සමාජ මාධ්‍ය

 ඡායාරූපය:

සමාජ මාධ්‍ය

විකල්ප දේශපාලනය උදෙසා සමාජ මාධ්‍ය භාවිතය අනිවාර්ය කොන්දේසියකි. විකල්ප දේශපාලනය සඳහා පමණක් නොව දේශපාලනය, කලාව, වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු සියලු දේ සඳහා සමාජ මාධ්‍ය අවශ්‍ය වී ඇත. ජනමාධ්‍ය පවා අද වනවිට සමාජ මාධ්‍යයෙහි පිහිට පතයි. නමුත් විකල්ප දේශපාලනය උදෙසා සමාජ මාධ්‍ය බලපෑම වෙනස් වේ. සමාජ මාධ්‍ය ගැන කතා කිරීමට ප්‍රථම ජනමාධ්‍ය පිළිබඳව යම් සඳහනක් කළ යුතුමය.

ජන මාධ්‍යයෙහි හැසිරීම

මෙහිදී විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය අතරද හැසිරීමේ වෙනස්කම් දක්නට ලැබෙයි. ලංකාවේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය කිහිපය දේශපාලන නායකයන් හෝ පක්ෂ කිහිපයක් වෙනුවෙන් තම න්‍යායපත්‍ර සකස් කර ඇති ආකාරය බැලූ බැල්මට පෙනෙන අතර එය සමාජයේද ප්‍රසිද්ධ කාරණාවකි. අනෙක් කිහිපය රාජ්‍ය නාලිකා වේ. මේ මජර ක්‍රමය තුළ යම් යම් ප්‍රමාණවලට ඔවුන් හසුව තිබේ. වෙළෙඳ දැන්වීම්, රාජ්‍ය ආයතන සහයෝගය ලබාගැනීම් මෙන්ම හිමිකාරීත්වයේ පෞද්ගලික දේශපාලන මැදිහත්වීම මත ක්‍රමයේ දැවැන්ත වෙනසක් සඳහා විකල්ප බලවේගයකට ඔවුන් දෙන කාල අවකාශය පිළිබඳව බලාපොරොත්තු තැබිය හැක්කේ ඉතාම අල්ප වශයෙනි.

මුද්‍රිත මාධ්‍ය පිළිබඳව විද්‍යුත් මාධ්‍යට වඩා යම් පමණකට බලාපොරොත්තු තැබිය හැකි මුත් එය ප්‍රධාන දහරාවේ දේශපාලන කඳවුරුවලට දෙන ඉඩ කඩ විකල්ප දේශපාලන ව්‍යාපාරයකට ලබා නොදෙන බව විශ්වාසය.

සමාජ මාධ්‍ය භාවිතය

ජන මාධ්‍යවලට සාපේක්ෂව සමාජ මාධ්‍යවල ඇති අදහස් භාවිත කිරීමේ නිදහස, වේගවත් බව, අසීමිත ඉඩ, ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ආදී කරුණු නිසා ජනමාධ්‍ය අභිභවා සමාජ මාධ්‍ය ඉදිරියට ගොස් ඇත. දැනටමත් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 6 ඉක්මවා සිටින බව වාර්ථාවලින් දැක්වෙයි. යම්කිසි බලපෑමක් කිරීමට මෙම ගණන ප්‍රමාණවත්ය.

නමුත් සාම්ප්‍රධායික දේශපාලන පක්ෂ, ඔවුන්ගේ අනුගාමිකයන්ද තම මතය ගෙනයෑම සඳහා සමාජ මාධ්‍ය ඉතා තරගකාරී අන්දමින් භාවිත කරයි. ඔවුන් සතුව තිබෙන සම්පත් රාජ්‍ය අනුග්‍රහය මතින් සිදු කරන බලපෑම සුළුපටු නොවේ. අපේම බදු මුදලින් නඩත්තු වන අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ඒකක සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා වැඩ කරයි. නමුත් නිර්මාණාත්මක බව, සාමූහික වැඩ, ජාලගත කිරීම් හරහා වැඩ කිරීම වැනි කාරණා මත අලුත් කණ්ඩායමකට වුවද හොඳ තරගයක් දීමට හැකියාවද ඇත.

අභියෝගය ජය ගත්තවුන්

සමාජ මාධ්‍ය අභියෝගය ජයගත්ත බොහෝ ස්වාධීන පුද්ගලයන් දැනටමත් සිටී. ඉතා අවම සම්පත් භාවිත කරමින් ඔවුන් සමාජ මාධ්‍ය ආරම්භ කළ අතර ෆේස්බුක් තුළ ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් භාවිත කරමින්ද වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා භාවිත කරමින්ද ඔවුන් මේ ක්‍රමයේ බොහෝ තැන්, සිදුවීම් විවේචනය කරමින් යම් පරාසයක වැඩ කරයි. මොවුන් බොහෝ දෙනෙක්ගේ ආරම්භක බලාපොරොත්තු රට වෙනස් කිරීමේ සටන හා බද්ධව තිබුණි.

අලුත් ක්‍රියාකරුවන්ද විකිණෙයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටද අත් වූ එක් කනගාටුදායක ඉරණමක් වන්නේ ඔවුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටු සමඟින්, වෙබ් අඩවි සහ යූටියුබ් චැනල්ද සමඟින් විකිණීමයි. මජර දේශපාලන ප්‍රවාහ සහ ඒවායේ ඒජන්තයන් යහමින් මුදල් වියදම් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ද මිලට ගනිමින් සිටී. මේවා සියල්ල විකල්ප වෙනුවෙන් නොව විකල්ප යටපත් කිරීම සඳහා භාවිත වීමට නියමිතව ඇත.

තවමත් ඇති අවස්ථා

සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම වෙනස් වේ. ස්වාධීනත්වය ගිලිගී යන පිටු, වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකාවලින් ජනතාව ක්‍රමයෙන් ඈත් වේ. ඒ නිසා නව වෙබ් අඩවි, ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා සඳහා ඇති තරම් අවස්ථා ඇත. කිසිවකු කිසිදා නොකළ නව නිර්මාණාත්මක දේ තුළින් අලුත් ප්‍රවණතා ඇති කළ හැක. විකල්ප දේශපාලන ව්‍යාපාරයක් වෙතොත් තමන් සඳහාම වන සමාජ මාධ්‍ය නාලිකා බිහිකර පවත්වාගෙන යෑම වඩාත් හිතකර වේ.

මා මෙහිදී සඳහන් කරන්නේ පුරවැසි සංවිධාන විසින් පවත්වාගෙන යන ඔවුන්ගේ නිල පිටු සහ වෙබ් අඩවි පිළිබඳවම නොවේ. විකල්ප දේශපාලන දහරාව විසින් පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවි, විනෝදාත්මක හෝ දේශපාලන ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා වෙනම අනන්‍යතා යටතේ ස්වාධීනව පවත්වාගෙන යා යුතුය. එය අනාගතයේ යම් දිනෙක පවතින වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු විකල්ප දහරාව වර්ජනය කළහොත් පිහිටට ගත හැකි ආරක්ෂණයකි.

විකල්පය සොයා යන ගමනේදී විකල්ප මාධ්‍ය නොහොත් සමාජ මාධ්‍ය භාවිතය ඉතාම වැදගත් වේ. එහිදී අප සතුව ඇති සියලු විකල්ප භාවිතය මේ මොහොතේ කතාකළ නොහැක. නමුදු විකල්පය දිනවන මොහොතේ ඒ සියල්ල භාවිතයට ගැණෙනු ඇත.

මාතෘකා