විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය

 ඡායාරූපය:

විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය

ඩ්‍රේක් සමීකරණය යනු අපි ජීවත් වෙන විශ්වයේ, අපි මේ ඉන්නා මන්දාකිණියේ (ගැලැක්සිය) හෙවත් "මිල්කිවේ" (ක්ෂීරපථය) නමින් අප හඳුන්වන සර්පිලාකාරය මන්දාකිණියේ වෙනත් ග්‍රහලෝක සමඟ "සන්නිවේදනය කළ හැකි" එහෙමත් නැත්නම් වෙනත් ග්‍රහලෝකවල ජීවය සමග "සබඳතා පවත්වා ගත හැකි" මට්ටමට දියුණු වෙච්ච ජීවය සහිත ශිෂ්ඨාචාර තියෙන ග්‍රහලෝක කීයක් තියෙනවාද යන්න අනුමාන කිරීම සඳහා සකස් කරපු සමීකරණයක්. ඒ ග්‍රහලෝකවල තිබෙන ශිෂ්ටාචාර මේ පෘථිවියේ ඉන්න අපි එක්කම සබඳතා තියාගන්න එකට විතරක් නෙමෙයි මේක සීමා වෙන්නෙ. ඔවුනොවුන් අතරෙ වුණත් සබඳතා තියාගන්නවා වෙන්න පුළුවන්. වෙනත් ග්‍රහලොවක සිටින ජීවීන් සමග සන්නිවේදනය කිරීම තමයි මෙතනදි අදාළ වෙන්නේ.

අහම්බය

විද්‍යාත්මක චින්තනයේ ප්‍රධාන ගුරුකුළයක් වන "අනුභූතිවාදි" (Empiricism) ගුරු කුලය ඇසුරු කරගෙන තමන්ගෙ චින්තනය සකස් කරගත්තු විද්‍යාඥයන්, මේ මහ පොළවේ ජීවය හට ගැනීම, එහි සම්භවය ගැන කරන පැහැදිලි කිරීම අනුව නම් -

"අප දන්නා පරිදි ජීවය පෘථිවියේ පිහිටන්න අවශ්‍ය සියලුම සාධක මේ පෘථිවි ග්‍රහයා මත එකට එකතු වීම නිසා තමයි මේ ජීවය හටගෙන තියෙන්නේ.... ඒ කියන්නෙ අහම්බයකින්, “ජීවය” ලෙස අප අර්ථ නිරූපණය කර ගන්නා ජීවය හටගන්න අවශ්‍ය කරන සියලුම දේවල්වලට, මෙන්න මේ ග්‍රහලෝකය ඇසුරේ එකට එකතු වෙන්න ලැබිලා තියෙනවා..... ඉතින් මුලින් තත්ත්ව ප්‍රතිචාර දක්වන සරල ඒක සෛලිකයන්ගේ ඉඳලා, අද ඔබ අපි දකින අතිශය සංකීර්ණ ජෛව ගෝලය දක්වා ආපු ඒ ගමන එන්න පුළුවන් වුණා....

නමුත් මේ මතයට දෙවියන් (ඒක දේවවාදික ආගම්වල එන දෙවියන්, බහුදේවවාදික ආගම්වල එන දෙවියන්) හෝ වෙනත් බුද්ධි ජීවියකුගේ බලපෑම යටතේ මේ ජීවය නිර්මාණය වුණා කියලා විශ්වාස කරන පිරිස් තරයේ විරුද්ධ වුණා..... ඒ අය මේ හුදු අහම්බය සිදුවීමේ සම්භාවිතාවය ගිණිය නොහැකි තරම් කුඩා බව කියන්න පටන් ගත්තා...

මහ පොළවේ ජීවය හෝ මේ මන්දාකිණියේ මේ මුළු මහත් විශ්වයේ වෙනත් ඕනෑම තැනක සංකීර්ණ ජීවයක් විකසනය වීම, සරල ජීවයකින් සංකීර්ණ ජීවී ස්වරූපයක් පරිණාමය වීම කිසිදු ආකාරයක බාහිර "බුද්ධිමය සැලැස්මකින්" (ඉන්ටෙලිජන්ට් ඩිසයින්) තොරව සිදුවන්නට කොහෙත්ම හැකියාවක් නෑ කියන එකයි දේවවාදී ආගම් අදහන අයගේ මතය... ඒ කියන්නෙ දෙවියන් වහන්සේ, දෙවි කෙනකු හෝ දෙවිවරු පිරිසක් එකතුවෙලා මේ සියල්ල කලින් සැලසුම් කරලා උන්වහන්සේගේ හෝ ඔවුන් වහන්සේලාගේ මැදිහත් වීමකින් පෘථිවිය ඇතුළු ග්‍රහලෝක මත ජීවය බිහි කළා කියන එකයි ඒ අය කියන්නෙ...

අපේ ජෛවගෝලය කොතරම් සංකීර්ණද බලන්න... මේ සියලු සතුන්ගේ ශරීර අවයව අතර අන්තර සබඳතා, ජීවීන් අතර අන්තර් සබඳතා, ආහාර ජාල, ආහාර දාම, පරිසරය සමඟ දක්වන සම්බන්ධතා, එකම ජීවී විශේෂයේ සහ ජීවී විශේෂ අතර අන්තර් සබඳතා.... නේද?.... මේවා ඉතාම සියුම්.... ඉතාම සංකීර්ණයි......

අපේ ඉන්ද්‍රියගෝචර පරාසයනුත් ඔබ්බේ හිඳිමින් සියල්ල සැලසුම් කර, බිහි කර, පාලනය කරන ජීවියකුගේ හෝ ජීවීන්ගේ (දෙවියන් වහන්සේ, දෙවිවරු) මැදිහත් වීමකින් තොරව මේ තරම් සංකීර්ණ ජීවයක් බිහිවීම පිළිගත නොහැකි බව කිව්වෙ පූජකවරුන් විතරක් නෙවෙයි... මේ කථාවම කියපු විද්‍යාඥයන්ගේ ගුරුකුළ පවා තිබෙනවා... ඒ අය කිසිදු නිර්මාතෘ බුද්ධි ජීවියකුගේ මැදිහත්වීමෙන් තොරව සියයට සියයක "අහම්බයක්, අහුඹුවක්" ලෙස මේ වගේ සංකීර්ණ ජීවයක් මහ පොළවේ හට ගන්න තියෙන සම්භාවිතාව සමාන කරන්නෙ "මුද්‍රණාලයක බෝම්බයක් පිපිරිලා, ඒ පිපිරීම නිසා විසිවෙන තීන්ත, අකුරු අච්චු සහ කඩදාසි එකට එක ගොඩේ වැටීම නිසා ෂේක්ස්පියර්ගේ "හැම්ලට්" නාටකය සහිත පොතක් බිහිවීමට තියෙන සම්භාවිතට...

සම්භාවිතාව

දැන් ඔය ඉහත දේවවාදීන් කියන කථාව බැලූ බැල්මට හරි වගේ නේද?..... එක මුද්‍රණාලයක බෝම්බයක් පිපිරුණොත්, ඒ පිපිරිලා, ඒ තියෙන අඩුම කුඩුම, යන්ත්‍ර සූත්‍ර විසි වෙද්දි, ඒවා කවලම් වෙලා ෂේක්ස්පියර්ගේ හැම්ලට් මුද්‍රණය වෙලා වැටෙන්න තියෙන ඉඩකඩ මාර විදියට අඩුයි... ඒ සම්භාවිතාවය ගිණිය නොහැකි තරම් කුඩායි..... ඒක හරි....

ඒ වුණත් මෙන්න මේකයි වැදගත්ම දේ..... එසේ විය හැකි සම්භාවිතාවය ගිණිය නොහැකි තරම් ඉතාම කුඩා වුණත් ඒකෙන් කියන්නෙ නෑ, ඒ සම්භාවිතාව "බිංදුවට" සමානයි කියලා..... වෙනත් වචනවලින් කියනවා නම් "කිසිසේත්ම සිදුවිය නොහැකියි" කියලා කීයටවත් ඒකෙන් කියවෙන්නෙ නෑ...

අඩුම ගානේ 0.0000000000000000000000000000000000000000000000000011 වගේ අතිශය සුළු සම්භාවිතාවක් හෝ තියෙනවා මේ කියන දේ වෙන්න පුළුවන් නේද? වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි කියනවා මිසක්, නොවෙනවා කියල නම් කියන්න බෑ. අහුඹුවේ සම්භාවිතාවය කියන ගණිතමය ප්‍රකාශයේ හැටි එහෙමයි......

අපි ඔන්න ඔතනින් මේ ඉදිරියට කියන දේ බලමු.

ඔය එක ග්‍රහලෝකයකට නේ.... නෙහ්....?

අපි මේ ඉන්න මන්දාකිණිය වෙච්ච ක්ෂීරපථය නම් වූ අතිශය සාමාන්‍ය සර්පිල මන්දාකිණියේ උපරිම වශයෙන් තාරකා "බිලියන 400ක් පමණ තියෙනවා... ඒ කියන්නෙ බිලියන හාරසියයක් තරු තියෙනවා...

ඒ ගාණ මේ වගේ ==== 400,000,000,000

එතකොට ඔය තාරකාවලින් අවම වශයෙන් සියට දොළහකටවත්, ඒවා වටා පරිබ්‍රමණය වන ග්‍රහලෝක තිබෙන බව "සිලියන් ප්‍රොජෙක්ට්" නමින් "සේටි" නම් ආයතනය මඟින් කරපු ව්‍යාපෘතියේ ගණනය කිරීම්වලින් සොයාගෙන තියෙනවා.... ඒ අනුව අවම වශයෙන් එක් තරුවකට ග්‍රහලෝක හතරක්, පහක් වගේ දැම්මොත්, සමස්තයක් ලෙස ග්‍රහලෝක බිලියන 150ක් පමණ මේ වගේ මන්දාකිණියක ඇති......නේද?.... 150,000,000,000

ඔය එක ගැලැක්සියකනෙ..... අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ "මන්දාකිණි"..... නැවතත් කියනවා.... ගැලැක්සි ට්‍රිලියන දෙකක් පමණ දැනට හමුවී තිබෙනවා..... ඒ ගාණ මේ වගේ..... = 2,000,000,000,000

එතකොට ඔය ගැලැක්සි ගාණ, ඒ එක් එක් ගැලැක්සියේ දෘෂ්‍ය අරය, එහි චලන පරාසය, ස්කන්ධය වගේ සාධකවල ව්‍යුත්පන්නයක් ලෙස ගත්තොත්, සමස්තයක් ලෙස අපට දකින්න පුළුවන් විශ්වයේ තාරකා "උන්ඩෙසිලියොන් දොළහක්" වගේ තියෙනවා. ඒ කියන්නෙ 12 x 10^36 තරු සංඛ්‍යාවක්...

ඔය තරු වටා ග්‍රහලෝක හට ගැනීමේ සම්භාවිතාව ගණනය කරන ඒ ඒ තරුවල වර්ණාවලිවල ඩොප්ලර් ආචරණය සහ ඒවායින් උකහා ගන්නා ඒ තරුවල ස්කන්ධය සහ ඒ තරු බිහිවීමේදී ඝණීභූත වූ විශ්ව වලාවන්ගේ ඉතිරිය සම්බන්ධ කර ව්‍යුත්පන්න කර ගන්නා "කොලෝකියම්" (කොලෝසියම් නෙමෙ!) ගණනය කිරීම්වලින් අපිට දැනට දැන ගන්න ලැබෙන්නේ ඒ තරු වටේ ග්‍රහලෝක ක්වින්ටිලියොන් පනහක්වත් ඇති කියලා .... ඒ කියන්නෙ 50 x 10^30 තරම් ග්‍රහලෝක

මතක තියාගන්න... හැම තරුවක් වටේම ග්‍රහලෝක නෑ... හුදෙකලා තරු මේ විශ්වයේ වැඩිපුරම තියෙන්නෙ.... ඒකයි ග්‍රහලෝක ගණන තරුවල ගණනට වඩා අඩුවෙන්න පුලුවන්...

එතකොට මේ තරු වටේ තියෙන හැම ග්‍රහලෝකයකම ජීවය අප දන්නා පරිදි හටගන්න විදියක් නෑ... ජීවය ග්‍රහලෝකයක හටගන්න අවශ්‍ය ප්‍රථම මෙන්ම වැදගත්ම සාධකය තමයි ඒ ග්‍රහලෝකය, එයාගේ හිරුගේ සිට ජීවය පිහිටන්න අවශ්‍ය ප්‍රශස්ථ දුරකින් හෙවත් හොඳම දුරකින් පිහිටා තිබීම.... අන්න ඒ තරුවක නියම ප්‍රශස්ථ දුරින් ග්‍රහලෝක පිහිටන කලාපයට අපි කියනවා තරුවක "ගෝල්ඩිලොක්ස් කලාපය" කියලා... ජීවය අප දන්නා පරිදි පිහිටන්න පුළුවන් තරුවක අන්න ඒ කලාපයේ පිහිටන ග්‍රහලෝකවල තමයි....

ගෝල්ඩිලොක්ස් කලාපය

ග්‍රහලෝකයට "හැබිටබල් සෝන්" හෙවත් "ගෝලිඩිලොක්ස් සෝන්" හෙවත් "Circumstellar Habitable Zone" ගණනය කරන්නෙ කොහොමද?..

තාරකාවක දෘෂ්‍ය දීප්තිය සහ දෘෂ්‍ය දීප්ති පරාසය (Visible Magnitude) කියන එක තමයි අපි නිරීක්ෂණයන් ඔස්සේ පළමුව ගෝචරකර ගන්නා කියැවීම... එම කියැවීමෙන් අප ව්‍යුත්පන්න කරගන්නා දෙය වනුයේ එම තාරකාව විමෝචනය කරන දෘෂ්‍ය ශක්ති ප්‍රමාණයයි.....

දැන් මේ දත්ත යොදාගෙන (දත්ත කියන්නේ ඒවා වසර ගණනාවක් තිස්සේ කියැවීම් මිලියන ගණනක් ලෙස ලබාගන්නා නිසා) අපි එම තාරකාවේ සත්‍ය දීප්තතාව (Absolute Magnitude) සහ එමඟින් විමෝචනය කරනු ලබන සත්‍ය ශක්ති පරිමාව පහත ආකාරයට ගණනය කරනවා....

Mv = mv - 5 log( d/10 )

Mv = Absolute Magnitude of a Star

mv = apparent magnitude of a star

d = spatial distance between the star in concern and Earth

මීළඟට අපි ඒ ලැබෙන අගයෙන් එම තරුවේ Bolometric Magnitude එක ගණනය කරනවා.... ඒ කියන්නෙ මේකයි.... අපි මෙතෙක් කරන ලද ශක්ති ගණනය කිරීම්වලට අදාළ කරගත්තු දත්ත යම් තරුවක "දෘෂ්‍ය වර්ණාවලියේ සංඛ්‍යාත පරාසය තුළ" සම්ප්‍රේෂණය කරනු ලබන දීප්තතාවෙහි ශක්තිය.... (ඒකනෙ ඉතින් දුරේක්ෂයකට ගෝචර). දැන් අපි එම අගයෙන් එකී තරුව සියළුම සංඛ්‍යාත පරාසයන්වල, සියලු ආකාරයෙන් විමෝචනය කරනු ලබන ආලෝකය සහ සම්ප්‍රේෂණය කරනු ලබන ශක්තිය සොයා ගන්න යන්නෙ.... ඒක මෙහෙම,

M (bolometric) = MV (Visible Magnitude) + BC (Bolometric correction constant)

මේ බොලෝමෙට්‍රික් නියතයට අදාළ වගුවක් තිබෙනවා.... එයින් ගැළපෙන පරිදි අදාළ ආලෝක විමෝචනය අයත් වන ඛාණ්ඩය අනුව ඔබට නියත අගය ලබාගන්න පුළුවන්...

මීළඟට අපි කරන්නේ අපේ තරුවට හෙවත් හිරුට සාපේක්ෂව, අදාළ තාරකාවේ දීප්තතාවය මනින එක.... අපේ හිරුගේ දීප්තතාව පිළිබඳව වඩා විශ්ලේෂණාත්මක දත්ත සහ තොරතුරු අපි සතුව තිබෙනවා.... ඒ නිසා ඒ තොරතුරු සමඟ ගොඩනඟන ගණිතමය සම්බන්ධයකින් තමයි අපි ඒ අනෙක් තාරකාවෝ ගැන නිරවද්‍යයට ආසන්න තොරතුරු උපකල්පනය කරගන්නෙ....

L ( Observable Star ) / L ( Sol 1 / Sun ) = 10 ^ [ M bolometric Magnitude of Observed star - M Bolometric Magnitude of the Sun / - 2.5 ]

මෙතන -2.5 කියන්නෙ තාරකා අතර දීප්තතාවයේ සබඳතා නියතය....මේකට තමයි "පොග්සන් රේෂියෝ" කියන්නෙ.... මේක ව්‍යුත්පන්න කළේ නෝමන් පොග්සන් කියන ඉංග්‍රීසි ජාතික විද්වතා...

මීළඟට අපට පුළුවන් මේ අගයන් යොදාගෙන අදාළ තරුවේ "හැබිටබල් සෝන්" එක හෙවත් "ගෝල්ඩිලොක්ස් පරාසයේ" අභ්‍යන්තර සීමාවේ අරය (අදාළ තරුවේ සිට අඳිනු ලබන වෘත්තයක ගෝල්ඩිලොක්ස් සෝන් එක ආරම්භ වන අරය හෙවත් තරුවේ සිට එම ආරම්භයට ඇති දුර) සහ බාහිර සීමා අරය (එම ගෝල්ඩිලොක්ස් පරාසය අවසන් වන අරය - තරුවේ සිට එම අවසනයට ඇති දුර) මනින්න... ඒක කරන්නෙ ගණනය කිරීම් දෙකක් හැටියට.....

r ( inner ) = √ Lstar observed / 1.1

r ( outer) = √ Lstar observed/ 0.53

මෙහිදී 1.1 සහ 0.53 කියන්නෙ තාරකාවක ගෝල්ඩිලොක්ස් පරාසයේ අභ්‍යන්තර ශක්ති විමෝචනය සහ බාහිර ශක්ති විමෝචනය සමග බැඳුණු නියති දෙකක්... දැන් ඔන්න ගණන හරි....

එතකොට අපි යම්කිසි නව තාරකාවක් දුරේක්ෂ මඟින් සොයා ගත්තාට පසුව එම තාරකාව පිළිබඳව මේ වගේ ගණනය කිරීමක් කරලා එම තාරකාවේ සිට අන්න ඒ පරාසයට එන ප්‍රදේශය නිරීක්ෂණයෙන් තමයි මේ ජීවය පවත්වා ගැනීමට සුදුසු ග්‍රහලෝක සොයාගන්නෙ.... මෙම සුවිශේෂී පරාසයට ගෝල්ඩිලොක්ස් පරාසය කියන නම වැටුණෙ කොහොමද? ඒකත් ලස්සන කථාවක්....

ඔබ පුංචි කාලෙදි අහල ඇතිනෙ "ගෝල්ඩිලොක්ස්" කියලා රත්තරං පාට කෙස් කැරළි සහිත පුංචි ගෑණු ළමයෙක් වළස්සු තිදෙනෙක් සිටින නිවසකට ගියපු කථාව? අන්න ඒ කථාවෙ ඒ පුංචි ගෑණු ළමයා වලස් නිවසේදී -

- තමන්ට හරියටම හරියන සයිස් එකේ පුටුව හොයාගෙන ඉඳගත්තා

- තමන්ට හරියටම හරියන සයිස් එකේ පිඟානකින්

- තමන්ට හරියටම හරියන සයිස් එකේ හැන්දකින් සුප් බිව්වා

- ඊට පස්සෙ තමන්ට හරියටම හරියන ඇඳක නිදාගත්තා

අන්න ඒ වගේ යම් කිසි තාරකාවකින් සම්ප්‍රේෂණය වන ආලෝකයේ තීව්‍රතාව, ඝණත්වය සහ ශක්තිය "ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍යතා (මෙහිදී ජීවය කියන්නෙ අප මේ ග්‍රහලෝකයේ මට්ටමෙන් දන්නා ජීවය සහ එය පවත්වා ගැනීම අත්‍යවශ්‍යතා) හටගැනීම සඳහා අතිශය සුදුසු හෙවත් හරියටම හරියන ආකාරයට ලැබෙන දුර ප්‍රමාණයට" අපි කියනවා එම තරුවේ "ගෝල්ඩිලොක්ස් සෝන්" කියලා.....මෙන්න මේක හඳුන්වන නම තමයි "ගෝල්ඩිලොක්ස් එනිග්මා" කියන්නෙ.....

ඔන්න දැන් අපි ආපහු සම්භාවිතාව කියන දේට එනවා......

තනි ග්‍රහලෝකයක ජීවය ඉබේ හටගන්න තියෙන සම්භාවිතාවය දේවවාදීන් එහෙම කියන විදියට අච්චර පොඩි එකක් වෙන්න පුළුවන්..... ඒත් අච්චර යෝධ ගැලැක්සි ගණනක, අච්චර යෝධ තාරකා ගණනක, අච්චර යෝධ ගෝල්ඩිලොක්ස් කලාප ගණනක තියෙන අච්චර යෝධ ග්‍රහලෝක ගණනක් සම්භාවිතාවයේ සිද්ධි නිදර්ශන ලෙස එනකොට අර සුළු සම්භාවිතාවය වුණත් මේ නම්බර් ඔෆ් ඉන්ස්ටන්සස් හෙවත් අවස්ථා නිදර්ශන ගණනින් වැඩිවෙලා ප්‍රබල සම්භාවිතාවක් වෙනවා.....

තනි මුද්‍රණාලයක බෝම්බයක් පුපුරලා, ඒකෙන් "හැම්ලට්" හැදෙන්න තියෙන සම්භාවිතාව අර තරම් කුඩා එකක් වුණත්, ඒ සම්භාවිතාව මුද්‍රණාල ක්වින්ටිලියොනයක, බෝම්බ ක්වින්ටිලියොනයක් පුපුරන අවස්ථාවක් ලෙස සැලකුවොත්, අන්න එවිට හැම්ලට් බර ගණනක් මුද්‍රණය වෙලා විසිවෙන්න තියෙන සම්භාවිතාවයත් ඉතාම ඉහළට යනවා...

හරියට අපි ඈතින් තියෙන ගහකට එක ගලක් ගැහුවොත්, ඒක ගහේ වදින්න තියෙන සම්භාවිතාව කුඩා එකක් වෙද්දි ගල් පනහක විතර අහුරක් එකටම දමලා ගැහුවොත්, එකක් හෝ වදින්න තියෙන ඉඩ වැඩි වෙනවා වගේ... මේ අපි ජීවත් වෙන විශ්වය කියන්නෙ එක් පිපිරීමකින් ගල් "විජින්ටිලියොනයක්" විතර එකපාර දමලා ගහපු අවස්ථාවක් තමයි හොඳේ...

ඉතිරි කොටස ලබන සතියට...

මාතෘකා