හෙට දවසේ සිනමාව

 ඡායාරූපය:

හෙට දවසේ සිනමාව

සුදේශ් වසන්ත පීරිස් - හුස්ම

හුස්ම දිගහැරෙන්නේ කොහොමද?

සිංහල සිනමාව තුළ බයිස්කෝප් චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරලා එයින් මිදෙන්න ඕනේ කියලා හිතලා මම හුස්ම චිත්‍රපටයේ පිටපත ලිවුවා. ඒක ලියලා නිෂ්පාදකවරු කිහිපදෙනෙක්ම මුණගැහෙන්න ගියා. නමුත් ඒ කවුරුත් කැමති වුණේ නැහැ මේ සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්න. මොකද ඒ මගේ කලින් නිර්මාණත් සමඟ සංසන්දනය කරලා බලලා මේ චිත්‍රපටය මට කරන්න පුළුවන්ද කියන කුතුහලය ඔවුන්ට තිබුණා. නමුත් මට නිෂ්පාදකවරයෙක් හමුවුණා. මම චිත්‍රපටය කරන්න සූදානම් වුණා. ඊළඟට මට මුල්ම අභියෝගය වුණේ මේ සඳහා නළු නිළියන් තෝරා ගැනීම. මට දක්ෂ නළු නිළියන් පිරිසක් හමුවුණා. දසුන් පතිරණ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පුබුදු චතුරංග වගේ. ඒත් එක්කම මට මේ චිත්‍රපටය සඳහා නිළිය හරි වැදගත් වුණා. මම හිතුවෙම ඒ සඳහා මට ලොකු වෙහෙසක් දරන්න වෙයි කියලා. නමුත් මට චමත්කාව ඒ සඳහා හමුවුණා සහ චමත්කා ඒ අභියෝගය බාර ගත්තා. කෙසේ වෙතත් චිත්‍රපටය අපි සාර්ථකව නිම කළා. මේ කතාවේ තේමාව මට මුලින්ම මගේ හිතවතෙක් දුන්නේ. ඊට පස්සේ මම ඒ තේමාව ඔස්සේ එවැනි චිත්‍රපට සෙව්වා කෙසේද කෙරිලා තියෙන්නේ කියලා. ඉන්පසු මම ඒ ලෝක සිනමාවත් සමඟ දැකපු දේවල්, අහපු දේවල් සහ මගෙනුත් දෙයක් එකතු කරලා තමයි හුස්ම නිර්මාණය කරන්නේ.

මේ චිත්‍රපටය නිර්මාණයේදී විවිධ අභියෝගවලටත් ඔබ මුහුණ දෙන්න ඇති?

ඔව්, මේ චිත්‍රපටය නිර්මාණයේදී මට ලොකු අභියෝගයක් ආවා. මොකද මේ චිත්‍රපටය පුරා එක බිත්ති හතරක් තමයි තියෙන්නෙ. පැය හතරක පමණ සිද්ධියක් තමයි මම චිත්‍රපටයක් විදියට ඉදිරිපත් කරන්නේ. එකම ඇඳුමක්, එකම නළු නිළියන් හතර දෙනෙක්, එකම ස්ථානයක (බිත්ති හතරක් මැද) කෙරෙන වැඩක්. ඉතින් මෙය නරඹන ප්‍රේක්ෂකයාව මම චිත්‍රපටයේ රඳවාගන්න ඕනේ සහ ඔවුන්ට කම්මැළි නොවෙන්න ඕනේ. කෙසේ නමුත් ඒ අභියෝගයට මුහුණදීමේදී කැමරා ශිල්පියා ගාමිණී මට ලොකු සහායක් ලබා දුන්නා. ඒ වගේම කලා අධ්‍යක්ෂණයෙන් සරත් සමරවික්‍රම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර සහ ශබ්ද පරිපාලනය පැත්තෙන් සසික රුවන් ලොකු සහායක් ලබා දුන්නා. ඇත්තටම කියන්න ඕනේ මගේ හික්මීම මම දැනගත්තේ මේ චිත්‍රපටය නිර්මාණය කළාට පසුවයි. මම හිතනවා මම සාර්ථකයි කියලා.

----------------------------------------

කසුන් පතිරණ - නයිට් රයිඩර්

නයිට් රයිඩර් ෆිල්ම් එකේ concept එක මොකක්ද?

කාලයක් තිස්සේ film ගැන පොඩි උණක් තිබ්බ යාළුවො සෙට් එකක් හිටියා. ඉතිං ඒ යාළුවො සෙට් එකට ඕනෙ වුණා පොඩි වැඩක් කරන්න. එතකොට තව 80 දශකයේ තිබුණ ඒ film, tele dramaවලට love එකකුත් තිබුණා. ඒ තුළ ත්‍රාසය, භීතිය, කුතුහලය තිබුණා. නමුත් ඒ නොස්ට් ඇලජික් එක අපිට ඊට පස්සේ හමුවුණේ නැහැ ලංකාවෙ conseptවලින්. අනිත් දේ තමයි මේ වන විට ලංකාවෙ ඕඩියන්ස් එකයි film industry එකයි අහසට පොළොව වගේ ලෙවල් එකක. ඒ නිසා අපි මේකට මොකද කරන්නේ කියලා සෑහෙන කාලයක් තිස්සේ වෙච්ච කතාබහේ ප්‍රතිඵලයක් ලෙස තමයි නයිට් රයිඩර් නිර්මාණය වෙන්නේ.

film crew එක ගැන කිව්වොත්?

Production manager - තරිඳු දේශප්‍රිය. DOP - විශ්වජිත් කරුණාරත්න. music - අජිත් කුමාරසිරි. colourist - මලින්ද. Fighting derector - ඔසඳ සමන් බණ්ඩාර. ඒ වගේම ප්‍රධාන නළුවා, නිළිය වෙන්නේ කලන සහ යුරේනි. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ, යුරේනිව බොහෝ දෙනෙක් දැකලා තියෙන්නේ celebrity කෙනෙක් විදියට. යුරේනි කියන අතිවිශිෂ්ට නිළිය කාටහරි බලා ගන්න ඕනෙ නම් ඒ කෙනාට නයිට් රයිඩර් බලන්නම වෙනවා.

---------------------------------------

සුජීවප්‍රියලාල් - සුපර්නා

මේ චිත්‍රපටයේ මූලිකම සංධිස්ථානය මොකක්ද?

චිත්‍රපටය මූලික වශයෙන්ම ලියවෙන්නේ සොබාදහම මුල්කොටගෙනයි. එය තමයි මූලිකම සංධිස්ථානය. සමස්තයක් ලෙස මේ රට තුළත් ලෝකය තුළත් සොබාදහමෙන් සිද්ධ වන්නාවූ මේ ස්වභාවික ව්‍යසනය සම්බන්ධයෙන් තමයි කතාව ගොඩනැඟෙන්නේ.

සුපර්නා චිත්‍රපටය කතාන්දර තුනකින් යුක්තයි?

ඔව්. ඉන් එක් කතාවක් තමයි සොබාදහමට ආදරය කරන්නාවූ සොබාදහම සමඟ බැඳුණු ජීවන රටාවක් තිබුණු මනුස්ස කොට්ඨාසයක් ඉතිහාසයේ මේ භූමියේ ජීවත් වුණා කියන එක පිළිබඳව චිත්‍රපටය තුළ කතා කෙරෙනවා. එතකොට ඒක හරහා ඒ මනුස්ස කොට්ඨාසය සමස්තයක් විදියට මේ මහපොළව රකින්න නිරන්තරයෙන්ම කටයුතු කළා කියන එක සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා කතා කෙරෙනවා. ඊළඟට දෙවැනි කතාව බවට පත්වෙන්නේ සොබාදහම රකින මුවාවෙන් මේ රට තුළ පවත්වාගෙන යන්නාවූ විදේශීය පාරිසරික පර්යේෂණ ආයතනය සම්බන්ධයෙන්. ඒකට විරුද්ධව සටන් කරන්නාවූ ගමක ජීවත් වන්නාවූ තරුණ පිරිසක් සම්බන්ධයෙන් චිත්‍රපටය තුළ කතා කෙරෙනවා. ඉන්පසු තෙවැනි කතාව බවට පත් වෙන්නේ සුපර්නා පිළිබඳව කතාව. සුපර්නා කියන්නේ පිටසක්වල ජීවියකු ළඟ උපන්නාවූ මේ ස්වභාදහම රැකීම සඳහා සටන් කරන්නාවූ තරුණියක් පිළිබඳ කතාන්දරයක්. ඇත්තටම මේ කතාන්දර තුනත් සමඟ තමයි සුපර්නා චිත්‍රපටය දිගහැරෙන්නේ.

ඒ වගේම නරඹන්නන්ට වෙනස්ම අත්දැකීමක් ලබන්න පුළුවන් චිත්‍රපටයක්?

ඔව්, සමස්තයක් ලෙස ගත් විට මේ සුපර්නා චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් ලබන්නට පුළුවන් කියලා මම හිතනවා. මොකද මේ කතාවේ තේමාව සහ චිත්‍රපටයේ කතා කරන ක්‍රමවේදය අනුව ඉතා නැවුම් අත්දැකීමක් සිනමාව තුළ අත්විඳින්න පුළුවන් වෙයි.

---------------------------------------

විජිත් ගුණරත්න - Invisible Moon

චිත්‍රපටයට කොහොමද අමාවක සඳ නම යෙදෙන්නේ?

අමාවක කියන්නෙ සඳ නැතුවම නෙමෙයි. ඝන අඳුර, ඒත් සඳ වැහිලා. ඒ නිසා දිදුළන හඳේ එළිය පිටතට විහිදුවන්න ඉඩක් නෑ. හැබැයි එතන දිදුළන සඳක් නැතුවාම නෙමෙයි.

ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් අමුතු තැනක. මොකද ලංකාව තුළ අධ්‍යාපනය තිබුණට මානවයාගේ යහපැවැත්ම සඳහා එය දිදුළන්නේ නැහැ.

ඒ අඩුපාඩුව අපි අවංකව, විවෘතව පෙන්වා දිය යුතුයි. ඒ සඳහායි අමාවක සඳ බිහිවෙන්නෙ.

---------------------------------------

සුබාශිවකුමාරන් - House of my fathers

“house of my fathers” කතාව ගෙතෙන්නේ කොහොමද?

එකමත් එක කාලෙක පරම්පරා දෙකක් එකිනෙකා මරාගත්ත ගම් දෙකක් තිබුණා. මේ කතාව පටන් ගන්නේ මේ ගම්වලට වැදුණු අලුත් සාපයක් එක්ක. කොච්චර දැඟලුවත් මේ ගම්වල ගැහැනු අයට අලුතෙන් ළමයෙක් හදන්න බැරි තත්ත්වයක් උදා වුණා. මේ අතර අමුතු දේවල් සිදු වුණා. හැබැයි කාටවත් ඒ මොනවාද කියලා හිතාගන්න බැරි වුණා විතරක් නෙමෙයි ඒවා මොනවද කියලා හොයන්න කාටවත් උවමනා වුණේ නැහැ. මේ විදියට තමයි “house of my fathers” ගලාගෙන යන්නේ. මේක වෙනස්ම කතාවක්.

මාතෘකා