පිදුරුතලාගල පාමුල සොඳුරු නවාතැන

 ඡායාරූපය:

පිදුරුතලාගල පාමුල සොඳුරු නවාතැන

අතීතයේ තිබූ බොහේ කුඩා හන්දි මෙන්ම කඩ මණ්ඩිද මේ වන වටි සුවිසල් නගර බවට පත්ව තිබේ. ඉංග්‍රීසි ජාතිකයින් විසින් තම විනෝදය පිණිසත් නිවාඩුව පිණිසත් නිර්මාණය කරන ලද නුවරඑළිය නගරය අද වන විට සුවිසල් සංචාරක පුරවරයකි. වසර එකසිය විසි පහක් පමණ පැරණි, ලෝක ප්‍රසිද්ධ නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති ප්‍රධාන වටරවුම ආශ්‍රිත ප්‍රදේශය අතීත නුවරඑළියේ වැදගත්ම හන්දියයි.

ආරම්භය

සුන්දර නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයින්අතර ජනප්‍රිය සංචාරක පුවරයක් වන්නේ මෙහි පවතින අලංකාර භූමි දර්ශන සහිත නිල හරිත වටපිටාවත් හිරිගඩු පිපෙන සීතලත් නිසාය. දුරුතුමහේ සීතල හා මල් තුහිනයෙන් වැසී යන පරිසරයත්, වසන්තයේ මලින් පිරී යන ගහකොළත් ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගනී. මුහුදු මට්ටෙමන් අඩි 6,187ක් පමණ උස් වූ පිදුරුතලාගල කඳුවැටිය, නගරයට ඉහළින් විරාජමානව දිස් වේ. පෙර රජ දවස මෙම ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් වශෙයන් සංරක්ෂණය කොට ජනාවසායන්ගෙන් තොරව පවත්වාගෙන ගිය අතර 1802 උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග එම පිළිවෙත බිඳවැටිණි. බ්‍රිතාන්‍ය ජාතිකයින් ගම්පළ සිට ඉහළට ෙකා්පි වගාව ව්‍යාප්ත කළ අතර පරිසර පද්ධතිය පිළිබදව කිසිදු තැකීමක් නොකරමින් නුවරඑළිය දක්වා ඔවුහු තේ වගාව ව්‍යාප්ත කළෝය. ප්‍රදේශය ජනාවාස වීමද නගර ඉදිවීමද ඊට සමාන්තරව සිදු විය.

සුද්දන්ගේ නගරය

නුවරඑළියට පැමිණි පළමු විදේශිකයා ලෙස වාර්තා වන්නේ වෛද්‍යාචාර්ය ජොන් ඩෙබ් මහතාය. ප්‍රසිද්ධ වැවිලිකරුවකු වන සැමුවෙල් බේකර් මහතා 1848 ගොවි ජනපදයක් ඇති කරමින් නුවරඑළිය නගරයේ පදිංචියට පැමිණ ඇති අතර අර්තාපල්, කැරට්, ලීක්ස්, බීට් ආදි එළවළු මෙරටට හඳුන්වා දෙමින් නුවරඑළියෙහි එළවළු වගාව ආරම්භ කළේද ඔහුය. මෙම නගරයෙහි පවතින දෙශගුණික තත්ත්වය බ්‍රිතාන්‍යයට බොහෝ සෙයින් සමාන වූ නිසාම එකල ඉංග්‍රිසි ජාතිකයින් තම හමුදා භටයින් ගේ නිවාඩු නිකේතන මෙන්ම රෝගී සෙබළුන්ගේ සාත්තු නිවාස ඉදිකිරීමට තෝරාගත්තේද නුවරඑළියයි. පසුව හමුදා ප්‍රධානීන්ගේ සහ ආණ්ඩුකාරයාගේ නිල නිවස මෙහි ඉදිකිරීම නිසා මෙම ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත් විය. එසේම යටත් විජිත සමයෙහි මෙරට සිටි බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තම නිවාඩුව ගත කිරීමට තම මව් රටට යෑම දුෂ්කර වූ නිසා ඔවුහු තම නිවාඩුව ගත කිරීමට නුවරඑළිය තෝරා ගත්හ.

තම නිවාඩු නිකෙතනය බවට නුවරඑළිය නගරය පත් වීමත් සමග සුද්දෝ තම නිවාඩුව කෙළිදෙලෙන් හා විනෝදයෙන් ගත කිරිමට අවශ්‍ය අංගයන්ද නුවරඑළියට එක් කිරීමට උත්සුක වූහ. සතුන් දඩයම් කිරීම සුද්දන්ගේ ප්‍රධාන විනෝදාංශය බවට පත්ව තිබූ අතර තුරග තරග පැවැත්වීම සඳහා මෙන්ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහාද ඔවුහු නුවරඑළියෙහි ක්‍රීඩා පිටි දෙකක් නිර්මාණය කළෝය. එදා සිට අද දක්වාම ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් නුවරඑළිය අද වන විට මෙරට ප්‍රධානතම සංචාරක පරාදීසය බවට පත්ව ඇත.

ධනය රැක්ක ධනපාලලා

නුවරඑළියේ අතීත තොරතුරු සොයා යන ගමනේදී 1948 වර්ෂයෙදි නුවරඑළිය නගරයට පැමිණි අපූරු චරිතයක් අපට හමු විය. බණ්ඩා මුදලාලි නමින් කා අතරත් ජනප්‍රිය ඔහු ඩී.බී ධනපාලය. "අපේ පරපුරේ අය තමයි ඉස්සර රජවරුන්ගේ ධනය ආරක්ෂා කළේ. රැක බලා ගත්තෙ. ඒකට අපේ පරම්පරාවට ලැබුණු නම්බු නාමය තමයි ධනපාල කියන්නෙ. අපි තමයි රජවරුන්ගේ ධනය පාලනය කළේ." තම පෙළපත් නාමය ගැන අභිමානයෙන් ධනපාල මහතා පවසයි.

දවස් තුනේ නුවර ගමන

ඉස්සර නුවරඑළිය මේ තරම් දියුණු නැහැ. වැඩිය කඩ තිබුණෙ නැහැ. මාර්කට් එක, පරණ කඩ වීදිය තිබුණා. පස්සේ තමයි අලුත් කඩ වීදිය හැදුණේ. නුවර පාරේ විතරයි බස් එකක් වැඩ කළේ. ඒ දවස් වල නුවරට යනවා නම් පුස්සල්ලාවට ගිහින් එතිනින් ගම්පලට ගිහින් ගම්පලින් තමයි නුවරට යන්න ඔනේ. එකට හරියටම දවසක් යනවා. ඒ දවස්වල නුවරට යන්න දවසයි, ඉන්න දවසයි. එන්න දවසයි කියලා දවස් තුනක් යනවා. ඒ කාලෙ අපට ලඟම ටවුන් එක තමයි නුවර...." අද වන විට පැය දෙකකින් පමණ යා හැකි නුවර ගමන ගැන එදා මතකය සිහිකරමින් ධනපාල මහතා පවසයි.

සත ගණනට එළවළු

හැට දශකය පමණ වන විටත් නුවරඑළිය නගරයේ හා ඒ ආසන්නයේ තිබූ බංගලා සියල්ලෙහිම වාසය කර ඇත්කේ සුද්දන්ය. ඔවුන්ට එකල ධනපාල මහතා එළවළු අලෙවි කර ඇත්තේ සත ගාණටය. "ඒ දවස්වල සුද්දො තමයි වැඩිපුර මාර්කට් එකට එන්නෙ. කැරට්, බීට්රූට්, ගෝවා, රාත්තලක් සත අටට වගෙම පොටෙටෝ රාත්තලක් සත දහයට තමයි වික්කේ. මම සුද්දන්ගේ ඔඩර් අරගෙන කොළඹටත් එළවළු යැවවා. "

ධර්මපාල වටරවුම

බදුල්ල දෙසින් හෝ උඩපුස්සල්ලාව දෙසින් නුවරඑළිය නගරයට පිවිසීමට ඇති ප්‍රධාන වටරවුම ධර්මපාල වටරවුමයි. අනගාරික ධර්මපාලතුමා සිහි කිරීම පිණිස එකල නගරසභාව විසින් මෙම වටරවුම ධර්මපාල වට රවුම ලෙස නම් කර ඇති අතර එහි අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුව තැන්පත් කිරීමේ කටයුත්තට මුල පිරීමේ අභිමානය ධනපාල මහතා සතුටින් සිහි කරයි. ඒ දවස්වල මගෙන් එළවළු ගත්ත කොළඹ මහත්තයෙක් හිටියා, මහීපාල හේරත් කියලා. එයා තමයි අපිට මේ ප්‍රතිමාව දුන්නෙ. එක ක්‍රේන්වලින් තමයි තිබ්බේ. ඒකට ඒ දවස් වන රුපියල් පහාළොස් දාහක් ගියා. සිංහල වීරවිදහන වගේම ටවුමේ ව්‍යාපාරිකයෝ, සුනන්ද බාලගේ, තරංගා, වසන්ත, ශ්‍රීනාත්, ජයන්ත වගේ බොහෝ දෙනෙක් මේ වැඩේට හිටියා.

වාහන සිහිනය

"මම ඉස්සරලාම වාහනයක් ගත්තේ රුපියල් තුන්දහස් හත්සිය පනහට. ඒ ටවුමේ හයර් දුවන්න. පළවෙනි හයර් එක ගියේ මාගස්තොට වත්තට, රුපියල් හතළිහකට." නුවරඑළිය නගරයේ පැරණි මතකයන් අවධිකරවමින් එකල කුලී රථ රියදුරෙකු වශයෙන් කටයුතු කළ සුමිත් වීරසිංහ මහතා පවසයි. එම්.ජී, මොරිස් මයිනර්, වෙන්සෝ, හිල්මන්, ඒ ෆෝටි ෆයිව්, ඒ තර්ටි ෆයිව්, ඔස්ටින් ක්‍රෙම්බිජ්, ඔපල් වගේ වාහන විස්සක් විතර ඒ දවස්වල ටවුමේ තිබුණා. දැන් වගේ නෙවෙයි ෆිල්ම් හෝල් දෙක නිසා රෑටත් හයර් තිබුණා. ටවුමේ තිබුණේ ගොඩාක් උස වහලේ ගහපු ලෑලි ගොඩනැගිලි. මේ තරම් කඩ සාප්පු නම් තිබුණේ නැහැ.

තුරු සෙවණේ මතකය

අද වන විට කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්වෙමින් පවතින නුවරඑලිය නගරය ආශ්‍රිත ප්‍රදේශය මීට දශක දෙක තුනකට ඉහතදී නිල හරිත වෘක්ෂලතාවන්ගෙන් සපිරුණු මනරම් ප්‍රදේශයකි. "ඒ දවස්වල බ්ලැක්ෆුල් හන්දියේ ඉඳලා ටවුමට වෙනකල්ම පාර දෙපැත්තේ ලොකු ගස් තිබුණේ. ඒ ගස්වලින් පාර වැහිලා තිබුණෙ වියනක් වගේ. ඒ යටින් තමයි අපි පයින් ටවුමට එන්නෙ. තව නානුඔය පාරදිගේ සුදු වැලි උඩින් ගලාගෙන යන පිරිසිදුම වතුර ගලාගෙන ගියා. දැන් නම් ඒ මොනවත් නැහැ." සුමිත් මහතා ශෝකී ස්වරයෙන් පවසයි.

 

 

නොමිලේ සටන් කලාව

නුවරඑළිය ප්‍රධාන වීදියෙහි ව්‍යාරිකයෙකු වන අසංක නිරෝෂන් මහතා නගරයේ දරුවන්හට නොමිලේ වුෂු සටන්කලාව උගන්වයි. "දැනට මගෙන් ළමයි පන්දහාක් විතර නොමිලේ වුෂු ඉගෙනගෙන තියෙනවා. අපි අවුරුද්දකට දෙපාරක් අලුතින් ළමයි බඳවා ගන්නවා. ඒ එකපාරකට ළමයි සීයක් දෙසීයක් විතර පන්තියට එනවා. ඒ වුණාට ගොඩ දෙනෙක් රැඳෙන්නෙ නැහැ. මේක ඉගෙනගන්න ලොකු කැප කිරීමක් කරන්න ඔනේ. මේ මෙකෙන් රටට වැඩදායී සමාජයට වැදගත්පුරවැසියෙක් බිහි කරන්න පුළුවන්. අපේ ජීවිත වෙනස් වුණෙත් මේ කලාව නිසා. එක නිසා තමයි අපි මේ වටිනා සටන් කලාව අපේ දරුවන්ට නොමිලේ උගන්වන්නෙ." නිරෝෂන් පවසයි.

ශ්‍රී සම්බෝධි විහාරය

නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය නගරයට අලංකාරයක් එක් කරයි. වසර පහක තරම් කාලයක් තිස්සේ නිරෝෂන් මහතාගේ මූලිකත්වයෙන් මෙම ස්ථානයේ දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙමින් පවතී. "දැනට අවුරුදු පහකට විතර ඉස්සරලා තමයි මම මේ වැඩේට මුල් වුණේ. නුවරඑළිය සාසනාරක්ෂක බල මන්ඩලයේ සියලුම ස්වාමින්වහන්සෙලාත් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නෙ. මේකේ සම්පූර්ණ සැලැස්ම මගේ. සමාධි ප්‍රතිමාව හැර අනිත් ඔක්කොම කැටයම් කපන්නේ අපේ තාත්තා. දැනට සියලු දෙනාටම කෝටි එකහමාරක් විතර වියදම් වෙලා තියෙනවා. මේක ළඟ එන වෙසක් එකට විවෘත කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

ඇවිදින අවන්හල

නුවරඑළිය නගරය වටා සංචාරක ආකර්ෂණය දිනාගත් බොහෝ ස්ථාන දැක ගත හැකි අතර දෙශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබාගත හැකි අපූරු අවන්හලක් ගෙගරිවැව ඉස්මත්තේදී දැක ගත හැකිය. අඩි හතළිහක ස්කැමල් යන්ත්‍රයක ඉදි කොට ඇති මෙවැනි අවන්හල් යුරෝපීය රටවල දැක ගත හැකි වුවත් ආසියාවේ ඇති මේ වැනි එකම අවන්හල මෙය බව මෙහි හිමිකරු වන දර්ශන සමරසිංහ මහතා පවසයි. තරුණ ව්‍යාපාරිකයකු වන දර්ශන මහතාගේ අපූරු සංකල්පයක් මත මෙම අවන්හල නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.

"මම දැන් අවුරුදු පහළොවක් විතර මේ ව්‍යාපාරය කරනවා. ඉස්සරලාම ග්‍රීන්හට් එකක රෙස්ටුරන්ට් එකක් හැදුවේ මම. පස්සේ බස් එකක රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා. ඒක තමයි ලංකාවේ පළවෙනි බස් රෙස්ටුරන්ට් එක. ඊට පස්සේ කොළඹ තව බස් එකක රෙස්ටුරන්ට් එකක් දැම්මා. මම මගේ බස් රේස්ටුරන්ට් එක උදේට ගෙගිරිවැව ළගට ගෙනිහිල්ලා වැඩ කරලා හවසට ආපහු ගෙදර අරන් යනවා. එකට පුදුම ඉල්ලුමක් තිබුණේ. සුද්දෝ වගේම අපේ අය අතරත් ඒක ජනප්‍රිය වුණා. පස්සේ මට එකේ ඉඩ මදි වුණා. එක නිසා තමයි මං හිතුවෙ මේ ස්කැමල්එකේ රෙස්ටුරන්ට් එක හදන්න. එකට මට අවුරුදු හතරහමාරක් විතර ගියා. ඉංජිනෙරුවෝ කවුරුත් හිටියේ නැහැ. මගේ අදහස ලාල් කියන ටිංකරින් බාස්ට කිව්වාම එයා මෙක හැදුවා. මෙකට මට ලොකු වියදමකුත් ගියා. මට දැන් දාහකට වුණත් එකපාර ඔනෙම කෑමක් දෙන්න පුළුවන්."

බස්රථයේ මෙන්ම ස්කැමල් රථයේ අවන්හල තුළ අති නවීන මුළුතැන්ගෙයක් මෙන්ම ශීතකරණ, රූපවාහිනී පහසුකම් ආදී පහසුකම් සියල්ලම ඇති අතර ස්කැමල් අවන්හලේ ඇතුළත පදම් කරන ලද තෙක්ක දැවයෙන් අලංකාර කොට ඇත්තේ යුරෝපා රටක අත්දැකීමක් ලබා දෙමිනි.

පිදුරුතලාගල කඳු පාමුල පිහිටි මනරම් නුවරඑළිය නගරයේ මීට වසර විස්සකට පමණ ඉහතදී වෙළද සැල් එකසිය පනහක් පමණ තිබුණු අතර මේ වන විට එය පන්සියය ඉක්මවා තිබේ. එසේම වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත සංචාරක පිරිසක්ද මෙම පුරවරයට පැමිණෙති. මේ සියලු දෙනාට පහසුකම් සපයන්නට අහස සිසාරා කොන්ක්‍රිට් ගොඩනැගිලි බිහිව ඇත. මේ ගමනේ කෙළවර බිහිසුනුය. දර්ශන මහතාගේ ජංගම අවන්හල් මේ අසීමාන්තික කොන්ක්‍රිට්කරණයට සුන්දර විකල්පයකි.

 

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා