මේ වෙලාවේ ලංකාවේ ප්‍රේක්ෂකාගාර හිස්

 ඡායාරූපය:

මේ වෙලාවේ ලංකාවේ ප්‍රේක්ෂකාගාර හිස්

නුවන් ජයතිලක

ලංකාවේ අද දවස ගැන කලාකරුවෙක් විදිහට මොකද හිතන්නේ?

ඇත්තටම වුණු දේවල් එක්ක ගොඩාක් අවුල් තත්ත්වෙක ඉන්නෙ. මොකද අපි කවුරුත් නොහිතන දේවල් මේ රටේ වුණා. ඒ ඔක්කොටම වැඩිය ඒ ප්‍රශ්නය මුල් කරගෙන තමන්ගේ ගොඩ වැඩි කර ගන්න දඟලන දේශපාලකයෝ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. ගෝලීය ත්‍රස්තවාදය ලෙස හැඳින්වුණත් මේක විසඳන්නේ හරිම ගෝත්‍රික විදිහට. වැරැද්ද එකිනෙකා මත පටවමින් කටයුතු කරන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අනෙක් ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය ගම් මට්ටමට යනකොට ජාතිවාදී, වර්ගවාදී හැඩයක් අරන් තියෙනවා. ඒ තත්ත්වය ටිකක් භයානකයි. නමුත් මේ ප්‍රශ්නයේ වගකීම ගන්න කවුරුවත් නැහැ. මෙන්න මේ වගේ අලකලංචි ගොඩක් මැද ඉන්නේ. ඒක ඇත්තටම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. කලාකරුවෙකු විදිහට මෙච්චර කාලයක් අපි කරපු දේවලින් වැඩක් නැහැ කියලයි හිතෙන්නේ.

මේ ආකාරයේ ප්‍රශ්න හටගන්න තරම් අපට කොතැනද වැරදුණේ?

අපට දිගටම වැරදිලා තියෙන්නේ. අපි එකම වැරැද්ද ආයේ ආයෙත් කරනවා. අපේ ඉතිහාසය ගත්තොත් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලා මේ දක්වාම ඔය වගේ ගැටලු වෙලා තියෙනවා. යුද්ධ, ජාතීන් අතර ප්‍රශ්න, පවුල් අතර ප්‍රශ්න ඉතිහාසය ඇතුළේ හමු වෙලා තියෙනවා. පනහේ දශකයේදී පවා මුස්ලිම් ප්‍රශ්නය තිබිලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු තිහක් විතර යද්දි දෙමළ මිනිසුන් එක්ක අපට ප්‍රශ්න තිබිලා තියෙනවා. ඔහොම බලද්දි අපට විවිධ ජන වර්ග එක්ක ගැටලු තිබිලා තියෙනවා. ඒත් අපි ඒ ප්‍රශ්න දිහා බලලා තියෙන්නෙ හරිම ගෝත්‍රික විදිහට. මේ ප්‍රශ්න හරිම ගෝත්‍රික තැනකට වැටිලා තියෙනවා එහෙම වුණාම අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය මොහොමඩ්ලාට, අපිත් එක්ක එකට සෙල්ලම් කරපු පාතිමාලට මොකද වෙන්නේ. මම ජීවත් වන ලන්ඩන් නගරයේත් ඔය වගේ ප්‍රශ්න වුණා. ප්‍රශ්න විසඳනවා මිසක් තවත් පිරිසක් කොන් කරගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ.

සුළඟ අප රැගෙන යාවි සිනමා පටයට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර මොනවගේද?‍

මෙහෙමයි මේ වෙලාවේ නම් ප්‍රතිචාර මොනවත් ලැබෙන්නේ නැහැ. මොකද කට්ටිය හෝල්වලට එනවා අඩුයි සහ හෝල් වහලා තිබුනණේ. ෆිල්ම් එක සිනමා ශාලාවේ තිබුණට ඒක බලන්න එන සෙනඟ අඩු වීම්ක් මේ ප්‍රශ්නයත් එක්ක තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ ප්‍රේක්ෂකාගාරය හිස්. සියලුම කලා කටයුතු මේ දේවලුත් එක්ක අකර්මණ්‍ය වෙලා තියෙනවා. නමුත් මේ සිදුවීම් වෙන්න කලින් ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම මුල් කාලයේදී අපි විදුලි කප්පාදුවකටත් හසුවුණා. ගොඩාක් හෝල්වල generators නෑ ඒ වගේ අර්බුදයකට හසු වුණා. ඒ ප්‍රශ්න විසඳගෙන ෆිල්ම් එක ජනතාව අතරට යනවත් එක්කම තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.

සුළඟ අප රැගෙන යාවි සිනමා පටය නිර්මාණයය කරලා කාලෙකට පසුවයි තිරගත කරන්නේ. එහෙම වුණේ සිනමාවේ ඇතැයි කියන චිත්‍රපට පෝලිම නිසාද?

ඔය පෝලිම කියන දේ මාධ්‍ය හදපු බොරුවක්. එහෙම පෝලිමක් කියලා දෙයක් නැහැ. ඕනෙම එකක සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට පිටින් ඉන්න අය ඒ system එක ගැන දන්නේ නැහැ. එහෙම වුණාම ඒ මිනිස්සු එක එක දේවල් කියනවා. ඒ system එකේ ඉන්නෙ නැතුව පිට ඉඳලා ඕනෙම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්. මම පවා චිත්‍රපටය නිර්මාණය කරලා අවුරුදු පහක් යනකල් ඒ සිස්ටම් එකෙන් පිට ඉඳලා තියෙන්නෙ. එහෙම පෝලිමක් කියලා දෙයක් නැහැ. අපේ රටේ ප්‍රවීණම අධ්‍යක්ෂවරුන් ගත්තොත් ඔවුන් පසුගිය මාස හයේ කරපු සිනමා පට දැන් හෝල්වලට එන්න සූදානම්. ආචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ ඒ ශ්‍රේණියේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයෙක්. ඔහු නිර්මාණය කරපු විජයබා කොල්ලය තිරගත කරන්න සූදානම්. මගේ සිනමා පටයට පස්සේ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත්ත ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය තිරගත වෙලා අවසන්. ඒවා වගේම මගේ සිනමා පටය එක්ක ජාත්‍යන්තරය නියෝජනය කරපු අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය තිරගත වුණා. ඊට පස්සේ ඔහුගේ අලුත් චිත්‍රපටයටය මේ ඊයේ පෙරේදා තිරගත වුණා. එහෙම තියෙද්දී system එකෙන් පිට ඉඳලා අපිට කෑගහනවා චිත්‍රපට පෝලිමක් තියෙනවා කියලා. ලංකාවේ සිනමාවේ චිත්‍රපට පෝලිමක් නැහැ. ඒක බොරු කතාවක්.

සමහර අධ්‍යක්ෂවරු මේ පිළිබඳ කතා කරද්දී බොහෝ විට රජයට චිත්‍රපට සංස්ථාවට චෝදනා කරනවා දැකලා තියෙනවා?

සිනමාව කියන්නේ කර්මාන්තයක්. පුද්ගලික අංශය මඟින් මුදල් ආයෝජනය කරලා නිර්මාණය කරන චිත්‍රපටය පුද්ගලික අංශයේ සිනමාහල්වලට නිදහස් කරනවා. මේක තනිකරම පුද්ගලික ව්‍යාපාර හැඩයක් ගන්නේ.

කලාවට සහ කලා නිර්මාණයකට සමාජයේ ප්‍රශ්න උදෙසා යම් දෙයක් සිදු කළ හැකියි. මෙවන් ව්‍යසනයක්නැවත ඇති නොවෙන්න කටයුතු කරන්න කලාකරුවන් අතර යම් කතාබහක්, එකතු වීමක් සිදු වුණේ නැද්ද?

නැහැනෙ. දැනට කලා කලාකරුවන් කියලා අපි දන්නේ, හඳුන්වලා දීල තියෙන්නේ මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ එක්තරා පිරිසක් විතරයි. ඉතින් ඒ මිනිස්සු එක එක දේශපාලන පක්ෂ එක්ක බෙදිලා ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගැන කතා කරන එක ජීවිතේට වෙන්නේ නැහැ. ඒක පසුගිය දේශපාලන පොරපිටිය දැක්කාම හිතාගන්න පුළුවන්කම තියෙනවා. පවුල්වලටයි දේශපාලන පක්ෂවලටයි කඩේ ගිහිල්ලා ඒ දේවල් කරන්නේ කලාකාරයෝ. ඉතිං ඒ යක්කුන්ගෙන් අර වගේ දෙයක් බලා බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මම නම් ඉන්නේ ඒ කියපු කලාකාරයෝ ගොඩේ නෙමෙයි.

පශ්චාත් යුද සමයේ එන සිදුවීම් හෝ යුද සමයේ සිදුවූසිදුවීම් අලලා සිදු කරන සමහරනිර්මාණවලින් තවත් ජාතියක් කෙරෙහි වෛරී සහගත හැඟීමක් ඇති වෙන්න පුලුවන් නේද?

80/90 දශකයේ තමයි ඔය යුද්ධය කේන්ද්‍ර කරගෙන නිර්මාණ හැදුනේ. දැන් නම් නැහැ. යුද්ධය තිබුණා කියන එක මිනිස්සුන්ට දැන් අමතකයි. අපේ සිනමාව හරි චූල කලාවක්. ඒක දැවැන්ත කලාවක් නෙමෙයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය ඉතාමත් විශාලයි. ඒ වගේම ඒ මිනිස්සු සිනමාව එක්ක බද්දයි. අපේ මිනිස්සු එහෙම නෑ පවුලක ඉන්න සාමාජිකයන්ගෙන් කීදෙනෙක්ද කලාවට ලැදි අය ඉන්නේ. සිංහල සංස්කෘතිය ඇතුළේ කලාව රසවිඳීම කියන කාරණය නැති දෙයක්. ඉතින් එහෙම වෙද්දි ඔය ඔබ කියූ කලා නිර්මාණ තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ගෙන් නැත්තටම නැතිවෙලා යනවා. ඉන්දියාවේ තරු ගණයේ නළු නිළියන්ට පුළුවන් තීරණ ගන්න. අපේ සිනමාවේ තරු දශක කිහිපයකට උඩින් හිටියා. නමුත් දැන් තරු නැහැ. දැන් තරු ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. උදාහරණයකට ගත්තොත් මහේන්ද්‍ර පෙරේරා කියන්නේ සිනමාවේ තරුවක්. නමුත් යම් කිසි දෙයක් පිළිබඳ ඔහු කියන කතාවද ප්‍රබල වෙන්නෙ, කුමාර් සංගක්කාර කියන කතාවද ප්‍රබල වෙන්නේ අන්න ඒ නිසා අපේ සංස්කෘතියත් එක්ක බද්ධ ‍වෙනවාද කියලායි අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ.

ස්වාධීන සිනමාකරුවෙකුට මොන වගේ පිළිගැනීමක්ද ලංකාව තුළ තියෙන්නේ?

ස්වාධීන තියා මොනම සිනමාකරුවෙකුටවත් මෙහි පිළිගැනීමක් නැහැ. පිළිගැනීම කියන දේ හදා ගන්න තමයි තියෙන්නේ. භික්ෂුවකගේ ඉඳලා ගුරුවරයෙකු දක්වාම පිළිගැනීම කියන දේ හරිම ලොකු ප්‍රශ්නයක්. ඒකට විවිධ මාධ්‍ය භාවිත කරමින් පිළිගැනීම කියන දේ හදා ගන්න වෙනවා.

ඔබ ලංකාවේ සිනමාව ගැන කලකිරීමෙන්ද කතා කරන්නෙ?

නැහැ මට ලංකාවේ සිනමාව ගැන ලොකු අවුලක් නැහැ.

ඊළඟ සිනමා නිර්මාණය ගැනත් යම් කිසිඉඟියක් දෙමු නේද?

ඊළඟ සිනමා නිර්මාණය අනිවාර්යයෙන් පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සිනමා පටයක් වේවි. මොකද පවුලේ සැමට එකට ඉඳලා නරඹන්න පුළුවන් සිනමා පට තමයි ප්‍රේක්ෂකාගාරයේ දිනලා තියෙන්නේ. වාණිජද කලාත්මකද කියලා නැහැ වැඩිපුර ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි නිර්මාණයක් සිදු කරනවා.

[හෂාන් අනුරාධ]

මාතෘකා