අනුහස් වලව්වක සෙනෙහෙ ගඟුල පොඩි (මැණිකේ) කුමාරිහාමි

 ඡායාරූපය:

අනුහස් වලව්වක සෙනෙහෙ ගඟුල පොඩි (මැණිකේ) කුමාරිහාමි

"ඉස්සර බාල කුලවල මිනිස්සු ගෙදරට ආපුවහම මිදුලෙ කෙළවරකට ගිහින් වී මල්ලක් තියල එනවා. අපේ ගෙවල්වලට ඒ අය අවාම ඉඳගන්න පුටු දෙන්නෙ නෑ. වළං කඳක් අරං වේරහැර ඉඳන් ආපු පණ්ඩිතයව කවදාවත් අපේ ගෙට ගත්තෙ නෑ. හේන මාමලාට, බලි ඇදුරන්ටත් එහෙමයි. වී හාල් තුනපහ තමයි කුලිය හැටියට දුන්නෙ. සල්ලි දුන්නෙ නෑ. හැබැයි අද ඒ සියල්ල වෙනස් වෙලා. අපේ ගමේ එහෙම කිසිම භේදයක් දැන් නැහැ. මම හිතන්නේ රටේම තත්ත්වය ඒකයි."

කාලයේ වැලි තලාවෙන් වැසී යමින් පවතින කුල භේදය පිළිබද, වසර අනූවකට පමණ පෙර මතකය අවදි කරමින් රත්නායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ මාතාව පැවසුවාය.

ගුත්තිල කාව්‍යය රචනා කළ වෑත්තෑවේ හිමියන් වැනි වියත් උතුමන් බිහි කළ, ඵෙතිහාසික දඹදෙණි රාජධානියට අයත් වෑත්තෑව නම් ගම් පියසේ 1915 වර්ෂයේ වෙසක් මස 13 වැනි දින ඇය මෙලොව එළිය දුටුවාය. ඒ කුල ගර්වය ඉහළින්ම සැලකූ ප්‍රභූ පවුලක දියණියක ලෙසිනි. සිය දිවි මඟෙහි 104වන වසර ගෙවමින් සිටින ඇය, අදටත් දිවි ගෙවන්නේ සිය ගම් පියසේය. ඇය දරුවන් දසදෙනෙකුගේ මාතාවකි.

ළමා කාලය

දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නිය පොඩි මැණිකේ මාතාවයි. ඇගේ පියා රත්නායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා වූ අතර මව අත්තනායක මුදියන්සේලාගේ මුතු මැණිකේය.

"අපේ අපුච්චාට ගමේ හැමෝම කීවෙ මහ නිලමෙ කියලා. ගමේ උදවිය හැමදෙනාම අපුච්චාට ගරු කළා. ගොඩ මඩ ඉඩම් මහා හුඟක් අපිට තිබුණා. අපේ වටපිටාවෙ හිටියෙ බොහොම නම්බුකාර මිනිස්සු විතරයි. පහු කාලෙක ආණ්ඩුවෙන් ඉඩම් බෙදුවාට පස්සෙ තමයි එක එක කුලවල මිනිස්සු අපේ ගමේ පදිංචි වුණේ. ඒ සන්දියේ අපේ ගමට ආපු නම්බුකාර උදවිය හැමෝම ඉස්සරවෙලාම ගොඩ වුණෙත්, නවාතැන් ගත්තෙත් තේ කෝප්පයක් බිව්වෙත් අපේ ගෙදරින්. කොටින්ම කිව්වොත් අපුච්චගෙ අනුදැනුම නැතුව ගමේ කිසි දෙයක් වෙන්නේ නැහැ."

ඇගේ සිප්හල වූයේ ගල්ගම්මුල්ල රජයේ විදුහලයි. කිලෝ මීටරයක් පමණ දුර ගෙවා සිප්හලට ගිය අයුරු ඈ සිහිපත් කළේ මෙලෙසිනි.

"පහේ කැලෑසියට වෙනකම් ඉස්කෝලේ ගියා. ගවුම ඇඳන් පයින්ම තමයි ගියේ. නංගිලා, මල්ලිලා හම්බ වුණාම එයාලා බලාගන්න අම්මට කරදර හින්දා මට ඉස්කොලෙ ගමන නතර කරන්න වුණා. ඒ දවස්වල තිබුණා මතයක්, විශේෂයෙන්ම වංශවත් පවුල්වල ගෑනු ළමයි ඉස්කෝලේ යවන්නේ නැහැ කියලා. ඉස්කෝලේ යන්නේ රැකියාවක් කරන්න කියන මතය තිබුණා."

ඕවසියර් රස්සාව

මේ කාලය අඩි පාරවල් කරත්ත මාර්ග බවටද, කරත්ත මාර්ග වාහනයක් ගමන් කළ හැකි මාර්ග බවටද පත්වූ කාල වකවානුවයි. වෑත්තෑව ප්‍රදේශයේ මාර්ග කීපයක්ම පුළුල් වූ අතර, මේ කටයතු සදහා කම්කරුවන් ඇතුළු සේවකයන් වෑත්තෑව හා අවට ගම්වලින් තෝරා ගැනීමට බලධාරීහු පියවර ගත්හ. මේ සේවකයන් තෝරා ගැනීමේ කටයුත්තේදීද මහ නිලමේට සුවිශේෂී කාර්යයක් පැවරී තිබේ.

"මට මතක විදිහට මේ 1932 වගේ වෙන්න ඕනෑ. අපේ අප්පොච්චට පැවරුණේ වැඩ කරන මිනිස්සු හොයලා දෙන එකයි. ඉතින් මම කිව්වා මටත් වැඩට යන්න ඕනෑ කියලා. අප්පොච්චා එකට කැමති වුණේම නැහැ. නමුත් මම කිව්වා මම පහට ඉස්කෝලේ ගිහින් තියනවා, ඉගෙන ගත්තු එකෙන් රටට, ගමට වැඩක් කරන්න ඕනෑ කියලා.

“අන්තිමට යන්තම් අප්පොච්චා කැමති කර ගන්න පුළුවන් වුණා. අප්පොච්චා හින්දම මට ඕවසියර් තනතුර ලැබුණා. මම හිතන්නේ අපේ පරම්පාරාවේ ගැහැනු ළමයෙක් මේ වගේ වැඩක් කරපු පළවෙනි වතාව. කොහොම හරි මම මගේ වැඩේ කළා. සමහර අහිංසක මිනිස්සුන්ට වැඩට එන්න බැරි වුණාම, මං ඒ අයගෙ නම ලකුණු කළා. එතකොට උන්දලට ආණ්ඩුවෙන් පඩියක් ලැබුණා. මටත් සතියකට ශත පනහක් පඩි ලැබුණා."

විවාහය

අද මෙන් නොව එදා බහුතරයකගේ විවාහ මංගල කටයුතු සිදු වූයේ දෙමාපිය යෝජනා ස්ථිරත්වය අනුවයි. ඒ දහම පොඩිමැණිකේ මාතාවගේ දිවියටත් පොදු එකක් විය. ඒ අනුව පොඩිමැණිකේ මාතාවගේ ස්වාමිපුරුෂයා පිළිබඳ සියලු තීන්දු තීරණ ගැනුණේ මහ නිලමේ හෙවත් ඇගේ අපුච්චාට ගැළපෙන අයුරිනි. දිවුලපිටිය බලගල්ලේ පදිංචි සේනානායක අප්පුහාමිලාගේ පීරිස් අප්පුහාමි මහතා පොඩි මැණිකේ මාතාව හා විවාහ දිවියට ඇතුළත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. විවාහයෙන් අනතුරුව මේ දෙදෙනා දරුවන් දසදෙනෙකු රටට දායාද කළෝය.

මේ දෙපළගේ වැඩිමහල් දියණිය වන්නේ 1944 වර්ෂයේ උපන් පබිලින් නෝනා සේනානායකයි. දෙවැනියා 1946 වර්ෂයේ උපන් අතර චාල්ස් සේනානායකයි. ඔහු වතු අධිකාරිවරයෙකි. තුන්වැනියා කරෝලිස් අප්පුහාමි සේනානායක නොතාරිස්වරයෙකු වශයෙන් සේවය කළේය. ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. සිව්වෙනියා ඊසක් අප්පුහාමි සේනානායක විශ්‍රාමක ගුරුවරයෙකි. පවුලේ පස් වැනියා වරාය අධිකාරියේ සේවය කළ හරිස්චන්ද්‍ර සේනානායකය. ඔහුද ජීවතුන් අතර නැත. හය වෙනියා චන්ද්‍රලතා සේනානායක විශ්‍රාමික ගුරුවරියකි. පවුලේ හත් වෙනියා වන කුසුමලාතාද විශ්‍රාමික ගුරුවරියකි. අටවැනි දියණිය දමයන්ති සේනානායක රැකියාවක් නොකරන අතර මේ වන විට අපේ කතා නායිකාව සිටින්නේ ඇයගේ රැකවරණයේය. නවවැනියා නිහාල් පරාක්‍රම සේනානායක මේ වන විට ජීවතුන් අතර නැත. බාල පුත් වන උපුල් විමලධර්ම සේනානායක ගිරිඋල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු වශයෙන් සේවය කරයි.

අතීත විත්ති

"තල් කොළවලින් වියපු මල්ලකට කෙහෙල් කොළයක් දාලා හදාගත්තු භාජනයක තමයි හිඟන මිනිස්සුන්ට කන්න දුන්නෙ. සුද්ද කරපු පොල් කට්ටකට වතුර දුන්න. ගෙයි පිල උඩ වාඩිවෙලා ඒ අය බත් කනවා. කාල මහ හුඟක් පින් දුන්නා. අද වගේ බොරුවට හිඟා කන අය නොවෙයි එදා හිටියේ. ඇත්තටම නැති බැරි අය තමයි එදා හිඟමනේ ආවේ."

මීට වසර අසූවකට, අනුවකට පමණ පෙර මුදල් වෙනුවට භාණ්ඩ හා ආහාරවලින් ගනුදෙනු කළ අයුරුද ඇගේ මතකයේ තිබිණි.

"ඒ කාලෙ හැම කන්නෙකම අපේ කුඹුරු වලින් වී ලාස් පහක් බෙරවයන්නන්ට වෙන් කරලා තිබුණා. බලි ඇදුරෝ කියලා තමයි බෙර වයන්නන්ට කිව්වේ. අපේ ගෙවල්වල ඉලව්වක් මඟුලක් වුණාම බෙර ගහනවට අමුතුවෙන් අපි මුදලක් දුන්නෙ නෑ. ඒ වාගෙම මඟුල් ගෙවල්වල වියන් බඳින්න ආපු හේන මාමාටත් බත් පෙට්ටියක් එක්ක වී හාල් එළවළු වාගෙ දේවල් දුන්නා.

"සිංහල අවුරුදු කාලෙට වේරහැර ඉඳන් මිනිහෙක් වළං අරං එනවා. අපි ඒ මනුස්සයට කිව්වෙ පණ්ඩිතයා කියලා. මේ හැම කෙනෙක්ම මැණිකෙ කියලා මට කථා කෙරුවා. අපේ මනුස්සයට මේ හැමෝම නිලමෙ කියල තමයි කථා කෙරුවෙ. ඒ දවස්වල හේන මාමා වියනක් බැඳලා ඉවර වුණාම බැඳපු වියන තිබුණු දිහාවටත් හේන මාමාට ළං වෙන්න දුන්නෙ නෑ.

"අපේ අම්මා කුඹුරු වැඩ කාලෙට හීලට කෑම අරං ගියාම අහල පහළ කුඹුරුවල වැඩ කරන හැමෝටම අඬ ගගහා කන්න දුන්නා. කවදාවත් ලෝබකම් මසුරුකම් කළේ නෑ. ඒ කාලේ නම් ගමේ තිබුණ වට පිටාවත් එක්ක කුල ප්‍රශ්න ගොඩක් බලවත්ව තිබුණා. ඒ වුණත් අපි හැමෝම මිනිස්සු. මං හිතන්නෙ එහෙමයි."

සමගිය

"අපේ අම්මා කාටවත් දෙවැනි වෙන්න කැමති වුණ කෙනෙක් නෙවෙයි. කවුරු හරි මොනවත් කීවොත් කවදාවත් කටවහගෙන උන්නෙ නෑ. හැබැයි අම්මා තාත්තා එක්ක නම් කවදාවත් එකට එක කිව්වේ නෑ. හරිම සමගියෙන් උන්නා. තාත්තාත් එහෙමයි. අපේ අම්මා කවදාවත් මස් වර්ග එහෙම කන්නෙ නෑ. උයලත් නෑ. ඒ වාගෙ දෙයක් ගෙනාවාම තාත්තා තමයි උයලා දුන්නේ. දෙන්නාට දෙන්න හුඟක් ආදරයෙන් තමයි හිටියෙ." පොඩි මැණිකේ මාතාව පැවසුවාය.

එපරිදිම, මේ වන විට පොඩි මැණිකේ මාතාවට රැකවරණය සපයන ඇගේ බාල දියණිය දමයන්ති මහත්මියද සිය මව ගැන අතීත මතක අවදි කළාය.

"ගෙදර හැම දවසකම කෑම වට්ටෝරු තීරණය කරන්නෙ තාත්තා. හැමදාම වගේ උදේට කෑමට තිබුණේ ආප්ප. උදේ පාන්දර නැගිට්ට හැටියෙම අම්මා හාල් පෙඟෙන්න දාලා, හවසට පිටි අනලා අපේ පවුලේ දොළොස් දෙනාටම ඇතිවෙනකම් කන්න ආප්ප උයනවා. අපේ අම්මට අවුරුද්දෙ වැඩ අධිකවම තිබුණෙ සිංහල අවුරුදු කාළේට තමයි. ගෙවල්වලට ගොම මැටි ගාලා, මකුළු දැල් කඩලා, ඊට පස්සෙ කෑම ජාති හුඟක් හදනවා. කැවුම් මුට්ටි දෙකතුනක් හදනවා. එක වර්ගයකින්. මේවා හැම එකක්ම අහල පහළ හැමෝටම දෙනවා. ඒ එක්කම අම්මා හේන මාමාලාට, බෙර වායන්ට, වළං අරං එන අයට අත පිරෙන්න මේ කැවිලි වර්ග වී හාල් තුනපහ දුන්නා.

ඒ වගේම තමයි අම්මගේ අරපිරිමැස්ම. ගෙදර වත්තෙ වැටෙන එක පොල් අත්තක්වත් දිරලා යන්න දුන්නෙ නෑ. හැම එකක්ම වත්ත පහළ ඇළේ පොඟන්න දාලා වියනවා. ඒ දවස්වල කරත්තවලින් ගමට එන වෙළෙන්දන්ට මේවා විකුණනවා. අපේ අම්ම ගොඩක් රටා දාලා පන් පැදුරු, මලු වියන්න දන්නෙ නෑ. ඒ වුණත් අම්මා රටා පැදුරු වියන්න දන්න අයව එකතු කරගෙන දිග මාගල් වට්ටි පෙට්ටි පැදුරු වියා ගත්තා."

දීමනා එපා

දමයන්ති මහත්මිය, සිය මවගේ වත්මන් දිනචර්යාව ගැනද විස්තර කළාය.

"අම්මා කිසිම දවසක මස් කාලා නෑ. පලා වර්ග කෑවෙත් නෑ. හැබැයි මුං, කව්පි, තල මෙනේරි, කුරහන් මේ හැම ධාන්‍ය වර්ගයක්ම නිතර නිතර ආහාරයට ගත්තා." තවමත් ඇගේ වියපත් දෑස ඇගේ තරුණ දූ දරුවන්ට වඩා හොඳින් ඇයට පෙනීම ලබා දෙයි.

"මල්ලි පොඩි කාලේ ඉඳන්ම පොලිස් සේවයට යන්න කැමැත්තෙන් උන්නා. මේ බව දැන ගත්තු මොහොතෙම අම්මා ඒකට තදින්ම විරුද්ධ වුණා. ඒත් මල්ලි උසස් පෙළ කරද්දී අම්මට හොරෙන් ඇප්ලිකේෂන් දාලා පොලිසියට බැඳුණා. අපේ පවුලේ එක්කෙනෙක් ඇරුණම හැමෝම රැකියාවල් කරනවා. ඉතින් අපි අපේ අම්මට රජයෙන් දෙන්න හදපු රුපියල් 2000/- දීමනාව එපා කිව්වා. මෙච්චර දරු පරපුරක් හදපු අම්මා පරමායුෂ විඳිනකම්ම හොඳින් බලාගන්න එක තමයි අපේ ලොකුම සතුට"

සමුගැනීමට සූදානම්වූ මොහොත මගේ හදවතට මහා බරක් එක් කළේය. ඇගේ නිවසට ගිය මොහොතේ පටන්ම මගේ දෑතම තදින් අල්ලාගෙන සිනහ මුසු මුහුණින් මා හා සංවාදයේ යෙදුණ ඇගේ ඉල්ලීම වූයේ මටද ඇගේ නිවහනේ නතරවන ලෙසයි. දරුවන් දසදෙනෙකුට මහ සෙවණක් වූ ඒ දයාබර අම්මාට, මා ඇගෙන් සමුගැනීම වේදනාවක් බව කියා පෑවේ කඳුළින් දිලිසුණු ඇගේ දෙනෙතයි.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා