අපි දැන් කොහෙද යන්නේ?

 ඡායාරූපය:

අපි දැන් කොහෙද යන්නේ?

මිනිසුන්ට නිරන්තරයෙන් නැඟෙන එක්තරා පැනයක් ඇත. "අපි දැන් කොහෙද යන්නේ?" එදිනෙදා ජීවිතයේදීද ඉන් එහාට අනාගතය දෙස බලන කල්හීද හුස්ම ගන්නා ආත්ම නිරන්තරයෙන් කල්පනා කරන්නේ තමන් යන්නේ කොයිබටද යන්නය. එය වස්තු විෂය කර ගනිමින් "අපි දැන් කොහෙද යන්නේ" යන නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල තම කුලුදුල් සිනමා නිර්මාණය කෙටි චිත්‍රපටයක් ලෙස සෙලෝලයිඩ් පටිවල කැටිකොට හමාරය.

"අපි දැන් කොහෙද යන්නෙ?" කෙටි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා (18) සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත විය.

සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ප්‍රවීණ රංගධර අමරසිරි කලංසූරිය, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, සාහිත්‍යවේදී මොහාන් රාජ් මඩවල, සාහිත්‍යවේදී හෂිත අබේවර්ධන, නිර්මාණවේදී විමල් කැටිපේආරච්චි එක්විය.

දෙසැම්බර් තිස්එක් වැනිදා තමන් සිටි කුලී නිවසින් ඉවත් වන්නට සිදු වී අරමුණක් විරහිතව, තමන් යන්නේ කොයිබටදැයි නොදැන යන පුංචි පවුලක් වස්තු විෂය කොටගෙන මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ එය අවස්ථා තුනකින් අවසන් වීමයි. පළමු අවස්ථාව අරමුණු විරහිතවද දෙවැනි අවස්ථාව ආදරයෙන්ද තුනවැනි අවස්ථාව ද්වේශයෙන්ද එය නිමා වෙයි. සිනමා රසිකයාට තමන් කැමති අවස්ථාවක් යටතේ එය කියවා අවසන් කිරීමට නිර්මාණකරුවා එමඟින් ඉඩ සලසා දී ඇත.

"අපි දැන් කොහෙද යන්නෙ" සිනමා නිර්මාණයේ කතාව, අධ්‍යක්ෂණය සහ පිටපත කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙන්ද සඳුන් දොළමුල්ලගේ නිෂ්පාදනයෙන්ද වර්ණ ගැන්වී ඇති අතර සංගීතය දිනේන්ද්‍ර ජයවීරගෙනි. එහි කලා අධ්‍යක්ෂණය ඩොමිනික් චන්ද්‍රසාලිගෙන්ද වේෂ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායකගෙන්ද වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍රගෙන්ද වේ. චිත්‍රපටයේ සංස්කරණය චානුකද මෙල් විසින් සිදුකරනු ලැබ ඇත. රංගන ශිල්පී කලණ ගුණසේකර, රංගන ශිල්පිනී නදීෂා මදුෂානි මේ සඳහා රංගනයෙන් දායක වේ.

[නිර්මාණි බණ්ඩාරනායක]


“ඉත්තෝ” සියතට

ඒකාකාරී ටෙලිනාට්‍ය රාමුවෙන් මිදී වින්දනීය ප්‍රේක්ෂක රසාස්වාදයට නිසි තැන ලබා දෙමින් නිර්මාණය වූ සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම ටෙලි නිර්මාණය “ඉත්තෝ”, අදින්නට පෙර සිතන්නට අවස්ථාව උදාකර දෙමින් එළැඹෙන ජූලි 01 වැන දින සිට සියත රූපවාහිනී නාළිකාව ඔස්සේ රාත්‍රී 8.00ට සතියේ සෑම දිනකම විකාශනය වීමට නියමිතව ඇත.

ප්‍රේක්ෂක රසාස්වාදයට සහ අපේ රටට ගැළපෙන අයුරින් ඉතා තීව්‍රව මොහොතින් මොහොත කුතුහලය ඇති කරමින් ඉදිරිපත් කරනා මෙම ටෙලිමාලාව තුළින් උදාරි පෙරේරා පුංචි තිරයට හඳුන්වා දෙයි. උදාරි සමඟින් රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටීනා ෂනෙල්, දමයන්ති ෆොන්සේකා, අමිල කරුණාරත්න, ජනක් ප්‍රේමලාල්, කුසුම් රේණු, සචිනි වික්‍රමසිංහ, හිරුණි රණසිංහ, මිලින්ද පෙරේරා, සිනෙති අකිලා, තිළිණි පෙරේරා, චාමර ප්‍රියදර්ශන, චමීර ලියනගේ, ඉෂාන් ගම්මුදලි, මේනකා මධුවන්ති, තාරක අධිකාරි, නිසදි කාරියවසම්, රූපා ගෝමස්, මෙලනි අශෝකා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙහි, කැමරාකරණය සම්මානලාභී කැමරා ශිල්පී ස්ටයිනර් ඇඩම්ස්ගෙනි. සංස්කරණයෙන් රෙශාන් මදුශංක චන්ද්‍රරත්න, කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂ, මෙහි ගීත ගායනයෙන් මිහිඳු ආරියරත්න, ගීත රචනයෙන් දිල්ශාන් පතිරත්න, තේමා ගීතයේ සංගීත නිර්මාණයෙන් අචල සොලමන්ස්, අංග රචනයෙන් තාරක අධිකාරිද එක්ව ඇත. කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සමඟින් නිලංක ඇලෙක්සැන්ඩර් එකතුව කළ තිර රචනයෙහි, තිර රචනා අධීක්ෂණය සහ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි. “ඉත්තෝ” ඉදිරිපත් කිරීම සෙප්ටෙම්බර් ස්ටූඩියෝස් ආයතනය විසිනි.

[ඇන්ටන් ජේ. ප්‍රනාන්දු]

මාතෘකා