රජත පුස්තක කාව්‍ය සම්මානයෙන් කර ඇත්තේ කල්ලියේ නියෝජිතයකුට සම්මාන දීමයි

 ඡායාරූපය:

රජත පුස්තක කාව්‍ය සම්මානයෙන් කර ඇත්තේ කල්ලියේ නියෝජිතයකුට සම්මාන දීමයි

මහාචාර්ය විමල් දිසානායක

මහාචාර්ය විමල් දිසානායක පේරාදෙණි සාහිත්‍ය කතිකාව පැවති සමයේ ඊට විචාරයෙන් හා නිර්මාණ සාහිත්‍යයෙන් දායක වූවෙකි. පෙරදිග සංස්කෘත රසවාදී විචාරයත් බටහිර සාහිත්‍ය විචාරයත් එක ලෙස දත් ඔහු කවියෙකු වශයෙන් බැහැරලුවද විචාරය අතින් ඉහළ විචාරකයෙකි. එනිසා විචාරකයකු වශයෙන් ඔහුගේ භූමිකාව හා මෙරට සාහිත්‍ය විචාරය විමසන මේ සම්මුඛ සාකච්ඡාව අප පැවැත්වූයේ නොබෝදා කෙටි සංචාරයකට ඔහු දිවයිනට පැමිණි වේලේය. ඉදින් මේ, අප ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ඔබට අනුව වර්තමාන විශ්වවිද්‍යාල සාහිත්‍ය විචාරය කුමනාකාර තැනකද තියෙන්නේ?

අද ලංකාවේ සාහිත්‍ය විචාරය පවතින්නේ ඉතා දුර්වල මට්ටමක. එයට මූලිකම හේතුව සාහිත්‍යය ඉතා ගැඹුරු, සාරවත් විෂයක් ලෙස වර්තමානයේ කිසිවෙක් සලකන්නේ නැති වීම. එය බොහෝ විට පුද්ගල පරිභවයට සීමා වූ විෂයක් වෙලා. එහෙත් ඇත්තටම සාහිත්‍ය විචාරය කියන්නේ ඉතා ගැඹුරු දාර්ශනික විෂයක්. ඒ ගරුත්වය අප රැකගත යුතුයි. සාහිත්‍ය විචාරයක් සතු විය යුතු ගැඹුර අද ලියවෙන ලිපිවලින් වටහාගන්න බැහැ. ඒ ඒවා ලියන්නේ බොහෝ විට තවත් අයෙක් කෙරෙහි ද්වේෂසහගතව නිසයි. එම ලිපිවලදි එකිනෙකාම බැණගන්නවා මිසක් ගැඹුරු සාහිත්‍යමය කාර්යයක් සිදු වෙන්නේ නැහැ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් මෙරට සාහිත්‍ය විචාරයට විශාල කාර්යභාරයක් වෙනවා. ඔබ දකින විධියට ඔහුගෙන් වුණේ කුමක්ද?

ඇත්තටම එතුමා තමයි මෙරට සාහිත්‍ය විචාරයට නව මානයක් හඳුන්වා දෙන්නේ. එවකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුව සිටි අයි.ඒ. රිචර්ඩ්ස් මහතා සම්පාදනය කළ ‘භාවිත විචාරය’ (Practical Criticism) කෘතියේ එන විචාර ක්‍රම සරච්චන්ද්‍රයන් සංස්කෘත විචාරයට සම්බන්ධ කළා. ඒ කියන්නේ ඒ ක්‍රම රසවාදයට, ධ්වනිවාදයට, ඖචිත්‍යවාදයට සම්බන්ධ කරලා සම්මිශ්‍රණයක් කළා. ඒක තමයි වර්තමානයටත් ඉතාම වැදගත් වෙන්නේ. ඇත්තටම මේ භාවිත විවාරය කියන්නේ වචන පාදක කරගත් විචාර ක්‍රමයක්. එය ඔවුන්ගේ යෙදුමෙන්ම හඳුන්වනවා නම් ‘පිටුව මත පැනෙන වචන විග්‍රහ කරමින් කවියක් විශ්ලේෂණය කිරීමයි’. එය නිවැරදිව හැදෑරීමට නම් මීට පෙර පැවති විචාර ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. පෙර විචාර ක්‍රම කවියාගේ ජීවිතයත් කාව්‍ය නිර්මාණයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති කළා. එම සාම්ප්‍රදායික විචාර ක්‍රමවලදී නිර්මාණකරුවාගේ පුද්ගලික ජීවිතය ඉතා වැදගත්. එහෙත් භාවිත විචාරයේදී එය සාපේක්ෂව වෙනස් දෙයක්. එහිදී නිර්මාණකරුවාගේ පුද්ගලික ජීවිතය වෙනුවට අප ඉදිරියේ තිබෙන වාංමාලාව පමණයි වැදගත් වෙන්නේ. අයි.ඒ. රිචර්ඩ්ස් මේ භාවිත විචාර ක්‍රමවේදය සොයාගන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී කළ එක්තරා අත්හදාබැලීමකින්. ඔහු තම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කවි බෙදා දුන්නා. හැබැයි නිර්ණාමිකව. ඒ කිව්වෙ එම කවි කාගේද, කුමන යුගයක ලියවුණු ඒවාද පිළිබඳව කිසිදු සඳහනකින් තොරව. අප ඉදිරියේ තියෙන්නේ කවිය පමණයි කියලා සිතාගෙන ඒ ගැන විග්‍රහයක් කරන්න කියලා කිව්වා. එහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ඇසුරින් තමයි ඔහු භාවිත විචාර ක්‍රමවේදය නිර්මාණය කරන්නේ. මේ සියල්ල පිළිබඳව මනා අධ්‍යයනයකින් පසුව තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර ‘සාහිත්‍ය විද්‍යාව’ කෘතිය සම්පාදනය කරන්නේ.

සරච්චන්ද්‍රයන් සංස්කෘත විචාරය සහ භාවිත විචාරය එක්කොට ගොඩනඟන විචාර කලාව වර්තමානයටත් වලංගුද?

එතුමා උත්සාහ කළේ මේ ක්‍රම දෙකේ එකතුවෙන් ප්‍රායෝගික විචාර කලාවක් ගොඩනඟන්න. ඒ ක්‍රමය ඒ යුගයට වලංගුයි. ඒ දැනට වසර 40කට පමණ පෙර කාලයට. අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද ලෝක ඥාන සම්භාරය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එය සාහිත්‍ය විචාරයටත් බලපා තිබෙනවා. ඒ නිසා පැරණි ක්‍රම මතම නොසිට නව ප්‍රවණතාවලින් පෝෂිත විචාර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඒ ක්‍රමවේදය අංශ කිහිපයකින් පරිපූර්ණ විය යුතුයි. පළමුවැන්න භාවිත විචාර කලාවේදී මෙන් පිටුව මත පැනෙන වචන සහිත ක්‍රමවේදයයි. දෙවැන්න අත්දැකීම විග්‍රහ කිරීමේදී පුළුල්ව දේශපාලන දෘෂ්ටිකෝණයක් ගෙන ආ යුතුයි. එයට හේතුව ඕනෑම සාහිත්‍ය කෘතියක දෘෂ්ටිවාදයක් පැවතීමයි. යමෙක් පවසනවා නම් මගේ කෘතියට දෘෂ්ටිවාදයක් නැහැ, මම එයට අනුගත වෙන්නේ නැහැ කියල ඒක වැරදියි. මොකද එතනම දෘෂ්ටිවාදයක් තිබෙනවා. ඒ අනුව වචන විග්‍රහ කිරීමත් එයින් ඔබ්බට ගිය පුළුල් සමාජ ක්ෂේත්‍රයකට විචාරය සම්බන්ධ කර දෘෂ්ටිවාදී විග්‍රහයක් ගෙන ඒමත් වර්තමාන නව විචාර ක්‍රමයකට ඉතා වැදගත් වෙනවා.

ඔබ ඇතුළු මුල් කාලීන විචාරකයන්ට සාපේක්ෂව අද්‍යතන විචාරකයන්ගේ විචාරවල බොහෝ දුර්වලතා තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?

පැහැදිලිවම වර්තමාන බොහෝ විචාර ඉතා දුර්වලයි. මේ කරුණ වඩාත් හොඳින් විග්‍රහ කරන්න මගේ පෞද්ගලික ජීවිතයෙන්ම උදාහරණයක් ගන්නම්. මම සාහිත්‍ය විචාරය හැදෑරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. විශේෂයෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරේ. මම එහිදී එතුමාගෙන් විචාර කලාව ප්‍රගුණ කිරීමට ලබාගත් උපදෙස් සියල්ල මා ලියූ රාජ්‍ය සම්මානයත් ලැබුණු ‘නිර්මාණය හා විචාරය’ කෘතියටත් ඇතුළත් කළා. එහි තියෙන්නේ පේරාදෙණි ගුරුකුලයේ විචාර කලාව පමණයි. පසුව මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියා. එහිදී ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන්ව සිටි අයි.ඒ. රිචර්ඩ්ස්, එෆ්.ආර්. ලීවිස්, රේමන්ඩ් විලියම්ස් ආදීන්ගෙන් මම වැඩිදුරටත් මේ විචාර කලාව හැදෑරුවා. පසුව මගේ චින්තන ක්‍රමය අනුක්‍රමයෙන් වෙනස් වුණා. මම පේරාදෙණියෙන් උකහා ගත් විචාර කලාව ආශ්‍රිත ඥාන සම්භාරය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු දේත් සමඟ පුළුල් වුණා. ඒ නිසා මම පේරාදෙණියෙන් ඔබ්බට ගිහින් තියෙනවා කියලා විශ්වාස කරනවා. එහෙත් මා සෑම විටම බටහිර විචාර සම්ප්‍රදායන් අනුගමනය කළේ අපේ පාරම්පරික විචාර ක්‍රමවේදයන් සමඟ සම්බන්ධ කරමින්. එයට එක් හේතුවක් තමයි මම සංස්කෘත හැදෑරීමට යොමු වීම. ඒ නිසා මගේ සාහිත්‍ය විචාර කලාව තුළ බටහිර සාහිත්‍ය විචාර ක්‍රමයේත් සංස්කෘත සාහිත්‍ය විචාර ක්‍රමයේත් සම්මිශ්‍රණයක් පැවතුණා. මම දකින විධියට මෙය වර්තමාන විචාරකයන්ගෙන් ගිලිහිලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ බොහෝ විචාර ඉතා දුර්වල ස්වරූපයක් ගන්නවා.

අද මෙරට සාහිත්‍ය විචාරය සහ බටහිර සාහිත්‍ය විචාරය අතර ඔබ දකින්නේ කුමන වෙනසක්ද?

ඇත්ත වශයෙන් අපේ විචාර ක්‍රමවේදයට වඩා බටහිර විචාර ක්‍රමවේදය ඉහළ තත්ත්වයකයි තිබෙන්නේ. පසුගිය වසර 40 තුළ සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලෝකයේ විශාල පෙරළියක් ඇති වෙලා තියෙනවා. පශ්චාත් නූතනවාදය, පශ්චාත් සංස්ථිකවාදය, ඉතිහාසවාදය, කාන්තාවාදය, යටත්විජිතවාදය, සංස්කෘතික අධ්‍යයනය ආදී නොයෙක් නව විචාර ක්‍රම මතු වෙලා තියෙනවා. අපේ රට තුළ මෙවැනි විචාර ක්‍රමවල බලපෑම ඉතා මඳ වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා කිසිවෙක් මේ පිළිබඳව ගැඔුරින් අධ්‍යයනය කරලා නැහැ. එය දැවැන්ත අඩුපාඩුවක්. මම විවිධ දේශනවලට බොහෝ රටවලට යනවා. එහිදී ජපානය, ඉන්දියාව, තායිලන්තය, තායිවානය වැනි රටවල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් තුළ වර්තමාන සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳව මනා අධ්‍යයනයක්, අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ඒ රටවල සාහිත්‍ය විචාරය ඉතා ඉහළ තලයක තියෙන්නේ. එහෙත් අපේ රටේ එහෙම හැදෑරීමක් නැහැ. එය විශාල දුර්වලතාවක්. ලාංකීය විශ්වවිද්‍යාල සාහිත්‍ය විචාරය තවමත් 1960 ගණන්වල පේරාදෙණියේ පැවති ක්‍රම මතයි රැඳී ඉන්නේ. මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වියයුතුයි. යාවත්කාලීන වන නූතන විචාර ක්‍රම පිළිබඳ මනා අධ්‍යයනයක් පැවතිය යුතුයි. ඒ උදෙසා ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රමුඛත්වය ගත යුතුයි. විශ්වවිද්‍යාල තුළ මාර්ගෝපදේශකත්වයක් ලබාදෙමින් මෙය ඉගැන්විය යුතුයි. නැතහොත් අප දිනෙන් දින පසුපසට යාමක් සිදු වෙන්නේ. මොකද ජාත්‍යන්තරය අපට වඩා වසර 40ක් ඉදිරියෙන් සිටින්නේ.

අංකුර විචාරකයකුට අද ආදර්ශයට ගත හැකි විචාරකයන් කවුද? ඔවුන්ගේ විශේෂත්වය කුමක්ද?

මම හිතන්නෙ ඊට කලින් කෙනෙක් විවිධ විචාර කලාවන් ගැන ගැඹුරු අවබෝධයක් ඇති කර ගත යුතුයි. ඉන් පසුව තමයි යමෙකුව ආදර්ශයට ගත යුත්තේ. මෙවැනි අවබෝධයක් නොමැතිව කෙනෙකුට ජාත්‍යන්තර තලයේ විචාරකයන් සහ ඔවුන්ගේ විචාර අවබෝධ කරගැනීම අපහසුයි. හේතුව ඔවුන් භාවිත කරන ක්‍රමවේද සහ භාෂාවේ පවතින සංකීර්ණත්වය. කොහොම වුණත් කෙනෙකුට ආදර්ශයට ගත හැකි උසස් විචාරකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. දේශීය වශයෙන් ආදර්ශයට ගත හැක්කන් ලෙස මා අදටත් විශ්වාස කරන්නේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර පමණයි. ජාත්‍යන්තර තලයේ ආදර්ශයට ගත හැකි පළමුවැන්නා තමයි ජැක් ඩෙරීඩා. ඔහු තමයි විසංයෝජනවාදයේ ආදිකර්තෘවරයා. ඔහුගේ විචාර අවබෝධ කරගැනීම එක්වරම අපහසුයි. එහෙත් ඔහු විශිෂ්ටයෙක්. දෙවැන්නා අපේ විචාර ක්‍රමයට ඉතා වැදගත්. ඒ, මහාචාර්ය එඩ්වඩ් සයීඩ්. ඔහු එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි පලස්තීන ජාතික ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එතුමා පශ්චාත් යටත්විජිතවාදී සාහිත්‍යය පිළිබඳ කෘති රාශියක් රචනා කළ අයෙක්. ඔහුගේ මඟපෙන්වීම වැදගත් වෙන්නේ තුන්වන ලෝකයේ රටවල් තමන්ගේ සාහිත්‍ය විචාරය කුමනාකාරයෙන් ගොඩනඟාගත යුතුද යන්න ඔහු පැහැදිලිව පෙන්වා දෙන නිසයි. තවත් එක් අයෙක් තමයි වර්තමානයේ ඇමරිකාවේ සිටින ඉහළම පෙළේ විචාරිකාවක වන ගයත්‍රී විවැක්. ඇය ජැක් ඩෙරීඩාගේ ‘ඔෆ් ග්‍රැමටොලජි’ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කර එයට පිටු 50ක පමණ දීර්ඝ ප්‍රස්තාවනාවක් ලියමින් අපූරු නව විචාර ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඇය පළමුවරට විසංයෝජනවාදයත් කාන්තාවාදයත් මාක්ස්වාදයත් එකතු කළ නව විචාර ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ඇය සතුව පාරම්පරික විචාර ක්‍රම පිළිබඳවත් හසල දැනුමක් තිබුණා. හේතුව ඇය මනාව සංස්කෘත භාෂාව සහ රසවාදී විචාරය අධ්‍යයනය කර තිබීමයි. මෙය අපූර්ව සංකලනයක්. ඒ නිසා යටත් පිරිසෙයින් මේ විචාරකයන් හැදෑරුවහොත් සාහිත්‍ය විචාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකි බව මගේ අදහසයි.

පසුකාලීනව පැනනැඟුණු ජනතාවාදී විචාර ක්‍රමය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

එය බිහි වීමට රුසියානු සාහිත්‍යය ප්‍රබල දායකත්වයක් දැක්වූවා. එහෙත් එහි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීමට ප්‍රධාන සාධකයක් තිබෙනවා. ඒ මෙම ක්‍රමයට කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැති වීම. එය පැවතුණේ ප්‍රචාරකවාදී ස්වරූපයෙන් පමණයි. එහෙත් දෘෂ්ටිවාදය වැනි සංකල්පයක් මෙයට ඇතුළත් කර විග්‍රහ කළේ නම් මෙය මීට වඩා සාර්ථක වන බව මගේ අදහසයි. ජනතාවාදී විචාරයේ එම ගැඹුරු බව නොතිබීම ප්‍රධාන දුබලතාවක්. එමෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විචාර ක්‍රමයේත් යම් සීමා තිබෙනවා. ඒ එය ද්‍රව්‍යවාදයෙන් ඈත්වී අභීෂ්ටවාදී ලක්ෂණ පෙන්නුම් කරන නිසා. එම නිසා සම්පූර්ණ සාර්ථක විචාර ක්‍රමයක් ගොඩනැඟීමට නම් එම සීමාවත් ඉක්මවා යා යුතුයි.

අද මෙරට කවිය, කෙටිකතාව, නවකතාව වෙනුවෙන්ම නිර්මාණය වුණු සම්මාන උලෙළ කිහිපයක් පැවැත්වෙනවා. ඔබට අනුව ගැඹුරු විචාර ක්‍රමයක් නැති අපට මෙවැනි සම්මාන උලෙළ තුළින් සේවයක් වෙනවාද?

ඕනෑම සාහිත්‍ය ශානරයකට සම්මාන දීමේ ගැටලුවක් නැහැ. එහෙත් එය නිවැරදිව සිදු වෙනවාද යන්න ගැටලුවක්. මේ අවස්ථාවේ අපේ කවිය පවතින්නේ ඉතාම දුර්වල මට්ටමක. එයට මූලික හේතුව තමයි අපට ගැඹුරු කාව්‍ය විචාරයක් නොතිබීම. වර්තමාන කාව්‍ය විචාරයේ තියෙන්නේ දෙපසකට බෙදී තම පෞද්ගලික දෘෂ්ටිවාදවලට මුල්වී දෝෂාරෝපණය කර ගැනීමක් පමණයි. නිදසනක් ලෙස මෙවර රජත පුස්තක සම්මාන උලෙළේ එක් විනිශ්චයක් පිළිබඳව පවසන්නම්. මා ලියූ කාව්‍ය කෘතියක් තිබූ නිසා මම ඒ ගැන සඳහන් කරන්නේ නැහැ. මෙවර සම්මාන උලෙළට ඉදිරිපත් කළ මාද ඉතා කැමති, හොඳින් ලියවුණු කාව්‍ය කෘති තුනක් තිබුණා. එහෙත් එම කෘති තුනම පළමු වටයෙන්ම කිසිදු හේතුවකින් තොරව ඉවත් වුණා. එමෙන්ම ඉතා දුර්වල තත්ත්වයේ තිබූ කෘති දෙකක්ම අවසාන වටයට නිර්දේශ වුණා. එහිදී මතු වන ගැටලුව නම් කුමන නිර්ණායක මත පිහිටාද එය සිදු කළේ යන්නයි. එය අදාළ විනිශ්චය මණ්ඩලයෙන් පැහැදිලි කිරීම වැදගත් කටයුත්තක් ලෙසයි මා දකින්නේ. මොකද සාහිත්‍යය පිළිබඳව අපත් නොදන්නා දේ එවිට අපට අවබෝධ කරගත හැකියාව තිබෙනවා.

ඇත්ත වශයෙන් මෙවර රජත පුස්තක සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය උසස් නිර්ණායකයන් සලකා ඇත්නම් පාඨකයා ඒ නොදන්නා දේ පිළිබඳව දැනුවත් කළ යුතුයි. එහෙත් මට පෙනී ගිය ලෙස නම් එවැනි ප්‍රබුද්ධ ප්‍රතිෂ්ඨාවක පිහිටා සම්මාන ලබාදීමක් කර නැහැ. ඒ වෙනුවට කාව්‍ය සම්මානයේදී කර ඇත්තේ පෙර සිටම සැලසුම් කරගත් පරිදි තෝරාගත් අයෙකුට, තම කල්ලිය නියෝජනය කරන අයෙකුට සම්මාන දෙන්න උත්සාහ කිරීමයි. මෙවැනි කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැති කටයුතුවලින් දෛනිකව අපේ විචාර කලාව, සාහිත්‍යය දුර්වල තත්ත්වයට ඇද වැටෙනවා.

ඔබේ වර්තමාන සාහිත්‍ය කටයුතු මොනවාද?

මගේ නවතම පොතක් ‘විරිත සහ අරුත’නමින් දැන් මුද්‍රණයට ලබාදී තිබෙනවා. එහිදී මා ඡන්දස් ශාස්ත්‍රය හා විරිත් භාවිතය ගැන ගැඹුරු විමසා බැලීමක් කරනවා. මගේ මූලික තර්කය වන්නේ විරිත බාහිර අංග ලක්ෂණයක් නොවෙයි නිර්මාණයේම කොටසක්ය කියන එකයි.

සාකච්ඡා කළේ [කවීෂ ආරච්චිගේ]

මාතෘකා