කෑම මේසය ලස්සන කරන හැටි

 ඡායාරූපය:

කෑම මේසය ලස්සන කරන හැටි

නිවසට පැමිණෙන අමුත්තකුට රසවත් ආහාර වේලක් පිළියෙළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එය පිළිවෙළට සහ සුන්දරව පිළිගැනීමද වැදගත් වේ. කෑම මේසය, මේස රෙද්ද, අත් පිස්නාව, පිඟන්, කෝප්ප, හැඳි සහ ගෑරුප්පු ආදි සියල්ලම පිරිසුදුව තිබිය යුතු අතර කෑම මේසය සුන්දර කරගැනීම සඳහා උපකාරී වන ඉඟි කිහිපයක් පහත සඳහන් වේ.

උදේ කෑම මේසයක් සඳහා වර්ණවත් අත් පිස්නා භාවිතා කළ හැකිය. නමුත් දිවා හෝ රාත්‍රී ආහාර වේල් සඳහා වඩාත්ම ගැළපෙන්නේ සුදු හෝ ළා පැහැති අත් පිස්නාය. මේවා විවිධ ක්‍රමවලට නැවිය හැකි අතර සුදුසු ක්‍රමයකට නවා මේසය මත හෝ වෙනම පීරිසියක තබන්න. ඔබට අවශ්‍ය අත්පිස්සා නැවීමේ විවිධ ක්‍රම අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් ඉගෙනගත හැකිය.

මේසය මත තබන හැඳි, ගෑරප්පු සහ පිහි ආදිය නිසි ස්ථානයෙන් තැබීමද වැදගත් වේ. හැඳි සහ ගෑරුප්පු තැබිය යුත්තේ උඩු අතට හරවාය. වතුර වීදුරු තැබිය යුත්තේ පිහිවලට දකුණු පැත්තෙන් හෝ ඉහළින්ය. ආහාර බෙදා ගැනීමට තබන හැඳි කෑම දීසි ආසන්නයේම තබන්න.

මේසය මත මල් බඳුනක් තබනවා නම් මල්වල වර්ණයන් මේස රෙද්ද සහ පිඟන්වල වර්ණය හා ගැළපිය යුතුය. මල් බඳුන් තැබීමේදී කෑම බඳුන් ආවරණය වන සේ තැබීමෙන් වළකින්න. මේ නිසා මේසයේ තැබීම සඳහා මිටි මල් බඳුනක් තෝරා ගන්න. රාත්‍රී උත්සවයකට නම් මල් සැරසිලි සමඟ පත්තු කළ ඉටිපන්දම් තැබීමෙන් වැඩි අලංකාරයක් ලබාගත හැකිය. උපන්දින උත්සව, නත්තල් උත්සවය වැනි විශේෂ උත්සව අවස්ථා සඳහා විශේෂිත සැරසිලි භාවිත කළ හැකිය.

අත සේදීමේ බඳුන් තබන විට මේසයේ ආරක්ෂාව සඳහා මේස රෙද්ද යටින් ඝන රෙද්දක් හෝ ඉටි කවරයක් දමන්න. එවිට මේසය මත ජලය හැලුනොත් එයින් මේසයට හානි සිදුවීම වළක්වා ගත හැකිය.

මේසය අසලම තවත් කුඩා මේසයක් තබා ඒ මත අමතර ආහාර, සලාද, පලතුරු, අතුරුපස, වැඩිපුර හැඳි හා ජලය වීදුරු වැනි දේ තබන්න. එවිට ඔබට විටින් විට මුළුතැන්ගෙයට යෑමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

අමුත්තන්ට පහසුවෙන් සහ නිදහසේ ආහාර ගත හැකිවන පරිදි මේසයේ ඉඩකඩ තිබිය යුතුය. එමෙන්ම පුටු අතර වැඩි ඉඩක් තබන්න. එකිනෙකා මුහුණට මුහුණ සිටීමට හැකි වන සේ පුටු සැකසීම සුදුසුය.

තේ මේසයක් පිළියෙළ කිරීමේදී තේ කෝප්ප පිරිසුදුව හා පිළිවෙළට තිබිය යුතු අතර තේවලට අවශ්‍ය සීනි ප්‍රමාණය දමාගැනීම සඳහා මේසය මත සීනි බඳුනක් තැබීම වඩාත් සුදුසුය. තේ මේසය සඳහා පිළිගන්වන රසකැවිලි සිත්ගන්නා සුළු බන්දේසියක දමා පිළිගන්වන්න. නැතිනම් රසකැවිලි වෙන වෙනම පීරිසිවල තබා මේසයට යැවීමද සුදුසුය. තේ මේසය සඳහාද අත් පිස්නාවක් හෝ ටිෂූ කොළ තැබිය යුතුය. එමෙන්ම තේ මේසයක් නිවස තුළ සූදානම් කිරීමට වඩා ඉඩකඩ ඇත්නම් ගෙවත්තේ සුන්දර ස්ථානයක් ඒ වෙනුවෙන් යොදාගැනීම සුදුසුය.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා