සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සපල වේද?

 ඡායාරූපය:

සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සපල වේද?

අප බොහෝ දෙනකු කුඩා කාලයේ කිසියම් කාලයක සුපිරි වීරයකු වීමට සිහින මවන්නට ඇති. ඈත අතීතයේ අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට වීරයන් වූයේ සැබෑ ලොව ජීවත් වූ ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, මද්දුම බණ්ඩාර, වැනි දේශප්‍රේමීන්ද - වලිසිංහ හරිස්චන්‍ද්‍ර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, එස්. මහින්ද හිමි වැනි දේශමාමක වීරයන්ද වූවත් නව පරපුරට වීරයන් වන්නේ සුපර්මෑන්, බැට්මෑන්, අයන්මෑන්, ෆ්ලෑෂ්, බෙන්ටෙන් වැනි කල්පිත වීරවරයන්ය. තාක්‍ෂණය නිසා ඔවුන්ට ලැබෙන අතථ්‍ය පරිකල්පනය (Virtual Imagination) නිසා ඔවුහු සැබෑ ලෝකයෙන් ඔබ්බෙහි වූ අසාමාන්‍ය දෑ පිළිබඳ සිහින මැවීමට පුරුදු වී සිටිති. සිහින මැවීම සහ පරිකල්පනය දරුවන්ට ඔබින සහ අවශ්‍ය කරුණකි. එමඟින් ඔවුන්ගේ මොළය වෙනත් මානයන් කරා ක්‍රියාකාරී වේ. මේ සිහින මවන දරුවන් අනාගතයේ ඇදහිය නොහැකි විස්මයජනක සොයාගැනීම් සිදු කරනු ඇත. STEM අධ්‍යාපන ක්‍රියාකාරකම්වලින් කරන්නේද මේ සමෝධානිත ඉගැන්වීම් ක්‍රම මඟින් දරුවන්ගේ පරිකල්පනය නව මානයකට ගෙනයෑමයි. එසේ සිහින මැවූවන් විසින් වර්තමාන ලෝකයේ කරන සොයාගැනීම්ද විස්මය දනවනසුලු නිර්මාණවේ.

මේ අතර කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සැකසුණු නවතම ස්වයංක්‍රිය රොබෝවරිය වන Sophia, ස්වයංව ධාවනය වන මෝටර් රථ, සත්ත්ව ක්ලෝනීකරණය, නැනෝ තාක්‍ෂණික යෙදවුම් වැනි අනේකවිධ නිර්මාණ දිනපතා නව ලෝකයේ නව මානයන් ඇතිකරමින් මිනිසා තාක්‍ෂණිකව ඉදිරියට ගෙන යයි. මේ නිර්මාණ අතර මිනිසා අමරණීය කිරීම, HIV, ඇල්ශයිමර්, පිළිකාව වැනි රෝගවලට නිට්ටාවට බෙහෙතක් සොයා ගැනීම වැනි වෛද්‍ය විද්‍යාත්මකව මිනිස් ජීවිත වෙනස් කරවන පර්යේෂණවල ජයග්‍රහණයන් නිරන්තරව අපට අසන්නට ලැබේ. අවාසනාවකට ලංකාවේ අසන්නට ලැබෙන්නේ අතිශය ප්‍රාථමික කිසිදු ප්‍රගමනයකට දායක නොවන දේශපාලනික සහ සමාජයීය තොරතුරු පමණකි.

දැන් දැන් වෛද්‍ය විද්‍යාව, ජීව රසායනික විද්‍යාව වැනි අනෙක් අංශවලින් මෙන්ම ජීව ඉංජිනේරු විද්‍යාතාක්‍ෂණය අතරින්ද ඉදිරියට ගමන් කරමින් ලෝකයේ ඉතා දියුණු සහ නවීනතම නිර්මාණයන් කරමින් පවතී. 1996 දී බිහිකළ ලෝකයේ ප්‍රථම ක්ලෝනීකරණය කළ ක්ෂිරපායි සත්ත්වයා වූ ඩොලී නම් බැටළුවාගේ පටන් ජීව ඉංජිනේරු විද්‍යාව මේ වනවිට සෑහෙන දුරකට ගමන් කර ඇත. මිනිසා මානව ජිනෝමය වෙනස් කරන්නට පටන් ගත්තේ අද-ඊයේ නොවේ. මීට වසර දහස් ගණනකට පෙර එඬේර යුගයේ පටන් මිනිසා විසින් තමන්ගේ සත්ත්ව රංචුවක වූ තෝරාගත් සතුන් මගින් සිදු කළ වරණාත්මක අභිජනනය(Selective Breeding) මගින් තමන්ට අවශ්‍ය, හොඳ තත්ත්වයේ හෝ නිරෝගී හොඳින් වැඩුණු, වඩා වැඩි කිරි, මස් ආදිය ලබා ගැනීමට කටයුතු කළා. මේ උපයොගීතාවය මගින් වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවක් ඔවුන් තමන්ට අවශ්‍ය අන්දමේ සතුන් සහ ශාක අභිජනනය කර ගත්තා. එයට නව නැම්මක් ඩොලී ජනිත කිරීම මගින් ලබා ගත්තත් එහි ඇති සංකීර්ණත්වයක් නිසාම, අපේක්‍ෂා කළ අන්දමේ සාර්ථකත්වයක් ක්ලෝනීකරණය මගින් ලබා ගැනීමට මෑතක් වනතුරුම ජාන ඉංජිනේරු විද්‍යාව සමත් වූයේ නැහැ. නමුත් 1970 ගණන්වල සිට කරළියට පැමිණි ජාන වෙනස් කර ජීවීන්ගේ ගතිලක්‍ෂණ වෙනස් කිරීම (Genetic Modifications) මගින් ජාන සහසංයෝජනය කර රෝගවලට ප්‍රතිරෝධක බැක්ටීරියා නිපදවීම සිදු වීමත් සමග ජාන ඉංජිනේරු විද්‍යාව නව මාවතකට පිවිසියා.

1976 දී හර්බට් බෝයර් සහ රොබට් ස්වොන්සන් විසින් ලොව ප්‍රථම ජාන ඉංජිනේරු ආයතනය ලෙස ජෙනෙන් ටෙක්(Genentech) ආරම්භ කර, ඉන් වසරකට පසුව E.coli බැක්ටීරියා තුළ මිනිස් ප්‍රෝටීන් (Somatostatin) නිෂ්පාදනය කළා. ජෙනෙන්ටෙක් ජානමය වශයෙන් නිර්මාණය කළ මානව ඉන්සියුලින් නිෂ්පාදනය නිවේදනය කළේ 1978දී. මෙය ජාන ඉංජිනේරු විද්‍යාවේ මෙන්ම වෛද්‍ය විද්‍යාවේද වැදගත් සංධිස්ථානයක් වුණා. 1974දී රැඩොල්ෆ් ජේනිෂ්ච් විසින් ලොව ප්‍රථම ජාන වෙනස් කළ මීයකු “නිෂ්පාදනය” කළා.

සෑම ජීවියකුගේම පාහේ ජානමය තොරතුරු සම්ප්‍රේෂණය කරන්නාවූ DNA සහ ජාන කොටස් කපා වෙනත් ජාන සමඟ බද්ධ කර තමන්ට අභිමත ලක්‍ෂණ ඇති ශාක සහ සතුන් ලබා ගැනීම දැන් ඉතා දියුණු සහ ජනප්‍රිය තාක්‍ෂණයක් බවට පත් වී තිබෙනවා.

මේ නිසා පළිබෝධකයන්ට ඔරොත්තු දෙන, වැඩි පෝෂණ ගුණයක් ඇති විවිධ වර්ණවලින් යුත් සහ විශාලත්වයෙන් වැඩි එළවළු -පලතුරු මෙන්ම සතුන් ද නිපදවා ගැනීමට අප සමත් වී තිබෙනවා. සතුන් සහ ශාක මෙසේ සකස් කළ හැකිනම් මිනිසුන් ජානමය වශයෙන් වෙනස්කර ඔවුන්ගේ විවිධ දුබලතා මඟහරවා ගැනීම සහ නව දක්‍ෂතා ඔප්නැංවීම කළ නොහැක්කක්ද යන්න සෑම ජාන විද්‍යාඥයකුගේම සිතෙහි ඇති වූ ප්‍රශ්නයක්. නමුත් එය වඩා සංකීරණ වන්නේ මානව සදාචාරාත්මක ප්‍රශ්න රාශියක් සහ අප නොසිතන අන්දමේ ප්‍රතිඵල එයින් අත්විය හැකි නිසා.

සතුන්ගේ සහ මානව ජිනෝමය සිතියම්ගත කර තිබුණත් ඒ ඒ ජාන තනිව ක්‍රියා කරන්නේද? නැතහොත් ජාන අන්තර් සම්බන්ධතා මගින් මානව සහ සත්ත්ව ක්‍රියාකාරකම්, ගති ලක්‍ෂණ පාලනය වෙන්නේද යන සංකීර්ණ ප්‍රශ්නයට තවමත් උත්තර ලැබී නැහැ.

CRISPR (Clustered Regularly Interspaced Short Palindromic Repeats) නමින් හැඳින්වෙන්නේ බැක්ටීරියා ප්‍රෝකැරියෝටික ජීවීන්ගේ ජීනෝමයන් තුළ පවතින එක්තරා DNA කොටසක්. මෙම කොටස් බැක්ටීරියාවන්ට ආසාදනයවූ වෛරස්වලින් කැඩී ගිය DNA කොටස්වලින් ව්‍යූත්පන්න වී ඇති අතර ඉන් පසුව ඇතිවන ආසාදනයන් මේ හා සමාන DNA වලින් හඳුනාගැනීමට හා විනාශ කිරීමට භාවිතා වේ. මෙය බැක්ටීරියාවල ආරක්‍ෂණ උපක්‍රමයක්.

CAS9 (CRISPR-associated protein 9)යනු මේ CRISPR කොටස් හඳුනාගෙන ඒ කොටස් කපා ගන්නට භාවිත කරන එන්සයිමයක්. මේ තාක්‍ෂණ දෙක එකට එකතු කිරීම CRISPR-Cas9 ලෙසින් හඳුන්වනවා. මෙමගින් ජීවීන් තුළ ජාන සංස්කරණය කිරීම කළ හැකි වනවා. දැන් මෙය ජාන ඉංජිනේරු විද්‍යාවේ බහුලව භාවිත වන උපක්‍රමයක්. මේ මඟින් මානව සෛලවල සමහර ජාන ක්‍රියාත්මක කිරීමටත් තවත් සමහර ජාන අක්‍රිය කිරීමටත් යොදා ගන්නවා. මේ මගින් සමහර සුව කළ නොහැකි ලෙඩරෝග පාලනය කිරීමට හැකිවන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. දැනටමත් ජාන වෙනස් කිරීම භාවිතයෙන් වැඩිපුර ජෛව ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන බෝග වර්ග සැකසීම, රෝග සම්ප්‍රේෂණය කළ නොහැකි මදුරුවන් වැනි දෑ තනා අවසානයි. මෙය ඉදිරියේදී ඩෙංගු, මැලේරියා වැනි රෝග මර්දනයට යොදාගත හැකි වනවා.

මේ පර්යේෂණ සාර්ථක කරගැනීම අතින් අන් රටවලට වඩා චීනය ඉදිරියෙන් සිටිනවා. දැනටමත් චීනය ක්ලෝනීකරණය මගින් බොහෝ ඉදිරියට ගොස් අවසන්. මෑතකදී සිදු වූ නවතම සොයාගැනීම වන්නේ එකල බීජිං නුවර පොලිසියේ සේවය කළ මිනීමැරුම් අපරාධ අනාවරණය කර ගැනීමේ සුවිශේෂී දක්‍ෂතාවක් තිබූ පොලිස් බල්ලන් අතර ශර්ලොක් හෝම්ස් නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු Huahuangmaනම් බැල්ලගේ ක්ලෝන මගින් එම දක්‍ෂතාවයම ඇති සර්වසම පොලිස් බල්ලන් කණ්ඩායමක් තනාගැනීමයි. ඇගේ පළමු ක්ලෝනය වන Kunxun සිය පූර්වතමයා සමග 99.9%ක DNA සැසඳීමක් ඇති බවත් දැනටමත් සම වයසේ අන් බල්ලන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවත් පරීක්‍ෂණවලින් සනාථ කර තිබෙනවා. මෙමඟින් වසර පහක් තුළ බල්ලකු පුහුණු කිරීමට වැයවන ඇමරිකානු ඩොලර් 66,000ක මුදල ඉතිරි කර ගැනීමටත් පොලිස් දෙපාර්තමේන්තුවට මෙවැනි බල්ලන් හමුදාවක්ම තනා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා. බල්ලන්ට මෙසේ පර්යේෂණ කරද්දී ඔවුන් මානව පර්යේෂණයන් මගින් ද ඉතා ඉදිරියට ගොස් තිබෙනවා.

ඒ අතරම චීනය මෑතකදී කළ එක් හපන්කමක් වන්නේ මිනිසකු ක්ලෝනීකරණය කිරීමයි. මෙය කෙතරම් සදාචාරාත්මකදැයි ප්‍රශ්නයක් පැන නැඟුණත් ඔවුන් කෘත්‍රිමව නිර්මාණය කළ දරුවන් (Designer Babies) තැනීමට දැන් දැන් කටයුතු කරමින් පවතිනවා. මෙහිදී ක්ලෝනීකරණයට අමතරව CRISPR-Cas9 භාවිත කර ජාන තමන්ට අවශ්‍ය පරිදි සංස්කරණය කිරීමටත් ඔවුන් සිදු කරනවා. චීනයේ Southern University of Science and Technology in Shenzhen විශ්වවිද්‍යාලයේ He Jiankui නම් විද්‍යාඥයා විසින් කලල 22ක සිදු කළ DNA වෙනස්කම් මඟින් කලල දෙකක් සාර්ථකව වර්ධනය වන බවට පසුගිය වසරේ අනාවරණය කළා. මෙය සදාචාරාත්මකව විද්‍යා ක්‍ෂෙත්‍රයේ විශාල කම්පනයක් ඇති කළ අතර පසුව ඔහු සේවයෙන් පහ කිරීමටත් කටයුතු සිදු වුණා. එහිදී ඔහු උත්සාහ දරා ඇත්තේ HIV වෛරසයට සෛලවලට ඇතුළු වීමට උපයෝගී වන ප්‍රෝටීන සහිත මාර්ගය විවෘත කරන CCR5 නම් ජානය අක්‍රිය කිරීම මගින් HIV රෝගයට ඔරොත්තු දෙන දරුවකු නිෂ්පාදනය කිරීමයි.

මෙහිදී සිදු කර ඇත්තේ පියාගේ ශුක්‍ර තරලයෙන් තනි ශුක්‍රාණුවක් වෙන්කරගෙන මවගේ ඩිම්බයකට කෘත්‍රිමව ඇතුළු කර කෘත්‍රිම සිංචනයක් සිදු කිරීමයි. ඉන් පසුව CRISPR-Cas9 ජාන සංස්කරණය සිදු කර එයින් ඇතිවන කලලය දින තුනත් පහත් අතර එම ජාන සංස්කරණය වී ඇතිදැයි පරීක්‍ෂා කර ඇත. ජාන සංස්කරණය වූ කලල 16කින් 11ක් තෝරාගෙන දෙක බැගින් මවුවරුන්ගේ ගර්භාෂ තුළ තැන්පත් කර ඇත. ඉන් වර්ධනය වූ දරුවන් දෙදෙනකු වන Lulu සහ Nana උපත ලබා ඇත්තේ 2018 නොවැම්බර් 25 වන දිනයි..

මේ ආකාරයෙන්ම CCR5 ජානය අක්‍රිය කළ මීයන් HIV ආසාදනවලට ඔරොත්තු දෙන බවට සනාථ වී ඇති අතර ඊට වඩා පුදුමාකාර සොයාගැනීමක් ඉන් ලැබී තිබේ. එනම් ඒ මීයන් අන් මීයන්ට වඩා බුද්ධි මට්ටමින් ඉහළ බවයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන වෙනත් පර්යේෂකයන් ද මීට පෙර වෙනත් ජාන 140ක් විවිධ අවස්ථාවල වෙනස් කරමින් මීයන්ගේ බුද්ධි මට්ටම ඉහළ දැමීමේ උත්සාහයන් දරා ඇති නමුත් දැනෙන මට්ටමේ සාර්ථකත්වයක් ලබා ඇත්තේ CCR5 ජානය අක්‍රිය කිරීම නිසා බව දැන් සනාථ වී ඇත.

මේ නිසා HIV ආසාදන වැලකීමට අමතරව දැන් ඒ ජානය අක්‍රිය කිරීම නිසා ලැබෙන දරුවන් අසාමාන්‍ය බුද්ධි වර්ධනයකට හිමිකම් කීමටද හැකියාවක් ඇත. මේ දරුවන් තවමත් ඉතා කුඩා නිසා ඔවුන් අන් දරුවන් හා සැසඳීමට තවමත් කල්වේලා මද බවයි ඔවුන්ගේ හැඟීම. නමුත් නුදුරු අනාගතයේදීම Lulu සහ Nana අන් දරුවන්ට වඩා බුද්ධියෙන් වැඩි වේ දැයි සොයාගන්නට ලැබෙනු ඇති.

ඔවුන්ගේ වර්ධනයත් සමගම මේ ජාන අක්‍රිය කිරීම මගින් ඔවුනට වෙනත් අතුරු ඵල ලැබී ඇතිදැයි ද යන්න සොයා ගන්නටද විද්‍යාඥයන්ට හැකි වනු ඇති. ඔවුන් HIV ආසාදනයන්ට ප්‍රතිරෝධීද වෙනත් රෝගකාරකවලට සංවේදීද යන්න සහ ශාරීරිකමය මානසිකමය වශයෙන් වෙනස් ද යන්න ද හඳුනාගැනීමට හැකි වනු ඇත.

මීට පෙර සුපිරි මිනිසකු නිර්මාණය කිරීමේ තරගයේදී විද්‍යාඥයන්ගේ වෑයම වී ඇත්තේ වැඩුණු මිනිසුන්ගේ සිරුරුවලට නිර්මාණය කළ ලෝහමය අවයව සවි කර Bionic මිනිසකු නිර්මාණය කිරීමයි. එහිදී ඔහුගේ/ඇයගේ ශරීර ශක්තිය සහ දරාගැනීම වැනි බාහිර දැනෙන සහ පෙනෙන ගතිගුණ වෙනස් කළ හැකි අතර නැවත නැවතත් ඒ අවයව හෝ ශරීර කොටස් ප්‍රතිස්ථාපනය කළ හැක. නමුත් එය බාහිරව ඒ පුද්ගලයා රොබෝවරයකු මෙන් දිස්වන අස්වාභාවික ගතියක් පෙන්නුම් කරයි. එසේම අභ්‍යන්තර අවයව ගතහොත් ඒවා කිසියම් මොහොතක ප්‍රතික්‍ෂේප වීමේ සම්භාවිතාව ද වැඩිය. නමුත් ජාන වෙනස් කිරීමෙන් තනනු ලබන සුපිරි මිනිසා, ස්වභාවික සහ කිසිවකුට පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැකි කෙනකු වනු ඇත. එසේ වුවත් ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවයන් ජාන වෙනස් කිරීම නිසා කෙසේ වෙනස් වේදැයි කිසිවකුට පුරෝකථනය කළ නොහැක.

කෙසේ නමුත් ස්වභාවයෙන් පරිණාමය වූ මිනිසා ස්වභාවය විසින් සකසා ඇත්තේ එයට හොඳටම සරිලන ආකාරයටයි. මෙය වෙනස් කිරීමට යෑමෙන් ලෝකයේ ආගමික පදනමට මරු පහරක් වන අතරම සදාචාරාත්මකවද ප්‍රශ්නයක් වන්නේ ඔවුන් එම පර්යේෂණ ක්‍රම භාවිතයෙන් අධික ශක්තියක් ඇති කිසිදු හැඟීමක් නැති රොබෝවරු මෙන් කාර්මික හමුදාවන්, යුධ මානසිකත්වයෙන් අනූන මිනිසුන්, කිසිදා නොදුටු ආකාරයේ සතුන් ආදිය “නිෂ්පාදනය” කිරීමට ඇති හැකියාව නිසායි. දැනටමත් විද්‍යාගාරවල විවිධ සතුන්ගේ මස් කොටස් පමණක් නිෂ්පාදනය කිරීම පර්යේෂණ මට්ටමින් සිදු කෙරෙනවා.

මේ පර්යේෂණ මෙතැනින් නොනැවතී සුපිරි බුද්ධියක් මෙන්ම සුපිරි ශාරීරික ශක්තීන් ඇති, අසාමාන්‍ය හැකියාවන් ඇති, X-Men ආකාරයේ මිනිසුන් සමූහයක් ඉදිරියේදී ඇති නොවන්නේ යැයි කිසිවකුට අනුමානයක් කළ නොහැක. එසේ නමුත් අපේ රටේ මිනිසුන්ට දැනට තිබෙන බුද්ධියවත් පාලනයට සිහියක්, හැකියාවක් තවමත් නැති නිසා අප දැන්ම ඒ ගැන බිය විය යුතු නැත. නමුත් හැඩරුවහැසිරීම, කාර්යක්‍ෂමතාව එකසේ ඇති එකම විදියේ චීන මිනිසුන් සමූහයක් ගැන නම්... ලොවම ප්‍රවේශම් විය යුතු කාලය එළැඹෙමින් පවතී.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා