නෙක සොඳුරු දසන් මවන හරිත පාරාදීසය

 ඡායාරූපය:

නෙක සොඳුරු දසන් මවන හරිත පාරාදීසය

 

කොට්‌ටව - කෝඹල වන පෙත

බැලූ බැලූ අත අහස සිඹින කොන්ක්‍රීට් මැදුරු විරාජමාන වන හිරු රැසින් දැවෙන කොළොම්තොට නෙතට සිසිලක් ගෙනදෙන ඉසව්වක් හමුවන්නේ කලාතුරකිනි. නගරයෙන් සැතපුම් සිය දහසක් ඈතට යන විට ස්වාභාවික පරිසරයේ සුවදායී බව විඳගන්නට තවමත් වාසනාවක් හිමිවී තිබීම විටෙක අරුමයක් බවට පත්වන්නේ ශීඝ්‍රයෙන් වනපෙත් විනාශ වෙමින් සිදුවන මහා වන සංහාරයන් හමුවේය.

කොට්‌ටව, කෝඹල වනාන්තරය ස්‌වභාවධර්මයේ එවැනි අපූර්ව නිර්මාණයකි. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල නගරයේ සිට කි.මී. 15ක්‌ පමණ දුරින් ගාල්ල උඩුගම බස්‌ මාර්ගය දෙපසින් පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්‌ටයාර 1800ක පමණ භූමිභාගයක පැතිරි තිබේ. සියවස්‌ ගණනක අතීතයකට උරුමකම් කියන කොට්‌ටව, කෝඹල වනාන්තරය කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය වනාන්තරවලට යාවූ සෞන්දර්යාත්මක පෙදෙසකි.

මුල් කාලයේ මෙම වනාන්තරය සිංහරාජ වනාන්තරයට උතුරු දෙසින් සම්බන්ධ වී තිබී ඇති අතර මෙහි උසම ප්‍රදේශය ගැන සැලකෙන කැකිල්ලගල කන්ද අක්‌කර 1/2ක්‌ පමණ වන භූමි ප්‍රදේශයකි. එම කන්දට නඟින ඕනෑම කෙනකුට කොට්‌ටව වනාන්තරයේ අසිරිය මෙන්ම ගාල්ල අවට අසිරියද දැකගත හැකිය.

දේශගුණික හා භූවිෂමතා ලක්‌ෂණ අනුව මෙම වනාන්තරය නිවර්තන තෙත් සදාහරිත නැතහොත් පහත රට තෙත් වනාන්තරයක් ලෙසින් හඳුන්වයි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවලට පොදුවූ ස්‌ථිර භවනය (නෙරුශාක, උඩුවියන උපවියන යටිවියන යටි රෝපණය) ස්‌ථම්භාකාර සෘජු කඳන් සහ කයිරු සහිත ශාකවලින් සමන්විත මෙම ප්‍රදේශය සොබාදම් දිනිතියගේ අපූරුවතම නිර්මාණයක් බඳුය. මෙම සොඳුරු වනයේ වේවැල්, රදලිය, වැනිවැල් වර්ග මෙන්ම ඕකිඩ් වැනි අපිශාකද, බාඳුරා වැනි මාංස භක්‌ෂන පැළ වර්ගද දැකිය හැකිය. ඊට අමතරව මෙම වනාන්තරයේ බහුල වශයෙන් දැකිය හැක්කේ හොර කුලයේ ශාක විශේෂයන්ය. බුහොර, දියපර, ගොඩපර, ආරිද්ද, හැඩවක, වැලිපියෑන්න, බදුල්ල විශේෂ, පෑලියකූර, බැදි දෙල්, ඌරුහොඬ, ඇටඹ, රුක්‌, වල් දිවුල්, කිරිබද්ද, දියනා, දොඹකීන, ගොරකා, කැකුණ ආදී ශාක වැඩියෙන් දැකිය හැකිය.

අතීතයේ බොහෝ වනපෙත්වලින් ජනතාවට ලැබුණු ප්‍රයෝජන අතර ආහාර නිෂ්පාදනය විශේෂ ස්ථානයක් ගත්තේය. එවැනි සුවිසල් දායකත්වයක්‌ අතීතයේදී මේ වනාන්තරයෙන් සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති. එකල ගන්දෙල්, හල්, බෙරලිය, අඹ වැනි ගස්‌වලින් ජනතාවගේ කුස පිරෙන තරම් අස්වනු ලැබී තිබේ. එපමණක් නොව, මෙම වනාන්තරයේ තුරු වියන එහි යන එන කාටත් නොමිලේ සිය පිරිසුදු වාතයත් සිසිලත් ලබා දෙන්නට ඇප කැපවී සිටින ආදරණීය මවක් වැනිය. එම තුරු වියන යටින් මෙම වනාන්තරයේ ඇවිද යන ගමනින් ඔබේ දෙපයට මෙන්ම සිතට ගතට දැනෙන සුවදායී බව සහ නෙත විඳින චමත්කාරය කෙතරම්ද යන්න පවසන්නට වදන් නොසෑහෙනු ඇත. අවට වාතය පිරිසුදු කරමින් දේශගුණික සමතුලිත බව ආරක්‌ෂා කරන මෙම හරිත වන කොමලිය ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙසද වඩා සුවිශේෂී වේ. විශේෂයෙන් නිරිතදිග මෝසමෙන් ලැබෙන වැසි ජලය ගබඩාකර ගන්නා ප්‍රදේශයක් ලෙස මෙම වනාන්තරය ප්‍රකටය. මනහර ඇළ දොළ ගංගාවලින් පිරිපුන් මෙම වනාන්තරයේ සෞන්දර්යාත්මක බව පරිසරවේදීන්ගේ ඇගයීමට මෙන්ම එහි යන එන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්‌වේ.

එබැවින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක්‌ මඟින් ආදායමක්‌ ගත හැකි ප්‍රදේශයක් වුවද වර්තමානයේ සංචාරකයන්ගේ පැමිණීම යම් අඩුවීමක් දැකිය හැකිය. ඊට හේතුව සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීමයි. විවේක ගන්නා ස්ථාන පවා නිසි නඩත්තු වීමක් සිදුනොවන බවක් දැකිය හැකිය. ගාල්ල නගරයට කිට්‌ටුවම ඇති මේ වනාන්තරය පාසල් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා වැදගත් වන අතර එදා පරිසර ඉගෙනුම් මධ්‍යස්ථානයක් තරමට දියුණුව තිබූ එය අද ඇල්මැරුණු තත්ත්වයට පත්වී තිබේ.

යටත් විජිත සමයට පෙර ශ්‍රී ලංකාව වර්තන වනාන්තරවලින් පොහොසත්ව පැවැති යුගයක්‌ විය. එනමුදු අනිසි ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන්

ශ්‍රී ලංකාවේ වනගහනය අද භූමි ප්‍රමාණයෙන් සියයට 20කටත් වඩා අඩුවී තිබේ. කොට්‌ටව වනයද දිනෙන් දින එම අවාසනාවන්ත ඉරණමට ලක්වෙමින් තිබීම කනගාටුවට කරුණකි. අවට ගම්මාන බිහිවීම, තේ වගාවට කැලය කැපීම, අධිවේගී මාර්ගවල විදුලි ව්‍යාපෘති පාරවල් ආදිය නිසා කොට්ටව වනයට අයත් බිම් ප්‍රමාණයද කෙමෙන් අඩුවෙමින් ගොස් තිබේ. 1990 වසරේදී කළ සමීක්‌ෂණයකට අනුව ශාක විශේෂ 15ක්‌ මෙම වනාන්තරයෙන් වාර්තා වී ඇති අතර ඉන් 65ක්‌ ඒකදේශීය ශාකයන්ය. සත්ත්ව විශේෂ ගැන සලකා බැලීමේදී මත්ස්‍ය විශේෂ 17න් 6ක්‌ උභය ජීවීන්,(ඇම්පිබියානුවන්) වර්ග 14න් 6ක්‌ පාද හතරේ උරග විශේෂ, 14න් 5ක්‌ පාද රහිත උරග විශේෂ,

20න් 7ක්‌ ඒකදේශීය සත්ත්ව විශේෂ වශයෙන් සොයාගෙන ඇත. එමෙන්ම පක්‌ෂි වර්ග 12ක්‌ද ක්‌ෂීරපායී විශේෂ 28න් 4ක්‌ද ඒකදේශීය සත්ත්ව විශේෂ වශයෙන් මෙම වනාන්තරයෙන් හඳුනාගෙන ඇත. මීට අමතරව අගනා ලංකා රෝස නමැති විශේෂයද සහිතව සමනල විශේෂ 40ක්‌ පමණ මෙම සොඳුරු වන රජදහනේ ජීවත් වේ.

පරිසරවේදීන්ගේ මෙන්ම සොබාදහමේ අපූර්වත්වය විඳින්නට කැමති කාටත් අපූරු හරිත පාරාදීසයක් වුවද අද ඒ තත්ත්වය මෙම කොට්ටව වනපෙතින් දුරස්වී යනවාදැයි සැකයක් උපදින්නේ එහි පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ යම් අඩුවීමක් දැකිය හැකි නිසාය. වනේ එක්‌ පසකට වන්නට ආරණ්‍ය සේනාසනයකි. පොහෝ දිනවලට සිල් සමාදන් වීමට සිය ගණනක්‌ උපාසක උපාසිකාවෝ මෙහි පැමිණ භාවනා කරති. නිසල පරිසරය මැද ආරණ්‍යයේ සිල්වත් භික්‌ෂුන් වහන්සේලා අතීතයේ සිට වනාන්තරය ආරක්‌ෂා කරගෙන ඇත. එනමුදු වනාන්තරයට සිදුවන හානිය ගැන ප්‍රදේශවාසීන් පසුවන්නේ දොම්නසිනි. ඊට හේතුව වනාන්තරය කපා ගම්මාන 20ක්‌ පමණ මේ වනවිට පිහිටුවා තිබීමයි. තල්ගම්පොල, උඩුවිටියන, කොට්‌ටවගම, එරම්වැල්ල, බැද්දේගෙදර ඉන් කිහිපයකි. තේ වගාව ඒ ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායමයි. එදා මෙන් අද වනාන්තරයට ගොස්‌ ව්‍යාජ ද්‍රව්‍ය එක්‌ රැස්‌ නොකළත් දියමං අසල කසිප්පු ජාවාරම සහ සොරුන්ගේ ආරක්‌ෂිත ස්‌ථානයක්‌ ලෙසටද කොට්‌ටව වන පෙදෙස නම් දරා තිබීම අතිශයින් කනගාටුදායක තත්ත්වයකි.

අතීතයේ ඉතා වැදගත් මෙහෙවරක්‌ සිදු කළ කොට්‌ටව කෝඹල වනාන්තරය ජල පෝෂක ප්‍රදේශයක්‌ වශයෙන්ද ප්‍රදේශයට විශේෂයෙන් කෘෂිකාර්මික බෝග වගාවන්ට විපුල ප්‍රයෝජනයක්‌ විය. එහෙත් වර්තමානයේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසාත් වතු වගා සඳහා කැලේ කැපීම නිසාත් කලාපයේ දේශගුණික විපර්යාසයන්ද ඇතිවෙමින් තිබේ. එබැවින් මෙම වැසි වනාන්තරය විනාශ කිරීමෙන් නියත ජල ගැලීම් නාය යෑම වැනි ආපදාවන්ටද ගොදුරු වීමේ අවදානමද දැනටමත් විද්‍යමාන වෙමින් පවතින අතර මෙම තත්ත්වය වෙනස් නොවුණහොත් ඉදිරියේදී මෙම හරිත වන සම්පතද අපට අහිමි වන දින වැඩි ඈතක නොවේ.

මාතෘකා