සීතල සමයේ ආරම්භ කළ සටන භීෂණ සමයේ නිමවූ අයුරු

 ඡායාරූපය:

සීතල සමයේ ආරම්භ කළ සටන භීෂණ සමයේ නිමවූ අයුරු

මිරැන්ඩා හේමලතා ප්‍රමුඛ ශිෂ්‍ය පෙළපාලියට පොලීසියෙන් බාධාවක් සිදු නොවුණි. පිරිමි ළමෝ වැඩි පිරිස් ජාතික ඇඳුමින් ද ශිෂ්‍යාවෝ ඔසරියෙන් ද සැරසී ගමන් ගත්හ. ගමන් කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට ප්‍රේමකුමාර එපිටවලගෙන් උපදෙස් ලැබී තිබුණි. ඔහු එවකට දේශපාලනමය ශක්තියක් තිබූ පුද්ගලික ආයතනයක ප්‍රසිද්ධ කලා ශිල්පියෙකි. මිරැන්ඩාගේ පියා අත්පත්‍රිකා මුද්‍රණයේ දී අවශ්‍ය සහයෝගය දී තිබිණි. කෙසේ නමුත් පෙළපාලිය පාර්ලිමේන්තුව අසලට එනවිට ඇය හා පැමිණි පිරිසෙන් ඉතිරිව සිටියේ සුළු පිරිසකි. පාර්ලිමේන්තුවට ඇතුළුවන පඩිපෙළේ ඔවුන් වාඩි වී සිටියේ පෙත්සම අගමැතිතුමාට දීමටය.

අගමැතිතුමා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය විජයානන්ද දහනායක පැමිණ ගැටලුව විමසා ඇත. ඔවුන්ගේ දිර්ඝ පැමිණිල්ල ගොනුකර ඉදිරිපත් කළේ මිරැන්ඩාය. සියලු ගැටලු විමසා බැලීමට කොමිසමක අවශ්‍යතාවද රජයේ කලායතනය විශ්වවිද්‍යාලයක් කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන්ද ඉගෙනුම ලබන ගැහැණු ළමයින්ට සිදුවන නොයෙක් අකටයුතුකම් සොයා බලා කටයුතු කරන මෙන්ද ඇය ඉල්ලා සිටියාය.

1957 දී පත්කළ කුලරත්න කොමිසම යනු එම සටනේ ප්‍රතිඵලය යි. මෙම කොමිසම සඳහා පී.ඩී.එස්. කුලරත්න, තේජා ගුණවර්ධන හා යාපනේ අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමසුන්දරම් පත්කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් සියලුදෙනාටම උපාධිය දිය යුතු ලෙස පිළිගැනීමට ප්‍රධානම සාධකය වූයේ මෙය වසර හයක දීර්ඝ පාඨමාලාවක් නිසාවෙනි. ඉන් වසර දෙකක් උසස් පෙළ වෙනුවෙන් ද ඉතිරි වසර හතර උපාධිය ලෙස සැලකීමට ද තීරණය විය. සටනේ ප්‍රතිපලයක් ලෙස හය අවුරුද්දක පාඨමාලාව අවසානයේ විභාගය සමත් වන්නන්ට උපාධියක් දීමට අනුමත කෙරිණි. ලලිත කලාවේදී චිත්‍ර, ලලිත කලාවේදී සංගීත, ලලිත කලාවේදී නර්තන ලෙස එම උපාධිය නම් කෙරිණි. වැටුප් වැඩිවීම් සඳහා එම උපාධිය බලපාන පරිදි නීති සැකසෙමින් තිබිණි. එහෙත් එය ප්‍රමාද වීමට බලපෑ සාධක කිහිපයක් අලුතින් පැන නැගිණි. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය භාරව සිටි ප්‍රධාන නිලධාරිවරයා වන ඩබ්ලිව්.බී. මකුලොලුව හා කලායතන ප්‍රධාන නිලධාරියා වන ලයනල් එදිරිසිංහ අතර විශාල මත ගැටුමක් ඇතිවිය. ඔවුන් දෙපලම ජ්‍යෙෂ්ඨ සංගීතඥයින්ය. දෙදෙනාගේ චින්තන දෙකකි. එය පරස්පරය. ලයනල් එදිරිසිංහ භාරතීය සංගීතය නගාසිටුවීමට කටයුතු කළ අතර මකුලොලුව සිංහල සංගීතය ලෙස ලාංකේය හැඩයකින් යුක්තව සංගීත ක්‍රමවේදයන් සකස් කළ යුතුයැයි නව සංකල්පයක් ඉදිරිපත් කළේය. මෙයට රටේ සංගීතඥයෝ වැඩි පිරිසක් විරුද්ධ වූහ.

දේශීය නාද රටා පමණක් ගෙන සංගීතයේ ලාංකේය සලකුණක් ගොඩනැගීමට නොහැකි බව ඔවුන්ගේ මතය විය. දේශීය නාද රටා යොදා යම්කිසි ප්‍රමාණයකට තනු නිර්මාණය කළ හැකි වුවත් ඊට වැඩි සේවයක් භාරතීය සංගීතය තුළින් ලබාගත හැකි බව ඔවුන්ගේ මතය විය.

මකුලොලුව එයට විරුද්ධ විය. “හෙළ ගී මඟ” නමින් ඔහු පොතක් ලියා පාසල් සඳහා අනිවාර්ය කිරීමට කටයුතු කළේය. සුළු, මැදුම්, මහ තිත් ක්‍රමය යොදා ඔහුගේ මතය එයට ඇතුළත් කර තිබිණි. ඔහුගේ නිල බලය යොදා පාසල් ඉගැන්වීම් ක්‍රියාවලියට එය යොමු කෙරිණි. ඇය එම පොතේ තිත් ක්‍රමයේ නිදොස් විය යුතු තැන් කිහිපයක් මකුලොලුවට ඉදිරිපත් කළේය. එම දිනය ඇයට අද මෙන් මතක හිටින තත්ත්වයට පත්ව තිබුණේ ඒ ඉදිරිපත් කිරීම් හමුවේ ඔහු කෝප වූ ආකාරය මතකයේ පතුලට ම කිඳා බැස තිබූ බැවිනි. දිනය 1967 සැප්තැම්බර් පළමුවැනි දා ය. ඒවායේ ප්‍රතිඵලය ලෙස සිදුවූයේ ඇය ඔහුගේ පළිගැනීම්වලට ලක්වීමය.

ඩබ්ලියු.බී. මකුලොලුවගේ “හෙළ ගී මඟ” ග්‍රන්ථය පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. ඔහු එය ලිවීමට පෙලඹ වූ ප්‍රධාන හේතු දෙකක් තිබිණි. ඉන් එකක් 1952 දී ගුවන් විදුලි ආයතනයේ සංගීතඥයන් වර්ග කිරීමට ලංකාණ්ඩුව මගින් ගෙන්වා ගනු ලැබූ ඉන්දියන් භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ ප්‍රධානියා වන මහාචාර්ය එස්.එන්. රත්නජංකර් පඩිවරයාගේ දේශනයයි.

“ගසල්, කවාලි, ගුජරාටි නෘත්‍ය ගීත, තාගෝර් ගීත හා හින්දුස්තානි චිත්‍රපට ගීත ලක්දිව වැඩි දෙනෙකුගේ රුචිකත්වයට පැමිණ ඇති බව පෙනේ. අපරදිග හුරුව ගත් තනු ද ජනප්‍රිය වී ඇති සේය. සාමාන්‍ය ජනයා කැමති හෙයින් මේ දේශීය සංගීතයැයි හැඳින්විය හැකිය. එහෙත් ඒ ලංකාවේ සංගීතය නොවේ. නියම ලාංකික දේශීය සංගීතය ඇත්තේ මෙරට ගම්බදය. වන්නම්, අෂ්ටක, සිවුපද, ස්තෝත්‍ර හා පිරිත් ලංකාවේ නියම දේශීය සංගීතයයි. ඒවා තවම පාරම්පරික ස්වරූපයෙන් පවතී. එවා පදනම් කොට ගෙන උසස් සංගීතයක් ගොඩනැගිය හැකි ය. දැනට පවතින තත්ත්වය අනුව මේ ජන ගීත, තාල අතින් වැඩි සැලකිල්ලක් ලබන බව පෙනේ. මෙරට ඇති අවනද්ධාක්ෂර හා පැදිවල එන අක්ෂර සංයෝග විධිමත් ලෙස විග්‍රහ කිරීමෙන් අපට ආඩම්බර විය හැකි සංගීත ක්‍රමයක් සකස් කර ගැනීමට වටිනා ශාස්ත්‍රීය පදනමක් ලැබෙනු නියතය. දේශීය සංගීතය හා රිද්මය මෙරට ජනතාවගේ ලෙයෙහි නිතැතින්ම වේ. මෙරට ජනයා තුළ සංගීතය පිළිබඳ ඇති නියම ඇල්මත්, ඔවුනට පිහිටා ඇති හොඳ කටහඬත් කණත් දෙස බලන විට ලංකාවට ම පොදු ජාතික සංගීතයක් ඇති නො වීමට හේතුවක් නො පෙනේ.... මේ වන්නම්, කවි අෂ්ටක, ස්තෝත්‍ර, හා ශෘංගාර ලංකාවේ සංගීත සම්ප්‍රදායක වැදගත් ආකෘති වේ. ඒවා අභාවයට යාමට ඉඩ නොදිය යුතුයි. අපට පොදු වූ දේශීය සංගීතයක් තනා ගැනීමට තවමත් පුළුවන.”

ඔහු එම දේශනය කර ඇත්තේ “ජන ගී හා සංගීතය” යන මැයෙන් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේදීය. ඔහුට බල පෑ දෙවන හේතුව ගොඩනැඟෙන්නේ ඔහු සහභාගි වූ යුරෝපීය සංගීත සම්මේලනයක දී ඔහු ගායනා කළ ගීතය ඉන්දියානු තනුවකට සැපවූවක් බව ඉන්දියානුවන් පෙන්වා දීම හේතුවෙනි. ඇත්තෙන්ම එකල ලාංකේය ගී පිටුපස ඉන්දීය සෙවනැල්ල තිබිණි. ඔවුන් ලාංකේය ගීතයක් ඉල්ලා සිටි විට ඔහු ගායනා කර ඇත්තේ “තුරඟා වන්නමත්”, ටිකිරි ටිකිරි ටිකිරි ලියා යන ජන කවියත්ය. සිංහල පැදියන් සාම්ප්‍රදායික නාද මාලාවෙන් ගැයීමෙන් ඔවුන් කුල්මත් වී ඇත. ජාතියක් වශයෙන් ගෞරවය රැක ගැනීමට නම් යම්තමින් හෝ ලාංකේයැයි කිව හැකි සංගීතයක් තිබිය යුතු බවට ඔහු තීරණය කර ඇත්තේ මේ නිසාවෙනි. මිරැන්ඩා හේමලතා ඔහුගේ එම ග්‍රන්ථයට එරෙහි නොවූ අතර ඇය දුටු එහි නිදොස් විය යුතු තැන් පිළිබඳ පමණක් කතා කළ ද ඔහු දුටුවේ එයට එරෙහි ව කතා කිරීමක් ලෙසය. ඇය දුටු තැන කිව යුතු දේ ප්‍රකාශ කරන තැනැත්තියකි. ඇය ද සිටියේ ලාංකේය ජන නැටුම් ඉදිරියට ගෙන යෑමටය. කෙසේ නමුත් මේ සිද්ධිය වී දැනට පනස් දෙවසරකි. එදා ලංකාව අද ශ්‍රී ලංකාව වී ඇත. එම ශ්‍රී ලංකාවේ සංගීතයේත් නර්තනයේත් ලාංකේය භාවය ගැටලු සහගතව ඇත. මකුලොලුව අද ජීවතුන් අතර නැත. මකුලොලුව හා හේමලතා දෙපළ එක්ව කටයුතු කළේ නම් ශ්‍රී ලංකාවේ සංගීත හා නර්තන ක්ෂේත්‍ර දෙකම ලාංකේය හඬ තලයකින් ඉදිරියට රැගෙන ඒමට තිබූ බව ඔහු ඔහුගේ අවසන් කාලයේදී ප්‍රකාශ කර තිබුණි. එය ඔහු මිරැන්ඩා සමඟද ප්‍රකාශ කළේ එක්දාස් නවසිය අසූ ගණන්වල මුලදීය.

මතු සම්බන්ධයි

[අනුර දහනායක]

ඡායාරූප [සුදම් ගුණසිංහ]

 

මාතෘකා