මා සසල කළේ‘ගලිවර්ගේ චාරිකා’ කෘතියයි : පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න

 ඡායාරූපය:

මා සසල කළේ‘ගලිවර්ගේ චාරිකා’ කෘතියයි : පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න

මා කියවා ඇති පොත් සමූහය අතරින් මගේ සිත වඩාත් සසල කළ කෘතිය බ්‍රිතාන්‍ය ජාතික ජොනතන් ස්විෆ්ට් නම් රචකයා විසින් රචනා කරන ලද Gulliver's Travels හෙවත් ‘ගලිවර්ගේ චාරිකා’ නම් නවකතාවයි. ජොනතන් ස්විෆ්ට් 1667 වර්ෂයේදී උපත ලැබූ අයර්ලන්ත ජාතික නීතිවේදියෙක් සහ පූජකවරයෙක්. මා මේ කෘතිය කියවන්නේ මගේ පාසල් වියේදීයි. එය මුලින් මම සිංහලෙන් කියවන්නේ. පසු කාලයක එහි ඉංග්‍රීසි කෘතියත් කියවනවා.

‘ගලිවර්ගේ චාරිකා’ පොත රචනා වී ඇත්තේ මීට වසර තුන්සීයකට ආසන්න කාලයකට පෙරයි. එනම් වර්ෂ 1726 දී පමණයි. එදා තිබූ බ්‍රිතාන්‍ය සමාජය දෙස උපහාසාත්මකව බැලීමකුයි මේ කෘතියේදී ඔහු කරන්නේ. මේ කියන වකවානුව බ්‍රිතාන්‍යය අන් රාජ්‍යයන් යටත්කරගනිමින් සිටි කාලයක්. කතුවරයා මෙහිදී ඒ දෙස අතිශය උපහාසාත්මකව බැලීමට උත්සාහ දරා තිබෙනවා. එනිසාම එකල බ්‍රිතාන්‍ය පාලනය මේ කෘතිය ළමා කෘතියක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

තත්කාලීන සමාජයේ ගමන් විස්තර ඇතුළත් පොත් එදා ජනප්‍රිය වුණා. මේ කෘතියත් එවන් සංචාරක සටහන් විධියේ පොතක්. එකල ‘රොබින්සන් ක්‍රෑසෝ’ වැනි ජනප්‍රිය පොත් ගොන්නට මේ කෘතියත් ඇතුළත් වෙනවා. ‘ගලිවර්ගේ චාරිකා’ හි ප්‍රධාන චරිතය ගලිවර්යි. ඔහු දූපත් හතරක සංචාරය කරනවා. එහිදී එංගලන්තය හා ප්‍රංශය කේන්ද්‍ර කොට ගත් ගැටලු පිළිබඳව විමසීමක් සිදු වෙනවා. පළමු දූපතේදී ගලිවර්ට ලිලිපුට්ටන් මුණගැසෙනවා. ලිලිපුට්ටන් යනු ඉතා කුඩා මනුෂ්‍ය විශේෂයක්. ඔවුන් ගලිවර් දැක විමතියට පත්ව තම අධිරාජයා වෙත ඔහු ඉදිරිපත් කරනවා.

එහිදී ලිලිපුට්ටන් මගින් සංකේතවත් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. මේ අතර ලිලිපුට්ටන්ගේ රාජ්‍යය අසල්වැසි රටක් හා සටන් කරනවා. යුද්ධයට හේතුව බිත්තරයක් බිඳින්න ඕන කුමන කෙළවරින්ද යන ගැටලුවයි. අවසානයේ ගලිවර් යොදාගෙන ඔවුන් යුද්ධය ජයගන්නවා. නමුත් ගලිවර්ට ලැබෙන දෙයක් නැහැ. යුද්ධයේ ස්වභාවය එය බව පාඨකයාට දැනවීමට එහිදී ඔහු උත්සාහ කරනවා.

මෙහිදී රජගෙදරත් යුද්ධයක් සිදු වෙනවා. එහිදී ඇති වන ගින්න නිවාදාන්න ගලිවර් මුත්‍රා කරනවා. ගින්න ඉන් නිවෙනවා. නමුත් මින් රජතුමා කෝප වී ඔහු අන්ධ කොට පිටුවහල් කරන ලෙස දන්වනවා. නමුත් ගලිවර් තම මිතුරෙකුගේ උදව්වෙන් නැවත තම රටට පැන යනවා. කතාවේදී ඔහු තවත් දුපතකට යනවා. එහිදී ගලිවර් කුඩා අයෙක්. අන් අය විශාල අයයි. ඹහු යන තුන්වන දූපතේදී ඔහු ඇවිදින්නෙ නෑ, අහසේ පාවී යනවා. එය ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන්නන්ගෙන් ගහන තැනක්. ඔහු යන සිව්වන දූපත කථා කරන අශ්වයන් සිටින යාහු නම් ග්‍රෝත්‍රිකයන් සිටින ස්ථානයක්. එහි සිටි අශ්වයන් කථා කරනවා. ඒත් එහි ගෝත්‍රිකයන් නීතිගරුක ලෙස දිවි ගෙවනවා. මේ ආකාරයෙන් උපහාසය පුරවමින් කතාව ගලා යනවා.

මා ජොනතන් ස්විෆ්ට්ගේ මේ පොත කියවන්නේ මට වයස අවුරුදු දොළහේදී. ඒ, මහනුවර ධර්මරාජ විද්‍යාල පුස්තකාලයෙන්. මගේ පාසල ඇත්තටම මහනුවර ධර්මරාජ විදුහලයි. මගේ ගම ගම්පහ කොස්හින්නයි. මං උපන්නෙත් ඒ ගමේ. මම අපේ පවුලේ වැඩිමහල් දරුවා. අම්මා, තාත්තා දෙන්නාම ගුරුවරු. මං කියවන්න නැඹුරු වන්නේ නිවසේ පරිසරයත් එක්කමයි. ඒ අනුව ගත වූ කාලය පුරා මා කියවූ පොත්පත්වලින් තවමත් මගේ හදවත සසල කරන්නේ මා කුඩා කල කියවූ ‘ගලිවර්ගේ චාරිකාව’ නවකතාවයි.

[එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා

ජනප්‍රිය ලිපි