ කතාබහේ යෙදෙන අතරතුරත් දයාගේ ළාබාලතම මුණුබුරා විටින් විට ඈ ළඟ දැවටෙමින් ඇගෙන් නොයෙක් පැන විමසමින් ඇගේ අවධානය ගන්නට තැත් කරයි.

මේ සම්මාන, සමරු ඵලක, සියල්ල දයාගේ ජීවිතයේ කැපවීම පිළිබඳ මතක සටහන්ය. දයා කලාවට කළ කැප කිරීම, සේවය ඒ සියල්ලෙන්ම පිළිබිඹු වෙයි. ඇගේ සම්මාන සමරු ඵලක තුළ කෙතරම් නම් අමතක නොවන මතක සටහන් ගැබ් වෙලා ඇත්ද? සුවිශේෂී සිදුවීම් ඇත්ද? ඒ ගැන අප විමසන්නටත් මත්තෙන් දයා තම හඬ අවදි කළේය.

"මේ හැමදෙයක් එක්කම බැඳුණු මොකක් හරි මතකයක් තියෙනවා. ඒ අතරින් විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීමත් මගේ අතීතයත් එක්ක බැඳුණු එකක්. 2018දී මම කලාභූෂණ සම්මානේ ගන්නකොට ප්‍රේක්ෂකාගාරේ හිටපු කෙනෙක්ගෙන් මට විශේෂ සුබපැතුමක් ලැබුණා. ඒ තමයි නවීන් දිසානායක ඇමතිතුමා. එතුමා ලිපියක් මඟින් මට සුබපතලා තිබුණා "මම ඔබතුමියගේ 'මහවැලි ප්‍රසංගය බැලුවේ හරිම පුංචි කාලේ. අද ඔබතුමිය කලාභූෂණ සම්මානේ ගත්තා. ඒකත් ප්‍රේක්ෂකාගාරේ ඉඳලා බලන්න මම වාසනාවන්ත වුණා" කියලා. ඒ සුබපැතුම මට හරි විශේෂයි"

දයාගේ ජීවන මතක අතරින් මෙසේ ඔබමොබ සක්මන් කරන අප කලාකරුවන්ට පිරිනමන සම්මාන ගැන සහ සම්මාන උලෙළ ගැන ඈ දරන මතය ඇසුවෙමු.

"සම්මානයක් ඇගයීමක්නේ. ඒ නිසා සම්මාන දෙන එක හොඳයි. ඒත් සම්මාන බලාපොරොත්තු නොවී කලාවට තම ජීවිතයම කැප කරපු සම්මාන කිසි දෙයක් නොලැබුණු කලාකාරයො ජීවිතයේ අවසාන කාලය අන්ත දුක්ඛිත විදිහට මැරෙනවා මම දැකලා තියෙනවා. සම්මාන දෙනවා වගේම අසරණ වුණු ජ්‍යෙෂ්ඨ කලාකාරයන්ට ප්‍රතිපාදන දෙන වැඩපිළිවෙළකුත් තියෙන්න ඕනේ. ඒකට මේ රජය අනුග්‍රහය දුන්නා. ඒක මම අගය කරනවා."

දයා නෙල්ලම්පිටිය ලංකාවේ ජනාධිපතිවරු සියලුදෙනා සමඟ කටයුතු කළ කලා ශිල්පිනියකි. විවිධ පාලන සමයන්හී විවිධ මත දරන දේශපාලන පක්ෂ සමඟ කලාකාරිනියක් ලෙස කිසිදු පක්ෂපාතීත්වයක් නොදරා කටයුතු කළ ඈ ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා නැත.

"මම කිසිම දේශපාලකයෙක්ගෙන් කිසිම ප්‍රතිලාභයක් අරගෙන නැහැ. කිස්ම දේශපාලන පක්ෂයකින් මුදල් හම්බු කරලා නැහැ. ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට රජයෙන් දෙන දීමනා පවා මම ප්‍රතික්ෂේප කළා. අදටත් මම ජීවත් වෙන්නේ මට ලැබෙන විශ්‍රාම වැටුපෙන්. හැම පාලන සමයකදීම ඒ රජයට අවනතව වැඩ කළා මිස කිසිම ලාභ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ."

දයා නෙල්ලම්පිටිය අදටත් තම කශේරුකාව කෙළින් තියාගෙන තම හයියෙන් ජීවිතය ගත කරන්නේ එසේය. ලාභ ප්‍රයෝජන සඳහා සහ බල තණ්හාව සඳහා දේශපාලනය පසුපස හඹා යන කලාකරුවන් සිටින රටක අසූපස් වියැති ඈ තවමත් තම හයියෙන් තමන්ගේ වියපැහැදම් කළමනාකරණ කරගන්නීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [සුදම් ගුණසිංහ]

මාතෘකා