ගණනාථ නොමැති “ගණනාථ මතක සිත”

 ඡායාරූපය:

ගණනාථ නොමැති “ගණනාථ මතක සිත”

රැස පුවත්පතේ 'මතක සිත' විශේෂාංගය යටතේ කීර්තිමත් ශාස්ත්‍රඥයකු වන මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ පර්යේෂණ හා ඔහුගේ දිවිසැරිය පිළිබඳව ලිපි මාලාවක් පළ විය. ඒලිපි සම්බන්ධයෙන් ලැබුණු එකම එක ප්‍රතිචාරය තියුණු නිරීක්ෂණයකි. පාඨකයන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරන පුවත්පතක් වශයෙන් එම ලිපිය පළ කිරීම මැනවැයි තීන්දු කෙරිණ.

[කේ. එල්. කනගරත්න]

ගණනාථ ඔබේසේකර පිළිබඳ රසික කොටුදුරගේ විසින් ලියන ලදුව 'රැස' පුවත්පතේ පළ වූ ලිපි පෙළ ආරම්භයේ සිටම උනන්දුවෙන් කියවූවෙමි. එම ලිපි පෙළ සහ එහි අඩංගු කරුණු පිළිබඳ විශ්වාසනීයත්වය බරපතළ ලෙස අභියෝගයට ලක් වන පරස්පර විරෝධී හා සාවද්‍ය තොරතුරු ගණනාවක් එහි ඉදිරිපත් වන බැවින් ඒවා පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ගණනාථ ඔබේසේකරගේ චරිතය පිළිබඳ කෙසේ වෙතත් ඉන් රටේ වැදගත් සිදුවීම්, පුද්ගලයන් හා කාලවකවානු පිළිබඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් වීමයි. මෙම ලිපි පෙළ ගණනාථ ඔබේසේකර හා සාකච්ඡා කර, ඔහුගේ අනුදැනුම මත ලියන ලද ලිපි පෙළකට වඩා වෙනත් තැන් වලින් සොයා ගත් තොරතුරුවලට ලේඛකයාගේ හිතලුද ඇතුළත් කර ලියන ලද්දක් බව පෙනේ. ඒවාද පරස්පර විරෝධී, විසිරුණු කරුණුය, සංගතභාවයක් නැත.

හිතලු සහ වැරදි කරුණු

මෙම ලිපි පෙළේ දෙවෙනි කොටසේ සම සමාජ පක්ෂයේ නායකයා වූ ආචාර්ය එන්.එම්. පෙරේරා කොළඹ නගරාධිපති වූ හැටියේම නගර සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට ගණනාථ ඔබේසේකරගේ පියා වන උබේසේකර වෙද මහතා පත් කළ බව මෙම ලිපියේ දැක්වේ. මේ නිසා උබේසේකර වෙද මහතා වාමාංශික අදහස්වලට නැඹුරුව සිටි අයෙකු බව නිගමනය කළ හැකි බව ලේඛකයා දක්වයි. නගරාධිපතිවරයා වාමාංශිකයකු වූ පමණින් ඔහුගෙන් නිල පත්වීමක් ලබන්නෙක් වාමාංශික නැඹුරුවක් ඇති පුද්ගලයෙකු ලෙස නිගමනයකට එළඹීමට වර්තමානයේ කෙසේ වෙතත් එම යුගය සම්බන්ධයෙන් කළ හැක්කක්ද? විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයෙකු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම ඔහුගේ දේශපාලන නැඹුරුව පිළිබඳ නිගමනවලට එළඹීමට තරම් ප්‍රමාණවත් කරුණක් නොවේ. අනෙක් අතට එන්. එම්. පෙරේරා සම සමාජ නායකයා ලෙස දැක්වීමද කරුණුමය වරදකි. එන්.එම්. පෙරේරා නගරාධිපති වූ 1954-56 වකවානුවේ එම පක්ෂයේ ලේකම් හෝ නායකයා වූයේ ලෙස්ලි ගුණවර්ධනය.

තවද, උබේසේකර වෙද මහතාගේ දරුවන් තිදෙනා තම වාසගම ඔබේසේකර ලෙස වෙනස් කරන්නේ ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව උච්චාරණයට පහසු නිසා වීමට 'බොහෝ සෙයින් ඉඩ තිබේ' යනුවෙන් ලේඛකයා තවත් එවැනිම උපකල්පනයක් ඉදිරිපත් කරයි. මෙම ලිපිය පුරා ඉදිරිපත් වන බොහෝ තොරතුරු මෙවැනි උපකල්පන, අනුමාන වලින් පිරී ඇති හෙයින් පාඨකයාට විශ්වාසනීයත්වයකින් කියවිය හැකිද යන ගැටලුව මතු වේ.

නොපැහැදිලි අපබ්‍රංස

මෙම ලිපියේ තවත් තැනෙක ගණනාථ ඔබෙසේකරගේ සහෝදරයා වන වසන්ත ඔබේසේකර ඉපදී මාස තුනක් යන විට මව මිය ගිය බව සඳහන් වේ. මෙහිදී මාස තුනක කිරි දරුවකු ඇති දැඩි කර ගැනීමේ බරපතළ වගකීම හා බැඳි අසීරු තත්වයකට පියකු පත් වනු නොඅනුමානය. ලේඛකයා එම සංකීර්ණ තත්වය පිළිබඳ පසුබිම පාඨකයාට පැහැදිලි කරනු වෙනුවට උබේසේකර වෙද මහතා සහ තවත් අයෙක් අතර ඇතිවන සංවාදයක් රොමැන්තික අයුරින් ඉදිරිපත් කරයි. එය යළි බිරිඳක් ගෙන ඒම පිළිබඳ කතාවකි. ඔහුට අනුව එය ජිම්කානා එකකි. ජිම්කානා යනු එවකට පැවති ලොතරැයියක් වුවත් මෙහි කතා වන ජිම්කානා එක කුමක්දැයි මෙම ලිපියේ නිරවුල්ව කියවෙන්නේ නැත. එබැවින් ජිම්කානා යනු යළි බිරිඳක් කැඳවාගෙන ඒම බව මෙය කියවන්නාට හැඟීමක් ඇති වේ. එය එවැනි නින්දා සහගත කතාවක් නොවේ නම් කුමන අපබ්‍රංසයක්දැයි දන්නේ මෙය ලියු ඔහු පමණි.

මෙම ලිපි පෙළේ හතරවෙනි කොටසේ 'ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක්' නම් පොත ගැන සඳහන් කරන ලේඛකයා එම කෘතියේ පසුබිම, එය රචනා කළ බෙන්තොට අත්තදස්සි හිමියන්ගේ වැදගත්කම ආදිය පිළිබඳ ප්‍රමාණවත් විස්තර ගෙනහැර දක්වා ඇත. එහෙත් ගණනාථ ඔබේසේකර මෙම කෘතියට සම්බන්ධවන්නේ කෙසේද යන්න ප්‍රමාණවත්ව සඳහන් කර නැත.

කාල විරෝධී තොරතුරු

මෙම ලිපි පෙළේ හයවෙනි කොටසේ ගණනාථ ඔබේසේකර ඉංග්‍රීසි විශේෂවේදී උපාධිය හැදැරීමට ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන බව දක්වන ලේඛකයා ගණනාථ ඔබේසේකර සමාජවිද්‍යාව හැදැරීමට නැවත ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බව පවසයි. එවකට සමාජවිද්‍යා අංශයේ ආචාර්යවරයාව සිටියේ බ්‍රයිස් රයන් බවත්, ගණනාථ සමාජ විද්‍යාව හදාරන්නේ ඔහු යටතේ බවත් පවසයි. මෙය සම්පූර්ණයෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ බොහෝ දෙනෙක් දන්නා කරුණු විකෘති කිරීමකි. එවකට කොළඹ පැවති ලංකා

විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයක් තිබුණද සමාජවිද්‍යා උපාධි පාඨමාලාවක් තිබුණේ නැත. ආර්ථිකවිද්‍යා උපාධි පාඨමාලාව හදාරන අයට සමාජ විද්‍යාව විෂයක් ලෙස ඉගනීමට අවස්ථාව ලැබුණි. සමාජ විද්‍යා මහාචාර්ය බ්‍රයිස් රයන් 1948 සිට එම අංශයේ ප්‍රධානියා වශයෙන් සිට 1952දී ඉන් ඉවත් වී ලංකාව හැර යයි.

ගණනාථ ඔබේසේකර ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ 1951දී බවත් ඔහු ලුඩොවයික් යටතේ ඉංග්‍රීසි විශේෂවේදී උපාධිය හදාරා පිට වන්නේ 1955දී බවත් අන්තර්ජාල තොරතුරු පරිශීලනයෙන් දැනගත හැක. එවිට 1951දී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1952 වන විටත් ඉංග්‍රීසි විශේෂවේදී උපාධිය හදාරමින් සිටින ගණනාථ ඔබේසේකර, 1952දී විශ්ව විද්‍යාලයෙන් අස් වී රට හැර යන බ්‍රයිස් රයන්ගෙන්, ලේඛකයා පවසන පරිදි (නැවත විශ්වවිද්‍යාලයට ඇතුළත්ව) සමාජ ිද්‍යාව හදාරන්නේ කෙසේද යන්න හතරබීරි කතාවකි.

එමෙන්ම ගණනාථ සමග සමාජ විද්‍යාව හැදැරූ අනෙක් විද්‍යාර්ථීන් ලෙස ස්ටැන්ලි තම්බයියා, එච්.ඒ(එල්). සෙනෙවිරත්න සහ කිත්සිරි මලල්ගොඩ මෙම ලේඛකයා හඳුන්වා දෙයි. ගණනාථ ඔබේසේකර ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වන 1951 වර්ෂයේදීම ස්ටැන්ලි තම්බයියා ආර්ථික විද්‍යාවෙන් උපාධිය ලබාගෙන පිටවෙයි. දෙදෙනා එකට අධ්‍යාපනය ලබන්නේ කෙසේද? තවද, එච්. එල්. සෙනෙවිරත්න සහ කිත්සිරි මලල්ගොඩ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතු වන්නේ 1955 ට පසුවය. ඔවුන් දෙදෙනාම ගණනාථ ඔබේසේකර සහ ස්ටැන්ලි තම්බයියා යටතේ ඉගනීමටද වරම් ලැබුවෝය. නමුත් මෙම ලේඛකයට අනුව ඔවුන් දෙදෙනාත් ගණනාථ සමග කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් අයය. මඳක් අන්තර්ජාලය සහ පොත පත ඇසුරු කිරීමෙන් මෙම දත්ත සොයා ගත හැක. කවුරුන් හෝ කට වචනයට කියන කරුණු නිශ්චිත පර්යේෂණ කිරීමකින් තොරව ලිපිවලට ඇතුළත් කිරීමෙන්

මෙවැනි ගැටලු වන බව පෙනේ.

හෝදා මඩේ දැමීම

ඊළඟ කලාපයේ, තමා කිසිදා බ්‍රයිස් රයන්ගේ ශිෂ්‍යයෙකුව නොසිටිය බව ගණනාථ ඔබේසේකර පැවසු බව කියන ලේඛකයා එය සාවද්‍ය කරුණක් බව පිළිගත්තත් "සත්‍ය නම් ගණනාථ 1951 කොළඹ විශ්ව විද්‍යාලයට (කොළඹ යුනිවසිටි කොලීජිය) ඇතුළත් වී අධ්‍යයන කටයුතු කරමින් සිට 1952දී ඉන් මාරුවක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී" යනුවෙන් සාවද්‍ය කරුණ නිවැරදි කිරීමට යළි සාවද්‍ය කරුණු දක්වයි. 1951 වන විට යුනිවසිටි කොලීජියක් නැත. එය පැවතුණේ 1942ට පෙරය. ඒ වන විට පැවතුණේ ලංකා විශ්වවිද්‍යාලයයි. එය 1952දී පේරාදෙණියේ අලුතෙන් ඉදි කරන ලද විශ්වවිද්‍යාලයට ගෙනා ආවා මිස ගණනාථ ඔබේසේකර පමණක් පේරාදෙණියට මාරු වී ආවා නොවේ. මෙවැනි සරල කරුණු පවා මගහැරී යන්නේ නොසැලකිල්ල නිසා බව පෙනී යයි.

ගණනාථ ඔබේසේකරගේ බිරිඳ වන රංජිනී ඔබේසේකර පිළිබඳව සඳහන් කරන මෙම ලේඛකයා ඇය රඟපෑ නාට්‍යයක් ගැන පවසමින් 'දිනක් පේරාදෙණිය වළෙහි මහැදුරු සරච්ච්න්ද්‍රගේ වෙද හටන නාට්‍යය රඟ දැක්වෙමින් තිබුණි' යනුවෙන් බරපතළ කරුණු විකෘති කිරීමක් කරයි. 'වෙද හටන' නිපදවූයේ විදේශීය නාට්‍යකරුවෙකු නිව්මාන් ජුබාල්ය. සරච්චන්ද්‍ර ආරම්භයේදී මෙයට සම්බන්ධ වුවත් ජුබාල් සමග ඇති වූ මතභේදයක් නිසා ඉවත් විය. 'පේරාදෙණි වළේ රඟ දැක්වූවේ' යන්නද සාවද්‍ය කරුණකි.

ඇල්ලෙපොල ගැන බොරු

එතැනින් නොනැවතී රංජිනී ඔබේසේකරගේ පවුල් පසුබිම ගැන කතා කරන ලේඛකයා රංජිනී ඔබේසේකරගේ පියා වන ඩී. බී. ඇල්ලෙපොල ලංකාවේ ප්‍රථම සර්වේ ජනරාල්වරයා වූයේ යැයි ඓතිහාසික කරුණු විකෘති කිරීමක් කරයි. අදාළ වෙබ් පිටුව පරීක්ෂා කිරීමෙන් ලංකාවේ ප්‍රථම සර්වේ ජනරාල් වරයා මෙන්ම ප්‍රථම ලාංකික සර්වේ ජනරාල් කවුදැයි දැනගත හැකිය. ඩී. බී. ඇල්ලෙපොල මහතා දැරූ තනතුර වන්නේ 'සුපිරින්ටන්ඩන්ට් ඔෆ් සර්වේ' යන්නයි.

මෙම ලිපි පෙළේ හත්වෙනි කලාපයේ ඩී.බී. ඇල්ලෙපොල ගැන තවදුරටත් කරුණු ගෙනහැර දක්වන මෙම ලේඛකයා පවසන්නේ ඔහු 1956 මහා මැතිවරණයට දඹුල්ල ආසනයට එජාපයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ බවත් ඔහු පිටින් පැමිණි ටී. බී. තෙන්නකෝන් අතින් පරාජයට පත් වූ බවත්ය. මැතිවරණ තොරතුරු පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරුද සාවද්‍ය බව පෙනී යයි. 1956 මහ මැතිවරණයට ඩී.බී. ඇල්ලෙපොල මහතා තරග කර නැත. ඔහු තරග කර ඇත්තේ 1952 මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත්, 1960 මාර්තු මැතිවරණයට එජාප අපේක්ෂකයෙකු ලෙසත්ය. එබැවින් 1956දී ටී.බී. තෙන්න්කෝන් අතින් පරාජයට පත්වන්නේ ඩී.බී. ඇල්ලෙපොල නොව එජාපයෙන් තරග කළ එච්.බී. තැන්නේය.

මොරගොඩ ඉපදිලත් නෑ

මෙම තොරතුරු මිලින්ද මොරගොඩගේ සටහනකින් ගත් බවට හැඟවීමක්ද මෙහි ඇත. රඹුක්ඔලුව තෝරාගැනීම ගැන රස කතාවක් මෙම ලේඛකයාට මිලින්ද මොරගොඩ මහතාගේ සටහනකින් දැනගන්නට ලැබුණු බවත් එවක ඔහු ගණනාථගේ ශිෂ්‍යයෙකුව සිටිය බවත් පවසයි. ගණනාථ ඔබේසේකර ලග්ගල රඹුක්ඔලුව පර්යේෂණය කරන්නේ 1958-60 කාලයේය. අප දන්නා මිලින්ද මොරගොඩ ඉපදී ඇත්තේ 1964දීය. එනම් ගණනාථ සහ තම්බයියා ලග්ගල පර්යේෂණය ආරම්භ කිරීමෙනුත් අවුරුදු අවුරුදු 6කට පසුවය. අනෙක් අතට මිලින්ද කළමනාකරණය උගත්තෙකු මිස මානව විද්‍යාව හැදැරූවකු බව කොතැකවත් සඳහන් නොවේ.

ඊළඟට ඔහු දක්වන කරුණ තවත් ගැටලුකාරීය. එනම්, "සමාජ විද්‍යාඥයන්ට ලග්ගල, පල්ලේගම හා රඹුක්ඔලුව නිර්දේශ කරන ලද්දේ සිය පරාජයෙන් වික්ෂිපත්ව සිටි ඇල්ලෙපොල විසිනි." මෙහිදී මැතිවරණ පරාජයෙන් ඇතිවන වික්ෂිප්තභාවයත් පර්යේෂණ සඳහා ගම්මාන නිර්දේශ කිරීමත් අතර සම්බන්ධය කුමක්දැයි පාඨකයාට සිතා ගත නොහැක. මෙහි ඇති පරස්පරය හා පුදුමය වන්නේ 1952 මැතිවරණයෙන් පරාජයට පත්වූ අයෙකුගේ වික්ෂිප්තභාවය පර්යේෂණය සඳහා ගම් තේරූ 1958 දක්වා අවුරුදු 6ක් පැවතීමයි. මෙය සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත කතාවකි.

අනුන්ගේ ලිපි

පසුගිය අටවෙනි කොටසේ ගණනාථ ඔබේසේකරගේ පත්තිනි ඇදහිල්ල කෘතිය ගැන සඳහන් කරමින් ඡේද දෙක තුනක් ලියන මෙම ලේඛකයා ඉන් පසුව අන්තර්ජාලයේ පීඩීඑෆ් ලිපියක් ලෙස ඇති මහාචාර්ය මංගලිකා ජයසිංහගේ 'සප්ත මාතෘ දේව වන්දනය' නම් ලිපියේ ඡේද කිහිපයක් පිටපත් කර පිටුව පුරවා දමා ඇති බව පෙනේ. එම ලිපිය පත්තිනි ඇදහිල්ල ගැන විශේෂයෙන් ලියවුණු එකක්ද නොවේ. ගණනාථ ඔබේසේකරගේ පත්තිනි ඇදහිල්ල නම් විශාල කෘතියේ ඇති සාකච්ඡාව ගැන අවබෝධයක් මෙමගින් ලැබිය හැකිද?

ගණනාථ ඔබේසේකර ගැන වැඩි දුර දැනගැනීමට මෙම ලිපි කියවන පාඨකයා පැටලෙන්නේ පඹ ගාලකය. මෙහි කිසි තැනෙක ලේඛකයා ගණනාථ ඔබේසේකර හා සාකච්ඡා කර මෙවා ලියුූ බව සඳහන් නොකරයි. බොහෝ තොරතුරු වලට මූලාශ්‍ර නැති අතර ඇත්තේ සාවද්‍ය කරුණුය. වැඩිපුර ඇත්තේ මෙම ලේඛකයාගේ හිතලු සහ ගණනාථ ගැන තොරතුරුවලට ඔහු ගොතා ඇමිනූ කතන්දර බව පෙනේ. රටේ සහ ලෝකයේ පිළිගත් ශාස්ත්‍රඥයෙකු පිළිබඳ ව්‍යාජ තොරතුරු පළ වීම පාඨකයා නොමඟ යවන සුළු බැවින් ඒවා හැකි පමණ නිවැරදි කිරීම වැදගත්ය.

මාතෘකා