ළමා කතාවක ගැබ් විය යුත්තේ කුමක්ද? : තනුජා එන්. අයගමගේ ළමා කතා විමසීම

 ඡායාරූපය:

ළමා කතාවක ගැබ් විය යුත්තේ කුමක්ද? : තනුජා එන්. අයගමගේ ළමා කතා විමසීම

“පොත්වලින් තොර ළමා ලෝකය ළමා ලෝකයක් නොවේ. එය දුබලතම වින්දනය සහිත සිත් වසඟ කරන්නා වූ ලෝකයක් වෙත ළමයා කැන්දන් යා හැකි දොරටු වසාලයි.”

-ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන් (ප්‍රකට ළමා පොත් ලේඛිකා)

පිළිගත් විද්වත් මතවලට අනුව සාර්ථක ළමා සාහිත්‍ය කෘතියක අඩංගු විය යුතු අංග කිහිපයකි. ඉන් සමහරක් නම්

1. ප්‍රතිවර්තනය (Repetition)

2. උපදේශාත්මක බව (Didaction)

3. චිත්‍ර සටහන් (Ilustration)

4. ශුභවාදී බව (Optimism)

5. මනඃකල්පිත බව (Fantacy)

6. අහිංසක බව (Innocence)

7. ළමුන් වැඩිහිටියන්ගෙන් වෙනස් වන බව (Different from adults)

ළමා කතා රචිකාවියක වන තනුජා එන්. අයගම මේ වන විට ළමා කතන්දර පොත් දාහතරක් රචනා කොට ඇත. 2012, 2014, 2016, 2017 යන වසරවලදී පිළිවෙලින් ඇය විසින් රචිත ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’, ‘මුහුද සහ දෝණි’, ‘ඉරඑළිය සහ මගේ ගුරුතුමා’ යන කෘතීන්වලට වසරේ හොඳම ළමා කතාව සඳහා වන රාජ්‍ය සම්මාන දිනා ඇත.

මෙහි ප්‍රතිවර්තනය යනු එකම කරුණක් කිහිප විටක්ම සඳහන් කිරීමයි. එවිට ළමයාගේ සිත්හි මෙය හොඳින් ධාරණය වේ. මෙය සාහිත්‍යයේදී අප ඉගෙන ඇති පුනරුක්ත දෝෂය සමග පටලවා ගත යුතු නොවේ. තනුජා එන්. අයගමද අවස්ථාවෝචිත පරිදි අඩු වැඩි වශයෙන් සිය ළමා කතාකරණයේදී මේ ලක්‍ෂණ උපයුක්ත කොට ගන්නා බව පෙනේ.

ළමා කතාවක විනෝදාස්වාදයට අමතරව උපදේශාත්මක පණිවිඩයක් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුය. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස ඇයගේ ‘ඉර එළිය’ නම් ළමා කතාව හැඳින්විය හැකිය. පුංචි රංග චිත්‍ර තරගයක් සඳහා සහභාගි වේ. බෑගයේ තිබුණු පාට පෙට්ටිය නැත. තරගයට වාඩිවූ පසු මුලින්ම ඔහු කලබල වූවත් පසුව සිත සන්සුන් කරගෙන තමා අත වූ එකම පැන්සලෙන් අගනා සිතුවමක් අඳියි. එම චිත්‍රයට පළමු ස්ථානය ලැබේ. යම් යම් සම්පත් ඌනතාවන් ඇති වුවද කලබල නොවී තිබෙන සම්පත් නිර්මාණශීලී ලෙස උපයෝගී කර ගතහොත් අවශ්‍ය ඉලක්කය කරා ඉතා සාර්ථකව ළඟා විය හැකිය යන ආදර්ශය කතාවෙන් ඉදිරිපත් වෙයි.

සෑම කතාවකම පාහේ හමු වන පොදු ලක්‍ෂණයක් නම් ගුරුවරයා යන සංකල්පය ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමය. ඇතැම් විට මෙය ඇය ලැබූ ආගමික හෝ ආචාර විද්‍යාත්මක පරිචය විසින් මෙහෙයවන ලද්දක් විය යුතුය.

ළමා කතාවක තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් නම් කතාවට ගැළපෙන මනා චිත්‍ර නිර්මාණය වී තිබීමය. ඇගේ සෑම කතාවකටම ගැළපෙන අලංකාර සිතුවම් ඇඳ තිබේ. මේ සඳහා ඇයට විවිධ චිත්‍ර ශිල්පීන් සහාය වී ඇත. මනා පිටකවරය සහ අගනා නිමාවද මෙම පොත් ළමා සිත ආකර්ෂණය කර ගැනීමට සමත් වේ.

ළමා කතා කලාවේ ආරම්භක අවදිය ගැන අධ්‍යයනය කිරීමේදී හෙළිදරව් වන කරුණක් නම් මුල් යුගයේදී ලියවුණු ළමා කතා කතා කරන වඳුරෝ, පියාඹන ඉබ්බෝ, සදා නින්දට වැටුණු කුමාරිකාවෝ වැනි ෆැන්ටසිවලින් ගහන වීමය. එහෙත් වර්තමාන සන්දර්භයක් තුළදී විශද වන කරුණක් නම් වත්මන් ළමා කතා රචකයන් වඩාත් ස්වභාවවාදී කතා කලාවක් වෙත නැඹුරුවීමය. තනුජා එන්. අයගම විසින් උපයුක්ත කොටගෙන ඇත්තේද මේ ශෛලියයි. ඉතා අපූර්ව ලෙස පරිසරයේ චමත්කාරය ඇය විචිත්‍රණය කරනුයේ ළමා මනස ඉන් උද්දීපනය කරමිනි. එමෙන්ම ස්වභාවවාදී ශෛලයට මූලික වශයෙන් අනුගත වුවද, ඇතැම් විට ස්වභාවධර්‍මයේ චමත්කාරය ෆැන්ටසිකරණයට හසු කරයි. නිදසුනක් ලෙස ‘මුහුද සහ දෝණි’ කතාවේදී දෝණිට ඇසෙනුයේ මුහුද තමා හා සංවාදයක යෙදෙන්නා සේය. ඇයට ඇසෙනුයේ මුහුදු රළ තමාට මූලික සංගීත පාඩමක් කියා දෙමින් සිටින බවය.

තනුජාගේ සෑම කතාවකම පාහේ කේන්ද්‍රීය කතානායකයා ඉතා අහිංසක ළමයෙකි. මුලදී ඔහු හෝ ඇය යම් යම් බාධකවලට මුහුණ දුන්නද අවසානයේ තම උත්සාහය හා දිරිය නිසා ජයග්‍රාහී ඉලක්ක කරා ළඟා වේ. තමා අවට වූ පරිසරය සිතුවමට නගමින් සාර්ථක සිත්තරකු වූ ළමයකුගේ කතාවක් රැගත් ‘අහස්ගමට ගිය පුංචි සිත්තරා’ මීට කදිම නිදසුනකි.

‘මගේ ගුරුතුමා’ කතාව ඇයගේ සෙසු කතාවලින් වෙනස් මඟක් ගත් කතාවකි. වක්කඩ ළඟ, ගවගාල අසල, ගස් සෙවණ යට සැරිසරමින් පටිගත කළ හඬ සමූහයෙන් අවසානයේ මහා සංගීතයක් නිර්මාණය කර ගැනීමට ගමේදී හමු වන ගුරුවරයාගේ මඟපෙන්වීම මින් ඉදිරිපත් කරයි. මෙය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියන ලද කතාවකි.

ළමා කතා රචනයේදී ඇය විසින් උපයුක්ත කොටගෙන ඇත්තේ ලේඛන භාෂාව නොව කථන භාෂාවයි. ළමා මනසට කතාව ග්‍රහණය කර ගැනීමෙහිලා මෙය ඉතා ඖචිත්‍ය පූර්ණ බවක් ජනිත කරයි. උත්තම පුරුෂ හා අන්‍ය පුරුෂයෙන් ලියැවුණු ඇතැම් කතාවක කතානායකයා හෝ නායිකාවගේ නම වරක් හෝ සඳහන් නොවී තිබීම යම් දුර්වල ලක්‍ෂණයක් ලෙස මම දකිමි.

බටහිර ලෝකයේ සිදු වූ කාර්මික විප්ලවය හා සමගාමීව ළමුන් පිළිබඳව නව කතිකාවක් ආරම්භ විය. ළමා ශ්‍රමය සූරාකෑමට විරුද්ධ වීම, ළමා අයිතීන් ආරක්‍ෂා කිරීම වැනි මාතෘකා මේ අතර ප්‍රධාන තැනක් ගත්තේය. මේ නිසා පූර්‍වගාමී යුගවලට වඩා ළමයා හා වැඩිහිටියා අතර අර්ථකථනමය විභේදනයක්ද වැඩි වන්නට විය. ළමා සාහිත්‍ය වුවද මෙහි ප්‍රතිඵලයක්ය යන්න සමහර විද්වතුන්ගේ මතයයි. තනුජා එන්. අයගම ලේඛිකාවද ළමා කතා රචනයේදී වැඩිහිටියා සහ ළමයා අතර වෙනස මනාව වටහා ගනිමින් විටෙක ඇයද යළිත් තම ළමා කාලය වෙත පියනගමින් සාර්ථක ළමා කතාකරණයක නියැලේ.

[සත්‍යපාල ගල්කැටිය]

මාතෘකා

ජනප්‍රිය ලිපි