වේදිකාවේ කෙළවරක

 ඡායාරූපය:

වේදිකාවේ කෙළවරක

නාට්‍ය පුහුණුවීම් අවසන්ව කිත්සිරි නගරය දෙසට එමින් සිටියේය. හැන්දෑව එළඹෙමින් තිබුණද මහනුවර පරිසරය අතිශයින්ම කාර්යබහුලය. ගුඩ්ෂෙඩ් බස් නැවතුම අසලදී පාර මාරු වන විට ඔහුට යමෙක් කතා කරනු ඇසිණ. ඔහු හැරී බැලුවේය. බොහෝ හුරු පුරුදු දෑසක් බලාපොරොත්තු සහගතව තමන් දෙස බලා සිටී.

“ඔයා.. ඔයා උඩගෙදර නේද? කිත්සිරි උඩගෙදර!?”

කිත්සිරි බලා සිටියාය. වයස අවුරුදු තුනක පමණ දැරියක්ද වඩගෙන ඇය ඔහු හා හුරතල් වීමට සූදානමින්ය.

“ඇයි මාව අමතකද කිත්සිරි?”

උසස්පෙළ යුගයේදී සියලඟම වෙළාලූ ප්‍රේමණීය සුවඳ කිත්සිරිට යළි දැනෙයි. ඔව් මේ ඇයම තමා. වසර පහළොවකට පමණ පෙර තම විජිතයේ සිහින කුමාරිය.

“තාරුකා..! කොච්චර කාලෙකින්ද දැක්කේ?”

නුවරට ආවේණික සිරිපොද වැස්ස මතක වැස්සක් විදියට කඩන් වැටෙනවා.

“අපි අර හෙවණට යමු. පැටියත් තෙමෙනවා.”

“ඔයා ඉස්සර වගේමයි, සේෆ්ටි ෆස්ට්.” තාරුකා එහෙම කිව්වේ බස් නැවතුමේ පරණ ඇස්බැස්ටෝස් වහල යටට ඇතුළ් වෙන ගමන්. අතේ තියෙන ලේන්සුවෙන් ඇය දැරියගේ හිස පිසිනවා. ඒ ඇස්වල ආදරය උතුරනවා වගේ කිත්සිරිට දැනෙනවා. වැස්සේ තෙමීගෙන ආපු අවුරුදු දහඅටේ, විස්සෙ විතර යුවළක් බස්නැවතුමේ හෙවණ යටට ගුළි වුණා.

“ඒ කාලේ සෙනසුරාදා හවසට කීර්ති සර්ගේ පිසික්ස් ක්ලාස් ඉවර වෙලා අපිත් ඔය වගේ දුවගෙන එනවා. ”

“ඔව් මටත් මතක් වුණා කිත්සිරි. අර.. ඉස්සර අපි වගේ.”

පෙම්වතාගේ මුහුණෙ තියෙන වතුර බිංදු පිහින පෙම්වතිය පෙන්වමින් තාරුකා කියනවා. කිත්සිරි සුසුමක් හෙළුවා.

“අහන්නත් බැරි වුණා ඔයා නුවර නෙවි නේද දැන් ඉන්නේ කිත්සිරි!? ”

“නෑ. අපි ඩ්‍රාමා එකක් කරනවා. මේ සතියේ ප්‍රැක්ටිස් නුවර කරන්නේ.”

“ඔයා.. තාම රඟපානවද කිත්සිරි.!”

කිත්සිරිට දැණුනෙ තමන්ට එල්ල කළ ඇනුම්පදයක් විදියට.

ඔව්. අපි හැමෝම හැම වෙලේම රඟපානවා. තාරුකා ඉදිරියේ වචනයෙන් පිට නොකළට කිත්සිරි එහෙම හිතුවා.

 

[කමල් නෙත්මිණි]


නිවන ගැන සිහිනයක් දකින්න එන්න

 

මෑතකදී මෙල්බර්න්වාසී ලාංකේය ප්‍රජාව අතිඋත්කර්ෂවත් ලෙස ශ්‍රී ලංකාවේ සිට එහි පැමිණි සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ පිළිගනු ලැබූවා. සමාජමාධ්‍ය තුළ මිශ්‍ර ප්‍රතිචාර ඒ සම්බන්ධව දැකගත හැකිවූවා. උන් වහන්සේ ගැන විග්‍රහයකට ඉක්මන් නොවී මේ ලොව පුරා කිසියම් උමතුවක් ලෙස පැතිර යන සතුට සෙවීම යන කාරණාව ගැන සලකා බැලිය යුතුම වෙනවා. මිනිස් දිවියේ අරුත දර්ශනවාදයේ පදනමද වෙන බැවින් මේ සංකල්පය දර්ශනවාදය තරමටම පැරණියි.

සද්ගුරු, සමන්තබද්‍ර වැනි ආධ්‍යාත්මික නව දේශකයන්ට බොහෝ දෙනෙක් සවන් දෙන බව දැකගත හැකියි. විශේෂයෙන්ම විගමිකයන් අතරේ මේ උනන්දුව සිත්ගන්නාසුලුයි. සමන්තබද්‍ර හිමියන් වගෙම සද්ගුරුත් එක්සත් ජනපදය වගේම ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල සිය සංචාර සිදු කරනවා. සද්ගුරු ඉදිරිපත් කරන වීගනිසම් නැතහොත් නිර්මාංසවාදය බටහිර බොහෝ ආදරයෙන් වැලඳගන්නවා.

සතුට සෙවීම, මිනිස් දිවියේ අරුත සෙවීම යුග යුග තිස්සේ අපමණ වෙනස් කියවීම්වලට භාජන වී තිබෙනවා. ස්වර්ගය, බ්‍රහ්මන් හෝ නිර්වාණ යන නාමකරණයන්ගේ පොදු සාධකය පුද්ගල ජීවිතයේ පරම නිෂ්ඨාව වෙනවා.

ධනවාදී ලිබරල් කියවීම තුළ පුද්ගල මූලිකව සතුට ළඟා කරවීම වෙනස් අන්තයක් සොයමින් සිටිනවා. එය බොහෝ විට පරිසරය සම්බන්ධ උනන්දුව, සංචාරය, සුළුතර අයිතීන් වැනි හුදු ශරීර පිනවීමෙන් ඔබ්බට ගමන් කර තිබෙනවා. කෙටියෙන් අධිපරිභෝජනවාදය වෙනුවට සරල බවක නැඹුරුවක් දැකගත හැකි වෙනවා. මේ නැඹුරුව නොඑසේ නම් සරලභාවයේ ජීවන විලාසය ලොව පුරා උමතුවක් ලෙස පැතිරෙනවා. මේ ළඟකදී ෆීජි සම්බන්ධ ප්‍රචාරක වැඩසටහනක මේ සම්ප්‍රදායික නොවන සංචරණය ඉස්මතු කොට තිබුණා. පරිසරය සමග අනන්‍යව, සරලව හා ෆීජි ගැමි සංගීතය ඇසුරෙන් නිම වූ ඒ සිත්බැඳගන්නා දැන්වීම මගින් කියවුණේ අතිධාවනකාරීත්වයෙන් මිදී ඉසිඹුලීම පිළිබඳ කතාවක්.

දේශාටනය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා දැරිය යුතු පිරිවැය දරාගත හැක්කේ සුළුතරයක් වූ ඉහළ ආදායම් ලබන්නන්ට පමණයි. එහෙත් මේ සම්බන්ධ ආකල්ප වෙනස් වෙන බවකුයි පෙනෙන්නෙ. බොහෝ ලාංකික විවාහාපේක්ෂකයන් විවාහය සඳහා යන අනවශ්‍ය වියදම් අවම කර ඒ මුදල් සංචාරය සඳහා යොමුකරන්න පෙලඹී තිබෙනවා. මෑතකදී තරුණ යුවළක් සිය විවාහෝත්සවය සඳහා එකතු කළ මුදලින් අසරණ පවුලකට නිවසක් ඉදිකර දී තිබුණා. ඔවුන් හුදු ශරීර පිනවීමෙන් ඔබ්බට සිතා තිබුණා. මිල අධික සාරියක් හෝ රන් අබරණවලට වඩා අනෙකා වෙනුවෙන් කළ කැපවීම මනමාලියට ආධ්‍යාත්මික සතුටක් ගෙන දී තිබුණා.

ලොව පුරා ඇතිව තිබෙන මේ ප්‍රමුඛත්වයන්ගේ මාරු වීම ආස්වාදජනකයි. ලොව බොහෝ නරක අතරේ තමන් පිළිබඳව නැවත සිතන්නට මිනිසුන් පෙලඹීමම සතුටක්. භෞතික සම්පත් සියල්ලේ අවසානය දැනෙන හිස්කම තුරන් කරගැනීම මිනිස් ලාලසාවේම කොටසක්. මෙල්බරන්වාසීන්ගේ ප්‍රයත්නයත් එලෙස හඳුන්වා දිය හැකියි. පරිභෝජනය නොව ඒ සම්බන්ධව ඇති නොතිත් ආශාව හා දේවලට දී ඇති නොඋවමනා වටිනාකම නිසා දුක ඇති වන බවත් නොඇලීම නිර්වාණය සඳහා වන මාවත විවර කරන බවත් මෙල්බර්න්වාසීන් ඇමතූ සමන්තබද්‍ර හිමියන් දේශනා කළා.

මේ සියල්ලේ සමෝධානයෙන් මිනිසුන් සත්‍යය හා තම පැවැත්ම ඇතුළු මානව සමාජය පිළිබඳ ගවේෂණයේ බොහෝ දුර යන බවට නම් ස්ථිරව කිව හැකියි. මේ සියල්ලත් සමන්තබද්‍ර හිමියන් පිළිබඳ ඇති විවාදයත් සංසාරය තරමටම දිග ඇදෙනු ඇති.

 

[නකුල වැලිසරගේ]


සමන් පිච්ච මල් සුවඳක්....

 

නැහැයට සුවදායී ගන්ධයන් සොයාගැනීම ඉතාමත් අපහසු පෙදෙසක සමන් පිච්ච මල් සුවඳක් හැමීම යනු පුදුමයට කරුණකි. බේරෙ වැව් දිය තලය පිස හමන සුළඟෙහි ගන්ධයත් බ්ලූමැන්ඩල් කුණු කන්දෙහි හැපී ඇදෙන සුළඟෙහි රැඳි ගන්ධයත්, ප්‍රචලිත වුණු බිමක සමන් පිච්ච මල් සුවඳක් පැතීම උමතු වූවකුගේ ක්‍රියාවකැයි බොහෝදෙනා පවසනු ඇත. සමන් පිච්ච සුවඳ විඳිනු පිණිස ජැස්මින් දියර ගතට ඉස වැඩට එන සමන්මලීට ළං වුවද විලවුන් සුවඳ වියැකුණු පසු හමන්නේ කිඩාරම් මලටත් වඩා අපුල ගන්ධයක් බව වටහාගත් වහාම ඈ වෙතින් ඉවත් වීමි. සුවඳ දියෙන් දෝවනය කළද මල්වල නම් තිබුණද මැකිය නොහැකි ගන්ධයන් මිනිසුන් වෙතින් වහනය වන බැව් තේරුම් ගතිමි.

ඇතැම් ගන්ධයන්හි අපුල බව කිසි දිනෙක මකා දැමිය නොහැකි ලෙස හද ගැබෙහි තැන්පත් වෙයි. සමන් පිච්ච මල් සුවඳට හිත් මෙතරම් ළෙන්ගතු එබැවිණි. සමන් පිච්ච මල් සුවඳ සමඟ සොඳුරු මතකයන් අපගේ හිත් තුළ ගැබ්ව තිබේ. සිහිල් මඳ නලත් සඳ එළියත් තරු පිරුණු අහසත් යන පාරිසරික සැරසිලි කාරකයන් මැද මල්දැරූ පිච්ච වැලක මතකය සොඳුරුමය. ඈත අහසේ දිලෙන තාරකාවන්ට අත වනන පිච්ච මල් මුවෙහි රැඳී ඇත්තේ සුන්දර හිනාවකි. කිසිඳු භේදයකින් තොරව මල් වැල දසත පතුරවන්නේ සුවඳයි. සරුවට වැඩුණු කිඩාරම් මල්ද සුවඳ දියර ගත තවරාගත්තවුන් ද සිටින බිමක් මත පිහිටි කානුවකින් නැඟී එන සමන් පිච්ච වැලක් දුටිමි.

සුවඳ වඩ වඩාත්ම ඇවැසි අපුල ගන්ධයන් බහුල පෙදෙස්වලටය. මිනිසුන් තම කාර්යාල තුළද, ගෙවල් දොරවල් තුළද කෘත්‍රිම එයාර් ෆ්‍රෙෂ්නර් ඉසින්නේ එම නිසා විය යුතුය. අප අවට වායුගෝලය බොහෝ අපුල ගන්ධයන්ගෙන් පිරී ගොස්ය. මිනිසුන් යම් යම් අවස්ථාවලදී තමන්ම ඉපැද්දවූ අපුල ගන්ධයන් මැකීමට කෘත්‍රිම ක්‍රම සොයන්නට ගොස් තමා සතු සුවඳ බිඳද අහිමිකරගන්නා අවස්ථාවන් නැතුවාම නොවේ. මිනිසුන් තමන්ගේ ගෙමිදුලෙහි සමන් පිච්ච වැලක් වවන්නට නොවෙහෙසී, අනුන්ගේ ගෙමිදුල්හි පිපෙන කිඩාරම් මල්වල අපුල ගන්ධය ගැන වැඩි වැඩියෙන් කතා කරති. ඉන් උත්තේජනය ලබන කිඩාරම් මල් වැඩි වැඩියෙන් පීදෙති.

සුළඟටත් සමනලුන්ටත් සුවඳ බෙදන වත්මන් සමන් පිච්ච වැල් බොහොමයක මූලාරම්භය කුණු වතුර ගලා බසින කානුවයි. කානු වතුරෙහි ඇති දුර්ගන්ධයත් මුල් අදින්නට තමන් දරන වෙහෙසත් වැල හොඳින් දනී. එබැවින් ඕ සුවහසක් දනට දයානුකම්පාවෙන් යුතුව සුවඳ බෙදති. තමන් විඳි දුගඳ හා මුල් අදින්නට දැරූ වෙහෙස අන්‍යන්ට දරන්නට ඉඩ නොදෙයි. දුක හා සතුට එකට මුසුකොට හදවතෙහි ළෙන්ගතුම තැනකින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි වූ සෙනෙහස උපද්දවයි. ජීවිතයේ වෙහෙස අමතකව යන්නට ඉඩ දෙන පරිදි ළෙන්ගතු සුවඳකින් හදවත් පුරවාලයි.

මිනිසා අතරම ඉපිද කාලය ගතවීමත් සමඟ වියෝ වූ පිච්ච වැල් බොහොමයක් මිනිසුන්ගේ හදවත් තුළ තවමත් හුස්ම ගනිති. කාලයාගේ අවෑමෙන්, සුවඳ ජනිත කළ පිච්ච වැල් සමහරක් මිය ගියද, මිනිස් හදවත්හි ඉතිරි කර ගිය සුවඳ නැසිය නොහැක. කුණු කානුවෙන් උපත ලබන පිච්ච වැල ඉහලට නඟින්නට තම ආධාරකය ලෙස ගනු ලබන්නේ ඉපල් වී ගිය සාමාජීය තුරු අගිස්සයි. කෙමෙන් කෙමෙන් ඉහළට නඟිමින් ඕ සමාජයේ තිබෙන නොමනාකම් වලට එරෙහිව සුවඳ මල් උපද්දවති. සුවහසක් ජීවින් හුස්මගන්නේ එම මල් දහසක් දුක් කම්කටොලු මැද ඉපැද්දවූ සුවඳේ ආනුභාවයෙනි. හෙට දිනත් පොළොවෙහි කර්කෂම ස්ථානයන්හි පිච්ච වැල් හටගනු ඇත. සුවහසක් මිනිසුන්ට සුවඳ දන් දෙනු ඇත.

 

[මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටය]

මාතෘකා