ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුම ප්‍රතිචක්‍රීකරණයද?

 ඡායාරූපය:

ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුම ප්‍රතිචක්‍රීකරණයද?

සියලු දේ නැසෙනසුලු බව බුදු බණෙහි සඳහන් වුවත් සමහර දේ අප නොසිතනා කාලයක් අප සමගම පරිසරයේ පවතී. සමහරවිට අපේ ජීවිත කාල කිහිපයක් ගත කරන කාලයක් පවා පවතී. එනම් අප දැන් භාවිත කරන නොදිරන ප්ලාස්ටික් යමක්, තවත් අවුරුදු 500කින් පමණ අපේ මී මුණුපුරු පරම්පරාවක කෙනකු සොයා ගැනීමට ඇති සම්භාවිතාවද ඉතා ඉහළය.

ප්ලාස්ටික්වල මූලික සංඝටක අපට ලැබෙන්නේ ඛනිජ තෙල් පිරිපහදුවෙන් ලැබෙන අතුරු ඵලවලින්. මිනිසා විසින් තැනූ ප්ලාස්ටික් මුලින්ම සොයා ගත්තේ 1856දී බ්‍රිතාන්‍ය ජාතික Alexander Parkes විසින්. ඔහු ඒ සඳහා පේටන්ට් බලපත්‍රයද ලබාගෙන තිබෙනවා. එය නයිට්‍රෝසෙලියුලෝස් (පාකේසයින්) නම් සෙලියුලෝස්වලින් ව්‍යුත්පන්න වූ බහුඅවයවිකයකින් සැකසූ ප්ලාස්ටික් වර්ගයක්. මෙය හොඳින් සැකසූ විට ඇත්දල වෙනුවට ආදේශකයක් ලෙස පවා යොදාගත හැකියි. එකල ඇත්දලවලින් තැනූ බිලියඩ් බෝල වෙනුවට මේ ප්ලාස්ටික්වලින් තැනූ බිලියඩ් බෝල භාවිතයෙන් ඇත්දලවලට ආදේශකයක් ලෙස භාවිතයට ගැනුනා.

කෙසේ වුවත් මෙහි වූ විවිධ අඩු ලුහුඬුකම් නිසා භාවිතය සීමා සහිත වුණා. 20 වැනි ශතවර්ෂයේ මුලදී බෙල්ජියානු රසායනඥයකු වූ Leo Baekeland විසින් ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් එකතු කිරීමෙන් සැකසූ බේක්ලයිට් නම් දෘඩ ප්ලාස්ටික් වර්ගය තනනු ලැබීමත් සමගම ලෝකයේ නව යුගයක් ආරම්භ වුණා. නමුත් මෙහි පුනරුදයක් ඇති වූයේ පළමු ලෝක යුද්ධය නිමවීමත් සමගයි. යුරෝපයේ රසායන ඉංජිනේරු විද්‍යාව දියුණු වීමත් සමගම විවිධ සමාගම් විසින් නව ප්ලාස්ටික් වර්ග ලොවට හඳුන්වාදෙනු ලැබුවා. ඒ අනුව ජර්මනියේ BASF සමාගම විසින් අප කවුරුත් දන්නා පොලිස්ටයිරීන් 1930දී ලොවට දායාද කළා. අද බොහොමයක් ඇසුරුම්වල සහ වෙනත් අනේකවිධ කටයුතු සඳහා භාවිත වන රෙජිෆෝම් අපට ලැබුණේ එසේයි. අප කවුරුත් දන්නා පීවීසී නොහොත් පොලි වයනයිල් ක්ලෝරයිඩ් (PVC) ලොවට දායාද වූයේ අහම්බයක් ලෙසින්. 1872 වසරේදී ජර්මානු ජාතික රසායනඥයකු වූ Eugen Baumann විසින් වයනයිල් ක්ලෝරයිඩ් අඩංගු භාජනයක් වැරදීමකින් සූර්යාලෝකයට නිරාවරණය කර තබා තිබියදී ඒ තුළ සැදි සුදු පැහැති ද්‍රව්‍යය පරීක්‍ෂා කිරීම හරහායි. පසුව එය මහාපරිමාණයෙන් නිෂ්පාදනය කළ හැකි වූයේ 1923 වසරේදී Durite Plastics Inc. ආයතනය මගින්. අප කවුරුත් දන්නා පොලිතීන් ලොවට දායාද කළේ ICI ආයතනයේ පර්යේෂකයන් දෙපළක් වන Reginald Gibson සහ Eric Fawcett විසින් 1933දීයි. මෙසේ විවිධ ප්ලාස්ටික් වර්ග ලොවට එකින් එක එකතු වෙද්දී 1954දී Guilio Natta විසින් පොලි ප්‍රොපිලීන් හඳුන්වා දී වසර තුනක් වැනි කෙටි කලකින්ම නිෂ්පාදනය පටන් ගැනීම, එම වසරේදීම Dow Chemical ආයතනය මගින් පොලිස්ටයිරීන් මහාපරිමාණ නිෂ්පාදනය සහ ලොව විශාලතම පෙරලියක් වූ (Poly Ethylene Tetraphthalate – PET) සොයාගැනීමත් සමගම මෙතෙක් භාවිත වූ වීදුරු භාජන සහ බෝතල් බොහොමයක් PET මගින් ආදේශ කරනු ලැබුවා. PETවල වූ සුපිරි ගතිගුණ නිසා සහ එය භාවිතය, නිෂ්පාදනය පහසු නිසා සහ සාපේක්‍ෂව බරින් අඩුවීම, ශක්තිය අතින් ඉහළ අගයක් පැවතීම වැනි ගතිගුණ නිසා PET ඉතාමත්ම ඉක්මනින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් විසින් වැලඳගැනීම සිදු වුණා.

ප්ලාස්ටික් වර්ග බොහොමයක් ඉතා දිගු කල් නොදිරා පවතිනවා. එය එසේ වන්නේ මේ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයේදී සිදුවන බහුඅවයවීකරණය සහ ජාලගත වීම හේතුවෙන් ඒවායේ අණු ඉතා දැඩිව ඇසිරී තිබෙන නිසා. මේ නිසා ප්ලාස්ටික් ශක්තිමත් වනවා පමණක් නොවෙයි කිසිදු ආකාරයකින් සරල අණු බවට නැවත පත්වීමට හැකියාවක් නැහැ. එසේ දිරා ගියත් එය ශතවර්ශ ගණනාවක් ගත විය හැකියි. දැනට ගණන් බලා ඇති අන්දමට සමහර ගණනය කිරීම් අනුව 1950 සිට මේ වනතෙක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් බිලියන 8.3ක් නිෂ්පාදනය කර ටොන් බිලියන 6.3ක් අපද්‍රව්‍ය වශයෙන් පරිසරයට එක් කර අවසන්. තත්ත්වය මෙසේ පැවතුණහොත් නුදුරු අනාගතයේදීම අපගේ ලෝකය ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් වැසී යනු නොඅනුමානයි.

 

මේ ප්ලාස්ටික් ව්‍යසනයේ දරුණුතම අනතුර වන්නේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (Micro Plastics) සෑදීමයි. ප්ලාස්ටික් දිරාපත් වීමේදී මුලින්ම සිදු වන්නේ විශාල ප්ලාස්ටික් කැබලි කුඩා කැබලිවලට කැඩීමයි. එය බොහෝවිට සූර්යාලෝකයේ වූ පාරජම්බුල කිරණ (UV Rays) සහ දැඩි අව්රශ්මිය, විවිධ දෑවල ගැටීමෙන් ආදී සිදු වෙනවා. මෙසේ කැඩුණු ප්ලාස්ටික් කැබලි තවදුරටත් ඉතා කුඩා කැබලිවලට කැඩෙමින් ගොස් මිලිමීටර පහට වඩා අඩු ප්‍රමාණයේ ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ කුඩා ප්ලාස්ටික් කැබලි බවට පත්ව, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි ලෙස නොදිරා පරිසරයේ පවතිනවා. මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් පරිසරයට එකතු වන්නේ විශාල ප්ලාස්ටික් කැබලි කැඩී යෑමෙන් පමණක්ම නොවේ. දත් බෙහෙත් වර්ග, රූපලාවන්‍ය ක්‍රීම්, ස්ක්‍රබ් වැනි දෑ, රෙදි සෝදන කුඩු වර්ගවල වූ ඉතා කුඩා අංශු, රෙදි සේදීම නිසා පරිසරයට එකතු වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් තන්තු, විවිධ කාර්මික නිෂ්පාදන සැකසීමේදී පරිසරයට මුදා හැරෙන අංශු ලෙස විවිධාකාර වනවා.

සාමාන්‍යයෙන් කෘත්‍රිම ප්ලාස්ටික් වර්ග - එනම් නයිලෝන්, පොලිඑස්ටර් වැනි මිනිසා විසින් තනනු ලැබූ ප්ලාස්ටික් වර්ගවලින් තැනූ රෙදිපිළි එක වරක් රෙදි සෝදන යන්ත්‍රයකින් සේදීමේදී රෙදි වර්ගය අනුව ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් තන්තු ලක්‍ෂ දෙකක සිට ලක්‍ෂ හතක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. මෙහි විශාලතම අනතුර වන්නේ අප ඒ ඉවතලන ජලය කානුවකට හෝ ප්‍රධාන ජලප්‍රවාහයකට මුදාහැරිය විටයි. මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් තන්තු ප්‍රධාන ජලමාර්ගයකට එකතු වූ විට ඒවා බොහෝවිට නතර වන්නේ කුඩා මසුන්ගේ ශරීර තුළයි. ඒ මසුන් මාංස භක්‍ෂක මසුන් විසින් ආහාරයට ගැනීමේදී ඒවා විශාල මසුන්ගේ සිරුරු හරහා අවසානයේ ආහාර දාමයේ අවසාන පුරුක වූ මිනිසුන්ගේ සිරුරු තුළ ක්‍රම ක්‍රමයෙන් එකතු වනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ ශරීර තුළ වූ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් එකතුව අප නොදන්නා බොහෝ රෝග එකතුවක මූලික බීජය විය හැකි නිසා. මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන්නේ සමුද්‍ර ජීව පද්ධතිය තුළයි. සියයට හැත්තෑ පහකට වඩා පෘථිවි පෘෂ්ඨය වසා පවතින සාගරය සියළුම කුණුකසළ එකතු වන කසළ ගොඩක් වී හමාරයි. ලෝකය පුරා සාගර සියල්ලේම එකතු වන කුණු කඳු නිසා සමුද්‍ර ජීවීන්ට ඇති වී ඇති තර්ජනය ගිණිය නොහැකි තරම්. දැනටමත් ලෝකයේ ප්‍රධාන සාගර සියල්ලෙහිම කුණු දූපත් සැකසෙමින් පවතිනවා. Pacific Garbage Patch නමින් හැඳින්වෙන ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය සහ පැරණි රුසියානු සමූහාණ්ඩුව අතර වූ ප්‍රමාණයක් තරම් විශාල වූ (වර්ග සැතපුම් 270,000 – 5,800,000) සුවිසල් ප්ලාස්ටික් සහ කසළ දූපත ලොව විශාලතම කසළ දූපතයි. මෙවැනි දූපත් සෑම සමුද්‍රයකම සැකසෙමින් පවතින අතර බොහෝ දුරට මේ දූපත් අසල ජීවයක් පැවතීමත් සැකයක්. මුහුදේ හෝ ජල දේහවල පවතින මේ ප්ලාස්ටික් එහි පැවැත්මටත් වඩා වෙනස් රසායනික තර්ජනයක් ලෝකයට එල්ල කරනවා. එනම් මේ ප්ලාස්ටික් බිඳී යෑම නිසාම ඇතිවන, බිස්ෆිනෝල් ඒ, බහු වලයික බෙන්සීන් වර්ග සහ පොලිස්ටයිරීන් ව්‍යුත්පන්න වර්ග වැනි විවිධ කාබනික සංයෝග මේ ප්ලාස්ටික්වලට ඇලීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා මේ ප්ලාස්ටික් කුණු අහිතකර රසායනික සංයෝග ගබඩා ලෙස ක්‍රියා කරනවා. මේ ප්ලාස්ටික් සතුන් මගින් ගිලදැමීම නිසා ඔවුන්ගේ සිරුරු තුළට ඇතුළු වන්නේ ප්ලාස්ටික්ම පමණක් නොවෙයි - අහිතකර රසායනික සංයෝග රාශියක්. මේවා ආහාර ජාලය හරහා අවසානයේ තැන්පත් වන්නේ මිනිස් සිරුරු තුළයි. එය බොහෝ නොදන්නා රෝග ගණනාවක නිධානය වනවා. තවමත් මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් තර්ජනයට පැහැදිලි විසඳුමක් සොයාගෙන නැති නිසා අනාගතයේදී සිදුවිය හැකි මහා ව්‍යසනයක් මඟ හරිමින් තවමත් අපි පරිසරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මුදාහරිමින් සිටිනවා.

පරිසරයට අලුතෙන් ප්ලාස්ටික් එකතු වීම අවම කිරීම සහ දැනට පරිසරයේ සංසරණය වන ප්ලාස්ටික් නැවත පරිභෝජනය මේ සඳහා ඇති එකම විසඳුම ලෙස දැනට බොහෝ දෙනා පිළිගත්තද එය සමහර ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබා නොදෙන බව සමහර විද්වතුන්ගේ මතයයි. ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය ප්‍රතිචක්‍රීයකරණය මගින් තරමක් දුරට අඩු වුවත් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය නවතාලිය හැකි කිසිදු ක්‍රමයක් මෙතෙක් හමුවී නැහැ. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයද වෙනත් දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙන් ලාභදායක නොවන නිසා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ආයෝජනය කිරීම බොහෝ විට ඉතා පහළ මට්ටමක පවතිනවා. මේ නිසාම ලොව පුරා තවමත් ප්‍රතිචක්‍රීයකරණය සිදු වන්නේ සියයට නවයක් වැනි පමණ පහළ මට්ටමකයි. මේ නිසා ලොවට සෑමවිටම ප්ලාස්ටික් එකතු වෙමින් පවතිනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රධාන බාධකයක් වන්නේ එය විවිධ ප්ලාස්ටික් වර්ග මිශ්‍රණයක් ලෙස පැවතුණහොත් සිදුවන තත්ත්වයේ බාලවීම - ප්ලාස්ටික්වලට එකතු කරන විවිධ වර්ණක, විවිධ රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන ප්‍රතිචක්‍රීයකරණ අපහසුතා ආදිය නිසා අධික පිරිවැයක් දැරීමට සිදු වීමයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයට පෙර වර්ග වෙන් කිරීමද එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

නමුත් ලෝකයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කර අගය එකතු කළ නිෂ්පාදන සැකසීම දැන් දැන් නව ප්‍රවණතාවක් වී පවතිනවා. උදාහරණයක් ලෙස Adidas සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රතිචක්‍රීයකරණය කළ සමුද්‍ර ප්ලාස්ටික් වර්ගයක් වන Thermoplastic Polyurethane – TPU භාවිතයෙන් තැනූ පාවහන් මේ වන විට මිලියන ගණනක් විකිණී අවසන්. එමෙන්ම මේ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක්ද වෙළෙඳපොලේ පවතිනවා. මෙහි විශේෂත්වයය වන්නේ එම පාවහන් TPU මගින් පමණක් සැකසීම නිසා නැවත ප්‍රතිචක්‍රීයකරණය කිරීමේදී කිසිදු අපහසුවක් නොමැතිව තනි ද්‍රව්‍යයක් ලෙසින් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඇති පහසුවයි. මේ නිසා මේ පාවහන් කිසිදා කසළ ලෙස බැහැර නොකර දිගින් දිගටම ප්‍රතිචක්‍රීයකරණය කරමින් භාවිත කළ හැකියි.

මෙහි අපට ආසන්නතම සිදුවීම වන්නේ ලබන මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇඟලුම් MAS Holdings සමාගම විසින් මෙවර සකසන ලද්දේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගමක් වන BPPL - බේරේ ප්ලාස්ටික් සමාගම විසින් සමුද්‍ර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කර ලබා ගත් පොලිඑස්ටර් නූල් භාවිත කර සැකසූ රෙදිපිළිවලින් වීමයි. මේ නිසා මුළු ලොව පුරාම ක්‍රිකට් ලෝලීන් වෙත මේ ආදර්ශවත් පණිවුඩය අපේ ක්‍රිකට් කණ්ඩායම විසින් ගෙනයෑම සිදුවනු ඇති. මෙය සැබැවින්ම වෙනස් මඟක් ගත් ආදර්ශයක්. ලොව සමුද්‍ර දූෂණය සිදු කරන රටවල්වලින් පස්වැනි ස්ථානය ලබා සිටින්නේ ශ්‍රී ලංකාවයි. එය අපි පරිසරයට මුදාහරින ප්ලාස්ටික් බෝතල්, භාජන ආදියෙන් පමණක් නොවෙයි විවිධ රටවලින් සමුද්‍රයට එකතුකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය දියවැල් හරහා ගසාගෙන විත් අපේ මුහුදු සීමාවේ තැන්පත් වීම නිසාද සිදු වනවා. නමුත් අපකීර්තිය සිදු වන්නේ අපටයි.

සමහරවිට නිවසේ කසළ දිරායන - සහ දිරා නොයන - ප්ලාස්ටික්- ලෝහ ආදිය වෙන් කර නගර සභාවට ලබා දීමට මැලි වන අපි මීතොටමුල්ලේ හෝ වෙනත් තැනක කුණු කන්දකට යටවන මිනිස් ජීවිත වෙනුවෙන් මුහුණුපොතේ වැලපීමට කටයුතු යොදනු ඇති... නමුත් සැබැවින්ම විය යුත්තේ හැකිතරම් පරිභෝජනය අඩු කිරීම, ප්‍රතිචක්‍රීයකරණයට යොමුවීම සහ දන්නා නොදන්නා අනෙකුත් අයත් මේ කර්තව්‍යයට එකතු කරගෙන පරිසරය සුවපත් කිරීම නොවේද?

ආචාර්ය
[පියල් ආරියනන්ද]

මාතෘකා