ගිනි පිඹ පිඹ - මුදල් දවන සුද්දා දුන්නු කෝච්චිය

 ඡායාරූපය:

ගිනි පිඹ පිඹ - මුදල් දවන සුද්දා දුන්නු කෝච්චිය

විදෙස් දුම්රිය සේවාවන්ගෙන් අපට ගත හැකි ආදර්ශ

විදෙස් රටවලින් අපේ රටට දුම්රිය එනවා. අලුත් එන්ජින් එනවා. ඒ වගේම මෑතක ඉඳන් කෝච්චි පාරවල් වුණත් පිටරටවලින්ම අපිට හදලා දෙනවා. ඒ මොන පහසුකම පිටරටවලින් ලැබුණත් දුම්රිය මගීන්ට නම් ලැබෙන විශේෂ සුවපහසුවක් සහනයක් නම් නැහැ. රටේ දුම්රිය මගීන්ගෙන් බහුතරයක් නොයා බැරි නිසා දුම්රියෙන් යනවා මිසක සැපපහසු සුවපහසු දුම්රිය ගමනක් අත්විඳින්නේ නැහැ. හැමදාම දුම්රිය සේවයට අවශ්‍ය භෞතික සම්පත් ටිකත් විදෙස් රටවලින් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා ගෙනත් දානවා. ඒත් අසාර්ථක කැඳ හැළියකට දාපු වටිනා ඔසුවක් වගේ ඒ හැම ලොකු ආයෝජනයකටම පස්සෙත් දුම්රිය පාඩු ලබනවා. අනෙක් අතින් මහජනයාට ලැබෙන සේවාව වැඩිදියුණු වෙන්නෙත් නැහැ.

දුම්රිය කාර්යමණ්ඩලයේ පාරිභෝගික සේවාව

අවසාන වරට දුම්රිය වර්ජන ඇති වුණ කිහිප අවස්ථාවකම උදේ වැඩට ආපු මගී ජනතාවට හැන්දෑවට ගෙවල්වලට යන්න බැරිවුණා. සත්‍ය වශයෙන්ම දුම්රිය වර්ජනයකින් රජය අපහසුතාවට පත් වීම කෙසේ වෙතත් සැබැවින්ම අපහසුතාවට පත් වෙන්නේ මහජනයා. ඒ අතර දුම්රියෙන් ගිහිල්ලා තවත් බස් එකක දෙකක වැඩට යන අම්මාවරුන් ඉන්නවා. ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න උදෙන් ඇවිල්ලා ක්ලිනික්වල ඉඳලා බෙහෙත් පෝලිම්වල ඉඳලා හවස කෝච්චියේ යන්න ඉන්න දුප්පත් මිනිස්සු ඉන්නවා. බත් මුලයි වතුර බෝතලෙයි මල්ලේ දාගෙන කෝච්චි සීසන් එක විතරක් අරගෙන එන මිනිස්සු ඉන්නවා. ඒ වගේ බොහෝ පිරිසක් උදේ කියලා හවස කෝච්චි ස්ට්‍රයික් කරද්දි අපහසුතාවට ලක් වෙනවා. සිය මගී ජනතාව තමුන් සමඟ වෛර බැඳෙන විදියට වැඩ කරලා දුම්රිය සේවකයන් දිනාගන්න යන ලොකු ජයග්‍රහණය මොකක්ද කියන එක ගැටලුවක්.

ඒ වගේම සාමාන්‍ය දවසක වුණත් දුම්රිය සේවකයන් බොහෝ විට දුම්රිය මගීන්ව වටිනා පාරිභෝගිකයන් විදියට සලකන්නේ නැහැ. තායිලන්තයේ ප්‍රධාන දුම්රිය නැවතුම හුවා ලම්පෝන්. ඒ දුම්රිය නැවතුමේ කවුන්ටර 15කින් විතර අපිට ටිකට් ගන්න පුළුවන්. දුර ගමනකට අපි ටිකට් වෙන් කර ගනිද්දි අපේ නම ටිකට් පතේ සටහන් කරන්නට ඕනි. ඉතින් ඒ ටිකට් දෙන දුම්රිය සේවිකාව ගමනාන්තය අහගෙන තිබෙන දුම්රිය ගැන කිව්වා. ඉන් පසු ඒ දුම්රියේ ඉතිරිව තිබෙන ටිකට් ගැන කිව්වා. එයින් පසු ටිකට් එකේ ගහන්න ඕනි දුම්රිය මගියාගේ නම මගියාටම ටයිප් කරන්න කම්පියුටර් කී බෝඩ් එකත් මගියා දෙසට හරවලා ටයිප් කරන්න කියලා කරුණාවෙන් කිව්වා. අවසානේ ටිකට් එක දෙන ගමන් දුම්රිය එන වේදිකාව ගැනත් මතක් කළා. තායි භාෂාව නොදන්නා විදේශිකයකුට වුණත් තායි දුම්රිය සේවයේදී හොඳට සලකනවා.

අපේ රටේ කොටුව දුම්රිය ස්ථානයේදීවත් එහෙම හොඳ පාරිභෝගික සේවාවක් මගීන්ට ලැබෙන්නෙ නැහැ. දුම්රියක් යන එන වෙලාවක් හරියට දැනගන්න මගියෙක් දුම්රිය සේවකයකුට කතා කළොත් ඔහුගේ වත්තේ අනවසරයෙන් අඹ කඩන්න ආපු කෙනකුට සැර දානවා වගේ දුම්රිය සේවකයන් මගීන්ට සැර දානවා.

දුම්රිය වේගය

මීට දශක පහකට විතර ඉස්සර කොළඹ ජනතාව කතරගම යද්දී රැය දෙකක් විතර මඟ නවත්වලා තමයි බස් එක කතරගමට ළඟා වෙන්නේ. අද කාලේ අධිවේගී මාර්ග එක්ක කතරගම ගමන තනි වරුවකට හෙවත් පැය හයකටත් වඩා අඩු වෙලා. මිනිස්සුන්ට ඉස්සර වගේ කොහොම හරි කීයට හරි යනවාට වඩා වඩාත් ඉක්මනින් තැන් තැන්වලට යන්න හදනවා. සේවාවක් විදියට අවිස්සාවේල්ල, මඩකලපුව, බදුල්ල වගේ ගමනාන්තවලට කොළඹ සිට කෝච්චියට කලින් බස් එක ළඟා වෙනවා. ඉතින් එතකොට මිනිස්සු අලුත් දුම්රිය දැම්මත් ඒවාට ආකර්ෂණය වෙන්නේ නැහැ.

අලුත් අධිවේගී මාර්ග හදනවාට වඩා ඉතා අඩු පිරිවැයකින් දුම්රිය මාර්ගවල වේගය වැඩි කරන්නට හැකියාව තියෙනවා. ගාල්ල මාතර කලාපයේ මාර්ග නවීකරණයත් එක්ක ඒ මාර්ගයේ දුම්රිය, හයිවේ එකේ බස්වලටත් කලියෙන් ධාවනය වෙනවා. ඒ නිසා දකුණු මාර්ගයේ හැම විටම මගීන් පිරිලා ඉතිරිලා යනවා. ඒ වගේම නුවරටත් බස් එකට කලින් ඉන්ටසිටිය ඉක්මනින් ළඟා වෙනවා. චීනය, ජර්මනිය වගේ රටවල සාමාන්‍ය දුම්රිය සේවයේ වේගය පැයට කිලෝමීටර 100කට වඩා වැඩියි. චීනය හදපු ලෝකයේ උසම දුම්රිය මාර්ගය වන චීනයේ සිනින් සිට ටිබෙටයේ ලාසා දක්වා මාර්ගයේ මීටර 5,000කට වඩා වැඩි උසක් තරණය කරන දුම්රියත් සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 100කින් පමණ ධාවනය වෙනවා. අපේ දුම්රියත් වේගය වැඩිකර ගත්තොත් ඒ තුළින් එකම මාර්ගයේ වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්නට හැකි වේවි. ඒ වගේම අලුතින් මගීන් රැසකුත් ආකර්ෂණය වේවි.

දුම්රියේ පහසුකම්

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ හොඳ දුම්රිය සේවාවක් තියෙනවා. ජාවා දූපතේ තියෙන දුම්රිය සේවාව සම්පූර්ණයෙන් වායුසමනය කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් දුර ගමන් යන දුම්රියවල වායුසමනය කළ පෙට්ටි කිහිපයක් බොහෝ විට ගමන් කරනවා. තායි රටෙත් දුර යන දුම්රියවල සුවපහසු වායුසමන මැදිරි ඇතුළත් වෙලා තියෙනවා. අපේ රට ඝර්ම කලාපීය රටක්. දවල්ට කෝච්චිය ඇතුළ තැම්බෙනකොට පොඩි ෆෑන් එකකින් විතරක් ලැබෙන සුළඟ කොහොමවත් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම උදේ හවස මිනිස්සු ගොඩක් පෙට්ටිවල තෙරපෙද්දි මගීන්ට බොහොම අපහසුවකට මුහුණ දෙන්න වෙනවා.

අපේ දුම්රියවල වායුසමන මැදිරි කිහිපයක් තියෙනවා. ඒවා බොහොමයක් යාපනය වගේ දුර ගමනාන්තවලට යොදලා තියෙනවා. කාර්යාල දුම්රිය වැනි කෙටි දුර ගමන්වලටත් වායුසමන මැදිරි එකතු වුණොත් මගීන් වැඩි මිලක් දීලා හෝ මේ වායුසමන මැදිරිවලට ආකර්ෂණය වේවි. ඉස්සර මාතර කොළඹ සාමාන්‍ය පාරේ වායුසමන බස්වල ගියේ පොඩි පිරිසක් පමණයි. ඒත් පසුව අධිවේගී මාර්ගයේ සැප පහසු වේගයෙන් යන බස් රිය ආවාට පස්සේ සාමාන්‍ය පාරේ බස්වලට මගීන් නැතිවෙන තරමට මගීන් අලුත් වායුසමන බස්වල වැඩි මිල ගෙවලා යන්න හුරු වුණා. ඒ අනුව මගීන්ට හොඳට සුව පහසුව සැලසෙනවා නම් ටිකට් මිල ගැන ඔවුන් එතරම්ම සලකන එකක් නැහැ.

ටිකට් පහසුව

ලෝකේ ඕනෑම තැනක ඕනෑම අයකුට මේ දැන් වුණත් අන්තර්ජාලයෙන් ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ, තායිලන්තයේ මැලේසියාවේ දුම්රිය ටිකට් වෙන්කර ගන්න හැකියාව තියෙනවා. දුම්රිය යන එන වෙලාව ඒ ඒ දුම්රිය ස්ථානයට ළඟා වෙන වෙලාව වගේම ඉතුරු වෙලා තියෙන ආසන ආදියත් ඔන්ලයින්ම බලාගෙන අපිට ආසන වෙන්කර ගන්න හැකියාව තියෙනවා. තායිලන්තයේ බැංකොක්, ඉන්දියාවේ දිල්ලිවල දුවන ‘මෙට්‍රො’ නම් නාගරික දුම්රිය සේවාවේ ටිකට් ගන්න වෙනම ටිකට් මැෂින් තියෙනවා. අපිට සල්ලි දාලා ගමනාන්තය ඇතුළත් කරලා ටිකට් ගන්න ඒ යන්ත්‍රවලින් පුළුවන්කම තියෙනවා. අපේ රටෙත් ටිකට් පද්ධතිය නවීකරණය කරන වැඩපිළිවෙළක් යනවා. ඒත් තාක්ෂණය මෙතරම් දියුණු කාලෙක ඒ නවීකරණ වැඩට ගන්න කාලය නම් බොහොම වැඩියි. අපේ බස්වල ටිකට් සේවාව යාන්ත්‍රික වෙන්න ගියේ බොහොම පොඩි කාලයක්. බස් කොන්දොස්තර මහත්වරු වගේම බස් හිමියන්, මගීන් ඒ ටිකට් සේවාවට හුරු වුණා.

ටිකට් සේවාව හොඳ පරිගණක පද්ධතියකින් කළොත් මගීන්ට කවුන්ටර්වල තෙරෙපෙන් නැතුව ටිකට් වෙන්කර ගන්නත් ලැබෙනවා. ඒ වගේම දැන් තියෙන ක්‍රමයට වඩා කවුන්ටර් අඩුවෙන් වේගවත්ව ටිකට් දෙන්නත් අවකාශ ලැබෙනවා. දුම්රිය සේවාවට අවශ්‍ය මාර්ග, එන්ජින් වගේ මිලියන ගාණක් වැය වෙන වැඩ වගේම මේ ටිකට් සේවාව නවීකරණය වගේ වැඩත් ඉක්මනින්ම සිදු වෙනවා නම් මගීන්ට එයින් ක්ෂණිකව ලොකු සහනයක් ලැබෙනවා.

බඩු ප්‍රවාහනය

අපේ රටේ දුම්රිය ආදායමෙන් 90%කටත් වඩා මගීන්ගේ ටිකට්වලින් අයකර ගන්නවා. ඉන්දියාවේ මේ අගය 50%කටත් අඩුයි. ඉන්දියාවේ දුම්රිය සේවය මගී ප්‍රවාහනය හා සමානවම මුදලක් භාණ්ඩ ප්‍රවාහනයෙන් උපයා ගන්නවා. අපේ දුම්රිය සේවාව සේවාවක් විදියට භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුකම් තියෙන සේවාවක්. ඒත් සේවාවක් විදියට භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය විශාල වශයෙන් පාව්චිචි වෙන්නේ නැහැ. ඉඳහිට ගෙදරදොර ලී බඩු, බයිසිකල්, කුකුළු පැටව් ආදිය දුම්රියේ ප්‍රවාහනය කරනවා පේනවා. ඒ වගේම සිමෙන්ති කර්මාන්තයට අවශ්‍ය ප්‍රවාහන පහසුකමුත් අපේ දුම්රිය හරහා සපයනවා. ඊට වඩා එහා ගිය කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ ප්‍රවාහනය දියුණු කර එහි ධාරිතාව වැඩි කරන්න පුළුවන් නම් ඒ හරහා දුම්රියට ආදායමක් ලබා ගන්න හැකි වෙනවා. එළවළු, පලතුරු, සහල්, සීනි, පිටි වගේ දේවල් දුම්රියෙන් ලාභදායීව ප්‍රවාහනය කරන්න පුළුවන් නම් ඒ හරහා ප්‍රවාහන වියදම අඩුකර ගන්නත් අදාළ අංශවලට පුළුවන්කම ලැබෙනවා.

සංචාරකයන්ට සේවාවන්

අපේ රටේ උඩරට දුම්රිය මාර්ගය පහුගිය කාලේ අන්තර්ජාලයේත් බොහොම ජනප්‍රිය එකක් වුණා. ආසියාවේ ලස්සනම දුම්රිය ගමන්වලට කොළඹ සිට යාපනේ දක්වා ගමනත් වරක් ඇතුළත් වෙලා තිබුණා. වරක් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹට ටිකට් එකක් වෙන්කර ගන්න විදේශික යුවතියක් සිටියා. ඇය දුම්රිය ටිකට් පතක මිල ඇසුවාම පුදුමයට පත්වුණා. පැය හත අටක් යන ගමනට ඇයට වියදම් වුණු මුදල ඇගේ රටේ ඩොලර්වලින් ඩොලර් තුන හතරක්වත් වුණේ නැහැ.

කැනඩාවේ, නවසීලන්තයේ ඔස්ට්‍රේලියාවේ, ස්විස් රටේ අලංකාර භූමි දර්ශන තියෙන දුම්රිය මාර්ගවල විශේෂ සංචාරක දුම්රිය ධාවනය වෙනවා. ඒ සංචාරක දුමරිය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම්වලින් සවිමත්. ඒ වගේම ඇතැම් අවස්ථාවල ආකර්ෂණීය ස්ථානවල නවත්වලා සංචාරකයන්ට පිංතූර ගන්න, පරිසරය විඳගන්නත් ඔවුන් අවස්ථාවක් ලබා දෙනවා. ඒ සංචාරක දුම්රියවල මැදිරි පිටත පරිසරය මැනවින් දිස්වෙන විදියට තනලා තියෙනවා. විදෙස් රටක එවැනි දුම්රිය ගමනක් දවසක් යන්න අැතැම් විට ඩොලර් පන් හය සීයක් වියදම් වෙනවා. ඒත් සුපිරි සංචාරක අත්දැකීමක් ලැබෙන නිසා සංචාරකයන් ඒ දුම්රිය සේවාවන්වල ටිකට් කලින්ම වෙන්කර ගන්නවා.

අපේ රටෙත් සෑම දුම්රිය මාර්ගයක්ම පාහේ විශේෂ භූමි දර්ශනවලින් යුතු වෙනවා. සාමාන්‍ය මගී ජනතාවට තිබෙන අඩු මිල ටිකැට්ටුවෙන් රට වටේ යන බැක්පැක්් සංචාරකයන් මෙන්ම ඉන් ඉහළ මට්ටමේ සංචාරකයනුත් ලංකාවට එනවා. ඔවුන්ට දවසකට ඩොලර් සිය ගාණක් ගෙවලා දුම්රියේ යන එක ගැටලුවක් නැහැ. ඒ වගේ සංචාරක සේවාව වෙනුවෙන් විශේෂ දුම්රිය තිබෙනවා නම් අපේ රටේ ඉන්න ධනවතුන්ටත් සාමාන්‍ය දුම්රියවල තෙරපිලා දුම්රිය ගමනේ අසිරිය බලන්න ඕන වෙන්නේ නැහැ. එයාලත් පොෂ් විදියට යන සංචාරක දුම්රියට ආකර්ෂණය වේවි.

විදෙස් රටවලින් සේවාව ගැන පාඩම්

අපිට යාබද රටවල වගේම ලෝකයේ ගොඩක් රටවල දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් යුරෝපීය රටවල වගේම චීනය, ඉන්දියාව වැනි රටවල දුම්රිය කියන්නේ ජනප්‍රිය සේවාවක්. එවැනි රටවල දුම්රිය සේවාවන් ලාභ ලබන්නේ කොහොමද ඔවුන් පාව්චිචි කරන තාක්ෂණික ක්‍රම මොනවාද ඒවායේ සැකැස්ම කොහොමද වගේ දේවල් අපිට පහසුවෙන්ම අධ්‍යයනය කරන්න මේ අන්තර්ජාල යුගයේ පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉහළ මට්ටමින් ඉල්ලුවොත් අපිට සේවාව වැඩිදියුණු කර ගන්න විදෙස් රටවලින් උපදේශන උපකාර සේවාවන්ද ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපිට සම්පූර්ණයෙන්ම විදෙස් දුම්රිය සේවාවන් ලංකාවේ තිබෙන සමාජ ආර්ථික තත්ත්වයන්ට අනුව ගළපන්න බැහැ. ඒත් වඩාත් හොඳ සේවාවක් වෙනුවෙන් ඔවුන්ගෙන් ලබාගත හැකි ආදර්ශ ආදිය ගොඩක් තියෙනවා.

නවීන යුගයට එද්දි පරණ හැඩහුරුකම්, සම්ප්‍රදායන්, ක්‍රමවේද සියල්ලම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට බැහැ. අපි ඕනෑම සේවාවක් ගතහොත් කාලයට අනුරූපව වෙනස්කම් සිදුකරගෙන තියෙනවා. ඉතින් අපේ දුම්රියත් ධාවනය වන කෞතුකාගාර ස්වරූපයෙන් මිදිලා වැඩිදියුණු කළ මගී සේවාවක් විදියට දියුණු කරන්නට විදෙස් උපදෙස් සහ සහාය ලබා ගත හැකි නම් එය මගීන්ට බොහොම හොඳ ආරංචියක් වේවි.

හදිසි වර්ජන හා තර්ජන

දුම්රිය සේවාව ලාභ ලබන්නෙ නැහැ. ඉතින් වෘත්තිය සමිති ඉල්ලන යම් වැඩි දීමනාවක්, වැටුප් විෂමතාවක් විසඳන්න සල්ලි ලබා ගන්න වෙන්නේ නැවතත් අපේ බදු මුදලින්ම තමයි. එතකොට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග විසඳන විට ඉබේම භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මුදලක් වෙන් කරන්න වෙනවා. භාණ්ඩාගාරයෙන් මුදලක් දුම්රිය වෙනුවෙන් වෙන් කළත් ඒ තුළින් මගීන්ට ලැබෙන අමුතු සෙතක් නැහැ. කොටින්ම වරජන කිහිපයක් අවසානයේ හෝ වෘත්තිය සමිතිවල ඉන්න සේවකයන්ට සහනයක් සැලසේවි. ඒත් මහජනයා එදා පරිදි අදත් තෙරපිලා මිරිකිලා අපහසුතාවෙන් දුම්රිය ගමන්වල යනවා. දුම්රිය වර්ජනයක් තුළින් සාමාන්‍ය කාර්යාල දුම්රිය මගීන් වගේම දුම්රිය හරහා සේවාව ලබා ගන්න පිරිස් රැසක් අසරණ වෙනවා. දුම්රිය සේවාව යාවත්කාලීන කිරීමේදී මානව සම්පත කළමනාකරණය කිරීමත් කළ යුතුම දෙයක් වෙනවා. විශාල මානව සම්පතක් දුම්රිය සේවාව වෙනුවෙන් ඉන්නවා. දුම්රිය සේවකයන් නම් ඒ පිරිස මදි කියා කියනවා. ඒත් තාක්ෂණය වැඩිපුර භාවිතා කොට සේවකයන්ගේ අවශ්‍යතාව අවම කර ගැනීම දුම්රිය සේවාවටත් කළ හැකි දෙයක්.

වර්ජන, තර්ජන, ගර්ජන කරන දුම්රිය සේවකයන් ගැන මෙන්ම දුම්රිය සේවාවන් ලබා ගන්නා මහජනයා ගැනත් පාලකයන් අවධානය යොමු කරන්නට ඕනෑ. එතැනදි ණය ආධාරවලින් සපයන අලුත් දුම්රිය ගැන වගේම සේවාවේ වැඩිදියුණු කිරීම් ගැනත් අවධානය යොමු කරන්නට ඕනෑ. එසේ නොමැති වුණොත් අලුත් දුම්රිය තිබුණත් පැරණි ආකාරයේ පීඩාකාරී සේවාව මගීන්ට හැමදාම කරදරයක් වේවි.

මාතෘකා