1970 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට මට ලැබුණේ රුපියල් දාහයි : ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

 ඡායාරූපය:

1970 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට මට ලැබුණේ රුපියල් දාහයි : ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය නිර්මාණකරණයෙහි නියැලෙමින් කෙටිකතා, නවකතා, යොවුන් සහ ළමා සාහිත්‍ය කෘති රැසක් රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියකද වන කරුණා පෙරේරා රචනා කළ නවතම කෘතීන් වන ‘නේරංජනා’ නවකතාව සහ ‘සන්නාලියගේ දියණිය’ කෙටිකතා සංග්‍රහය සරසවි ප්‍රකාශන ලෙස මේ වන විට පළ වී තිබේ. වත්මන් සමාජ ජීවිතය ඇසුරින් රචනා කරනු ලැබ ඇති මේ කෘති නිමිති කරගනිමින් අප පසුගියදා ඇය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

 

ඔබේ අලුත් නවකතාව හඳුන්වාදිය හැක්කේ කුමන ආකාරයටද?

මේ නවකතාව මම රචනා කළේ තරුණ ප්‍රශ්න ගැන කතා කරන්නයි. මමත් කාන්තාවක් නිසා මගේ නවකතාවලින් මම කාන්තා ප්‍රශ්න ගැන විතරක් කතා කරනවා කියලා සමහරු හිතනවා. ඇත්තටම එහෙම දෙයක් නම් නැහැ. හැබැයි මේ නවකතාවේ ප්‍රධාන චරිත විදියට කාන්තාවන් වඩාත් මතු වෙලා පේනවා. මේ කතාව පුරාම එක්තරා ගැහැනු ළමයෙකුගෙයි, ඇගේ අම්මාගෙයි චරිත දෙක දිගට යනවා. නැතිබැරිකම නිසා ඔවුන් දෙදෙනා මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැන මේ නවකතාවෙන් කියැවෙනවා. නැතිබැරිකම නිසා ඒ දෙදෙනාම වැරදි මාර්ගවලින් සල්ලි හොයනවා. ඒ දෙදෙනාම එකිනෙකාව සැක කරනවා. තමන් කරන්නේ වැරදි දෙයක් බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ටත් ඔවුන්ගේ වැඩ කටයුතු ගැන කිසියම් අවබෝධයක් තියෙනවා. ඒත් ඒ හැම කෙනෙක්ම කිසිදෙයක් නොදන්න විදියට සද්ද නොකර ඉන්නවා. මම හිතන විදියට ඒක මුළු මහත් සමාජයේම තියෙන ප්‍රශ්නයක්. දැන් මිනිස්සු නැතිබැරිකම නිසා වැරදි කර කර, ඒවා දන්නෙ නැහැ වගේ ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය ගැන වෙනස් විදියකට කතා කරන ප්‍රබන්ධ කෘතියක් විදියට මේ නවකතාව හඳුන්වා දෙන්න පුළුවන්.

මේ නවකතාව රචනා කිරීමට ඔබට කොපමණ කාලයක් ගත වුණාද?

මේ වගේ නවකතාවක් ලියන්න මට දැන් ඒතරම් ලොකු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ පළවෙනි නවකතාව, ‘සූරිය උදා වන තුරු’ ලියන්න සෑහෙන කාලයක් ගත වුණා. එයින් පස්සේ ‘පහන් ටැඹ යට’ නවකතාව ලියන්න මට අවුරුදු තුනක් ගියා. මේ අලුත් නවකතාවට නම් මට ගත වුණේ මාස තුනක් හෝ ඊටත් අඩු කාලයක්. දැන් මගේ අතින් අවුරුද්දකට නවකතා දෙක තුනක් ලියැවෙනවා. මේ නවකතාව ලියලා අවසන් වුණාට පස්සෙත් තව අලුත් නවකතා දෙකක් ලියා අවසන් කරලා තියෙනවා. ඒ විදියට දිගටම ලියන්න මට පුළුවන් වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ එකතු වූ අත්දැකීම් රාශියක් මගේ ළඟ ගබඩා වෙලා තියෙන නිසයි කියලා මට හිතෙනවා. කාලයක් තිස්සේ මම ඒ අත්දැකීම්වලින් කිසිම දෙයක් නොලියා නිශ්ශබ්දව හිටියා. ඒ අත්දැකීම් ඔක්කොම මගේ හිතේ තැන්පත් වෙලා තියෙන්න ඇති. ඒවගේම පත්තරවල වැඩ කරනකොට හැමදාම අලුතෙන් එකතු වෙන අත්දැකීම් සම්භාරයත් මට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා.

ඔබේ ලිවීම කෙබඳුදැයි කෙටියෙන් විස්තර කළොත්?

කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් ගැන කිව්වාම හෝ වෙනත් විදියකින් අත්දැකීමක් ලැබුණාම මම ඒ ඔස්සේ දිගින් දිගටම හිතාගෙන යනවා. සමහරක් වෙලාවට මහ රෑ ඇහැරිලා ඒ සිතිවිලි පෙළගස්වලා සටහනක් ගහන්නම හිතෙනවා. ඒ විදියට ලිවීමේ ක්‍රියාවලිය කොතනින් හරි තැනකින් පටන් ගැනෙනවා. ලියන්න පටන් ගන්නකොට බොහෝ වෙලාවට එකපාරටම මට එන්නෙ දෙබසක්. ලියන්න පටන් ගන්න හැම වෙලාවෙම ඒ විදියට දෙබසක් එන්නෙ ඇයි කියලා මමත් හිතනවා. ඒ කොහොම වුණත් මට කතන්දරයක් ගලාගෙන එන්නෙ දෙබසකින්. එහෙම පටන් ගන්න කතාන්දරය දිගින් දිගට ලියැවීගෙන යනවා. කතාවේ තේමාව ගැන මූලික අදහසක් ඒ වෙනකොට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. මේ කතාවෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේකයි කියලා මම කලින්ම තීරණය කරගෙනයි ලියන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ මම මේ පොතෙන් කතා කරන්නේ මෙන්න මේ කාරණය ගැනයි කියන අදහස ඒ වෙනකොටත් මගේ ඔළුවේ තියෙනවා. ඒ අදහසට ගැළපෙන චරිත සහ සිද්ධි තෝරගෙන මම ක්‍රමයෙන් කතාව ගොඩනගා ගන්නවා.

ඔබේ නවකතා සඳහා ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

මගේ නවකතාවලට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. විශේෂයෙන්ම පාඨකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. සමහර විචාරකයො නම් මේ නවකතා ගැන කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඒ ගැන මට ප්‍රශ්නයකුත් නැහැ. ඒ වගේ විචාරකයන්ට වඩා මට පාඨකයො වැදගත්.

කෙටිකතාවට ඔබ තුළ වූ ඇල්ම අඩු වෙලාද?

නැහැ. එදා වගේම මම අදටත් කෙටිකතා ලියනවා. මම මුලින්ම කෙටිකතා රචිකාවක විදියට මතු වුණේ ‘ඇත්ත’ පත්තරෙන්. ඒ කාලයේ ‘ඇත්ත’ පත්තරෙන් දීපව්‍යාප්ත කෙටිකතා තරගයක් පැවැත්වුවා. හැබැයි ඒ තරගයට ඉදිරිපත් වෙන්න තරම් ලොකු උනන්දුවක් හෝ අවබෝධයක් ඒ කාලයේ මට තිබුණේ නැහැ. හැබැයි ඒ වෙනකොට මම වරින් වර ලියපු කෙටිකතා කිහිපයක් මගේ ළඟ එකතු වෙලා තිබුණා. මගේ මල්ලි මට හොරෙන් අත්සනකුත් ගහලා මගේ කෙටිකතා දෙකක් අර තරගයට යවලා. මම ඒ ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ කෙටිකතා තරගයේ විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයයි, කේ. ජයතිලක මහත්තයයි, ඒ. වී. සුරවීර මහත්තයයි. අපි ඒ කාලයේ පදිංචි වෙලා හිටියේ අලුත්කඩේ. ජයතිලක මහත්තයා හැමදාම යන්නෙ එන්නෙ අපේ ගේ ළඟින්. දවසක් අපේ ගේ ඉස්සරහින් යනකොට ජයතිලක මහත්තයා මට කතා කරලා, “මොනවද අර කෙටිකතා තරගයට ලියලා එවලා තියෙන්නෙ?” කියලා මගෙන් ඇහුවා. මම කිව්වා, “මම එව්වෙ නැහැ” කියලා. එතකොට ජයතිලක මහත්තයා කිව්වා, “මොකද නැත්තෙ? කෙටිකතා දෙකක්ම තේරිලා තියෙනවා. ඒ වුණාට දෙකටම දෙන්න බැහැනෙ. අන්තිමට වික්‍රමසිංහ මහත්තයා තමයි තීරණය කළේ ‘වැස්ස වහිනවා’ කියන කෙටිකතාවට පළවෙනි තැන දෙන්න” කියලා. ඒ විදියට කෙටිකතා රචිකාවක විදියට මතු වුණාට පස්සෙ මම ගුවන්විදුලියටත් කෙටිකතා රචනා කළා. රිජ්වේ තිලකරත්න මහතාගේ කාලයේ ගුවන්විදුලියෙන් සාහිත්‍යය වෙනුවෙන් සෑහෙන වැඩකොටසක් කළා. ඒ කාලයේ සුගතපාල ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව මම ගුවන්විදුලියට කෙටිකතා රාශියක් රචනා කළා. මම මුලින්ම කෙටිකතා එකතු කරලා පොතක් පළ කළේත් සුගතපාල ද සිල්වා මහතාගේ ඕනකමටයි.

‘අඳුරට එළියක්’ කෙටිකතාවේ දිගුවක් නව කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වෙනවා?

ඔව්, ‘අඳුරට එළියක්’ කෙටිකතා සංග්‍රහයට 1971 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. මම ඒ පොතෙන් එක කෙටිකතාවක දිගුවක් අලුත් කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කරන්න හිතුවේ කාලයත් සමඟ ඇති වී තිබෙන සමාජ වෙනස ගැන කතා කරන්නයි. එදා ඒ කෙටිකතාව ලියැවුණු කාලයට වඩා අද කාලය වෙනස් වෙලා. හැබැයි එදා තිබුණු දුප්පත්කම සහ නැතිබැරිකම් එදාට වඩා වෙනස් ආකාරවලින් අදත් තියෙනවා. එහෙම බලනකොට එදා සිට මේ දක්වා ගෙවී ගිය දීර්ඝ කාලය ඇත්තටම ලොකු සමාජ සංවර්ධනයක් සිද්ධ වෙලා නැහැ. එදා වගේම අදත් තරුණ පරපුරට විරැකියාව, දුප්පත්කම සහ අධ්‍යාපනය වගේ කාරණා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. එදා සමාජයේ තිබුණු අසාධාරණය සහ අසහනය අදටත් තියෙනවා. මේ රටේ සාදාකාලිකව පවතින යහපත් දෙයක් කවදාවත් කෙරෙන්නෙ නැහැ. අල්පෙනෙත්තක් හරි හදන කර්මාන්ත ශාලා අලුතෙන් පටන් ගන්නවා නම්, අපේ රටේ තරුණ පරපුරට රැකියාවක් කරලා ගැම්මක් ඇතුව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒත් ඒ වගේ සංවර්ධනයක් මේ සමාජයේ සිද්ධ වෙන්නෙ නැහැ. එදා ඔය කාරණය ගැන කතා කරන්න මම ලියපු කෙටිකතාවේ දිගුවක් අද සමාජයට ගැළපෙනවා කියලා මට හිතුණා.

එදා සිට මේ දක්වා ඔබේ කෙටිකතාකරණයේ වෙනසක් වී ඇතැයි ඔබට සිතෙනවාද?

ගෙවුණු කාලය ඇතුළත මම ලියපු කෙටිකතා ඇතුළත් පොත් නවයක් මේ වෙනකොට පළ වෙලා තියෙනවා. මේ හැම පොතකම තියෙන්නේ පසුගිය කාලය පුරාම සමාජයෙන් ලැබුණු අත්දැකීම් ඇසරින් මම රචනා කරපු කෙටිකතා. ඒ හැම කෙටිකතාවකම තියෙන්නේ සමාජ යථාර්ථයයි. කාලයත් එක්ක සමාජයේ සිදු වන වෙනස්කම් සියල්ලම මේ කෙටිකතාවලට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. ඒ අනුව සිදු වුණු වෙනසක් ඇරෙන්න වෙන වෙනසක් මගේ කෙටිකතාවල තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කෙටිකතාවේ සන්දර්භය, වස්තුවිෂය, තේමාව, ආකෘතියේ වෙනස්කම් හෝ අලංකාර වගේ දේවල් ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. කෙටිකතාවල මම ලියන්නේ සමාජ ජීවිතය ගැනයි. කෙටිකතා ඔස්සේ මම එදා ලියපු ජීවිතය සහ දැන් ලියන ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවා.

වාණිජකරණය වූ සමාජයකට සාහිත්‍යයෙන් බලපෑමක් කළ හැකිද?

සමාජයට විශාල බලපෑමක් කරන්න සාහිත්‍යයට පුළුවන්. දේශපාලනඥයින්ගේ පස්සෙන් යන්නේ නැතිව ස්වාධීනව වැඩ කරන්න සාහිත්‍යකරුවන්ට කොන්ද පණ තියෙන්න ඕන. දේශපාලනඥයො ගැන ඒ අය කරදර වෙන්න වුවමනා නැහැ. දේශපාලනඥයො ඔහොම හිටියාවෙ. සාහිත්‍යකරුවෝ කියන්නේ වෙනම ආණ්ඩුවක්. ඒ අය වෙන කාටවත් පන්දම් අල්ලගෙන පස්සෙන් යන්න ඕන නැහැ. අපේ සමහර සාහිත්‍යකරුවෝ අද දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්වෙලා තියෙන හැටි දකිනකොට අපට ලැජ්ජ හිතෙනවා. ඒ තත්ත්වයට පත් නොවී අවංකව වැඩ කරනවා නම්, අපට සාහිත්‍යයෙන් බොහෝ දේවල් කරන්න පුළුවන්.

තව දෙයක් කිව යුතුයි. අපේ රටේ සාහිත්‍යකරුවන්ට විශාල මුදල් ත්‍යාග සහිත සාහිත්‍ය සම්මාන දෙන්න ගත්තාට පස්සෙ අලිම අලි ජංජාලයක් වුණා. සාහිත්‍ය කෘති ඇගයීමට සම්මාන දුන්නාට කමක් නැහැ. ඒත් සම්මානත් එක්ක පිරිනැමෙන අධික මුදල් ත්‍යාග නිසා අද බොහෝ අය තමන්ගේ සැබෑ කාර්යභාරය අමතක කරලා කටයුතු කරන බව පෙනෙනවා. එදා, 1970 ගණන්වලදි රාජ්‍ය සම්මානයත් එක්ක අපට දුන්නෙ රුපියල් දාහක මුදලක්. දැන් ලක්ෂ ගණනින් දෙනවා. මේවා කරන්නේ ව්‍යාපාරිකයොනෙ. ඒ හරහා ව්‍යාපාරිකයො අපේ රටේ සාහිත්‍යය අතට අරගෙන තියෙනවා. ඔවුන් මේවා කරන්නේ අපට ආදරේට නෙවෙයි. අපට කර්තෘභාගය විදියට සියයට දහයක් විතරක් ගෙවලා ඔවුන් මේ කරන්නේ ව්‍යාපාරයක්. හැබැයි එක අතකින් ඔවුන් කරන්නෙ හොඳ දෙයක්. ඔවුන්ගෙන් තමන්ට සාධාරණයක් ඉටුකර ගන්න සාහිත්‍යකරුවො එකතු වෙන්න ඕන. එහෙම එකතු වෙලා, කර්තෘභාගය විදියට දැනට ගෙවන සියයට දහය අඩුම වශයෙන් සියයට පහළොවක්වත් කරගන්න හඬක් නගන්න ඔවුන්ට පුළුවන්. සමහරුන්ට නම් දැනටත් සියයට විස්සක කර්තෘභාගයක් ලැබෙනවා කියලා කියනවා. ඒ නිසා ඔවුන් වැඩිය සද්ද නොකර ඉන්නවා වෙන්නත් ඇති. අපේ ප්‍රකාශකයොත් සාහිත්‍යකරුවො එක එක්කෙනාට එක එක විදියට බෙදනවා. මේ තත්ත්වය නැති කරගන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන.

 

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා

ජනප්‍රිය ලිපි