වාක්‍ය, රසාත්මක වාක්‍ය හා පද්‍ය

 ඡායාරූපය:

වාක්‍ය, රසාත්මක වාක්‍ය හා පද්‍ය

'කාව්‍යය යනු රසාත්මක වාක්‍යය ය' යනුවෙන් නිර්වචනය කෙරේ. මේ වාක්‍යය ප්‍රකාශ කිරීම පිණිස එක් පද්‍යයක් හෝ පද්‍ය කීපයක් හෝ යොදා ගැනීම සිදු වෙයි. එසේ යොදා ගැනෙන පද්‍ය සංඛ්‍යාව අනුව ඒ පද්‍ය ගණ හැඳින්වීමට නම් පහක් දැනටමත් භාවිතයෙහි එයි. මෙසේ ය:

මුක්තක: එක් පද්‍යයක්

යුග්මක: පද්‍ය දෙකක්

විශේෂක: පද්‍ය තුනක්

කලාප: පද්‍ය හතරක්

කුලක: පද්‍ය පහක් හෝ ඊට වැඩි

මුක්තකය

'මුක්තකය' යනු එක් සම්පූර්ණ වාක්‍යයකින් හෙබි පද්‍යය යි. මුවදෙව්දා වත, සසදා වත හා කව්සිළුමිණ යන ගී කාව්‍ය තුනේ ම ඒ කාව්‍ය තුනට පාදක වුණු ජාතක කථා දක්වා ඇත්තේ එක් වාක්‍යයකින් සැදුණු පද්‍යයකිනි:

මුවදෙව්දා වත:

"අප මුනිඳෙක් කලක් රජසිරි පැමිණි යෙහෙන්

වෙසෙමිනිසැ නරක් දුටු කෙණෙහි ඉසිවස රිස්වී" (6 ගීය)

සසදා වත:

"දැකැ සා බමුණා - මුනි විරු එ සස කල්හි

දල මැදරා සිසි දිසි - සිය මස්නි ස්නා ළෙන්" (16 ගීය)

කව්සිළුමිණ:

"රජ පැමිණි බෝසත් - සත්රජුනෙඩි මැඩැ විසී

විසී තමා කැරු කලක් - කලක් දසරජදම්නෙන්" (5 ගීය)

සියලු ම සී ගිරි ගී 'මුක්තක' වේ.

"සුනිල් බැමැ තන හස් මිති කළ ඉගක් පළමව

කළ වන් තොල් සැබැවින රැපෑ සිරි ඔත් වනින් යොමුවැ" (90)

යුග්මකය

'යුග්මකය' යනු එක් වාක්‍යයක් සඳහා යෙදෙන පද්‍ය දෙක යි.

විශේෂකය

'විශේෂකය' යනු එක් වාක්‍යයක් සදහා යෙදෙන පද තුන යි. 'මුවදෙව්දා වත' ආරම්භයෙහි ම යෙදෙන ගී තුන ම 'විශේෂක' නම් පද නිර්මාණයක් වේ:

 

"නුවණ නිසයුරා

විනේ කුමුදු නිසයුරා

කෙලෙස් තුසර දිවයුරා

බවදුක් ළැවග අයුරා

 

සත් තිසර සරා

ගුණ බිඟු පෙළ මහසරා

විසා දලනිදු පසර

තිත් ගජන් කෙසරා

 

රා වස මතුරා

සගමොක් සුවට යතුරා

උවදුරු අඳුරු මිතුරා

නමවු තිලොවක මිතුරා"

සැළලිහිණි සන්දේශයෙහි කැලණි ගඟබඩ වීණා වයන මනහර නා මෙණෙවියන් පිළිබඳ වර්ණනාව ද 'විශේෂකයක්' ය. ඊට අයත් පද්‍ය තුන (43-45) මෙසේ ය:

 

"සල් සපු කීණ ‍දොඹ රෑරඟ නා මිදෙලි

පුල් එරහැඳි හෝ පලු මිඅඹ පළොලි

‍පොල් පුවකිගු රඹ මලබුලත සලිමලි

නිල් ගන සා සෙවණ දෙ ‍තෙරැ මනකලි

(මතු සම්බන්ධයි)

 

"ගවසා සුපුල් කඬුපුල් මල් නිල් වරල

සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල

සකසා දෙ තන හර සඳුනෙන් කැරැ සිහිල

දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල

(මතු සම්බන්ධයි)

 

"මනහර නා මෙණෙවියනිඳ ළ වැලි පිට

ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට

කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට

සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට"

කලාපය

'කලාපය' යනු පද්‍ය හතරක් පුරා විහිදුණු වාක්‍යය යි.

කුලකය

පද්‍ය පහක් හෝ ඊට වැඩි ගණනක් යොදා සැදෙන වාක්‍යය 'කුලකයක්' සේ හැඳින්වේ. සැළලිහිණි සන්දේශයෙහි කවියා උලකුඩය දේවියට පුත් රුවනක් දෙන මෙන් විබිසන සුරිදුන්ට කරන ආයාචනය පද්‍ය 7ක් පුරා විහිද යයි.

"රිවි කුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැ ද" (97)

යනුවෙන් ආරම්භ වී

"පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස" (103)

යනුවෙන් අවසන් වන පද්‍ය 7 'කුලකයක්' වශයෙන් සැලකෙන්නකි.

මාතෘකා

ජනප්‍රිය ලිපි