උදේට ගුණ බීම වර්ග

 ඡායාරූපය:

උදේට ගුණ බීම වර්ග

උදෑසන අවදි වූ වහාම කිරි වීදුරුවක් හෝ තේ, කෝපි කෝප්පයක් පානය කිරීම බොහෝ දෙනාගේ සිරිතයි. එහෙත් උදෑසන හිස්බඩ ගන්නා පානය සිරුරට හිතකර විය යුතුය. එයට හේතුව රාත්‍රී කාලයේ නින්දේ පසුවන විට සිරුරට අවශ්‍ය තරල නොලැබෙන බැවින් උදෑසන අවදි වූ පසු පසු ලබාගන්නා පානය තුළින් සිරුරට ප්‍රමාණවත් තරම් තරලයක් ලැබීම අත්‍යවශ්‍ය වන නිසාය.

එම නිසා උදෑසනින් අවදි වූ වහාම කළ යුත්තේ පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීමය. ඊට අමතරව උදෑසන පානය කළ හැකි තවත් සෞඛ්‍ය සම්පන්න පාන වර්ග තිබේ. මේ එවැනි පාන වර්ග කිහිපයකි.

පොල් වතුර උදෑසන හිස්බඩ පානය කළ හැකිය. පොල් වතුර ප්‍රතිශක්තිය වැඩි කිරීමට, පරිවෘත්තීය ක්‍රියා වේගවත් කිරීමට සහ බර අඩු කර ගැනීමට උපකාරී වන ලෝරික් අම්ලයෙන් පොහොසත් වේ. එමෙන්ම පොල් වතුර විටමින් සහ ඛනිජ ලවණවලින්ද සමන්විත වේ. ඊට අමතරව සිරුර විජලනය වීම වළක්වන සෝඩියම් සහ පොටෑසියම්ද අඩංගු වේ.

එළවළු යුෂ පානය කිරීමෙන් ස්වභාවික ප්‍රතිජීවක සහ පෝෂ්‍ය පදාර්ථ ඔබේ සිරුරට ලබාගත හැකිය. යුෂ ආකාරයට එළවළු පරිභෝජනය කිරීමේදී ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ වඩා සිරුරට හොඳින් අවශෝෂණය වේ. නිවිති වැනි කොළ එළවළු ශරීරයේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට හේතුවන අතර සිරුරේ සෛලවලට ඔක්සිජන් සැපයීම සඳහා උපකාරී වේ.

කෝමාරිකා යුෂ ආමාශයේ දැවිල්ල නැති කිරීමට උපකාරී වන අතර ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන අයට වඩාත් හිතකර වේ. එමෙන්ම ශරීරයේ ඇති විස ද්‍රව්‍ය පිටකිරීමටද උපකාරී වේ. සූරාගත් කෝමාරිකා මදයෙන් කෝමාරිකා හැඳි 2ක් ගෙන බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 3ක් එකතු කර හොඳින් මිශ්‍ර කිරීමෙන් මෙම පානය සකසා ගත හැකිය.

උදෑසන ඉඟුරු තේ පානය කිරීමෙන් පාචනය සහ ආමාශයේ අපහසුතාවයන් සමනය කළ හැකිය. ප්‍රබල ඖෂධීය ගුණ ඇති ඉඟුරු මඟින් මාංසපේශී වේදනාව අඩුවන අතර උදෑසන ව්‍යායාමවලින් පසු පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

තක්කාලි යුෂ ඔබේ දවස ආරම්භ කිරීමට වඩාත් හිතකර පානයකි. තක්කාලිවල ජලය සියයට 95ක් පමණ අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරය හොඳින් සජලීකරණය වේ. එමෙන්ම එය ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරයි. තක්කාලි විටමින් ඒ සහ සී යන පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් නිසා ආසාදනවලට එරෙහිව සටන් කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. තක්කාලි යුෂ විශිෂ්ට විසබීජ නාශක පානයක් ලෙස ක්‍රියා කරයි.

සූදුරු පානයද උදෑසනට හිතකර පානයකි. එය ආහාර ජීර්ණ එන්සයිමවල ස්‍රාවය උත්තේජනය කිරීමට සහ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන අතර එමඟින් ආමාශ ආබාධද සමනය වේ. එමෙන්ම එය ඉතා හොඳ ශක්ති උත්පාදකයක් වන අතර සිරුරේ අලස බවද දුරු කරයි.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා