විල්පත්තුව ගැන වන සංරක්ෂක දෙපාර්තමේන්තුව කියන කතාව

 ඡායාරූපය:

විල්පත්තුව ගැන වන සංරක්ෂක දෙපාර්තමේන්තුව කියන කතාව

විල්පත්තුව සම්බන්ධ මෙම ප්‍රශ්නය අද ඊයේ ඇතිවුණු එකක් නෙවෙයි. පැරණි ප්‍රශ්නයක්. දැන් මේ ගැන අලුතින් මාධ්‍යවලින් කතා කිරීමට පටන්ගෙන තිබෙනවා. නමුත් පැහැදිලිව කිව යුතුයි ඔය කියන ආකාරයේ කිසිදු කටයුත්තක් ඒ ප්‍රදේශවල සිදුවෙලා නැහැ. 2009 වසරේ යුද්ධය අවසන් වුණාට පසුව රජයට පැවරුණු ප්‍රධානම කාර්ය තමයි ඒ ප්‍රදේශවල නැවත සිවිල් ජනතාව පදිංචි කොට සිවිල් පරිපාලනයක් ඇතිකිරීම. ඒ සඳහා පළමුවෙන්ම කළ යුතුව තිබුණේ ඒ වනවිට යුද්ධය නිසා අවතැන් වෙලා අනාථ කඳවුරුවල ජීවත් වුණු සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව ඔවුන්ගේ පෙර වාසස්ථාන හෝ සුදුසු ස්ථානවල නැවත පදිංචි කරවීමයි. නමුත් එය එතරම් පහසු කාර්යයක් වුණේ නැහැ. එයට හේතුව යුද්ධය අවසන් වූ වහාම එම ප්‍රදේශවල සිවිල් පරිපාලනයක්නොතිබු නිසා අනිත් ප්‍රදේශවල සිදුවන ආකාරයට ඉඩම් නිදහස් කිරීම සඳහා ඉඩම් කච්චේරි නොතිබූ නිසායි. එම නිසා ඒ කටයුතු ඉතා අසීරු වුණා.

එයට පිළියමක් ලෙස එවකට පැවැති ආණ්ඩුව විසින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබුවේ එම කටයුතු සම්බන්ධීකරණය කර නීතිමය රාමුව තුළ සිදුකළ යුතු නිසා. ඒ අනුව උතුරු නැඟෙනහිර යුද්ධය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සහ සංවර්ධනය කිරීම නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබුවා. එහි සභාපතිවරයා ලෙස එවකට සංවර්ධන විෂය බාරව කටයුතු කළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කටයුතු කළා. ලේකම්වරයා එස්.පී. දිවාරත්න නමැති විශ්‍රාමික සිවිල් පරිපාලන නිලධාරියෙක් කටයුතු කළ අතර මෙම කමිටුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළුව අදාළ අංශ දහයක පමණ සියලු ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති හා ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිසාපතිවරුගෙන්ද සමන්විත වුණා. ඒ සියලු දෙනාගේ අනුදැනුම සහ මැදිහත්වීම තුළ තමයි මෙම නැවත පදිංචි කිරීම් කටයුතු ආරම්භ වුණේ.

ඒ වනවිට උතුරේ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු අලුතින් ස්ථාපිත කර තිබුණේ නැහැ. නමුත් 2009 යුද්ධය අවසන් වීමත් සමඟ මේ කටයුතු ආරම්භ වුණා. එහිදී සිදුවුණේ ඉහත කී කමිටුව මඟින් අදාළ ඉඩම් තෝරාගෙන ආරක්ෂක හමුදාවේ මැදිහත් වීමෙන් ඒ ඉඩම් සුද්ද කිරීමේ මූලික කටයුතු සිදුකරලා ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ඉඩම් කච්චේරි පවත්වලා ඒ හරහා සුදුසු අයට ඉඩම් ලබාදීමයි. අපි උතුරේ කටයුතු ආරම්භ කළ වහාම කැලෑ ඉඩම් සුද්ද කිරීම සම්බන්ධයෙන් අපේ නිරන්තර අවධානය යොමුකළා. ඒ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉහත කී ජනාධිපති කාර්ය සාධක කමිටුව 2012.07.06 වැනිදා මුලින්ම අපව කැඳෙව්වා. එදින විශේෂ රැස්වීමක් තියලා ඒ ගැන සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම වන සංරක්ෂක දෙපාර්තමේන්තුව නිල වශයෙන් ඒ සඳහා මැදිහත් වුණේ එදිනයි. ඊට පසු අපට දැනුම් දුන්නා, මෙය ඉක්මනින්ම කළ යුතු කාර්යයක්, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමත් අනෙකුත් සංවිධාන විසිනුත් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම් ඉක්මනින් කළ යුතු බවට යෝජනා කර තිබෙන නිසා එය අපි ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අවශ්‍ය සහයෝගය දෙන්න කියලා ඉල්ලීමක් කෙරුණා. උතුරේ පාලනය යටතේ තිබෙන ඉඩම් තමයි ඒ විදිහට බෙදාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න කියලා ඉල්ලීමක් කෙරුණා. ඒ වන විට මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි සහ මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ සඳහා යොදාගෙන තිබුණු ස්ථාන 10ක් එම කමිටුව විසින් පරීක්ෂා කළා. ඒ වෙනකොටත් මේ සඳහා යොදාගෙන තිබුණු බිම්, බාගෙට ගෙවල් හැදිලා තිබුණු සුද්ද වෙලා තිබුණු බිම් අක්කර 1080ක් ස්ථාන 5කින් බෙදාදෙන්න සුදුසු බව තීරණය වුණා. ඊට පස්සේ මේ කමිටු වාර්තාව 2012.11.15 වැනිදා නැවතත් ජනාධිපති කමිටුවට බාරදුන්නා. ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය කිව්වා මේ ඉඩම් ටික වහාම නිදහස් කරලා ඒ කටයුතු ඉක්මන් කරන්න. ඊට අමතරව කිව්වා මේ ඉඩම් අවතැන් වූවන් සඳහා කොහෙත්ම සම්පූර්ණයෙන් ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට තවත් අමතර ඉල්ලීම් විශාල ප්‍රමාණයක් නැවතත් අප වෙත ලබාදුන්නා.

ඒ අනුව වන සංරක්ෂක දෙපාර්තමේන්තුව ඒ ඉල්ලපු අලුත් ඉඩම් සම්බන්ධයෙන් බලනකොට ගොඩාක් ඝන කැලෑ තත්ත්වයේ තිබුණේ. වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විදිහට අපි කිව්වා ඒවා සුද්ධ කිරීම එතරම්ම සුදුසු නැහැ. ඒ නිසා ඒ පිළිබඳ නැවතත් බලමු කියලා. ඒ අනුව ඒ පිළිබඳ නැවත නැවතත් කතා කළා. ඒ අතර අලුතින් ඉල්ලුවා තවත් අක්කර 2007ක්, මුලින් ඉල්ලූ අක්කර 1080ට අමතරව. නැවත නැවතත් අපි මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා එයින් 770ක් සහ 650ක් වශයෙන් දෙන්න තීරණය කළා. අවම දෙන්න පුළුවන් විදිහට ඒ වෙද්දි යම් යම් මට්ටමින් සුද්ද වෙලා තිබුණ සහ පාරවල් අද්දර වනාන්තරයට ලොකු හානියක් වෙන්නේ නැතුව දෙන්න පුළුවන් ඉඩම් ටික තමයි අපි ඒ විදිහට තේරුවේ.

ඒ අනුව අපි ගත්තොත් මේ කතාකරන මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විල්පත්තුව ප්‍රදේශයට ආසන්නව විල්පත්තුවට උතුරින් තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් අක්කර 1700ක් අපි අවස්ථා දෙකකදී නිදහස් කර තිබෙනවා. මුලදි 1080, ඊටපස්සේ 650යි සහ 770ක් වශයෙන්. මෙම නිදහස් කිරීම් ගත්තොත් අපි මුල් ඉඩම් ටික නිදහස් කළේ 2013.01.02 වැනිදා. දෙවැනි ඉඩම් නිදහස් කළේ 2013 මැයි 8 වැනිදා. මින් පස්සේ අපි කිසිම ඉඩමක් උතුරේ නිදහස් කරලා නැහැ. අපි වගකීමෙන් කියනවා 2013 මැයි 8 වැනිදායින් පස්සේ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිපාලන කළමනාකාරීත්වය යටතේ පවතින කිසිම ඉඩමක් අපි යුද්ධය සඳහා අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කරලා නැහැ. 2015දීත් මේ වගේම මහ විශාල ප්‍රශ්නයක් මතුවුණා නැවතත් මන්නාරමේ කැලෑ කපනවා කියලා. විවිධ මාධ්‍ය ප්‍රචාර ඒ පිළිබඳ පළවුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් උතුරේ සියලුම ඉඩම් නිදහස් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වනු ලැබුවා. නවත්වලා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා. 2015 දෙසැම්බර් 8 වැනිදා උතුරේ අලුතින් කිසිම වනාන්තරයක් කිසිඳු කාර්යයක් සඳහා නිකුත් කිරීම නවත්වනවා. ඊට අමතරව දීලා තිබුණා නම් ඒවාත් වහාම නවත්වන්න කියලා. කොහොමටවත්ම 2015.05.8 වැනිදායින් පසුව වන සංරක්ෂක දොපර්තමේන්තුවේ පරිපාලනය යටතේ තිබෙන කිසිඳු ඉඩමක් අපි නිදහස් කරලා නැහැ. අපි ඉතා වගකීමෙන් කියන්නේ අලුතින්ම යන ප්‍රචාරවලට අනුව නම් කිසිම ඉදිකිරීමක් ඒ ප්‍රදේශවල සිදුවන්නේ නැහැ. මේ ප්‍රශ්නය ආවට පසුව නැවතත් ජනාධිපතිවරයා අපට උපදෙස් දී තිබෙනවා මෙය රැකගන්න වන සංරක්ෂණ ආඥා පනත යටතේ ගත හැකි ඉහළම පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස. වන සංරක්ෂක ආඥා පනත යටතේ දෙන්න පුළුවන් ඉහළම නීතිමය රැකවරණය ලබා දීලා අපි මෙය ඉතා දැඩිව ආරක්ෂා කරගෙන යනවා. ඒ නිසා අපි නැවතත් කියන්න කැමතියි 2013න් පසුව ඔය කියන විදියේ කිසිඳු ඉඩමක් නිදහස් කර නැහැ. 2015න් පසුව කිසිම ඉදිකිරීමක් සිදුකර නැහැ."

මහින්ද සෙනවිරත්න

වන සංරක්ෂක පරිසර සංරක්ෂක සහ කළමනාකරණ අංශය

මාතෘකා