18,19,20 ද?

 ඡායාරූපය:

18,19,20 ද?

බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ගෞරවය ජනාධිපති රාජපක්‍ෂට හිමිවිය යුතුය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමෙන් පසු අපට තෝරා ගැනීමට විකල්ප 02ක් තිබුණි. එකක් ජේ.ආර්. ජයවර්ධන විසින් ඒකාධිපතිවාදයට හා චෞරවාදයකට බර තබා සකස් කරනු ලැබ තිබූ රාජ්‍ය ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට ප්‍රතිසංවිධානය කිරීමය. ඊළඟ විකල්පය වී තිබුණේ රාජ්‍ය ඒකාධිපති හා චෞර ස්වරූපය පූර්ණ කිරීමය.

මෙරට දේශපාලන ඉතිහාසයේ අතිශයින්ම තිගැස්සෙනසුලු දින දෙකක් හමුවෙයි. එකක් 78 ව්‍යවස්ථාව සම්මත කළ දිනයයි. එනම්, 1977 සැප්තැම්බර් 20 වැනිදාය.

ඒ දිනය ගැන ඇන්.ඇම්. ඔස්මන්ඩ් ජයරත්න සමඟ මෙහෙම කියයි.

“ඔසි බලන්න මේ මිනිහාගේ බලය නිසා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට වෙන දේ. ජනතා නියෝජිතයන්ගේ අභිමානයත් ගෞරවයත් මේ මහා බලයක් ඉදිරියේ නැති වෙලා යනවා. ඒ විතරක්ද ජනතා නියෝජිතයන්ට වෙන්නේ දේශපාලන ඇබිත්තයෝ වෙන්න. ජනාධිපතිට නමස්කාර කරගෙන ඔහුට අවනතව දෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න. ඕක තමයි ලංකාවේ අනාගත දේශපාලනය වෙන්නේ. මට කියන්නේ මේක දැක දැක අහක බලන් ඉන්නද? මිනිස්සුන්ට මේක ගැන අනතුරු අඟවන එක මගේ වගකීමක්. ඉතුරු ටික අනෙක් අය බලා ගන්න ඕනේ.”

(සංවාදය ඔස්මන්ඩ් ජයරත්න, ඇන්. ඇම්. පිළිබඳව ලියා ඇති මතක සටහන )

අනෙක් දිනය 2010 සැප්තැම්බර් 07 වැනිදාය. එය තීරණාත්මකව විශේෂ වන්නේ 'මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට' අවසන් ඇණය ගසා වැළලූ දිනය නිසාය.

18 වැනි සංශෝධනය යනු රාජාණ්ඩු ඒකාධිපතිත්වයකට යන අධිවේගී පාර මනාව කපා ගත් අවස්ථාවය. මුළු රටේම දේශපාලන බලය හා ආර්ථික බලය ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් අත පවතින දේශපාලන ක්‍රමයක් මඟින්ද රාජපක්‍ෂ නිර්මාණය කළේ 18නි.

ඒ ගැන එවක අනුර කුමාර දිසානායක මෙහෙම කීවේය.

“ප්‍රජාතන්ත්‍රවාදය පවුලේ සුසාන භූමියේ ගිල්වා දමපු දවස අද. පාර්ලිමේන්තුවේ කැරකොප්පුවේදී ඒක කරපු දවස අද. ඔබ කෑ ගසන තරමට, ඔබගේ ස්වරය උස්ව නැඟෙන තරමට ඔබේ තනතුර රැකෙනවා. මේ ආණ්ඩුව මිනී පෙට්ටිය හැදුවා. එක එක ඇණේ ගැහුවා. අන්තිම ඇණේ අද පාර්ලිමේන්තුවේදී ගැහුවා. මේ ගහපු ඇණෙන් වෙන විනාසෙට වන්දි ගෙවන්න වෙන්නේ අද පාර්ලිමේන්තුවේ ඉන්න අයට නොවෙන්න පුළුවන්. හැබැයි හෙට ඉපදෙන පරම්පරාවට මේ සාපයට වන්දි ගෙවන්න වෙනවා.

තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ කටට මුඛවාඩම් දාගන්නවා. තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ ගෙලට වැල දාගන්නවා.”

එය එසේම වූයේය.

2015 ජනවාරි සිදු වූ ‘අරුම පුදුම’ වෙනස නොවන්නට අද කතා කරන බොහෝ දෙනෙක් නොඉන්නටද ඉඩ තිබිණි.

18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති වන බරපතළ තත්ත්වය රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ඇති විශ්වාසය නැති කර දැම්මේය.

එයින් තනි පුද්ගලයකුගේ හා පවුලේ පැවැත්ම තහවුරු කළේය. එමෙන්ම 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කර දැමීය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පැවති සියලු ස්‌වාධීන ආයතන සම්පූර්ණ දේශපාලනීකරණයට ලක් ‌කළේය. කෙටියෙන්ම කිවහොත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන සිහිනයක්වත් දැකීමේ ඉඩ අතුගා දැම්මේය.

78 ව්‍යවස්‌ථාවට අනුව ලොව බලගතුම ජනාධිපතිවරයා ලංකාවේ විධායක ජනාධිපතිවරයාය. එය ප්‍රංශ ඇ‍ෙමරිකා සංකලනයකි. එවන් බලගතු තනතුර දිවි තිබෙන තුරු දැරීමේ ඉඩ කඩ හදා ගැනීම ‘ඒකාධිපති වියරුවේ’ කුරිරුම මොහොතය. ඉන් එහා ඒකාධිපතිකමක් නැත. හිට්ලර්ලා, පොල්පොට්ලා, ගඩාෆිලා සිටියේ ඊට මෙහාය.

17 වැනි සංශෝධනයෙන් කොමිෂන් සභා 7ක් ඇති කළේය. ස්‌වාධීන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස්‌ කොමිසම, අධිකරණ සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිසන්වලට සහ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය යන ආයතනවලට සුදුසු නියෝජිතයන් යෝජනා කිරීම සහ අනුමත කිරීමට වගකියන ව්‍යවස්‌ථා දායක සභාවේ බලය නිශේධනය කර දැමීමට 18 වැනි සංශෝධනයෙන් කටයුතු කළේය.

අල්ලස හෝ දූෂණය ඉහවහා ගිය රටක් නිර්මාණය විය. රටේ නීතිය ආණ්ඩු පක්‍ෂ සාමාජිකයන්ට හා හිතවතුන්ට අදාළ නැති විරුද්ධ පක්ෂවලට පමණක් අදාළ වන තත්ත්වයකට පත් විය. දේශපාලන අන්තේවාසිකයන් යකා නටන බිමක් බවට රට පත් විය. රජයේ මුදල්වලින් 70%කට වඩා ජනාධිපතිවරයා හා ඔහුගේ සොහොයුරන්ගේ පාලනය යටතේ වන අමාත්‍යාංශ හා ආයතන සඳහා වෙන් විය. අමාත්‍යවරුන් සිග්නල් කණු බවට පත් වූ අතර ඔවුන්ට වඩා බලයක් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට හිමි විය.

තවත් ලෙසකින් කිවහොත් ජේ.ආර්. ගෙනා විධායක ජනාධිපති ක්‍රමය අවුරුදු 12කට සීමා විය. එහෙන් විටෙක හමුවන්නේ උපරිම වසර 12ක ඒකාධිපතියෙකි. නමුත් 18 වැනි සංශෝධනය දීර්ඝකාලීන ඒකාධිපතියෙක් බිහි කරන්නට මුල් විය.

වරක් ‘රාවය’ කතුවරයා මෙවන් සටහනක් තබා තිබුණි.

“බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ගෞරවය ජනාධිපති රාජපක්‍ෂට හිමිවිය යුතුය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමෙන් පසු අපට තෝරා ගැනීමට විකල්ප 02ක් තිබුණි. එකක් ජේ.ආර්. ජයවර්ධන විසින් ඒකාධිපතිවාදයට හා චෞරවාදයකට බර තබා සකස් කරනු ලැබ තිබූ රාජ්‍ය ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට ප්‍රතිසංවිධානය කිරීමය. ඊළඟ විකල්පය වී තිබුණේ රාජ්‍ය ඒකාධිපති හා චෞර ස්වරූපය පූර්ණ කිරීමය. එහෙත් අපේ අවාසනාවකට ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් වීරයා තෝරාගෙන ඇත්තේ පළමු විකල්පය නොව දෙවැන්නයි.” (සැප්. 05 රාවය ජේ.ආර්. ගේ රට ඒකාධිපතිත්වය යන විග‍්‍ග්‍රහය)

එහෙව් 18 වැනි සංශෝධනය හොඳයි කියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවත පවසා තිබේ. ඔහු ගෙන ආ සංශෝධනය මොනතරම් විනාශකාරී වුවත් නරකයි කියන්නට ඔහුට හැකියාවක් නැත. අනෙක් අතට එහි නරකක් ඔහුට පේන්නේත් නැත.

1978දී සම්මත කරගත් ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය විණි. සංශෝධන 19න් 17 වැනි සහ 9 වැනි සංශෝධනය හැරුණු කොට ඉතිරි සියල්ලම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සීමා කිරීමටත් විධායක ජනාධිපතිවරයාගේ අතේ බලය ගොනු කර ගැනීමටත් පනවා ගත් සංශෝධනයන් වන අතර 18 එහි බිහිසුණුම මුහුණුවරයි. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙකම ඒකාධිපතියකුගේ ග්‍රහණයට නතු වූයේ එයිනි.

ඊට අනුගතව අත පය සේම දෙපාද එසවූ බොහෝ දෙනා ඊට කැමතිය. එය හඳුන්වා දුන් මහින්ද රාජපක්ෂ ඊට අකමැති වෙයිද?

රාජ්‍ය සේවයේ, පොලිසියේ සහ අධිකරණයේ ඉහළ නිලධාරීන්ගේ පත්වීම්, පහ කිරීම් සහ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා සංස්ථාපනය කෙරුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමත් සමඟම අවලංගු කෙරුණි. ඉනික්බිති රජයේ සෑම අංශයකම උසස් තනතුරුවලට පත් කිරීම් සහ පහ කිරීම් සම්බන්ධයෙන් වන පරම බලය ජනාධිපතිවරයා වෙත පැවරිණි. වැඩවසම් යුගයේ රජවරුන්ට පමණක් තිබුණු බලයක් පාලකයා වෙත ලැබිණි.

“ආයුබෝ වේවා මහ රජාණෙනි”යන්න ආකස්මිකව පහළ වූවක් නොවේ.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මැයි 15 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නේ ඉතාම පැහැදිලිව යළිත් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව, ඉදිරියේදී ජනාධිපති ධුරයට පත්වන ඕනෑම පුද්ගලයකුට දෙවතාවකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි බවට ප්‍රතිපාදන ඇතුළත් කිරීම මඟින්ය.

19 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රැසක් උරුම කර දීමට සමත් වූ බව නොරහසකි. ස්වාධීන කොමිෂන් සභා එහි ජයග්‍රාහී දායාදයකි. නමුත් අඩුපාඩුද නැතිවා නොවේ.

2015 ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් 19 වැනි සංශෝධනය සම්මත කර ගන්නා ලද අතර දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීම එහි අරමුණ විය.

එම සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබිණ. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනයේ මේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් එය සංශෝධනය විය යුතුය.

නමුත් රාජපක්ෂ මහතා පෙර තිබූ 18 හොඳයි කියා කියනවා නම් ඒ රටට දෙවියන්ගේම පිහිටය.

18 ගැන හීනෙකින් හෝ හිතනවා නම් එය බරපතළ රෝගයකි. 19 අඩුපාඩු වෙත්නම් සංශෝධනය කිරීම අවශ්‍යමය. 18ත් 19ත් එපා නම් ඉන් ඔබ්බට ඉතිරි 20ය.

මාතෘකා