දේශ සීමා යුද ගැටුම් උණුසුම නිවූ ඉම්රාන් ගේ ක්‍රිකට් භාෂාව

 ඡායාරූපය:

දේශ සීමා යුද ගැටුම් උණුසුම නිවූ ඉම්රාන් ගේ ක්‍රිකට් භාෂාව

මෙම ලිපිය ලියන්නේ ශානක මධුශාන් අපරැක්ක ලියනගම. ශානක වෘත්තීය ලියන්නෙක් නොවේ. එහෙත් ඔහුගේ ලිවීමේ ශෛලිය තුළ ඇත්තේ සුගම බවකි. කියැවීමට රුචි වඩවන ඔහුගේ ලේඛන අන්තර් ජාලය ඔස්සේ නිරන්තරයෙන් පරිශීලනය කළ හැකිය. ඔහුගේ ලිවීම වඩාත් ශක්තිමත්වීමට ඉවහල්වී ඇත්තේ දැනුමින් සජ්ජිත වීම හේතුවෙනි. එකී ලිවීමට ජාත්‍යන්තර දැනුම සහ විචක්ෂණශීලීත්වය ලැබී ඇත්තේ ඔහුගේ වෘත්තිය හේතුවෙනැයි කිවහැක්කේය. ශානක යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ආගමන විගමන නිලධාරියකු වශයෙන් හා තම රැකියාව සඳහා ලෝකයේ විවිධ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි සේවය කර අත්දැකීම් ලබා ඇත්තෙකි. තවමත් තරුණයකු වන ශානක ලෝකය තුළ දක්නට ලැබෙන විවිධ සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී ලෙස සිය යතුරු පුවරුව යොදාගනිමින් අදහස් පළකරයි. වෘත්තීය ලේඛකයන්ට වඩා අපූර්ව ශක්තියක් සහිත ලේඛකයෙකු වශයෙන් සැලකිය හැකි ශානක විසින් ඉන්දු - පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පසුගියදා සිය ෆේස් බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබුණේය. අප එය වඩාත් පුළුල් පාඨක පිරිසක් අතරට රැගෙන යායුතු යැයි සිතූ හෙයින් මෙලෙස ඔහුගේ පූර්ණ අවසරයක් සහිතව උපුටා රැස ක්‍රීඩා අතිරේකයේ පළකරනු ලබන්නේ එය ක්‍රීඩාව මූලික කරගනිමින් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇතැයි විශ්වාස කරන හෙයිනි.

ටෙස්ට් ක්‍රිකට් තරගයක් දිනන්න බැරිනම් එය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම තමයි කළ යුත්තේ. ලකුණක්වත් නොලබා කඩුල්ල ආරක්ෂා කරගෙන සිටින ක්‍රීඩකයා ශතකයක් වාර්තා කරන පිතිකරුට වඩා වීරයෙක් වන්නේ එවැනි අවස්ථාවන් වල. එය අනෙකුත් බොහෝ ක්‍රීඩාවන් වලට නැති ක්‍රිකට් වලටම ආවේනික සුවිශේෂි ගුණාංගයක්. වර්තමානයේ ඉන්දියානු වෙ‍ෙළඳ ආධිපත්‍යයට යට වූ IPL ක්‍රිකට් රටාවක් ගොඩ නැගී තිබුණත් ක්‍රිකට් යනු තවමත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක්.

මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කෙළ පැමිණියෙකු විසින් පසුගියදා සමස්ත ලෝකයටම මහාර්ඝ ආදර්ශයක් ලබා දුන්නා. ඔහු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්. ඉම්රාන්ගේ රාජ්‍යතාන්ත්‍රික ඉවසීම සුළුපටු දේශපාලන සන්දර්භයක් නොවන්නේ එසේ නොවුනානම් සිදුවිය හැකිව තිබූ අහිතකර ප්‍රතිඵල ලෝකයේ භූ දේශපාලන පැවැත්ම සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හේතුවිය හැකිව තිබූ නිසා. එපමණක් නොව න්‍යෂ්ටික බලය සහිත මේ යුධකාමී ප්‍රතිවිරෝධීන් දෙදෙනා අතර ඇතිවන සුළු න්‍යෂ්ටික ප්‍රහාරයක් පවා ලෝක දේශගුණික විපර්යාසයන්ට හා එමඟින් ඇතිවන දුර්භික්ෂයන්ට හේතු විය හැකි බව විද්වතුන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් පාකිස්තානු අගමැතිවරයාගේ නියෝගය පරිදි තම හමුදා ග්‍රහණයේ සිටි ඉන්දීය ගුවන් නියමුවා පසුගිය සිකුරාදා (මාර්තු 1) ඉන්දීය බලධාරීන් වෙත භාර දෙනු ලැබුණා.

ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාර දෙනු ලැබුවේ පාකිස්තාන - ඉන්දීය දේශසීමාවේ 'වගා' නමැති ස්ථානයේ පිහිටි හුවමාරු මධ්‍යස්ථානයේදීයි.

වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පසුගිය බදාදා (පෙබ 27) පාකිස්තාන හමුදා භාරයට පත්වුයේ ගුවන් ප්‍රහාරයක් අතරතුරදී.

පාකිස්තාන ප්‍රහාරක යානාවක ප්‍රතිප්‍රහාර නිසා ඔහු පැදවූ යානය පාකිස්තාන පාලිත කාශ්මීරයට කඩා වැටුණා. ගම්මුන්ගේ ප්‍රහාරයන්ට ලක්වූ ගුවන් නියමුවා පසුව පාකිස්තාන හමුදාවන් විසින් බේරා ගන්නා ලදුව ඔහුට මානුෂිකව සැලකූ බවට වාර්තා වෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය "සාමකාමී ලෙස ජීවත්විය යුතු" බව කී ඉම්රාන් ඛාන් දෙරටේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගත යුතු බව දිගින් දිගටම අවධාරණය කළා.

සිය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව මීට ඉහතදී ඉල්ලීමක් කර තිබුණා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට වඩා මෙම අර්බුදයේදී ඉම්රාන් ඛාන් රාජ්‍යතාන්ත්‍රික ආකාරයෙන් හැසිරුණු බව පෙනී යනවා. අගමැති මෝදි මැතිවරණය ඉලක්ක කර ගත් ග්‍රාම්‍ය දේශපාලන හැසිරීමක් පෙන්නුම් කරනු ලැබුවා. ඉන්දියාව තමන්ට ආවේනික බොලිවුඩ් පන්නයේ සිනමාත්මක රංගනයක නිරත වෙද්දී පාකිස්තාන නායකයා ඊට තමන් දන්නා ක්‍රිකට් භාෂාවෙන් පිළිතුරු දුන්නා.

"මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි….

ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි” ඉම්රාන් ඛාන් තම ඉනිම අත්හිටවමින් එසේ ප්‍රකාශ කර සිටියා.

ඉම්රාන් ලෝක ක්‍රිකට් කුසලානය පාකිස්තානයට ලබාදීමට වසර ගණනාවක් ඉවසීමකින් යුතුව ක්‍රීඩා කළා. එසේම ඔහු දේශපාලනයට පැමිණ වසර 20 කටත් වැඩියි. වසර ගණනාවක සිට පවතින ආගමික සන්නද්ධ ගැටුම් වලින් ගහණ, ත්‍රස්තවාදී කණ්ඩායම් වල තෝතැන්නක් වූ මේ දකුණු ආසියානු රාජ්‍යයේ නායකත්වයට ඔහු ආ ගමන ලෙහෙසි නැහැ.

පන්ජාබයේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ ඉම්රාන් උසස් අධ්‍යාපනය නිමා කළේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කළේ වයස අවුරුදු 13දී. ඔහුගේ දීර්ඝකාලින ඉවසීම හා එය ප්‍රගුණ කිරීමේ අග්‍රඵලය සමස්ත ලෝකය මේ දින කිහිපයේ භුක්ති වින්දා. ගේමට ගේම ගහන්න ගියානම් සිදුවන විනාශය ඔහු ඉවෙන් මෙන් වටහා ගෙන තිබුණා.

1947 දී දෙරට බෙදී වෙනව යන විට ජම්බු කාෂ්මීරයේ හින්දු හා මුස්ලිම් කොටස් අතර කල කෝලාහල වලින් විශාල පිරිසක් මිය ගියා. එම ගැටුම් අනෙකුත් ප්‍රාන්තයන් අතරත් පැතිරී ගියා. එසේ කුපිත වූ ජනතාව පාලනය කර ගැනීමට මෝහන්දාස් ගාන්ධීටවත් (මහාත්මා ගාන්ධි) පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි ජින්නාටවත් හැකි වූයේ නැහැ. කෙතරම් හමුදා ශක්තියක් තිබුණද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට පවා මේ ගෝත්‍රවාදී ජනතාව පාලනය කිරීම අපහසු වුණා. යටත් විජිතයේ ප්‍රතිරාජයා වූ ලුවී මවුන්ට් බැටර්න් සාමිවරයා පවා හිටියේ අසරණවයි.

එකට එක කිරීම සම්බන්ධයෙන් මේ රටවල් දෙකම එක හා සමානවම උනන්දුයි. ලැපියරේ හා කොලින්ස් විසින් රචිත Freedom at Midnight (පරිවර්තනය-ධනපාල ගුණසේකර) කෘතියේ මේ ඝට්ටනයන් ගැන අපූරුවට ලියා තිබෙනවා.

"සික් කණ්ඩායම් මුස්ලිම් ගම් විනාශ කරන්නට වුණා. මරණ වල විශේෂත්වය වුණේ ඊට අදාල මෘග සාහසිකත්වය. මළවුන්ගේ ලිඟු කපා මරාදමන ලද මුස්ලිම් කතුන්ගේ මුවේ ඔබා තිබුණා. එක් උදෑසනක ලාහෝරයේ මුස්ලිම් දාමරිකයන්ගේ තිප්පොළක් වූ කෝපි කඩයක් වෙත පැමිණි බයිසිකල්කරුවෙක් ගෝලාකාර පිත්තල බඳුනක් වීසි කර වේගයෙන් පලා ගියා. එය බෝම්බයක් යයි සිතා සියල්ලන්ම පණ බියෙන් පලාගියා.ඒත් පුපුරා නොගිය නිසා මිනිසුන් ප්‍රවේශමෙන් එහි පියන විවෘත කළා. ඒකෙ තිබුණේ සික් දාමරිකයන් මුස්ලිම් දාමරිකයන් වෙත එවන ලැබූ අමිහිරි තෑග්ගක්. ඒ මුස්ලිම් මළ සිරුරු වලින් කපා ගත් පුරුෂ ලිංග පිරවූ භාජනයක්." උමතු ගෝත්‍රවාදයේ සාහසික ඉතිහාසය එහෙමයි.අවසානයේ මහත්මා ගාන්ධි පවා ජාතිවාදීන්ගේ ගොදුරක් බවට පත්වී ඝාතනය වෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර බෙදී ඇති මේ ශීතල හිමාලයානු ප්‍රාන්තය මැදින් දෙරටට අයත් කලාප අතර පැහැදිලි දේශසීමාවක් නැහැ. ඇත්තේ Line of Control නමින් හැදින්වෙන මනඃකල්පිත රේඛාවක්. කෙතරම් සිසිල් වුවද මෙය තමයි ලොව දැනට ඇති උණුසුම්ම දේශසීමාව. පසුගියදා මතුවූ අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ලෙස මතුවූවත් මේ දෙපස ජනතාවටනම් හැමදාම කාලතුවක්කු උණ්ඩ එකක් දෙකක් පතිත වීම සාමාන්‍යයි. ඒවාට දැන් ඔවුන් හුරු වෙලා. එසේම කාෂ්මීර අර්බුදය තමයි දැනට ලොව නොවිසඳී ඇති දීර්ඝතම ඉතිහාසයක් සහිත දේශසීමා ප්‍රශ්නය.

කාෂ්මීරය යනු ඉන්දියාවේ වයඹ දෙසින් ඇති ඉන්දියාව, පාකිස්තානය හා චීනය යන රටවල් තුනටම අයත් කොටස් සහිත වර්ග සැතපුම් 86000ක හිමාල කඳුකර රාජ්‍යයක්. එය ඉහත රටවල් තුනට අමතරව ඇෆ්ගනිස්තානයටත් මායිම්ව පවතිනවා.

කාෂ්මීර අර්බුදය 1947 දෙරට නිදහස ලැබීමට පෙර වූ බ්‍රිතාන්‍ය පාලන යුගය දක්වා විහිදී පවතිනවා. කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේ නිතර ගැටුම් ඇතිවීමට හේතුව එහි බහුතරයක් වූ මුස්ලිම් වැසියන් ඉන්දියාවට යටත්ව විසීමට ඇති අකමැත්තයි.

අතීත භාරත දේශය ඉන්දියාව හා පාකිස්තානය ලෙස වෙන්ව යාමේදී බොහෝ ප්‍රාන්ත රාජ්‍යයන්ට තම අනාගතය ගැන තීරණ ගැනීමට සිදුව තිබුණා. විශේෂයෙන්ම ඒ ඉන්දියාවට එකතුවීම පිළිබඳව කාරණයේදී. බොහෝ ප්‍රාන්ත පාලකයන් තමන්ව ස්වාධීන රාජ්‍ය බවට පත්කරන මෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයාගෙන් ඉල්ලා සිටියා. ඇතැම් පාලකයෝ ගිවිසුම් අත්සන් කළේ හඬමින්. මධ්‍යම ඉන්දියාවේ එක් මහාරාජාවරයෙක් ගිවිසුම අත්සන් කර මොහොතකින් හෘදයාබාදයකින් මියගියා.

අනෙකුත් මුස්ලිම් ප්‍රාන්තයන් මෙන් කාෂ්මීරයද පාකිස්තානයට අයත්වනු ඇතැයි එහි ජනතාව අපේක්ෂා කළා. නමුත් කාෂ්මීරය පාලනය කළ ශ්‍රී නගර්හි සික් ජාතික හරි සිං මහාරාජා තීරණය කළේ ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමටයි.

"ඒක කොහොමත් කරන්න බැහැ. ඔබ රාජ්‍ය දෙකකින් වටවෙලා ඉනනේ. ඔය ආකල්පයේ ප්‍රතිවිපාකය වන්නේ දෙපැත්තෙන්ම දරුණු සතුරන් දෙදෙනෙක් ඇතිකර ගැනීම පමණයි. අන්තිමට කාෂ්මීරය යුධ පිටියක් වේවි. " මවුන්ට් බැටන් ප්‍රතිරාජයා එසේ පෙන්වා දුන්නත් පසු දිනට යෙදුණු තීරණාත්මක හමුවීමට නොපැමිණි හරි සිං මහාරාජා එය මගහැර ගියේ බඩේ රුදාවක් බව පවසමින්. ඒ දේශපාලන බඩේ රුදාවේ ප්‍රතිවිපාකය අදටත් ලෝක සාමයට බාධාවක් වෙමින් අර්බුදකාරී ලෙස ඔඩුදුවමින් තිබෙනවා.

ඒ අතර, මෙකී දේශපාලන උත්සාහයන් ක්‍රියාත්මකව පැවති දින කිහිපයේදී හදිසියේම කාෂ්මීරයේ පතාන් ගෝත්‍රිකයන් කාෂ්මීර තැනිතලා ඔස්සේ ශ්‍රීනගර්හි මහාරාජාගේ මාළිගය වෙත පැමිණෙමින් සිටියේ එම පාලනය අවසන් කිරීමට. මේ අවස්ථාවේ ශ්‍රී නගර් පාලකයා ඉන්දියානු උදව් ලබාගැනීමට පෙළඹුණා.

පසුගියදා කාෂ්මීරයේ පුල්වාමාහිදී ඉන්දියානු භටයන් 42 ක් ඝාතනය කළ පාකිස්තාන ජායිෂ්-ඊ-මොහමඩ් ත්‍රස්තවාදී ප්‍රහාරයට පාකිස්තාන රජය වගකිව යුතුයැයි ඉන්දියාව දිගින් දිගටම චෝදනා කළා. නමුත් පාකිස්තානය පැවසුවේ ත්‍රස්තවාදයට තමනුත් විරුද්ධ බව හා එකී ප්‍රහාරය පිළිබඳව නවදිල්ලිය විසින් සිදුකරන ඕනෑම පරීක්ෂණයකට තමන් සහයෝගය ලබා දෙන බව.

ලිබියාවේ කර්නල් ගඩාෆි, ඉරාකයේ සදාම් හුසේන්, ඊජිත්තුවේ හොස්නි මුබාරක් ආදී බලවත් අරාබි නායකයන්ගෙන් හිස්වූ මැදපෙරදිග සීඝ්‍රයෙන් අස්ථාවර වීම ආරම්භ වුණා. තෙල් බලය, ඉස්ලාම් අන්තවාදය හා බටහිර බලපෑම් මත කාලයක් තිස්සේ වර්ධනය වූ මැදපෙරදිග ත්‍රස්තවාදය හා සන්නද්ධ ගැටුම් වල අතුරුඵල භුක්ති විදීමට සිදුවූයේ පාකිස්තානයටයි. තලේබාන්, අල්කයිඩා වැනි මූලධර්ම වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් තම ආරක්ෂාව උදෙසා ඇෆ්ගනිස්තාන කඳුකර ප්‍රදේශ වලට පැමිණෙන්නට පටන් ගත්තා. පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය වෙන්වන්නේ හුදකලා කදුවැටි වලින්. ඔසාමා බින් ලාඩන් පවා එසේ පැමිණ අවසානයේ නතර වූයේ පාකිස්තානයේ. එසේම පාකිස්තායේ හිටපු අගමැතිණිය වූ බෙනාසිර් භූතෝ පවා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඝාතනය වුණා. ඒනිසා ඉම්රාන් ඛාන්ට මේ ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදී ජාලය සමග තනිව සටන් කිරීමට අපහසු බැව් ලෝකයම පිළිගන්නවා.

කෙසේ නමුත් පසුගියදා කාෂ්මීර ප්‍රහාරයට වගකිව යුතු ජායිෂ්-ඊ මොහමඩ් ත්‍රස්තවාදී ඉලක්ක වලට ඉන්දියානු ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඒ පාකිස්තානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින්. මීට කලින් ශ්‍රී ලංකාවටත් එවැනි බලහත්කාරයන් පාමින් ගුවනින් පරිප්පු දැමූ අශෝබන ඉතිහාසයක් ඉන්දියාවට කොහොමත් තියෙනවා.

"ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයට එරෙහි තරගයටවත් එන්නේ නෑ, මලල ක්‍රීඩකයෙකුටවත් අපේ රටට ඇතුළු වෙන්න දෙන්නේ නෑ" ඉන්දියාව පසුගිය දා එලෙස ප්‍රකාශ කළා. එකී ප්‍රකාශය ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවා හෙළා දැක්කා.

මේ දෙරටම න්‍යෂ්ටික බලය හිමි රාජ්‍යයන්. ඒ වගේම බොහෝ නිලධාරීන් හා ජනතාව ආසියානු ක්‍රමයට හදවතින් තීරණ ගන්නා සමාජයකට අයත්. මෙවැනි විටෙක පාකිස්තානු නායකයා හදවතින් නොව බුද්ධියෙන් තීරණයක් ගෙන පාදයක් පසුපසට ගත්තේ සැබැවින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා ගත් සංයමය නිසා විය හැකියි. ඔහුට ජය පරාජය විඳ දරා ගන්න පුළුවන්.

ඉම්රාන් ඛාන් 20-20 ක්‍රිකට් තරගයක් මෙන් එලවා එලවා පහර දෙන්න උත්සාහ කළේ නෑ. ඔහු තම කඩුල්ල අපූරුවට ආරක්ෂා කරමින් පන්දුවට පහර දුන්නා. අවශ්‍යම අවස්ථාවේ පන්දු යවමින් ඉන්දියාවේ කඩුලු බිඳ දැම්මා. ඒ තම දේශසීමාවට පැමිණි ඉන්දියානු ප්‍රහාරක යානා 2ක් පහර දී බිම දැමීමෙන්.

සාමය සදහා ඔහුට අවශ්‍යම මොහොත උදාවූයේ අභිනන්දන් වර්ධමාන් හමුවීමත් සමගයි. ඒත් ඉන්දියාව තම උද්ද්ච්චභාවය නැවතත් ප්‍රදර්ශනය කරමින් ගුවන් නියමුවා නිදහස්කර ගැනීමට කිසිදු කොන්දේසියකට යටත් නොවන බව පවසා සිටියා. ඔහු රැගෙන යෑමට ගුවන් යානයක් එවීමට ඇවැසි බවත් දන්වා සිටියා. නමුත් ඉම්රාන් ඒ සියලු බලහත්කාරයන් ප්‍රතික්ෂේප කරමින් සාමය සඳහා සංකේතයක් ලෙස දේශසීමාව හරහා ගුවන් නියමුවා ඉන්දියාවට යවනු ලැබුවේ තම හමුදා නිලධාරීන් සමගින්. ඒ වඩාත් ගෞරවනීය ආකාරයට. ඉන්දියානු සමාජ මාධ්‍ය අතර මේ වන විට වීරයකු වී ඇති අභිනන්දන් පිළිගැනීමට අතිවිශාල ජනතාවක් පැමිණ සිටියා. නමුත් තරගයේ ඇත්ත වීරයා ඉවසීමෙන් පන්දුවට පහරදුන් ඉම්රාන් ඛාන් බවට විවාදයක් නැහැ. ඒ අනුව මේ මොහොතේ තම කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රික භාවය ප්‍රදර්ශණය කිරීම තුළින් ලෝකයේ සාමකාමී ජනතාව අතර ඉම්රාන් ඛාන් වීරයෙකු බවට පත්වී ඇති බව කීවොත් වඩාත් නිවැරදියි.

ශානක මධුශාන් අපරැක්ක ලියනගම විසිනි.

මාතෘකා