සීතා කෝවිල, හග්ගල සහ අරංගයා නිසා ලෝ පතළ වුණු සීතාඑළිය හන්දිය

 ඡායාරූපය:

සීතා කෝවිල, හග්ගල සහ අරංගයා නිසා ලෝ පතළ වුණු සීතාඑළිය හන්දිය

සීතා දේවිය නමට බැඳුණු ලොව එකම කෝවිල

ඩඩ්ලි වෙනුවෙන් දුන් දන්සැලේ මතකය

'අරංගයා' හමුවන ලොව එකම තැන

නිට්ටෑවුන් සිහිගන්වන 'මට්ට කොල්ලා'

නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා විට හග්ගල දැඩි රක්ෂිතයට මායිම් වූ හරි අපූරු හන්දියක් හමුවෙයි. බොහෝ ජනප්‍රවාදයන් හා විශ්වාසයන්ද ස්වාභාවික පරිසරයද හේතුවෙන් සිතාඑළිය හන්දිය ආශ්‍රිත ප්‍රදේශය ජනප්‍රියත්වයට පත්ව ඇත. හග්ගල උද්භිත උද්‍යානයත්, සීතා අම්මාන් කෝවිලත් මේ ජනප්‍රියත්වයේ ප්‍රදාන කොටස් කරුවන්ය. ජනප්‍රවාදයට අනුව සීතාඑළියේ ආරම්භය රාවණා රජසමය දක්වා දිව යන්නකි.

සීතා දේවියගෙන් ලැබුණු නම

සීතා දෙවිය රාවණ රජු විසින් හග්ගල පිහිටි ගල් ගුහාවක සිරකර සිටි අතර, එහිදී සීතා දේවියට තම පෙනීම අහිමි වෙයි. දැනට සීතා අම්මාන් කෝවිල පිහිටි ස්ථානයේ ගල් වළකින් දිය නෑමෙන් පසු අයට පෙනීම ලැබුණු බවත් ඒ නිසා මෙම ප්‍රදේශයට සීතාඑළිය යන නම ලැබුණු බවත් ජනප්‍රවාදයයි. හග්ගල කඳු මුදුනේ ගල් ගුහාවේ සඟවා සිටි සීතා දේවියට පහළින් ආලෝකය නැත්නම් එළිය දුටු තැන සීතාඑළිය වූ බව තවත් කතාවකි. එසේම ප්‍රදේශයේ පවතින දැඩි සීත බව නිසා සීතාඑළිය යන නම ලැබුණු බව තවත් මතයකි.

බොහෝ අවශ්‍යතා සපුරා ගත හැකි, දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතින සීතාඑළිය හන්දිය තුන් මං හන්දියකි. බදුල්ල ප්‍රධාන මාර්ගය මෙන්ම සීතාඑළිය ගම්මානයට පිවිසීමට ඇති මාර්ගයත් නිසා මෙම තුන්මං හන්දිය නිර්මාණය වී ඇත. හන්දිය ආසන්නයේම ඇත්තේ ලෝක ප්‍රසිද්ධ සීතා අම්මාන් ෙකා්විලයි.

පාර හදද්දී පඬුරු බැඳපු තැන

ප්‍රදේශවාසීන් අතර සීතා කෝවිල නමින් මෙන්ම ලොව පුරා බැතිමතුන් අතර සීතා අම්මාන් කෝවිල නමින් ජනප්‍රියත්වය පත්ව ඇති සිතාඑළිය කෝවිල බිහිව ඇත්තේ හරි අපූරු අකාරයකිනි. හන්දිය ආසන්නයේ දිවි ගෙවන චන්දන උදය මහතා ලෝක පූජිත පුද බිමක ආරම්භය ගැන පැවසෙන ඒ කතාව මෙසේ විස්තර කරයි.

"ඒ දවස්වල සුද්දො පාර හදනකොට මේ කෝවිලට පහළින් තැනක් තිබිලා තියෙනවා කොහොම හැදුවත් කඩාගෙන යන තැනක්. ඒක නිසා සුද්දන්ට එතනින් උඩට පාර කපන්න බැරි වෙලා. ඒ වෙලාවේ පාරේ වැඩ කරපු මනුස්සයෙක් දැන් කෝවිල තියෙන තැන පොඩි ගලක් තියලා, ඒකට පුද සත්කාර කරලා පඬුරක් ගැටගහලා තියෙනවා පාර හොඳින් කපා ගන්න ලැබෙන්න කියලා. ඊට පස්සේ තමයි පාර කපන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ පඬුරු බැඳපු තැන තමයි දැන් ඔය සීතා කෝවිල තියෙන්නෙ."

හමුදාවෙන් හැදූ කෝවිල

සීතා කෝවිල ඉදිරිපිට වසර පනහකට අධික කාලයක් වෙළදාමේ නියැලෙන දයානන්ද මහතාට සීතා කෝවිල ගැන මෙන්ම මේ ප්‍රදේශය පිළිබදව හරි අපූරු මතකයක් රාශියක් ඇත. "ඉස්සරලාම මම මෙතන අවුරුදු පනහකට විතර ඉස්සර පලතුරු කඩයක් දැම්මා. ඉස්සර මම වික්කෙ පෙයාස්. තව පලතුරු වර්ගත් වික්කා. ඒ දවස්වල ආමි එකෙන් තමයි මෙතන කෝවිල හැදුවේ. මට මතකයි රෝහාන් දළුවත්ත මහත්තයා තමයි ඒක කළේ. ඒ දවස්වල මෙතන කෝවිලක් තිබු‍ණේ නැහැ. අතන පහළින් තමයි තිබුණේ. දැන් නම් ගොඩාක් අය ඉන්දියාවෙන් එනවා මේ කෝවිල වඳින්න.

ඩඩ්ලි වෙනුවෙන් දුන්න දන්සැල

දයානන්ද මහතාගේ වෙළදසැලේ ඉතා පැරණි අපුරු ජයාරූපයක් තිබිණි. ඒ ඡායාරූපයේ ඇත්තේද අපූරු කතාවකි. "ඩඩ්ලි සේනානායක මත්තයා මැරුණු වෙලාවේ අපේ තාත්තා හග්ගල ඉඳලා එන පෙරහැරට කැවුම් කිරිබත් දන්සලක් දුන්නා. ඩඩ්ලි මහත්තයාට පිං සිද්ද වෙන්න කියලා. දැන් වගේ නෙවෙයි ඉස්සර දන්සල දෙන්නෙ කැවුම් කිරිබත්වලින්. අනික ඉස්සර හග්ගල පන්සලේ පෙරහැර සීතාඑළිය හන්දිය වෙනකම් එනවා. ඒක බලන්නත් ලොකු සෙනඟක් එනවා. එදා තමයි අපේ තාත්තා මේ පොටෝ එක ගත්තෙ."

සිතාඑළිය කෝවිල ලොව ඇති එකම සීතා කෝවිල බවද එහි වටිනාකම හඳුනන්නෝ පවසති. මෙම කෝවිල වන්දනාමාන කිරීමට ඉන්දීය බැතිමත්තු මෙන්ම ලොව පුරා බොහෝ බැත්මත්තු පැමිණෙති. ඔවුන් බොහෝ දෙනෙකු හනුමාන් වන්දනා කිරීමට මෙම පුදබිමට පැමිණෙන අතර ඇතින් පෙනෙන හග්ගල කඳු මුඳුනේ ඇති එක් කඳු ශිඛරයක හැඩය හනුමාගේ රූපයට සමාන බව දයානන්ද මහතා පෙන්වා දුන්නේය.

හන්දියේ මුල් පදිංචිකරුවෝ

සීතාඑළිය හන්දියේම දිවි ගෙවන සම්පත් මහතා හන්දියේ මුල්ම පදිංචිකරුවන්ගේ වත්මන් නියොජනයයි.

අපේ තාත්තා මේ ඉඩම අරගෙන ඉස්සර මෙහෙට එනකොට සිතාඑළියේ ඉදලා තියෙන්නෙ පවුල් අටක් විතරයි. ගමේම සින්නක්කර ඔප්පු තියෙන්නෙ පහයි. ඒකෙන් එකක් අපේ. ඒ දවස්වල මෙතන එක කඩයක් තිබුණා. අනිත් ඔක්කකොම පුලිචං කැලේ තිබුණෙ. පුලිචං කියන්නෙ අඹුල් බට වර්ගයක් අපි එවා ලුනුත් එක්ක කනවා. සීතාඑළිය සානුවේ තමයි අපේ ගම හන්දිය තියෙන්නෙ.

සීතාඑළිය අද වනවිට ජනාකිර්ණ වී තිබුණද අතීතයේ හග්ගල කඳු පන්තිය පාමුල පිහිටි සීතාඑළිය සානුව ආශ්‍රිත ප්‍රදේශය ඉතා මනරම් පරිසර පද්ධතික් සහිත ප්‍රදේශයකි. අදද ඒ පරිසරයේ චමත්කාරය සීතාඑළිය වර්ණවත් කරයි.

මේ ප්‍රදේශයේ පවතින සීත දෙශගුණ තත්ත්වය නිසාම රටේ අනෙක් පැතිවල මෙන් ගඩා ගෙඩි, පලවැල භුක්ති විදින්නට සීතාඑළියේ ඇත්තන්ට ලැබෙන අවස්ථා නම් බොහෝ විරලය. එසේ වුවත් එදා හන්දිය ආසන්නයේ ලඳු කැලෑවලින් රස විඳි බොහෝ දෑ ගැන සම්පත් අදත් සතුටින් සිහි කරයි. "ඉස්සර මේ හැම තැනම සීතා පේ තිබුණා. තව බුටන් කියලා ජාතියක් තිබුණා. එක පිටරටවල ගොඩක් ගණන්. එහේ ඒවාට කියන්නෙ 'වින්ට චෙරි' කියලා. තව කටුගෙඩි ජාති ගොඩාක් තිබුණා. අපි කටුගෙඩි කිව්වාට එවා බෙරි ජාති. ඒ දවස්වල පාර අයිනේ එවා පිරිලා තිබුණා. තව අපි පාරේ ඉන්නකොට එන සුද්දෝ අපිට තෑගි ගෙනත් දෙනවා. ටොපි, පෑන් වගේ දෙවල්. ඒ දවස්වල සුද්දෝ එන බස්වලට 'සුද්දා බස්' කියල කියන්නෙ. සමහාර සුද්දෝ රට ඉඳලම තෑගි පාර්සල් හදාගෙන එනවා. දැන් නම් එන සුද්දො එන්නේ පයින්."

දිය ඇලි දෙක

"අපේ ගම පටන්ගන්නෙ පොල්ගහ වංගුවේ තියෙන දිය ඇල්ලෙන්. ගම ඉවර වෙන්නෙත් දිය ඇල්ලකින්. එවා එච්චර ප්‍රසිද්ධ නැහැ. සංචාරකයෝ බොහෝ දෙනෙක් මෙහෙට එනවා. ඒ වුණාට මෙහේ වැඩි දෙනෙක් කරන්නෙ ගොවිතැන. අල, කැරට්, ලීක්ස් වගාව තමයි මේ පැත්තෙ ජයටම කරන්නෙ. තව ගම වැටෙටම ගොඩාක් දෙවල් තියෙනවා බලන්න." චන්දන උදය මහතා පවසයි.

'ශ්‍රී ලංකා අරංගයාගේ' නිවහන

සීතාඑළිය හන්දිය ආසන්නයේ ලොව පුරා පරිසරවේදීන්ගේ, විශේෂයෙන් කුරුල්ලන් ගැන අධ්‍යනය කරන්නන්ගේ අවධානයට ලක් වුණු සුවිශේෂ ස්ථානයක් පවතී. ඒ පොල්ගහ වංගුවයි. ලොවින් වඳ වී යෑමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින අප රටට අවේණික 'ශ්‍රී ලංකා අරංගයා' නැමැති පක්ෂියා මෙම ස්ථානයේ තුරු ගොමු අතරදී දැක ගත හැකි නිසාය. මෙම පක්ෂියා නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකු මෙම ස්ථානයට පැමිණෙන අතර සමහර සංචාරකයින් මෙම පක්ෂියකු අල්ලාගැනීම සඳහා අවට පදිංචිකරුවන්ට රුපියල් ලක්ෂ දහය දක්වා ලංසු තබන බවද ගැමියෝ පවසති. ඒ කෙසේ වෙතත් සීතාඑළිය වැසියන්ද මේ පක්ෂියාට ආදරය කරන නිසා අදටත් මේ වටිනා දායාදය ආරක්ෂා වී තිබේ.

මෙම පක්ෂියා නැරඹීම ඉතා දුර්ලභ සංසිද්ධියක් වන අතර මෙම පක්ෂියා සිටින පරිසර පද්ධතියට කුණු කසල එක් කිරීම නිසා මේ පක්ෂියාගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වි ඇති බවට පරිසර වේදීන් අනතුරුහඟවා තිබේ. මෙරටට ආවේණික අළු වඳුරාද සීතාඑළිය ආසන්නයේ ඇති හග්ගල රක්ෂිතයෙදී දැකගත හැකිය. සීතාඑළිය හන්දිය ආසන්නයෙන් රාවණා ඇල්ල දෙසට මෙන්ම රාගලට ගමන් කළ හැකි උමං මාර්ගයක් ඇති බව චන්දන අප සමග පැවසුවේ තවත් බොහෝ අතිත සාධකද සමගිනි.

මට්ට කොල්ලා

මේ දිනවල බොහෝ අලුතෙන් කතාබහට ලක්ව ඇති 'නිට්ටෑවාට' සමානකම් කියන ජීවියෙකු පිළිබද ජනප්‍රවාදයක් සීතාඑළිය ප්‍රදේශයේ පවතී. ඔවුන් හැඳින්වෙන්නේ 'මට්ට කොල්ලා' නමිනි. "ඔය කියන විදිහේ කොණ්ඩයක් මට්ට කොල්ලාට තිබිලා නැහැ. හැබැයි මිටියි. තට්ටෙ තමයි තිබිලා තියෙන්නෙ. ඉස්සර දර ගෙන්න කැලේට යන ගැහැනු අයට මට්ට කොල්ලා දර උස්සලා දීලා තියෙනවා. සමහරු බය වෙලත් තියෙනවා." ගම් වැසියන් මට්ට කොල්ලා ගැන පවසන කතා එබඳුය.

'චයිනිස්' වැවිල්ල

සීතාඑළිය හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ සරුසාර වගා බිම් මෙන්ම මේ වන විට සංචාරක හෝටල්ද බොහෝ සෙයින් බිහි වෙමින් පවතී. ඒ සමගම ප්‍රදේශයේ තරුණයින් සම්ප්‍රදායික එළවළු වගාවෙන් මිදී මේ වන විට 'චයිනිස්' වැවීමට පටන්ගෙන ඇත. "මෙහේ තියෙන ගොඩාක් හෝටල් කරන්නෙ පිටින් ආපු අය. අපි ගොඩ දෙනෙක් දැන් 'චයිනිස්' වවනවා. 'චයිනිස්' කියන්නෙ" සංචාරකයින්ට හෝටල්වලට ඔනේ එළවළු ජාති. චයිනිස් කැබෙච්, බ්‍රොකොලි, සුකිනි, කොත්තමල්ලි, සැලිදිරි, අයිස්බර්ග්, රොස් මේරි, බැසිල් වගේ දෙවල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. හන්දිය ආසන්නයේ සිටින නිමන්ත පවසයි.

මේ වන විට වැඩි වශයෙන් මේ ප්‍රදේශවල සංචාරය කරන්නේද චීන ජාතිකයන් බව ප්‍රදේශවාසීහු පවසති. අතීතයේ සිට පැවත එන පුරාවෘත්ත සහ ජනප්‍රවාදවල සඳහන් බොහෝ කරණු කාරණාද සීතාඑළිය හන්දිය හා බැඳ පවතී. බොහෝ දෙනෙකු හග්ගලට මෙන්ම සීතා අම්මාන් කෝවිලට පමණක් ගමන් කරන්නේ සිතාඑළියේ සැඟවී ඇති තතු නොදන්නා නිසාමය.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා

ජනප්‍රිය ලිපි