රිද්මයක් නැතිව කවියක් ලියන්න බැහැ මහාචාර්ය විමල් දිසානායක

 ඡායාරූපය:

රිද්මයක් නැතිව කවියක් ලියන්න බැහැ මහාචාර්ය විමල් දිසානායක

කවියකු අත්දැකීමක් ප්‍රකාශ කිරීමේදී සඳැස හා නිසඳැස තෝරාගැනීම කවියාගේ අභිමථාර්ථ අනුව සිදු වන දෙයක්. අපේ සමහර අත්දැකීම් ප්‍රකාශ කරන්න සඳැසට වඩා නිසඳැස ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ටී.එස්. එලියට් ගත්තාම ඔහු තත් කාලීන ජීවිතයේ ශුෂ්කභාවය, අර්ථශුන්‍යභාවය පෙන්වීමට නිසඳැස් කවිය උපයෝගී කරගත්තා. සඳැස හෝ නිසඳැස, අත්දැකීමේ හැටියට උපයෝගී කරගන්නා ප්‍රකාශන මාධ්‍යයක්.

නිසඳැසේ පවා රිද්මයක් තිබෙනවා. රිද්මයක් නැතිව කවියක් ලියන්න බැහැ. විරිතයි, රිද්මයයි කියන්නෙ එකක් නෙවෙයි. “පොඩි ළමයෝ බත් ඉවරද කාලා?” කිව්වාම එහි රිද්මයක් තිබෙනවා. රිද්මයක් නැතිව කවි ලීවොත් එය හරියට ජී. බී. සේනානායකගේ කවි වගේ වෙනවා. ගද්‍ය කවි වෙනවා. අනෙක තමයි එකම විරිතක් ඇතුළේ පවා රිද්ම වෙනස් වෙනවා.

සැළලිහිණි සන්දේශයේ එන “පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට” කියන කවිය ගත්තාම තියෙන්නෙ එක් රිද්මයක්, “පතසන් අවරගිරි වැටියෙන් වැටෙන කල” කියන කවියේ තිබෙන්නෙ තවත් රිද්මයක්. හැබැයි දෙකේම විරිත සමුද්‍රඝෝෂ විරිතයි. ඉතින් විරිතයි, රිද්මයයි අතර වෙනසක් තිබෙනවා. සමහර කවිවල විරිතයි, රිද්මයයි දෙකම තිබෙනවා. සමහර කවිවල විරිතක් නැහැ, රිද්මයක් තිබෙනවා. හැබැයි රිද්මයක් නැතිව කවියක් බිහි වෙන්නෙ නෑ. එහෙම වුණොත් එය නිකන් ගද්‍යයක් වේවි.

මාතෘකා

ජනප්‍රිය ලිපි