ජීවිතේට කරුවක් ගහගන්න බූරුවා ගසන මිනිස්සු

 ඡායාරූපය:

ජීවිතේට කරුවක් ගහගන්න බූරුවා ගසන මිනිස්සු

ජීවත්වීම සඳහා සෑම කෙනෙකුටම වෘත්තියක් අවශ්‍යය. විකිණෙන්නේ හෝ යමක් විකුණන්නේ නැතිව මිනිසාගේ මෙලොව පැවැත්ම තහවුරු කරගැනීම අසීරු කාර්යයකි. මුදල් ඔට්ටුවට සූදුකෙළීම ආර්ථික විද්‍යාවේ විකිණෙන හෝ විකුණන යන කොටස් දෙකෙන් එකකටවත් අයත් නොවේ. ඒ අනුව බලන විට සූදුව වෘත්තියක් ලෙස සැලකිය නොහැක. පොතේ ලියා ඇත්තේ එසේ වුවද බූරුව ගැසීම පමණක් රැකියාව කරගනිමින් ගේ දොර අඹුදරුවන් හා තමන්ගේ ජීවිතයද නඩත්තු කරගන්නා සූදුවෙන් පමණක් යැපෙන පූර්ණකාලීන සූදු අන්තුවෝ මෙන්ම විවිධ මට්ටමෙන් සූදුවට පෙම්බඳින මිනිස්සු කුමන පළාතක වුවද විරල නොවෙති.

මළගෙදර සූදුව

මරණය දුකක් වුවද සූදු අන්තුවන්ට බොහෝ මළ ගෙවල් ආශීර්වාදයකි. දින හතක් පුරා මළමිනියට හා දුකට ආවරණය වී ඉතා සුරක්ෂිතව සූදු පිටියක් පවත්වාගෙන යන්නට මොවුන්ට අවකාශය ලැබේ. දින හතකට පසුව තවත් කොහේ හෝ තැනක එවැනිම සූදු පොළක් නිර්මාණය කරගන්නට ජාලගතව සිටින සාමාජික පිරිස සමත්ය. හැම මළගෙදරකම සූදු පොළ පැවැත්වීමට ඉඩ නොලැබුණද දිළිඳු ගම්වල ජනයාගෙන් බූරු පොළ පවත්වාගෙන යෑමට නොමඳ අනුග්‍රහයක් ලැබෙයි. සූදු පොළ නිසා ලැබෙන බිම් කුලිය, මළගෙදර පාළුව නැතිවීම ආදී හේතු කිහිපයක් නිසා මළගෙදර ඇත්තෝ බූරුපොළට එකඟ වෙති. දුකට පත් අවස්ථාවක වැටලීම් සිදුකර මළගෙදර පිරිස අපහසුතාවට පත්කිරීම නීතියට නොව සදාචාරයට එකඟ නොවන හෙයින් මළගෙදරවල පවත්වන සූදු පිටි වැටලීමට බොහෝ දුරට පොලිසිය පැමිණෙන්නේ නැත. ඒ අනුකම්පාවෙන් මනා සේ ප්‍රයෝජනය ගෙන ජංගම බූරු පොළ විවිධ ප්‍රදේශවල නිරුපද්‍රිතව පවත්වාගෙන යනු දක්නට ලැබේ.

තුන්සිය හැටපස් දවස පුරා නන්නාඳුනන මළගෙවල්වල ලගින නිශාචර සූදු අන්තුවන්ගේ ජීවිත කතා පිරී තිබෙන්නේ ජයග්‍රහණයන්ට වඩා පරාජයන්ගෙනි. ‘බූරු චූට්ටං’ පවුලේ එකම පිරිමි දරුවාය. පරම්පරාවෙන් ඔහුට උරුම වූ ඉඩකඩම් ගේ දොර සූදුවට සින්න වෙන්නේ එක රැයකින් නොවේ. බිරිඳද හැරගිය පසු නගරයේ පොදු වෙළෙඳසලක (මාර්කට්) වසා දමා තිබූ කඩකෑල්ලක නගරසභාවට මාසෙ කුලිය ගෙවමින් ඔහු ජීවත්වෙයි. දහවලට සිඟමන් යදින වීදි ගණිකාවක සමග කසාද සහතිකයක් නැති අඹුසැමි ඇසුරක් පවත්වාගෙන යන බූරු චූට්ටංට දාව දරුවෙක්ද සිටී. රාත්‍රීරි කාලයේ මළගෙදරක පවත්වන සූදු පිටිවල නිත්‍ය සාමාජිකයකු වන ඔහු අන්තයටම පරාජය වූ දිනක් වූයේ නම් පසු දින ඔහුගේ බිරිඳ සුපුරුදු යාචක වෘත්තියේ යෙදීසිටිනු දක්නට හැකිය. ඇය දවස පුරා සිඟමන් යදිමින් මුදල් එකතු කරන්නේ එළැඹෙන රාත්‍රියේ බූරුපොළට යන්නට චුට්ටංට මුදල් ලබාදීම සඳහාය.

මේ අයුරින් කන කර උකසට තබා හෝ පොලියට මුදල් ලබාගෙන සැමියන් දිරිමත් කරමින් සූදු පොළට යවන බිරින්දෑවරු විරල නොවෙති.

ත්‍රිරෝද රථයේ නැඟී මළගෙවල්වල පැවැත්වෙන රාත්‍රීරි ජංගම බූරුපොළ වෙත සිය සැමියා සමග දිනපතා යනෙන කාන්තාවක් සිටී. සූදු පොළේදී හමුවන යාවජීව සාමාජික පිරිස ඇය හඳුන්වන්නේ බැංකුව යන අන්වර්ථ නාමයෙනි. සැමියා බූරු ඔට්ටු අල්ලන අතරතුර මුදල් පොලියට දීම ඇගේ රාජකාරියයි. සැමියා පරාද වන අවස්ථාවල පොලිය අය කරගැනීමේ පදනම යටතේ ඔහුටද මුදල් ලබාදෙන අතර සැමියා මාත්‍රාව ඉක්මවා මත්පැන් පානය කර ඇත්නම් ත්‍රිරෝද රථයේ රියැදුරු තනතුරද දරමින් ඈ සැමියාගේ සූදුවට සහාය වන්නීය. මෙම අඹුසැමි යුවළද වෙනත් රැකියාවක නිරත නොවන අතර වසර ගණනාවක සිට බූරුවා ගැසීම සිය ජීවනෝපාය කරගෙන දිවි ගෙවති.

රාත්‍රී නවය පසුවූ තැන පටන් මෙරු රැලක් පහනකට ඇදී එන්නාක් මෙන් සූදු ප්‍රේමීන්ද මළගෙදරකට ඇදෙන්නේ මියගොස් සිටින්නේ ගැහැනියකද පිරිමියකුද යන වගක්වත් දැනගෙන නම් නොවේ. මළගෙදරකට ගොඩවැදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඕනෑම කෙනකුට අවසර තිබේ. ඒ අවසරයෙන් ප්‍රයෝජන ගෙන නීතියෙන් වහන් වී සූදු ඔට්ටු ඇල්ලීම එතරම් කතාබහට ලක්වන කරුණක් නොවන්නේ සත් දිනකින් සියල්ල අවසන් වන නිසාය. බැලූ බැල්මට එසේ පෙනෙන මුත් වෘත්තීය බූරු ගසන්නන්ගේ ජංගම බූරු පොළ තවත් මළදෙරක සත් දිනක් වෙනුවෙන් ඇරඹෙනු ඇත. කොළ පනස්දෙකක් ඇතුළේ වාසනාව සොයන්නට ඒ මළගෙදර වෙතද රාත්‍රියේ නින්ද අහිමි සූදු අන්තුවන් ඇදෙනු ඇත.

ගැහැනු සූදුව

දිනෙන් දින තැනින් තැන කාන්තාවන්ගේ සූදු පොළ ගැන අසන්නට ලැබෙයි. බූරුවා ගසමින් සිටි කාන්තාවන් පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථා පෙළින් පෙළට වාර්තා විය. පිරිමින්ගේ සූදු පොළකට යෑම සරල කරුණක් වුවත් කාන්තා සූදු පොළකට යාම හෝ එවන් තැනක් සොයා දැනගැනීම පහසු කරුණක් නොවේ. එසේ වුවද කාන්තා සූදු පොළක් සොයා යන්නට අවස්ථාවක් උදාවිය.

මෙම සූදු පිටිය පවත්වාගෙන යනු ලබන්නේ ඈත පිටිසර ගමක සිට ඇඟලුම් කර්මාන්ත ආයතනයක රැකියාවක් කිරීම සඳහා පැමිණි තරුණියකි. රැකියාවට පැමිණ ටික දිනකින් ඇයට පෙම්වතෙක් මුණගැසුණි. පෙම්වතා සූදු අන්තුවෙක් බව ඇයට අවබෝධ වන්නේ විවාහයෙන් කලක් ගෙවීගිය පසුවය. මේ බේබදු සූදුකාරයා කෙටි කාලයක් ඇතුළත තමා සතු සියලු ධනය විනාශ කරගත් අතර ආදායමක් ලෙස මාස්පතා කුලී මුදලක් ලැබෙන බෝඩිමද උකසට තබා තිබිණි. සින්න වීමට නියමිතව තිබූ බෝඩිම සහිත ඉඩම බොහෝ වෙහෙසක් දරා බේරා ගත්තා පමණක් නොව ඒ දේපළ ඇගේ නමට පවරා ගන්නට ඇය වගබලාගත්තාය. සැමියාගේ බූරු ගහන යාළුවන් ඉඳහිට බොඩින් කාමරයක පැවැත්වූ බූරුපොළේදී ලැබුණු බිම් කුලියට ‘තෝන්’ (තෝන් යනු බූරු ගැසීමේදී සංවිධායකයා විසින් ජයග්‍රාහකයාගෙන් අයකර ගන්නා කොමිස් මුදලයි) මුදලට පෙම් බැඳි ඈ අද වන විට යහමින් මුදල් හදල් ඇති තැනැත්තියකි. බෝඩිමේ නැවතී සිටින තරුණියන් ක්‍රමක්‍රමයෙන් සූදුවට හුරු පුරුදු කරගත් ඈ ඉන් දිනපතා විශාල මුදලක් උපයන්නට සමත් වූවාය.

මාසයක් පුරා වෙහෙසී උපයාගන්නා පඩිපත පැයකටත් වඩා අඩු කාලයකදී පරාද වෙන සමහර තරුණියන් ඊළඟ පඩි දිනය තෙක් ජීවත් වන්නට වෙනත් රැකියාවක උපකාරය පතයි. ඒ හේතුව නිසාම ලොව පැරණිම වෘත්තියේ යෙදෙන්නියන් මෙම ස්ථානයෙන් පහසුවෙන් සපයාගත හැකිය. මෙය කාන්තාවන්ගේ එක් සූදු පොළක් පමණි. ඇඟලුම් කර්මාන්තශාලා අසල පවත්නා මෙවැනි සූදු පොළවල් විවිධ තැන්වල ක්‍රියාත්මක වේ.

මේ බූරු පොළ පවත්වාගෙන යන කාන්තාව කෙටි කාලයකින් පොහොසත් තැනැත්තියක වන්නට ප්‍රධාන හේතුව තෝන් මුදල් සහ බිම්කුලිය එකතු කිරීම හැර කිසිම දිනක ඔට්ටු ඇල්ලීම නොකිරීමය.

තරු පහේ සූදුව

මුහුදු වෙරළට මායිම්ව පිහිටි සුවිසල් මැඳුරකි. ඊට අයත් වාහන නැවතුම්පොළ දිනපතා පිරීයන්නේ අතිනවීන අධික මිලැති වාහනවලිනි. දෙවන මහලේ පිහිටි වායුසමනය කළ විශාල කාමරයක් තුළ පවත්වාගෙන යන සූදු පොළට ඇතුළුවීමට රුපියල් ලක්ෂයක මුදලක් පෙන්විය යුතුය. කැසිනෝ ශාලාවක මෙන් විස්කි, බ්‍රැන්ඩි, සිගරැට් නොමිලේ ලැබෙයි. රුපියල් දහයේ සිට දහස දක්වා මුදල් නෝට්ටු භාවිත කිරීම මෙම ස්ථානය තුළ තහනම්ය. ඔට්ටු ඇල්ලීම සඳහා වලංගු වන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු පමණි. ලක්ෂ ගණනින් මුදල් පරාද වුවද පරාජය බාර ගැනීමට සූදානම් නොමැති උදවිය තමා සන්තකව ඇති රන් මාල බ්‍රේස්ලට් වැනි වටිනා ආභරණ මෙන්ම පැමිණි වාහනය පවා උකසට තබා නැවත සූදුවට එක්වෙති. ඒවා උකස් ගැනීම සඳහා වෙනම ස්ථානයක් ආයතනය තුළම පිහිටුවා තිබේ. වාහනය උකසට තබා ඒ මුදලද පරාජය වුවහොත් පරාජිතයා නිවසට ඇරලවීම සඳහා ප්‍රවාහන සේවාවක් ද සපයනු ලබයි.

මෙම සුපිරි සූදුපොළ තුළට පැමිණීමට පොලිසියටද තහනම්ය. ඊට හේතුව මෙම බූරුපොළ පවත්වාගෙන යන්නේ ජනප්‍රිය දේශපාලනඥයකුගේ පූර්ණ ආශීර්වාදය යටතේ වන බැවිනි.

පින්බිමේ සූදුව

මල් සුවඳ, තෙල් සුවඳ, හඳුන්කූරු සුවඳ වළක්වාලන්නට දොර ජනෙල් වසා දමා ඇති පින්බිමේ උඩ මහල සුරක්ෂිතය. එතැනට එන්නට යන්නට අවසර ඇත්තේ ශීලවන්ත මිත්‍රත්වයේ ජීවන රහස් රැක ගැනීමට හැකි ඇත්තන්ට පමණි. ස්කෝප්ප, කලාබර, හාරත, රුයිත, වංස හතරකින් සමන්විත පනස් දෙකක් කොළ අඩංගු කුට්ටම අගට මුලට බෙදීයයි. දනට පිනට පහළ වූ රුපියල් සත එතැන ඇත. මේ සූදු පොළට එන්නට පින් ඇති බොහෝ පිරිසක් මෙතැනට වැඩ සිටිති.

සූදු පොළක් අවසන් වන්නේ එක් අයෙකු හෝ දෙතුන් දෙනකු පමණක් ජයග්‍රහණය ලබා සෙසු සියල්ලන්ම තම තමන්ගේ සන්තකයේ තිබූ සෑම සතයක්ම පරාජය වීමෙන් පසුවය. අතේ ඇති සියලු මුදල් අවසන්වන තුරු ඔවුහු ජයග්‍රහණය ලුහුබඳිති. ජය පරාජය සොයා තම තමන්ගේ මුදල් සිය කැමැත්තෙන් ඔට්ටු අල්ලන්නට බූරුවා ගසන්නට නීතියෙන් තහනම්ය. බූරු ගැසුවත් ඒදෙස බලා සිටීමත් දඩුවම් ලැබියහැකි වරදකි. එසේ වරදකරුවෙක් වුවහොත් ගෙවිය යුතු උපරිම දඩය මුදලින් රුපියල් සීයකි. බූරු පිටියේ ඇති මුදල් රාජසන්තක වේ.

ජීවිත උකසට තබා සමහර වෘත්තිකයන්, පරිපාලකයන් සහ දේශපාලනකයන් සූදු කෙළින සමාජයේ මේවා පුදුම සිදුවීම් වන්නේත් නැත.

[සුදත් සමරවික්‍රම]

මාතෘකා