කරාටේ ලෝකයේ නම රැන්දූ අම්මයි පුතයි

 ඡායාරූපය:

කරාටේ ලෝකයේ නම රැන්දූ අම්මයි පුතයි

අම්මාගේ පුහුණුව බලා හිඳ පුතත් පුරුදු වෙලා

අම්මා 16න් කළු පටි පලඳිද්දී පුතා 7න් පලඳලා

මේ කියන්නට යන අම්මාත් පුංචි පුතාත් සාමාන්‍ය අම්මාවරුන් පුතුන් මෙන් පාසල් වැඩවලට, ටියුෂන් පන්තිවලට මුල්තැන දෙමින් මවු පුතු සබඳතාවයේ ආදරණීයත්වය බිඳකුදු පළුදු කර නොගත්තෝය. ඔවුන්ගේ ලෝකය වූයේ විභාග ඉලක්ක පිටුපස දුවමින් වෙහෙසෙනවාට වඩා තෘප්තිමත්වූ කරාටේ ක්‍රීඩාවය. නිලුපුලී සමරසිංහ නම් වූ මේ මවත් මයෝන් ජයවික්‍රම නම් වූ පුංචි පුතුත් කරාටේවලින් පදක්කම් පිට පදක්කම් දිනන්නට සමත් වූයේ සිය දක්ෂතාව සහ ආසාව හඳුනා ගනිමින් ඊට ඉඩහසර වෙන් කරන්නට තරම් බුද්ධිමත් වූ නිසාය.

මවගේ අතේ එල්ලී කරාටේ පන්තියට යන විට ඔහු වයස අවුරුදු හතරක දරුවෙකි. ඔහු මුලදී මෙම පන්තියට ගියේ කරාටේ පුහුණුව ලැබීමට නොවේ. මව පුහුණුවීම් කරද්දී මේ කුඩා දරුවා පසෙකට වී බලා සිටියේය.

දින කිහිපයකට පසු කිසිවකුගේ පෙලඹවීමකින් තොරව ශාලාවේ මුල්ලකට වී සිය මව අනුකරණය කරන මේ දරුවා කෙරෙහි කාගේත් අවධානය යොමු විය. කරාටේ පාසලේ ප්‍රධානියාද සිටියේ මේ දරුවා ගැන විමසිල්ලෙන්ය.

වයස අවුරුදු 7 ඉක්මවනතුරු කරාටේ පුහුණුව සඳහා බඳවා ගැනීමට නීත්‍යනුකූල අවසරයක් නොමැති නමුත් මේ දරුවාගේ දක්ෂතා හඳුනා ගත් ප්‍රධාන පුහුණුකරු ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත්තේ මේ කුඩා දරුවාට නිසි පුහුණුවක් ලබා දීම සඳහාය. දැන් අම්මයි පුතයි දෙදෙනාම කරාටේ ශූරයෝය.

"මගේ පුතා කළු පටිය ඇන්දේ වයස අවුරුදු හතේදි. ඒ වෙනකොට අපි දැනගෙන හිටියා අපේ ‘ශෝටෝකාන්’ සමාජයේ වයස අවුරුදු හතේ කිසිම කෙනෙක් ‘බ්ලැක් බෙල්ට්’ එක අරගෙන නැහැ කියලා. එයා පළමුවැනි වතාවෙන්ම පරීක්ෂණයෙන් සමත් වුණා." කරාටේ ශූරියක් වූ නිලුපුලී සමරසිංහ සිය පුතණුවන්ගේ හපන්කම් පැහැදිලි කළාය.

මේ වන විට අට හැවිරිදි මයෝන් ජයවික්‍රම බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම මව සටන් කලාව පුහුණු වන ආකාරය දැකීම තුළින් තමන්ටද ඒ පිළිබඳව දැඩි ආශාවක් ඇතිවූ බවය.

අනාගතයේදී වෛද්‍යවරයකු වීම තම ඉලක්කය වුවත් ඒ අතරතුර කරාටේ උපදේශකයකු ලෙස කටයුතු කිරීම තම අභිප්‍රාය බව මයෝන් පවසයි. පුතණුවන් මවගේ අඩි පාරේ ගියා විය හැක. නමුත් මව සටන් කලාව හදාරන්නට පෙලඹුණේ කුමන හේතුවක් අරබයාද? ඒ වන විට ඇය දොළොස් හැවිරිදි පාසල් දැරියක වූවාය. "පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රීඩාවට හරිම ආසයි. දවසක් ඉස්කෝලෙදි ඇහුවා කරාටේ පන්තියක් පටන් ගන්නවා, කවුද කරන්න කැමති කියල. මම තමයි මුලින්ම අත ඉස්සුවේ. අප්පච්චිට ගිහින් කිව්වම එයත් කැමති වුණා. ‘කරාටේ කිට්’ එකකුත් මහල දුන්නා. අප්පච්චි තමයි උදවු කළේ."

කරාටේ ක්‍රීඩාවට එළැඹුණු ආකාරය නිලුපුලී එසේ සිහිපත් කළාය. එවකට ඇය අකුරු කළේ මාතලේ සංඝමිත්තා විදුහලේය. පාසල් අතර පැවති තරගවලින් නොනැවතී තමන් පළාත් සහ සමස්ත ලංකා තරගාවලි සඳහාද සහභාගි වූ බව ඇය සිහිපත් කළාය. කැපවීමෙන් ලද පුහුණුව නිසා වයස අවුරුදු 16 පමණ වන විට කරාටේ කළු පටිය පැලඳීමට තමන්ට හැකිවූ බවත් අනතුරුව විශේෂ පුහුණුවක් සඳහා ජපානයට යෑමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක් වූ බවත් නිලුපුලී පැවසුවාය. විවාහයෙන් පසු බ්‍රිතාන්‍යයට පැමිණි ඇය නැවතත් කරාටේ ක්‍රීඩාවට යොමු වූවාය.

බ්‍රිතාන්‍යයේදී පුහුණුවීම් නිම කිරීමෙන් අනතුරුව නැවතත් කළු පටිය පැලඳීම සඳහා වූ පරීක්ෂණයෙන්ද ඇය සමත්වූවාය. "මගේ ස්වාමිපුරුෂයා සංජය තමයි මාව ධෛර්යමත් කරන්නේ. සෙවණැල්ල වගේ මගේ ළඟ ඉඳන් මටයි පුතාටයි පුදුම සහයෝගයක් දෙන්නේ. සංජයගේ පිහිට නොතිබුණා නම් මටවත් පුතාටවත් මේ තත්ත්වයට එන්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ. එයත් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. සංජය වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාව. හැම සම්මානයක්ම, හැම ගෞරවයක්ම ඇත්තටම එයාටයි අයිති වෙන්න ඕන." නිලුපුලී තම දක්ෂතා පිළිබඳව කතා කිරීමට පෙර සිය සැමියා සිහිපත් කරන්නටද අමතක නොකළාය.

බ්‍රිතාන්‍යයේ පැවති විවෘත ශූරතා තරගාවලි කිහිපයකටම සහභාගි වී පදක්කම් සහ ශූරතා දිනා ගත් ආකාරය ඇය අපට විස්තර කළේ මෙසේය.

“2006දී මම එංගලන්ත විවෘත ශූරතා තරගාවලියට සහභාගි වුණා. ඒකෙන් මම රිදී පදක්කමක් දිනා ගත්තා. 2007දීත් ඒ තරගාවලියෙන් රිදී පදක්කමක් දිනුවා. 2015දී එංගලන්තයේ කරාටේ ශුරතා තරගාවලියේදී මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනා ගත්තා.” සිය දක්ෂතා පිළිබඳව අප හා දොඩමලු වූයේ ඉතා සතුටිනි. කෙසේ නමුත් ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ තම පුත්‍රයාගේ හපන්කම් පිළිබඳව කතාබහ කිරීමටය.

"මගේ පුතා මුලින්ම පදක්කමක් දිනා ගන්නකොට එයාට වයස අවුරුදු පහයි. බ්‍රිතාන්‍යයේ උතුරු කලාපයීය ශෝටෝකාන් විවෘත තරගාවලියේ වයස අවුරුදු දහයෙන් පහළ කණ්ඩායමට තමයි එයාට තරග කරන්න සිද්ධ වුණේ. එයා තමයි පොඩිම එක්කෙනා. ඒත් එයා ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ගිය අවුරුද්දේ තිබුණු 'Q ග්‍රේඩ්' ජාතික ශුරතා තරගාවලියේ වයස දහයෙන් පහළ තරග දෙකකින්ම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඊට අමතරව හොඳම අචාර රීති සහ හොඳම ආකල්ප සහිත තරගකරුට හිමි වන ශූරතාවත් ලැබුණේ මගේ පුතාට. පොඩි ළමයකුට එය පිරිනැමුණු පළමු අවස්ථාව තමයි ඒ." පසුගිය වසරේ ශෝටෝකාන් ජාතික ශුරතා තරගාවලියේදී වයස අවුරුදු දහයෙන් පහළ ශූරයා බවට පත්වීම තම පුතු මයෝන් ජයවික්‍රම පැලඳි ඉහළම කිරුළ බව නිලුපුලී පවසන්නීය. මේ වන විට තමන් කරාටේ උපදේශකවරියක ලෙස කටයුතු කරන බවත් 2017 වසරේදී ඒ සඳහා පැවති පරීක්ෂණයෙන් සමත්වී අවසරය ලබා ගත් බවත් නිලුපුලී පැවසුවාය.

"අපි ගෑනු නිසා අපිට බෑ කියල කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. උත්සාහ කළොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සටන් කලාවක් හදාරන එක කාන්තාවන්ට ඉතා වැදගත් වෙනවා. එහෙම වුණොත් කාන්තා හිංසනයකට ගොදුරු වෙද්දී එයින් මිදෙන්න තමන්ට ශක්තියක් තියෙනවා." නිලුපුලී සමරසිංහ අවධාරණය කරන්නීය.

බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි

මාතෘකා