ආපදා කළමනාකරණයේදී පළාත් පාලන ආයතනවල දායකත්වය

 ඡායාරූපය:

ආපදා කළමනාකරණයේදී පළාත් පාලන ආයතනවල දායකත්වය

2005 මැයි 13 වැනි දින අංක 13 දරන ආපදා කළමනාකරණ පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වැනි දින ඇතිවූ සුනාමි තර්ජනය හේතුවෙන් රටේ ඇති වූ හදිසි අවශ්‍යතාව නිසාය. එය පාර්ලිමේන්තුව තුළ

ඒකඡන්දයෙන් සම්මත විය. වර්තමානයේදී යම් යම් පනත් ඉදිරිපත් කළ අමාත්‍යවරු පවා එයට විරුද්ධ වෙද්දී මේ සඳහා සියලුම මන්ත්‍රීවරු එකඟ වීම සුවිශේෂ කරුණකි. එයට අදට (2019 මැයි 13) වසර 14ක් සැපිරේ.

පනත සම්මත වී මාස 3කින් පසු 2005 අගෝස්තු මස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC - Disaster Management Center) ස්ථාපිත වූ අතර එය එවකට සිටි ජනපතිනිය යටතට පැවරුණේ සුනාමි පශ්චාත් කටයුතු කඩිනම් කිරීමේ අරමුණෙන් විය හැක. කුරිරු සුනාමියට මුහුණ දී මාස 6ක අත්දැකීම් සමඟ DMCහි සමාරම්භක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූයේ විශ්‍රාමික යුද හමුදා ජනරාල්වරයකු වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතාය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කර මාස තුනක් ඉක්මවූ පසු 2005 දෙසැම්බර් මස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ස්ථාපිත වූ අතර ඒ යටතට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පත්විය. ප්‍රථම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වූයේ මහින්ද සමරසිංහ මහතාය. ආපදා කළමනාකරණ පනත මඟින් ස්ථාපිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් අංශ අධ්‍යක්ෂවරුන් 5 දෙනකු යටතේ ස්ථාපිත විය.

1) පූර්ව අනතුරු ඇඟවීම

2) පෙර සූදානම හා සැලසුම්

3) ආපදා අවම කිරීම පර්යේෂණ හා සංවර්ධන

4) හදිසි ආපදා මෙහෙයුම්

5) අධ්‍යාපනය හා දැනුවත්භාවය

දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ස්ථාපිත කළ අතර ඒවායේ කටයුතු දිසාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පවරනු ලැබිණි. ඔවුහුද බහුතරයක් හමුදා නිලධාරීන් වූහ. නමුත් අද වන විට සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය වෙනස් වී සිවිල් පුරවැසියන් අතට මෙම ආයතනය පත්ව ආයතනය ප්‍රතිව්‍යුහගතව ඇත.

ආරම්භයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටු වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

[011-2136136 / 2670002/ 0773957900 හා 117] මේ වන විට කොළඹ 7, විද්‍යා මාවතේ අංක 120/2 පිහිටා ඇත. එම ගොඩනැඟිල්ලේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයද [011-2665170] පිහිටුවා තිබීම නිසා ජනතාවට එයින් පහසුවක් සැලසේ. ඊටම යාබදව මෙම අමාත්‍යාංශය යටතේ ඇති (බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේ පිහිටි) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද [011-2684746] පිහිටා ඇත. අමාත්‍යාංශය යටතේ ඇති අනික් ප්‍රමුඛ ආයතනය වන (NBRO) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය [011-2588946 / 2503826] කොළඹ-5, ජාවත්ත පාර, අංක 99/1හි පිහිටුවා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය වසරේ දින තුන්සිය හැට පහම පැය 24 පුරා ක්‍රියාත්මකව ඇති අතර 117 හා 0773957879 අමතා ඕනෑම අවස්ථාවක ආපදා පිළිබඳව තොරතුරු ලබාගත හැකිවීම ප්‍රජාව ලෙස අපට ඇති භාග්‍යයකි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට පෙර නිවාඩු දිනවල කාර්යාල වේලාවෙන් පසු හෝ පෙර කාලයේ මෙවැනි තොරතුරක් ලබාගැනීමට ආයතනයක් රටේ නොතිබිණි. සුනාමිය ඇතිවූ අවස්ථාවේ වගකීමකින් ප්‍රතිචාර දැක්විය හැකි ආයතනයක් රටෙහි නොතිබීම නිසා සිදු වූ විනාශය වැඩිවූ බවට එකල විශාල මතයක් විය.

මෙම ආයතනය DMC ආරම්භයේදී හමුදා නිලධාරීන්ගෙන්, විශ්‍රාමික සිවිල් නිලධාරීන්ගෙන් හා වෙනත් ආයතනවල ස්ථිර සේවය කරන අතරතුර මේ සඳහා සේවය ලබාදුන් අයගෙන් සමන්විත වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයට හිමිවිය යුතු රක්ෂණ ආවරණය, උසස්වීම් ආදී ඇතැම් වරප්‍රසාද අදටද නොලැබෙන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව ඇත. මෙය කාර්යමණ්ඩලය තුළ කිසියම් අප්‍රසාදයකට ලක්ව ඇති කරුණක් වන අතර මේ හේතුවෙන් මෙහි සේවය කරනු ලබන ඇතැම් පිරිස් ආයතනය තුළ රඳවා ගැනීම පවා අසීරුව ඇත. ආයතනයට ලැබෙන විදේශීය ශිෂ්‍යත්ව දිස්ත්‍රික් මට්ටමින් විශාල සේවයක් කරනු ලබන ආපදා කළමනාකරණ සහකාරවරුන්ට නොලැබී යෑම කෙරෙහි බලධාරීන් සැලකිලිමත් විය යුතුව ඇත. තවද ඇතැම් පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර මෙමඟින් ලැබෙන විදෙස් ශිෂ්‍යත්ව හා පුහුණුව සමඟ වෙනත් රැකියා සඳහා යෑම කලක සිට ක්‍රියාත්මක වෙමින් පවතින වංචාවකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ http://www.desinventar.lk/ http;//www.desinventar.lk:8081/DesInventar/main.jsp වෙබ් අඩවි ඔස්සේ දිවයිනේ සිදුව ඇති ආපදා පිළිබඳව වාර්තා ලබාගැනීමට හැකියාව ඇත.

මෙය පිහිටුවීමට පෙර ආපදාවක් සිදු වූ විට සමාජ සේවා අමාත්‍යාංශය හරහා විපතට පත් ජනතාවට ආහාර ලබාදීම්, අවමංගල්‍ය කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම්, නිවාස ලබාදීම් සිදුවිය. ‍එහෙත් එය ආපදා සඳහා ක්‍රමවත් ස්ථිර ප්‍රතිචාරයක් නොවුණි. බොහෝවිට වාර්ෂිකව එකම ආපදාවකට අවස්ථා කිහිපයකදී පාත්‍රවීම නිසා මුදල් නිරපරාදේ වැය කිරීමට සිදුවිය. එවැනි තත්ත්වයක් යටතේ ආපදා සඳහා පෙර සූදානමක් ගැන රටෙහි මතයක් ඇති විය. ආපදා සඳහා ශක්තිමත්ව ප්‍රතිචාර දැක්විය හැකි ප්‍රජාවක් ඇති කිරීම සඳහා රජය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවන්නේ ඒ නිසාය.

සම්මත කළ ආපදා කළමනාකරණ පනත අනුව ස්ථාපිත ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුක්ත සාමාජිකයන් 36කගෙන් සමන්විත විය. ඒ සඳහා අගමැති (නිල බලයෙන් උප සභාපති), විපක්ෂ නායක, සමාජ සුබසාධන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ, පරිසර, ස්වදේශ කටයුතු, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ, වාරිමාර්ග, විදුලිබල, ආරක්ෂක, පොලිසිය, මුදල්, ඉඩම්, ධීවර හා ජලජ සම්පත්, විදේශ කටයුතු, ජලසම්පාදන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා අධ්‍යාපන අමාත්‍යවරු විසිදෙනා හා පළාත් ඇමතිවරු නවදෙනා, විපක්ෂ මන්ත්‍රීවරු පස්දෙනාගෙන් සමන්විත විය. මෙහි ලේකම්වරයා සභාවේ අභිලාෂය මත පත් කෙරිණි.

මේ සඳහා පළාත් පාලන අමාත්‍යවරයා පත් නොකෙරුණු අතර පළාත් සභා මහ අමාත්‍යවරුන්ගෙන් පහළට මෙම අපදා කළමනාකරණ ජාතික සැලැස්මේ කිසිදු වගකීමක් පළාත් පාලන ආයතනවලට (මින් පසු සභාව යනුවෙන් හැඳින්වේ) නොපැවරිණි. එකී තත්ත්වය 2010 දෙසැම්බර් 28 වැනි දින ඇතිකළ ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේදිවත් නිවැරදි කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද එමඟින්වත් අපේක්ෂිත බලාපොරොත්තු ඉටු නොවුණි. වගන්ති 37කින් සමන්විත ජාතික ප්‍රතිපත්තියේ 25 වැනි වගන්තියේ පමණක් පළාත් පාලන ආයතන ගැන සඳහනක් කර ඇත. එයද ඉදිකිරීම් සම්බන්ධයෙනි. ඇතැම් විට මේ හේතුවෙන් ඒ ඒ සභාවන් තම අභිමතය මත පමණක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. (උදා: ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ NBRO තාක්ෂණික වාර්තා රහිතව නිවාස ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීම)

රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ බිම් මට්ටමේ සියලු කටයුතු සභාව හරහා සිදුවන බව බොහෝ අය නොදනිති. හදිසි තත්ත්වයකදී වුවද ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ගම් මට්ටමේ සිටින සභාව හා එහි මහජන නියෝජිතයන්ය. ඒ ඔවුන්ට අදාළ සිදුවීම වඩාත් සමීප බැවිනි. නිල වගකීමක් ඔවුන් සතුව නොමැතිව වුවද තම ප්‍රදේශවාසීන් උදෙසා ඔවුන් ඉටුකරන සේවය පැසසුම්සහගතය. පළාත් සභා මන්ත්‍රීවරු හා අදාළ ආපදා නිලධාරියා එම ගමෙහි ජීවත් වේ එය ගම් වැසියාට ඉමහත් වාසියකි. ආපදාවකදී නොව හදිසි අවස්ථාවකදී පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ගැනීමද ඇතැම්විට අසීරු කාර්යයක් බව බොහෝ අය දනිති.

මෙම ලිපියෙන් රාජ්‍ය නිලධාරීන් ආපදා සම්බන්ධයෙන් ඉටුකරනු ලබන කාර්යභාරය අවතක්සේරු නොකරන අතර ආපදා සම්බන්ධයෙන් රජය (ප්‍රාදේශීය ලේකම් කාර්යාල) හා සභාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීමට අපේක්ෂා කෙරේ.

ඇතැම් විට සභාව සතු බෝට්ටුව, ට්‍රැක්ටරය, අඟුල ආපදාවට පත් ජනතාව බේරා ගැනීමට යොදාගනිද්දී එහිම ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ට අදාළ ව්‍යසනය සිදුවූ ස්ථානයට ළඟාවීමටත් නොහැකිව සිටිනවා විය හැකිය. එබැවින් පළාත් පාලන ආයතන ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා යොදා ගැනීමේ චක්‍රයට අන්තර්ගත කළ යුතුව ඇත. මෙකී තත්ත්වය තේරුම් ගෙන ඇතැම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක තම ආපදා කළමනාකරණ සැලැස්මට අදාළ සභාව සම්බන්ධ කරගෙන ඇතත් ඇතැම් නිලධාරීන් සභාව අමතක කර ඇත්තේ පිළිගත හැකි කරුණු මත නොවේ.

පළාත් පාලන ආයතන ස්ථාපිත වීමට පෙර ආපදා කළමනාකරණ සැලසුම් සකසා තිබූ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තමා සකස් කරන ලද ආපදා පෙර සූදානම් සැලසුම්වත් සභාව සමඟ හුවමාරු කර නොගෙන සඟවා ගෙන සිටීමේ අවස්ථාවක් සබරගමුව පළාතේ එක්තරා ප්‍රාදේශීය සභාවක් සමඟ කටයුතු කිරීමේදී දැනගන්නට ලැබිණි. ඊට හේතු වශයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් සඳහන් කරන්නේ ඔවුන් සම්බන්ධකර ගත් විට නැති ප්‍රශ්න ඇති වන බවයි. එහෙත් එය වගකිව යුතු නිලධාරියකුගේ මුවින් පිටවිය යුත්තක් නොවේ.

මෙම තත්ත්වය මඟහරවා නීතිමය ශක්තියක් හා පිළිගැනීමක් පළාත් පාලන ආයතනවලට ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළ යුතුය. ඔවුන්ට කිසිදු පිළිගැනීමක් මේ සැලසුම් තුළ නොතිබීම හරහා ඔවුහු අතෘප්තිමත්ව සිටිති. රජය ආපදාවලට අදාළ සියලු ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකළ පසු සභාවන් සිය වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමේදී පවා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුව ඇත. පොලිසිය හැරුණු විට ගම තුළ නිවාඩු දිනවල හෝ/හා රාජකාරී වේලාවෙන් බාහිරව ක්‍රියාත්මක වන එකම ආයතනය පළාත් පාලන ආයතනයයි. එබැවින් ඔවුන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව රජය වහා අවබෝධකරගත යුතුය. එය රටේ දියුණුව උදෙසා සෘජුවම බලපානු ඇත. එබැවින් රජය හා අදාළ බලධාරීන් කඩිනමින් මෙම ගැටලුව විසඳන්නේ නම් 14 වසරක් ගෙවුණු ආපදා කළමනාකරණ පනතෙන් ඉදිරියෙහි ලබා ගත හැකි ඵල ප්‍රයෝජන මීට වඩා වැඩිවනු නිසැකය.

[එරන්දන හේමවර්ධන]හිටපු ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ

මාතෘකා