රිළවු පන්නන්න මිනිසුන් ගෝරිල්ලන් වූ ගල්කන්දේ ගෝරිල්ලා මෙහෙයුම

 ඡායාරූපය:

රිළවු පන්නන්න මිනිසුන් ගෝරිල්ලන් වූ ගල්කන්දේ ගෝරිල්ලා මෙහෙයුම

වර්තමානය වන විට රිළා උවදුර මුළු දිවයින පුරාම වසංගතයක් බවට පත්ව තිබේ. මේ හේතුව නිසාම ගොවියන් බොහෝ දෙනෙකු සිටින්නේ කරකියාගත හැකි දෙයක් නොහී තම ගොවිතැන් කටයුතුවලින් ඈත් වෙමිනි. රට තුළ වගා කරන භෝගවලින් සියයට 40ක් පමණ සතුන් විනාශ කර දමන බවට පසුගිය දිනෙක ජනාධිපතිවරයාද පවසා තිබුණේ මේ පිළිබඳ ගොවියන් විසින් කරන ලද දුක් අඳෝනා අසා, දැක විය හැකිය. කෙසේ වෙතත් ඇතැමුන් නම් තරයේම කියා සිටින්නේ මෙසේ වගාවන්ට හානි කරන සතුන් මරා දැමිය යුතු බවකි.

සත්‍ය තත්ත්වය කුමක් වුවද කවුරු කෙසේ කීවද වගාවන්ට හානි කරන රිළවා සහ වල් ඌරාගේ වර්ධනය නම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ සතුන් අතරිනුත් වැඩි වශයෙන්ම භෝගවලට හානි කරන්නේ රිළවුන් බව කාටත් නොරහසකි. මෙම රිළවුන් පළවා හැරීමට ඇතැමුන් වෙළෙඳපොළේ ඇති වායු තුවක්කු භාවිත කිරීමට පෙලඹී සිටියි. නමුත් එහිද ගැටලුවක් ඇත. වායු තුවක්කු මිලෙන් අධිකය. මෙය සෑම ගොවියකුටම තම ගැටලුව නිරාකරණය කර ගැනීමට යෝග්‍ය විසඳුමක් නොවේ. ඒනිසාම තවත් සමහරෙක් ‘මන්කි රන්’ නමින් රතිඤ්ඤා වර්ගයක් භාවිත කිරීමටද පෙළඹී සිටිති. එයද වෙළෙදපොළේ ඉතා මිලෙන් අධිකය. ඒ කෙසේ වෙතත් වායු තුවක්කු භාවිතයෙන් හා රතිඤ්ඤා පත්තු කිරීමෙන්ද දැන් දැන් රිළවුන් පළවා හැරීම අපහසු වී ඇති බවද වගාවන්හි නිරතව සිටින අය පවසති. ඒ තරමටම රිළවුන් ගොවීයන්ට හිසරදයක් වෙමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි.

මෙසේ තම වගාවන් විනාශ කරන රිළවුන් පන්නා දැමීමට නොහැකිව ගොවියන් මහත් අසරණභාවයට පත්ව සිටියි. මෙවැනි තත්ත්වයක් උදාවී ඇති අවස්ථාවක සියල්ල සම්පූර්ණයෙන්ම අත්හැර නොදැමූ දිරිමත් ගම්වැසියන් කිහිප දෙනකු තම ගම්මානවලින් රිළවුන් පළවා හැරීමට සරල උපක්‍රමයක් අත්හදා බලා තිබිණ.

එකී දිරිමත් ගොවියන්ගේ එකී උපක්‍රමය ක්‍රියාත්මක වන්නේ පුජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ගල්කන්ද ග්‍රාමයේදීය. මෙම ධෛර්යමතුන් කණ්ඩායම හය දෙනකුගෙන් යුක්තය. ඔවුන් මේ මෙහෙයුමට නම් දී ඇත්තේ ‘ගෝරිල්ලා මෙහෙයුම’ යැයි කියාය. මෙහෙයුම සරලය. තිරිසනුන් පැමිණ සියල්ල වනසා දැමීමට මත්තෙන් තම උත්සාහය ක්‍රියාත්මක බලන්නට තරම් ඔවුන් දක්ෂ විය. මෙම මෙහෙයුමේ නිරතව සිටින ගල්කන්ද, මොරන්කන්දේ පදිංචි සුනිල් ශාන්ත මහතා ගෝරිල්ලා මෙහෙයුම පිළිබදව අදහස් දකවමින් මෙසේ පැවැසීය.

“අපේ ගම්මාන සම්පුර්ණයෙන්ම රිළවුන්ගේ ග්‍රහණයට නතුවෙලා තිබුණේ. පොල්, පුවක්, සාදික්කා, අඹ, කොස්, කෙසෙල්, අලිපේර, ගස්ලබු වැනි ස්ථිර භෝග වගේම අනෙකුත් ගොඩ භෝග සියල්ලම උන් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මේකට විසඳුමක් විදියට කාලයක් තිස්සේ අපි රතිඤ්ඤා පත්තු කළා. කැටපෝල භාවිතා කළා. නමුත් ඒ එකකටවත් උන් බය වුණේ නැහැ. ඒ නිසා අපි හයදෙනෙක් එකතු වෙලා ගෝරිල්ලාගේ මුහුණට සමාන වෙස් මුහුණු මිලදී ගත්තා. ඒවා මුහුණට දමාගෙන රිළවු ළඟට ගියා. ඒත් උන් බය වුණේ නැහැ. ඊට පස්සේ අපි ගෝරිල්ලගේ ශරීරයට සමාන ඇදුම් ඇඳගත්තා. අපේ උත්සාහය ඒපාර අති සාර්ථක වුණා කියලා අපිට තේරුණා. මොකද ඒකට උන් බය වුණා. හැබැයි අපේ ශරිරයේ පොඩි කොටසක් හරි නිරාවරණය වෙලා තිබුණොත් උන් අපිට බය නැහැ. දැන් අපි රිළවු ඉන්න තැනකට ගියාම උන් පණ එපා කියල දුවනවා. අපිව දැක්කම උන්ට මළ මුත්‍රා පහ වෙනවා. ආයෙමත් පැත්ත පළාතකට එන්නේ නැහැ”

ඔහු සිය උත්සාහයේ සාර්ථකත්වය එසේ උද්දාමයෙන් යුතුව අප හා පැවසුවේය.

ගල්කන්ද රඹුකේවේල පදිංචි ගාමිණි කුලතුංග මහතාද මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළ තවකෙකි. ඔහු කීවේ මෙවන් කතාවකි.

“මේ කරදරකාරී රිළවු අපේ ගමේ වගාවන්ට හානි කරනවාට අමතරව ගෙවල්වලටත් රිංගනවා. ඒවා ඇතුළේ තියෙන සියලුම දේ විනාශ කරනවා. ගමේ ළමයින්ට පාසල් යන්නවත් බැහැ. ඒ වගේම ගැහැනු අයට පාරේ බැහැල යන්න බැහැ පස්සෙන් පන්නනවා. කිහිප දෙනෙක් හපා කාල රෝහල්ගත කරලත් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ගෝරිල්ලා මෙහෙයුම ක්‍රියාත්මක කළේ. අපේ කණ්ඩායමේ මාත් එක්ක හයදෙනෙක් ඉන්නවා. ඒ අය තමයි සුනිල් තිලකරත්න, සරත්චන්ද්‍ර, ඩී.එම්. මුතුබණ්ඩා ජයරත්න හා ප්‍රේමලාල් ගුණසේකර. අපි එදිනෙදා කුලියක් මලියක් කරල තමයි ජීවත් වෙන්නේ. නමුත් රිළවු ගම්වැදිල කියල ආරංචි වුණොත් අපි ඒවා අතහැරල දාල මේ වැඩේට එකතු වෙනවා. මේ ඇඳුමටත් රැපියල් දෙතුන් දාහක් වියදම් යනවා. අපි කියන්නේ මේක රටපුරා ගෙනියන්න. මේක රිළව් පන්නන්න ඉතා හොඳ විසඳුමක්. ඊට පස්සේ රිළවු ටික ඉස්සර වගේම වනාන්තරවලටම යාවි.”

ඔහු කීවේ බලාපොරොත්තු දල්වා ගත් දෑසින් හා දැඩි විශ්වාසයකින් යුක්තවය.

හාරිස්පත්තුව [විජයරුවන් හල්ඔලුව]

මාතෘකා