අලුතින් අඳින සාරිය මොන වගේද?

 ඡායාරූපය:

අලුතින් අඳින සාරිය මොන වගේද?

සාරිය කියන්නේ කෙතරම් සුන්දර විලාසිතාවක් වුවත් මුල් වරට සාරියක් අඳින යුවතියකට එය කරදරකාරී ඇඳුමක් ලෙස දැනීම අරුමයක් නොවේ. නුහුරු බව නිසාම සාරියකින් ලැබිය යුතු සුන්දරත්වයද ඇයට ලබාගත නොහැකිය. මුල්වරට සාරියක් අඳින යුවතියකට ගැළපෙන සාරියක් තෝරාගැනීම කළ යුත්තේ ප්‍රවේශමෙනි. එවැනි යුවතියකට වඩා සුදුසු වන්නේ වඩා බර නැති සැහැල්ලු සාරියකි. එය සාරිය ඇඳීමට මෙන්ම සාරිය සිරුරේ රඳවා ගැනීමට පහසුවක් සලසයි.

එමෙන්ම තමන්ගේ සිරුරේ ප්‍රමාණයට සහ ස්වාභාවයට ගැළපෙන සාරියක් තෝරාගත යුතුය. සිහින් සිරුරක් ඇති යුවතියක් කඩා හැලෙන, සැහැල්ලු සාරියක් ඇඳීමෙන් ඇගේ සිහින් බව කැපී පෙනෙයි. එම නිසා එවැනි යුවතියකට මඳක් පිම්බෙන සුළු සාරියක් ඇඳීම සුදුසු අතර ඇයට තනි වර්ණයේ සාරිද එතරම් සුදුසු වන්නේ නැහැ. තනි පාට සාරියකින් ඇයගේ සිහින් බව වැඩිකර පෙන්වන අතර එවැනි යුවතියන්ට වඩාත් ගැළපෙන්නේ පළල් බෝඩරයක් සහිත සාරියකි. වොයිල් සාරි, අත් යන්ත්‍ර මඟින් සැකසූ සාරිද ඇයට සුදුසුය. නමුත් මහත සිරුරක් ඇති යුවතියකට පිම්බෙන සුළු සාරි නොගැළපෙන අතර චිෆෝන්, ජෝජට් වැනි රෙදිවලින් නිමවූ සාරියකින් ඇගේ සිරුරේ හැඩය ඉස්මතු කරගත හැකිය. සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරක් හිමි යුවතියන්ට කඩා හැලෙන, සැහැල්ලු සාරි මෙන්ම වොයිල්, රෙයොන් සහ අත් යන්ත්‍ර මඟින් නිපදවූ සාරිද උචිත වේ.

වයසින් ළාබාල යුවතියන් පළල් බෝඩර්, පළල් පල්ලු සහ විශාල මෝස්‌තර වැටුණු සාරි ඇඳීමෙන් වයසට වඩා වැඩිහිටි පෙනුමක් පෙන්වන නිසා යුවතියන් එවැනි සාරි ඇඳීමෙන් වැළකිය යුතුය. එමෙන්ම තරුණ යුවතියන්ට අඳුරු පැහැ සාරිද නොගැළපෙන අතර ඔවුන් තමාගේ සමේ පැහැයට දීප්තියක් ලබාදෙන වර්ණවල සාරි තෝරාගත යුතුය.

සාරිය අඳින ක්‍රමයද මෙහිදී වැදගත් වේ. පළමු වතාවට සාරියක් අඳින යුවතියකට වඩාත් සුදුසු වන්නේ ෆ්ලීට් තබා සාරි පොට උරහිසට තද වන සේ තබා කටුවක් ගසා ගැනීමයි. එවිට ඇයට සාරිය හසුරුවා ගැනීම පහසු වේ. නමුත් උසින් වැඩි කාන්තාවකට සාරි පොට ෆ්ලීට් කර අඳිනවාට වඩා සාරි පොට උරහිසින් පහළට අත දිගේ කඩා හැලෙන්නට දැමීම ගැළපේ. ෆ්ලීට් කළ සාරි පොට උස වැඩිකර පෙන්වන අතර එසේ ෆ්ලීට් කිරීමට අවශ්‍ය නම් රැළි පළලට තැබීම උචිත වේ. නමුත් මිටි සහ මහත කාන්තාවක් පොට නැවිය යුත්තේ සිහින්ව වන අතර එයින් ඇගේ මහත බව අඩු කර පෙන්විය හැකිය.

සාරිය මෙන්ම සාරි හැට්ටයද සිරුරට නිසි ලෙස ගැළපිය යුතුය. සාරි හැට්ටය ශරීරයට වඩා ලිහිල් නම් හෝ උරහිස්වලින් එල්ලා වැටෙනවා නම් හෝ ඉදිරිපසින් උඩට ඇදී ඇත්නම් එය සිරුරේ හැඩය විකෘති කර පෙන්වයි. මහත කාන්තාවන් සාරි හැට්ටයේ කර තරමක් ගැඹුරට කැපීමෙන් මහත පෙනුම අඩුකර සිහින් පෙනුමක් ලබාගත හැකි අතර සිහින් කාන්තාවකට ගැළපෙන්නේ සාරි හැට්ටයේ කරේ ගැඹුර අඩු විලාසිතාය. උරහිස් නැති හෝ උරපටි සහිත සාරි හැට්ට ඇඳීමේදී පටි රහිත බ්‍රෙසියරයක් ඇඳීම හෝ බ්‍රා කප් යොදාගත හැකිය. ඉදිරිපසින් ශරීරය ආවරණය වන, පිටුපසින් ශරීරය නිරාවරණය වන සාරි හැට්ට සඳහා බෙල්ලෙන් ගැට ගැසීමට ඇති ක්‍රොස් බ්‍රෙසියර් සුදුසුය.

 

[තුෂාරා සන්දනායක]

මාතෘකා