ක්ලැරැන්සියානු පොප් සංගීතයේ නදීකානුවාදය

 ඡායාරූපය:

ක්ලැරැන්සියානු පොප් සංගීතයේ නදීකානුවාදය

ලංකාවට පොප් සංගීතය ගලා එන්නෙ 60-70 දශකවලදී වුණත් යුරෝපයේ පොප් සංගීත ඉතිහාසය ඊට වඩා පැරණියි. කණ්ඩායම් සංගීතය හරහා ලංකාව ආක්‍රමණය කළ මෙම නව සංගීත ධාරාවේ පුරෝගාමියකු ලෙස අපට ක්ලැරන්ස් විජේවර්ධනවත් නම් කළ හැකියි. එකල ඉන්දියානු සංගීත සම්ප්‍රදාය පමණක් පැවතිය යුතුය යන ගැති මානසිකත්වයෙන් සිටි ඇතමකු එය ප්‍රතික්ෂේප කළත් ක්ලැරන්ස්ගේ සංගීත භාවිතාව සාමාන්‍ය රසිකයන් සෑහෙන පිරිසක් කැමැත්තෙන් වැලඳ ගත්තා. බටහිර රටවල් ආශ්‍රිතව බිහිවුවත් එය ඓතිහාසිකව සහ ක්‍රමිකව ගොඩනැඟුණු ධාරාවක් නොවෙයි. එහි සම්භවය ගිනි කන්දක් පුපුරා යෑමට සමාන බවයි සමහර විචාරකයන්ගේ මතය. මේ සංගීත සම්ප්‍රදාය බිහිවී ඉතා කෙටි කලකින් පොප්, හිපොප්, ජෑස්, ඉලෙක්ට්‍රෝනිකා ආදි වශයෙන් විවිධ ප්‍රභේද ගණනාවකට විහිද විසිරී ලොව පුරා විකසිත වුණා. කෙසේ වුවත් පොප් සංගීතයේ ප්‍රවේශය රෝමාන්තික මුහුණුවරක් සහිත වූවක් නොවෙයි. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මේ බිහිවීම හැඳින්විය හැකියි. ඒ වනතෙක් බීතෝවන් හෝ බාක් වැනි සම්භාව්‍ය සංගීතකරුවන් රසවිඳීමේ හැකියාව තිබුණේ ප්‍රභූ පැලැන්තියට බව රහසක් නොවෙයි. ප්‍රාග්ධනය අහිම් පන්තියට ඒ වරම හිමි වුණේ නැහැ. නමුත් කාර්මික විප්ලවයෙන් පසු තත්ත්වය වෙනස් වුණා.

ලංකාවට පොප් සංගීතය ගලා ආවේ ගිටාරය ප්‍රමුඛ සරල සංගීත ශෛලියක් වූ ශ්‍රී ලාංකේය කැලිප්සෝ ප්‍රවර්ගය සමඟයි. නොයෙල් ප්‍රනාන්දු ප්‍රමුඛ ‘ලොස් කැබරලොස්’ සංගීත කණ්ඩායමත් නොයෙල් රණසිංහ ප්‍රමුඛ ‘ලා සිලොනියන්ස්’ සංගීත කණ්ඩායමත් ක්ලැරන්ස් විජේවර්ධනට පෙර මෙම සංගීත රටාව මෙරට ප්‍රවර්ධනයට විශාල මෙහෙරවරක් ඉටු කළා. ක්ලැරන්ස්ටත් එය පෙර ලකුණක් වූ බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලියි.

“අපි සංගීතෙට එන කාලෙ එංගලන්තෙ බීට්ල්ස් සංගීත කණ්ඩායමත් ලංකාවේ ලා සිලොනියන්ස්, ලොස් කැබරලොස් වගේ සංගීත කණ්ඩායමුත් තරුණයො අතර ප්‍රචලිත වෙලා තිබුණා. මටත් ඕන වුණේ ඒ මඟ යමින්, එය අනුකරණය කරමින් අලුත් සංගීත ශෛලියක් නිර්මාණය කර ගන්නයි”

නදීක ගුරුගේ විසින් සංගෘහිත ‘ක්ලැරැන්සියානු පොප් සංගීතය’ නමැති අභිනව කෘතියෙන් ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත භාවිතාව පිළිබඳ ගැඹුරු විමසුමක යෙදෙන්නට නදීක ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. ක්ලැරැන්සියානු සංගීත භාවිතය පිළිබඳව ඔහු 1990 පමණ සිට අවධානයෙන් පසුවුණු බව මෙම කෘතියෙහි සඳහන්. දිගු කලක් ලංකාවේ විවිධ සංගීතකරුවන් සහ සාම්ප්‍රදායන් පිළිබඳ පර්යේෂණ කරමින් නදීක එක්රැස් කරගත් දැනුම් සම්භාරය මෙහිදී ඔහුට මහත් ශක්තියක් වී ඇති බව පැහැදිලියි. නදීක ක්ලැරැන්සියානු සංගීත භාවිතය ප්‍රයාණ හෙවත් පරිච්ඡේද නමයක් ඔස්සේ විමසා බලනවා. මෙහිදී ‘තන්ත්‍රී භාණ්ඩෝත්පත්ති කතාව’ සහ ‘ගිතාරුවේ (ගිටාරයේ) පරිණාමය, සමාජ දේශපාලනික පසුබිම’, ‘කණ්ඩායම් සංගීතයේ සමාරම්භක අවධිය’, ‘ක්ලැරැන්සියානු සංගීතයේ ආවේණික ලක්ෂණ’ වැනි කරුණු රැසක් මැනැවින් විග්‍රහ කෙරෙනවා. විශේෂයෙන්ම ගිටාරය හරහා කෝඩ් වාදනයේදී ක්ලැරන්ස් අනුදත් විවිධ ප්‍රකරණ ඉතා විචිත්‍ර ලෙස විවරණය කෙරෙනවා. අප මෙහිදී වඩා වැදගත් ලෙස සලකන්නේ මෙතෙක් ගීත විචාරයේදී සංගීත විචාරය වෙනුවට සිදු කෙරුණු සාහිත්‍ය විචාරය පසෙකලා සැබෑ ලෙසම නිදසුන් සහිතව සංගීත සමායෝජනය විමසීම සහ විස්තාරණය කිරීමයි. මගේ අවබෝධයේ හැටියට සිංහල බසින් මෙසේ සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. විශේෂයෙන්ම ක්ලැරන්ස්ගේ ගීත නිර්මාණයන්හි ආකෘතික විශේෂතා මෙන්ම අනුගැයුම් හෙවත් Harmoney භාවිතය සේම භාවිත කර ඇති අදාළ කෝඩ්ස් (ස්වර ත්‍රිකය) සහ එයට සමපාත වන සත්වන ස්වරය ආදේශ කිරීම වැනි අනුශාංගික ලක්ෂණ මැනැවින් විග්‍රහ කෙරෙනවා. මෙහිදී නදීක විසින් උපයුක්ත කරගනු ලබනා බස්වහර සහ යොදාගන්නා අලුත් වදන් නිසා සිංහල වාග් කෝෂය පුළුල් වීමක්ද නිරායාසයෙන් සිදු වෙනවා. ක්ලැරන්ස් ගිටාරයේ ස්වර මවන්නට ඇඟිලි තබන ආකාරය මෙන්ම වාදනයේ විශේෂතා විස්තර කර ඇති ආකාරය කියවද්දී නදීකගේ ගිටාර වාදනයේ කර්ණරසායන බව මෙන්ම ඔහු හා අප සංගීත සාමීචියේ යෙදුණු සුන්දර රාත්‍රී යාමයන් සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවීම කෙසේ නවතාලන්නද?

පොප් ගීත කලාව ලොව පුරා ව්‍යාප්ත වුණේ ගැඹුරු දර්ශනයක්, චින්තනයක් අරෝප කරගනිමිනුයි. නිදහස, ලිංගිකත්වය වෙනුවට ජීවිතයට ආශක්ත කරවන බිය සැක නැති ආදරය, ළමුන්, මහල්ලන්, රෝගීන් වැනි ඇදවැටුණු මිනිසුන් සහ දුබලයින් ආමන්ත්‍රණය, අතීත ශිෂටාචාරයේ මානව ගුණාංග සොයා යාම මෙන්ම මිනිසා මිනිසාගෙන් ඈත්කර තබන හුදෙකලාව තුරන් කිරීම වැනි ගුණාංග රැසක් මේ පොප් ගීත කලාව සමඟ නිරන්තරයෙන්ම බැඳී පැවතුණා. එසේම වඩාත් ප්‍රබල ලක්ෂණය වුණේ ‘ජනතාව සඳහා බිහිවුණු සංගීතය’ යන අර්ථ දැක්වීමයි. අභාග්‍යය වුණේ ලංකාවට එය ගලා එනවිට එහි ගැබ්ව තිබුණු දර්ශනය සහ චින්තනය ගිලිහී ගොස් තිබීමයි. එවන් අවබෝධයකින් ක්ලැරැන්ස්ද සන්නද්ධව සිටියේ නම් නදීකගේ විග්‍රහය තවත් දාර්ශනික ස්වභාවයක් අත්පත් කරගන්නා බව නිසැකයි. කෙසේ වුවද මේ අභිනව කෘතිය එතෙක් මෙතක් සිංහල සාහිත්‍ය ලෝකයට බිහිවූ විශිෂ්ටතම සංගීත විමර්ශනය බව නදීකගේ වෑයම කෙරෙහි අතිමහත් ගෞරවයෙන් සටහන් කරනවා.

මාතෘකා